2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරය විමර්ශනයේ ඊළඟ පිම්ම

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවීමට ඇත්තේ සති දෙකකි. 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල කෙරුණු සහරාන් හෂිම් ඇතුළු කල්ලියේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව හා එම අත්තවාදී සංවිධානය පිළිබඳව සිදුකෙරෙන විමර්ශන අවසන් කිරීමට අවම වශයෙන් වසර දෙකක්වත් ගත වනු ඇති බවට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වී තිබිණ. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ආරම්භ කෙරිණ. එහි අවසන් වාර්තාව නිකුත්කර දැන් දින කිහිපයක් ගතව තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සහාභාගීත්වයෙන් එම කොමිසම ආරම්භ කෙරිණ. එහි සෙසු සාමාජිකයන් වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සමඟ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මහා සංසරත්නය, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට හා පුජ්‍ය පක්ෂයට මෙන්ම පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු පාර්ශ්ව කිහිපයකට බාර කෙරිණ. අනතුරුව බහුතර පාරශ්ව වලින් චෝදනා නැගුණේ ප්‍රහාරයට මග පෙන්වූවකු අරමුදල් සම්පාදකයකු හෝ අනුබල දෙමින් නියෝග කළේ කවුරුන්ද යන්න පැහැදිලි නැති බවකි.

කෙසේ වෙතත් කොමිසම පත්කිරීමට නියෝග ලබාදුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දණ්ඩනීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට හැකිදැයි සොයා බැලීමට නිර්දේශ කොට තිබීම දෛවෝපගත වාර්තාවකි. එසේම එවකට ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය ප්‍රහාරය සම්බන්ධව වග කිවයුතු යැයිද දක්වා තිබිණ. මේ කරුණු අතර බරපතළ වශයෙන් දක්වා තිබුණේ පාස්කු ප්‍රහාරය වළක්වාලීම සඳහා එවක රජය හා වගකිවයුතු අරක්ෂක අංශ බලධාරීන් අපොහොසත් වීම පිළිබඳවය. රටේ පරිපාලනය හා නීතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ ආයතන මගින් එතෙක් මෙතෙක් කල් වාර්තා කළ විශාලතම හා බරපතළම අත්වැරැද්ද ලෙසද මෙම වාර්තාව දක්වා තිබිණ.

පෙර කී පරිද්දෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තා අනුව එහි නම්කර ඇති අයට එරෙහිව ප්‍රහාරය සිදුකර දෙවසරක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් නොකළොත් රටපුරා විරෝධතාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ. වැඩිදුරටත් අදහස් පළකළ කාදිනල්තුමා කියා සිටියේ ප්‍රහාරය නිසා විපතට පත්වූ ජනතාවට යුක්තිය ඉටුවන බවක් දකින්නට නොලැබේ නම් 21 වැනිදා ආරම්භ කරන විරෝධතාවය ශක්තිමත් ලෙස දිවයින පුරා ක්‍රියාත්මක කරන බවය.

මේ ආකාරයට පූජ්‍ය පක්ෂය හා දේශපාලනඥයන් ඇතුළු පාර්ශ්ව රුසක් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව විවේචනය කළහ. කෙසේ නමුත් අදාළ වාර්තාව පදනම් කරගෙන චූදිතයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අවසන් පරීෂණ වාර්තාව ලෙස මෙම වාර්තාව යොදවා ගැනීමට පොලීසිය තීන්දු කර ඇතැයි දැනගන්නට තිබේ. ඒ අනුව පාස්කු කොමිසමේ වාර්තාව උපයෝගී කොට ගෙන ක්‍රමවත් හා විද්‍යාත්මක පොලිස් පරීක්ෂණයක් සිදුකර එම වාර්තාව මාසයක් ඇතුළතදී පොලිස්පතිවරයාට බාරදීමට නියමිතය. මේ කාරණය උදෙසා නම්කරමින් විශේෂ පොලිස් පරීක්ෂණ කමිටුවක් පත්කළ බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම පොලිස් පරීක්ෂ කමිටුවේ ප්‍රධානියා වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි රණසිංහ මහතා පත්කර සිටී. ඔහුගේ මූලිකත්වයෙන් තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනකු සමග පොලිසියේ දක්ෂ ජ්‍යෙෂ්ඨ විමර්ශකයන් පිරිසක් මෙම කමිටුවට පත්කර සිටිති. මේ වනවිට ඔවුන් සිය විමර්ශන කටයුතු අරඹා තිබෙන අතර පාස්කු කොමිසම් වාර්තාව මූලික කොටගෙන එම තොරතුරු ආශ්‍රයෙන් හා පොලිස් පරීක්ෂණවලින් අනාවරණ කරගෙන ඇති තොරතුරු විශ්ලේෂණය කරමින් අදාළ පරීෂණ කටයුතු සිදුකරනු ලබන බව පැවසේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ප්‍රහාරය එල්ල වූ කාලයේ රටේ ආරක්ෂාව බාරව වගකීම දැරූ එවකට ආරෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිවද දණ්ඩනීති සංග්‍රහය යටතේ නියමිත විධිවිධාන අනුව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා මගින් සලකා බැලිය යුතු බවට කොමිසම් වාර්තාව මගින් නිර්දේශ කර තිබුණි. මේ අතර ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් වශයෙන් දක්වා තිබුණේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුව ලිහිල් ප්‍රවේශයකින් සිතා කටයුතු කිරීම බවය. ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ක්‍රියාශීලී පියවර නොගැනීම පිළිබඳවද චෝදනා කොට තිබුණි.

හිටපු ජනපතිවරයා ප්‍රහාරය එල්ලවූ දිනය ඇතුළු ආසන්න දිනවලදී විදේශ සංචාරයක නිරතව සිටි අවස්ථාවේ ආරක්ෂක ඇමැතිධුරය සඳහා  වැඩබැලීමට සුදුස්සකු පත්කර නොතිබීම බරපතළ ගැටලුවක් වශයෙන් පෙන්වා දී ඇත. එය වැඩිදුරටත් පෙන්වා දී තබුණේ සහරාන් කල්ලියේ ප්‍රහාරයට චේතාන්විතවම මගපාදා ඇති බවය. පාස්කු ප්‍රහාරය සමයේ ආරක්ෂක වගකීම දැරූ පාර්ශ්වයන්ට හා එවකට පැවැති යම් යම් සංවිධානවලට පාස්කු වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබිණ. ඇතැම් සංවිධාන තහනම් කිරීමටද නියෝග ලබාදී තිබිණ. නමුත් ප්‍රහාරය සැලසුම්කරැවන්ට එරෙහි පියවරක් සඳහන් කොට නැත. එවැනි පසුබිමක ඔවුන්ට දඬුවමක් දක්වා නැත.

පාස්කු වාර්තාව එළිදැක්වීමෙන් පසුවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සහරාන් කල්ලියේ ප්‍රබලයන් බව කියන පිරිස් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. රඳවාගැනීමේ නියෝග යටතේ ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කෙරෙයි. පාස්කු වාර්තාවේ නිර්දේශ මත නීතිපතිවරයා විසින් සලකාබලා ගනු ලබන පියවර මෙන්ම අලුතින් පත්කළ පොලිස් කමිටුවේ නිර්දේශ අනුව පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි අපේක්ෂා කරමු.

 සමන්ත විල්තෙර