ශ්‍රී ලංකාවේ පානීය ජලය නොමැතිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණුදෙන පවුල් ලක්ෂ හතරක් වෙසෙන බව පසුගියදාක අනාවරණය විය. ඒ ඔස්සේ මෙරට පානීය ජල ගැටලුව පිළිබඳ පුළුල් සාකච්ඡාවක අවශ්‍යතාව අවධාරණය වූයේය. ඒ අනුව අපි ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා හා සම්මුඛ වීමු. එම සංවාදයේ හෙළිදරව් වූ මෙරට පානීය ජල ගැටලු සහ යෝජනා වී ඇති විසඳුම් මෙම සංවාද සටහන ඔස්සේ සාකච්ඡා කරමු.
පානීය ජල ගැටලුව දුරාතීතයේ පටන් පැවත එන්නක් නොවේ. වර්තමානය රට අත්දකින පානීය ජල ගැටලු ක්‍රමානුකූලව නිර්මාණය වූ ඒවාය. පාරිසරික වෙනස්කම්, වර්ෂාපතනය අවම වීම, කෘෂිකර්මය නිසා ජල ප්‍රභවයන් දූෂණ වීම මෙන්ම භූගත ජලය දූෂණය වීම ආදී ගැටලු මීට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට පහත් හතත් අතර පිරිසකට පානිය ජල ගැටලුවකට මුහුණදී සිටින්නේ මෙවන් තත්ත්වයක් මතය.
“පසුගිය කාලසීමාව තුළ පුළුල් ලෙස අධ්‍යනය කරලා වර්තමාන තත්ත්වය පිළිබඳ අප හොඳ අවබෝධයක් ලබාගෙන ඉන්නේ. මෙය නිශ්චිත ප්‍රදේශවලට ගොනුවී ඇති ප්‍රශ්නයක් නොවෙයි. ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල විවිධ ප්‍රමාණවලින් පවතින ගැටලුවක්. උතුරු පළාත, පොළොන්නරුව, මොනරාගල, කෑගල්ල, කුරුණෑගල මේ තත්ත්වය වැඩිපුර තිබෙනවා. සෙසු දිස්ත්‍රික්කවලත් ඇතැම් තැන්වලට ජලය ඉතා දුෂ්කරයි. ඒ නිසා මෙම පවුල් ලක්ෂ හතර විතරක් තනිකරලා විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි.”
රටවටා විවිධ ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලු එකින් එකට වෙනස්ය. උදාහරණයක් ලෙස අනුරාධපුරය පොළොන්නරුව ආදී ප්‍රදේශවල ජලයේ ක්‍රමානුකූලව කැල්සියම්, ලවණ ප්‍රමාණය වැඩිවී තිබේ. ජල මූලාශ්‍රවල ජලය තිබුණත් මෙම ප්‍රදේශවලවල ජනතාවට පානීය ජලය නොමැත. එමනිසා එම ප්‍රදේශවලට පානීය ජලය ලබාදීම වෙනත් ප්‍රදේශයකින් රැගෙන ඒමට හෝ විශේෂ පිරිපහදු ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවේ. තවත් සමහර ස්ථානවල ජල ප්‍රභවයන් නොමැත. සිදුවන්නේ භූගත ජලය ලබා ගැනීමටයි. එහෙත් එවන් අවස්ථාවල පවා එම ප්‍රදේශ ජලපෝෂක ප්‍රදේශද නැතිද, එහි මතුපිට හා භූගත ජලය පිරිසුදුද ප්‍රමාණවත්ද යන්න පිළිබඳ ගැටලු මතුවේ.
“දැන් අපි නිශ්චිතව විකල්ප හොයාගෙන තියනවා. ප්‍රධන ව්‍යාපෘති වෙන්නේ ධාරිතාවය වැඩිකරලා වැඩිපුර දුරක් නළ මාර්ගයෙන් පානීය ජලය අරගෙන යාම. ලබාදිය හැකි හැමතැනටම ඒ හරහා ජලය ලබාදීම. ජලය දුර අරගෙන යනවා කියන්නේ වියදම් අධික වැඩක්. ජලය නැත්නම් අපි තියෙන තැනකින් ජලය අරගෙන යන්න ඕනෑ. ලෝකේ සමහර රටවල් කිලෝමීටර් දහස් ගාණක් ජලය අරගෙන යනවා අවශ්‍යතාව අනුව.”
