බලන්ගොඩ කල්තොට පිහිටි කූරගල පුදබිම පසුගිය 28 වැනි මැදින් පෝ දින බොදු බැතිමතුන්ගෙන් පිරී ගියේය. සාදු නාදය අවටින් ඇසුණි. එසේ කූරගල පුරාවිද්‍යා බිමේ සාදු නාදය ඇසුණේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරටය. ක්‍රි.පූ. යුගයේ පටන්ම මේ බිම භාවනානුයෝගී භික්ෂුන් වහන්සේට කෙම්බිමක් වූ ස්ථානයකි. මුස්ලිම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස සලකමින් කළ විවිධ ඉදිකිරීම නිසා එහි පෞරාණිකත්වයට හානි සිදුවිය. ලෙන් ආශ්‍රිතව පල්ලි ඉදිකිරීමද සිදුව තිබුණි. තවමත් එහි මුස්ලිම් පල්ලියක් සහ ශාන්තුවරයකුගේ ලෙස සැලකෙන සොහොන්කොත් දෙකක්ද දැකගත හැකිය.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කූරගල ග්‍රාම නිලධාරී වසම තුළ කූරගල ඓතිහාසික පුදබිම පිහිටා ඇත. පැරණි බෙදීම් අනුව එය කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවට අයත් වේ. බළන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 23ක් පැමිණීමෙන් කූරගල පුරාවිද්‍යා ස්ථානයට පැමිණිය හැකිය. කඳුවැටි, වනාන්තර, කෙත්වතුවලින් වටවූ රමණීය බිමක කූරගල පිහිටා තිබේ. කඳු පාමුල සිට ඉහළට ගමන් කිරීමට පියගැට සකසා තිබේ.
1970 දශකයේදි රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර නාහිමියන් මෙහි බෞද්ධ උරුමය රැකගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ හිමිනමකි. අනතුරුව ගැටඅරළුවේ සංඝරක්ඛිත නාහිමියන්ද පසුව මෑත කාලයේ රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමියන්ද මෙම ඓතිහාසික පූජා භූමියෙහි බෞද්ධ උරුමය රුක ගැනීම සඳහා තම කාලය, ධනය, ශ්‍රමය වැය කළහ.
2013දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් සිටි අවදියේදී මෙහි අනවසර ඉදිකිරීම් රාශියක් ආරක්ෂක අංශයේ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්කළ අතර වර්ෂ 2019 වර්ෂයේදී වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත් වීමෙන් පානීය ජල නළ පද්ධතිය, පියගැට පෙළ හා විදුලිය ලබා දීම සිදුවිය.
2019 හා 2020 වර්ෂවල දෙල්තොට ධම්මජෝති නාහිමියන්ද අති දුෂ්කර ලෙස කූරගල ගල් ලෙනක පළමුවරට වස් වැඩ සිටීමෙන් පසුවද බොහෝදෙනාගේ අවධානය යළි කූරගලට යොමුවිය. මෑතකදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් වෙත මෙහි භාරකාරීත්වය පැවරිණි. ඒ හිමියන්ගේ මැදිහත්වීමෙන් කූරගල බෞද්ධ ප්‍රබෝධය යළි ඇතිකිරීමේ කටයුතු ආරම්භ විය. ඉදිරියේදී මෙහි අඩි සියයක් උස දාගැබක් සහ බුදුරුවක්ද සංඝාවාසයක්ද ඉදිවීමට නියමිතය. අසදිසි ශාක්‍ය සුගත මහාසෑය නම් වන දාගැබට රු. ලක්ෂ 400ක් වියදම් වන බව පැවසේ. මේ වනවිට මෙහි මාර්ග පද්ධතිය, විදුලි පද්ධතිය, ජලනළ පද්ධතිය සනීපාරක්ෂක පහසුකම් ආදි අත්‍යවශ්‍ය අංගද ඉදිකොට ඇත.
පසුගිය පෝදා පැවති උත්සවයේදී අදහස් දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ කෙටිකලක් තුළ මෙම මහා සෑය සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර කිරීම සඳහා කටයුතු කරන බවයි. උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ කූරගල වෙනුවෙන් යළි අරගල කරන්නට මතු පරපුරට ඉඩ නොතබන බවයි.
