පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා සහා දළුව පන්සලේ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් අතර කාලයක පටන් පවතින ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කරන්නට තරම් හැකියාවක් ඇති පුද්ගලයකු නොසිටීම හේතුවෙන් උද්ඝෝෂණය, උපවාස දක්වා වර්ධනය විය. විහාරස්ථාන භූමිය තුළ ඇති සුසාන භූමිය මෙම ගැටුමට මුල පිරීමට හේතු වී ඇත.
පන්සල භූමිය තුළ පිහිටි සුසාන භූමිය අතීතයේදී පොදු සුසාන භුමියක් ලෙස පැවතියද පසුව පන්සල සහ සුසාන භූමිය එකම වැටකින් ආවරණය වී තිබීම හේතුවෙන් එය බෞද්ධ සුසාන භූමියක් ලෙස පවත්වාගෙන යාමට සුමිත්ත හිමියන් සහ තුන් සියයක් පමණ වූ දායක සභාව විසින් ඉල්ලීම් කර තිබේ. එම ඉල්ලීමට සාර්ථක පිළිතුරක් නොලැබීම සහ වෙනත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පුත්තලම දිසාපතිවරයා සහ සුමිත්ත හිමියන් අතර ආරවුල වර්ධනය වීය.
සුමිත්ත හිමියන් සහ ස්වාමීන්වහන්සේලා පිරිසක් දායක සභාවේ පිරිස සමග උද්ඝෝෂණ උපවාස කරන්නට වූහ. අවස්ථා කිහිපයකදී ස්වාමීන්වහන්සේ ඇතුළු දායක සභාව උද්ඝෝෂණ පැවැත්වීය. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ජනාධිපති මන්දිරය දක්වා ගියේය. දේශපාලන හස්තයන් දිගු කිරීම නිසා මේ තත්ත්වය සමතයකට පත් කිරීමට නොහැකි වී ඇති බව පන්සලේ දායක සභාව කියයි.
මේ තත්ත්වය දිගින් දිගටම සිදුවෙමින් තිබියදී මෙය සමථයකට පත් කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී කාන්තාවන් දෙදෙනකු විහාරස්ථානයට එවා ස්වාමීන්වහන්සේගේ චරිතය විනාශ කරන්නට බුදු දහමට නිගා කරන්නට කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් සැලසුම් කර තිබුණි. මෙහි අවසන් ප්‍රතිපලය ලෙස ගැටුම උග්‍ර වී ලෝකය පුරා කතාබහට ලක්වූ ප්‍රවෘත්තියක් නිර්මාණය වන්නටත් කාන්තාවන් හතර දෙනකුට බන්ධනාගාර ගතවන්නටත් සිදුවිය.
18 වැනි දින කරඹ අන්තර් සමුද්ද විහාරස්ථානයට කාන්තාවන් දෙදෙනකු පැමිණ එක් කාන්තාවක් ස්වාමීන් වහන්සේව අල්ලාගෙන සිටියදී අනෙක් කාන්තාව ඡායාරූප ගැනීමත් අතවර කරන බවට කෑගසා ගමේ ජනතාව කුපිත කර විහාරස්ථානයට හා ස්වාමීන් වහන්සේට අගෞරව කරන්නටත් එම අවස්ථාවේ ගන්නා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටත් සැලසුම් කර තිබූ බවට සුමිත්ත හිමියන්ට වාර්තා විය.
මාධ්‍යවේදීන් වන අප සහ දායක සභාවේ පිරිස සැඟවී සිට කාන්තාව කරන්නට යන දෙය රූගත කර ගැනීමට සූදානමින් සිටියද ස්වාමීන්වහන්සේ වැළඳ ගැනීමට පැමිණි කාන්තාව සහ එම අවස්ථාව ඡායාරූප ගැනීමට පැමිණි කාන්තාව ස්වාමීන්වහන්සේ සමග කළ කතාබහින් පසුව සැලසුම ක්‍රියාත්මක නොකර පිටත්ව ගියහ.
පසුව නැවතත් දුරකථනයෙන් කතාකර ගෙන්වා ඔවුන්ගේ ජංගම දුරකථන දායක සභාවේ පිරිස බාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී එම කාන්තාවන් පැවසුවේ දිසාපතිවරයාගේ අවශ්‍යතාවය මත මෙය කරන්නට ආ නමුත් ස්වාමීන්වහන්සේගේ වදන් හමුවේ ඔවුන්ගේ සිත් වෙනස් වූ බවයි.
පසුව එම කාන්තාවන් දෙදෙනා පොලීසිය බාරදීමට කටයුතු කරමින් එම ස්ථානයට නොරොච්චෝල පොලීසිය සහ සහකාර පොලිස් අධිකාරීවරයා ගෙන්වීමට පියවර ගත් දායක සභාව කාන්තාවන් දෙදෙනා එතෙක් රඳවා තබාගෙන සිටියදී කාන්තාවකට දිගින් දිගටම එන දුරකථන ඇමතුම් පිළිබඳ පරීක්ෂා කිරීමේදී පුත්තලම ප්‍රජාදිරිය පදනමේ සභාපති ඉන්ද්‍රානි කුසුමලතා මෙය සැලසුම් කර ඇති බවට තහවුරු විය.
පොලීසිය පැමිණි පසු මෙම කාන්තාවන් දෙදෙනා පොලීසිය බාරදී ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් ලබාදුන් පසු කාන්තාවන් පොලීසියට රුගෙන ගොස් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව ප්‍රජාදිරිය පදනමේ සභාපති ඉන්ද්‍රානි කුසුමලතා සහ ඇයගේ ප්‍රකාශ අනුව දළුව ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනුණි.
මෙම කාන්තාවන් දෙදෙනා දහසක් ජනතාව සහ පොලීසිය ඉදිරිපිටදී තමන්ට අසභ්‍ය ඡායාරූප ගැනීමට දිසාපතිවරයා එවූ බවට පුන පුනා ප්‍රකාශ කළද, පොලීසිය ප්‍රකාශ සටහන් කර ගැනීමේදී එවැනි කිසිදු ප්‍රකාශයක් ලබා දී නැති බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසන්නේ මේ සියලු චෝදනා අසත්‍ය බවයි.
දින හතක් රක්ෂිත බන්ධනාගාර ගත කළ කාන්තාවන් හතර දෙනා 24 වැනි දින ඇප ලබාදීමෙන් පසු දින දාහතරකට නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව පොලීසිය පැවසීය.
I රෝවන් පෙරේරා - පුත්තලම