මීට අමතරව මෙසේ ජලය රැගෙන යා නොහැකි ප්‍රදේශවල කුඩා පරිමාණයේ ජල ව්‍යාපෘතියක් හඳුනාගනු ලබයි. අනතුරුව ජල ප්‍රභවයේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය සම්බන්ධව පරීක්ෂා කිරීම සිදුවේ. ඒ හරහා එම මූලාශ්‍රයේ ජලය ප්‍රදේශයට ප්‍රමාණවත්ද එහි ගුණාත්මකබව වැඩි කළ යුත්තේ කෙසේද යන පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. මේ අනුව ජලයේ පවතින ලවණ, ඛනිජ, ඝණ ද්‍රව්‍ය ප්‍රමාණ හඳුනාගෙන ඊට සුදුසු පිරිපහදු ක්‍රමවේද සකසා ගැනෙයි. එහිදී සාමාන්‍ය පිරිපහදු ක්‍රමවේදයට එහාගිය ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවේ. ඇතැම්විට ආර්.ඕ. ක්‍රමවේද අනුගමනය කරමින් එස්.ටූ.ඕ. නිපදවීමට සිදුවනු ඇත. එවන් අවස්ථාවල ජලයේ ගුණාත්මකභාවය වැඩිකිරීම අදාළ ද්‍රව්‍ය නැවත එකතු කිරීමට පවා සිදුවෙයි.
“හැබැයි මේක කරන්න ටික කාලයක් යනවා. හේතුව මෙය නිශ්චිතව තැනක් නැති, ජල ප්‍රභවයන් සොයාගැනීමට අපහසු එකක්, ඒ නිසා පියවරෙන් පියවර මෙය කළයුතු වෙනවා. කොහොම වුණත් මේ අවුරුදු හතර අවසන් වනවිට අපි රටේ සියලුදෙනාට වතුර දෙනවා. ලංකාවේ පවුල් ලක්ෂ පනස් හතක් අටක් ඉන්නවා. එයින් පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ පවුල් ලක්ෂ විසිපහකට විතර. තවත් පවුල් ලක්ෂ හතකට විතර ලැබෙන්නේ බාගෙට පිරිසිදු කරපු ජලය. ඒ කියන්නේ ප්‍රජා ජල ව්‍යාපෘතිය බොහොමයක තියෙන්නේ සම්පූර්ණ පිරිසිදු කරපු ජලය නෙවෙයි. සෙසු පිරිසට ජල ව්‍යාපෘතියකින් ජලය ලැබෙන්නේ නෑ.”
දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පවුල් ලක්ෂ හතර සිටින්නේ මෙම සෙසු පිරිස අතරෙයි. ජල සම්පාදන මණ්ඩලයේ නිෂ්පාදන ධාරිතාව ඝණ මීටර් මිලියන දෙකයි දශම බින්දුවයි හතකි. ප්‍රජා ජල ඒකකයේ ධාරිතාව මිලියන දශම පහක් පමණය. එය වර්ධන කළයුතුව තිබේ. ඒ අනුව 2025 වනවිට තවත් පවුල් ලක්ෂ තිස් දෙකකට ජලය ලබාදීමට ඇති බලාපොරොත්තු සරල නැත. එය විශාල අභියෝගයකි. දුෂ්කරතා වැඩි ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලබාදෙමින් ජල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. උතුර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට ප්‍රමුඛතාව සැලසෙනු ඇත.
“අපේ පිරිපහදු කිරීමේ සියලු ව්‍යාපෘතිය 2023 වනවිට සාදා නිමකරනවා. මේ වසරේ කොටසක් පටන් ගන්නවා. ලබන වසරේ කොටසක් පටන් ගන්නවා. මේ වසරේ පටන් ගන්න ව්‍යාපෘති ලබන වසරේත් ලබන වසරේ පටන් ගන්න ව්‍යාපෘති 2023 වසරේත් නිමා වෙනවා. ඒ අනුව අවශ්‍ය ජල ධාරිතාවය මේ වසර තුළ සම්පූර්ණ කරගන්න පුළුවන්. නමුත් නළ එලළා මේ ටික ජනතාවට දෙන්න ටික කාලයක් යනවා. මොකද දැනට ලංකාවටම එලළා තිබෙන නළවල දිග කිලෝමීටර් හතළිස් දෙදහක් විතර. ඒ වගේම අපිට එලන්න තිබෙන නළ ප්‍රමාණයේ දිගත් කිලෝමීටර් හතළිස් දහකට වඩා වැඩියි.”
වසර හැත්තෑවක් රට තුළ පානීය ජලය සම්බන්ධව සිදුවූ වැඩකොටසට සමාන වැඩ කොටසක් ඉදිරි වසර හතර තුළ සිදුකිරීමට තිබේ. කෙසේ නමුත් රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිහයක දැඩි පානීය ජල දුෂ්කරතාවන්ට මුහුණ දෙන පවුල් ලක්ෂ හතර විසිරී සිටිති. ඔවුන්ට පැහැදිලි ප්‍රමුඛතාවක් සහිතව මෙම සියලු වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිතය.
සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා
සේයාරුව I සුමුදු හේවාපතිරණ