මහරහතුන් වහන්සේලා වැඩසිටි කූරගල පුදබිමේ ගල්ලෙන් තුළ වසර ගණනාවක් පුරා අන්තවාදීන් විසින් සිය ආගමික ස්ථාන ඉදිකරමින් සිදුකර තිබුණා. කූරගල පුදබිමේ ගල්ලෙන් තුළ ආගමික ස්ථාන ඉදිකරමින් සිදුකර තිබූ අතර මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම වැරුදි නිවැරුදි කිරීමටද අවශ්‍ය කටයුත ද සිදුකරමින් පවතිනවා. උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ
පොදු වහරේ කූරගල යනුවෙන් මෙම ස්ථානය හැඳින්වූවත් මෙහි ප්‍රධාන ගිරිශිඛර දෙකක් දැකගත හැකියි. ඒ කූරගල හා හිටුවන්ගල යන පර්වතයි. පැරණි පියගැට පෙළ ඔස්සේ ගමන් කරනවිට මුස්ලිම් ආගමික තොරණ, ඉදිකිරීම්, වෙළෙඳසල් ආදී ගොඩනැගිලි දැකගත හැකිය. කඳු මුදුන ආසන්නයේ වම්පසින් පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණය පිහිටා ඇත. දකුණු පසින් හිටුවන්ගල කන්දේ ගල්ගුහා පිහිටා තිබේ. මෙම බිමේ ඓතිහාසිකත්වය ගැන සැලකිල්ලට ගත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර 1971 අගෝස්තු මස 11 වැනි දින ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට කූරගල නම්කර තිබේ.
කූරගල මානව ඉතිහාසය බලංගොඩ මානව යුගය දක්වා ඇදී යයි. මධ්‍ය ශිලා යුග මානවයාගේ ශේෂ මින් හමුවුණේ 2013 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආචාර්ය නිමල් පෙරේරාගේ අධික්ෂණය යටතේ කළ කැණීම්වලදීය. එහිදී ලැබුණු මානව ඇටසැකිලි කොටස් අමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය වෙත යවා කාලනිර්ණ ලබාගෙන තිබේ. ඒ අනුව අදින් වසර 16,000 සීමාවේ, එනම් අවසන් ප්ලයිස්ටෝසීන යුගයේ සිට අදින් වසර 6,000 සීමාවට අයත් වත්මන් මධ්‍ය හොලෝසීන යුගය දක්වා කාල පරාසයකට අයත් ජනාවාසකරණයක් මේ ස්ථානයේ පැවැති බව පැහැදිලි විය. අදින් වසර 15,163 ත්, අදින් වසර 2,940 ත් අතර කාල පරාසය තුළ කූරගල ලෙන් ආශ්‍රිතව මානවයන් ජීවත් වූ බවට කාබන් 14 කාලනිර්ණ තොරතුරු එසේ හෙළිදරව් කර තිබේ.
වියළි හා තෙත් යන කලාප අතරමැදිව පිහිටි පරිසරයක පිහිටි සංක්‍රාන්තික කලාපයක (Intermediate zone) සිදුවූ පළමු ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම වීම මෙහි තවත් වැදගත්කමක් විය. සංචාරක මානවයෙක් ලෙසින් වාර්තා වූ මේ මානවයා වලවේ ගං නිම්නය ඔස්සේ කිලෝ මීටර් 80කට ආසන්න දුර ගෙවා, මුහුදුකරය හා දැඩි සබඳතා පවත්වා තිබෙන බව කැණීම් තුළින් හමුවූ මුහුදු බෙලි කටු, මත්ස්‍ය ඇටකටු සාක්ෂි දරයි. මෙහිදී සොයාගත් ගල් මෙවලම් ඉතා පිරිසිදු තිරිවාණා පාෂාණයෙන් සෑදූ ඒවාය.
මෙම මානවයා විලාසිතා අලංකරණය ගැනද උනන්දු වූ බවට පැහැදිලි සාක්ෂි සපයමින්, කරදිය හා මිරිදිය බෙල්ලන් 80කට ආසන්න ප්‍රමාණයකින් නිර්මාණය කරගන්නා ලද පබළු හමුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රාග් ඓතිහාසික කැණීමකින් ස්වභාවික මිනිරන් ඛනිජයක් (graphite) උපයෝගී කරගෙන සකස් කළ පබළුවක් හමුවීමද වැදගත්ය. අභිචාර හා ආදාහන ක්‍රම භාවිතයෙන් මළවුන් ඇදහුම හෙළිකරමින් මිහිදන් කර තිබූ සම්පූර්ණ අස්ථි සැකිල්ලක්ද මින් හමුවිය.
ඓතිහාසික යුගයේදී කූරගල මෙන්ම අවට පිහිටි බුදුගල, කිරිමකුළුගොල්ල වැනි ස්ථානවලත් පිහිටි ලෙන් බෞද්ධ පුණ්‍යභූමි බවට පත්විය. අනුරාධපුර යුගය වනවිට මේ අවට බෞද්ධ පූජනීය ස්ථාන රාශියක් පැවති බවට සාධක අදටත් දැකගත හැකිය. හඳගිරිය, ගල්ටැම්යාය, දේවගිරි විහාරය ඒ අතරින් කිහිපයක් පමණි.
කූරගල ලෙන්වල කටාරම් කොටා භික්ෂූන් වහන්සේට පූජාකිරීම සිදුවූයේ බුදුදහම ලංකාවට ලැබී නොබෝ කලකිනි. ශ්‍රී ලංකාවේ පැරුණි ලෙන් ආරාම සංකීර්ණ ලෙසින් සැලකෙන මිහින්තලය, වෙස්සගිරිය, රිටිගල, දිඹුලාගල, සිතුල්පව්ව, වැනි ආරණ්‍ය සේනාසනවලට සමකාලීන බවක් මෙම ස්ථානයෙන් පෙන්නුම් කරයි.
කූරගල සෙල්ලිපි පළමුවරට පිටපත් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ සී.එච්. කොලින්ස්ටය. 1932 දී සී.එච්. කොලින්ස් එම සෙල්ලිපි පිටපත් කර ඇති අතර පසුව මහාචාර්ය පරණවිතාන ඒවා කියවා පළකර තිබේ.
1 - --------- දතහ සමුදහ ලෙනෙ
අර්ථය - දත්ත (සහ) සමුද්‍රගේ ලෙන
2 දම ගුත තෙරස ලෙන
අර්ථය - ධම්මගුප්ත තෙරුන්ගේ ලෙන
3 පෙළ - (පරුමක) සුමනහ පරුමකලු ශුමය
අර්ථය - ප්‍රධානී සුමනගේත්, සුම්මා නම් ප්‍රධානීවරියගේත් (ලෙනයි)
මෙම සාධක අනුව මූල ඓතිහාසික යුගයේදී හා ඓතිහාසික යුගයේදීද කූරගල ආරණ්‍ය සේනාසනය (ක්‍රි. පූ. 2- 1 සියවස්වල සිට ක්‍රි. ව. 10- 11 සියවස් පමණ වන තෙක්) ආගමික වශයෙන් මනාව සංවර්ධනයව පැවැති පුද බිමක් බව හෙළිව තිබේ.
මෙසේ වසර සිය දහස් ගණනක් සංඝයා වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ මෙම පින්බිම පසුකාලීනව ඉස්ලාම් භක්තිකයන්ගේ වන්දනා ස්ථානයක් බවට පරිවර්තනය කරගෙන ඇත. ඉස්ලාම් භක්තිකයන්ගේ කූරගල සම්ප්‍රාප්තිය හා මෙහි ඔවුන්ට වන සබඳතාවය පිළිබඳව ඉස්ලාම් බැතිමතුන් වෙනම අදහස් දක්වා සිටියද ඒවා පුරාවිද්‍යා සාධක මත බිඳවැටෙන බව කිවයුතු නොවේ. 1932 වර්ෂයේදී සී.එච්. කොලින්ස් විසින් රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලියන ලද ලිපියේ කූරගල පිළිබඳවද සඳහන් වේ. ඔහු කූරගලට පැමිණෙන විටත් එම පරිශ්‍රයේ ලෙන් ආශ්‍රය කොට මුස්ලිම් ජාතිකයන් පදිංචිව සිටි බව සඳහන් කරයි. ඔහුගේ ලිපියට අනුව කූරගල කඳු මුදුනේ ඇති ගල් ලෙනක් තුළට මුස්ලිම් පූජකයෙක් රිංගා ඇති අතර නැවත ඔහු පැමිණ නැත. මේ නිසා ලෙන තුළ ඇති උමං කුහරය මක්කම දක්වා තිබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. නමුත් ජනප්‍රවාදවලට අනුව මෙම උමගෙන් පිවිසිය හැක්කේ නුදුරින් පිහිටි තවත් පූජනීය ස්ථානයක් වූ පධානඝර සහිත බුදුගලටය.
සජීවී බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස නොපැවැති නිසා 1900 ආසන්න කාලයක මුස්ලිම් භක්තිකයන් විසින් කූරගල තම ආගමික විශ්වාස සමඟ බද්ධ කරමින් එයට වන්දනා කිරීම පටන් ගන්නට ඇත. ගල්ලෙන්වල ස්වභාවික පිහිටීම මෙන්ම ලෙන් ආශ්‍රිතව ඇති බ්‍රාහ්මී අක්ෂර මගින් ඉස්ලාමීය අනන්‍යතා ලක්ෂණ බව පෙන්වමින් තර්කානුකූල ලෙස මුස්ලිම් ආගමික භක්තිකයන් අතර විශ්වාස ගොඩනඟාගැනීමට ඔවුන් කටයුතු කර ඇති බවද පැහැදිලිය. මුස්ලිම් ආගමික නිකායේ නායකයන්ගේ සොහොන් කොත් පිහිටුවමින් ආගමික විශ්වාස භූමිය හා බැඳී පවතින ලෙසට උපක්‍රමශීලීව කටයුතු යොදා ඇත. ක්‍රි.පූ. යුගයේ ලියවුණු පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි ඔවුන්ගේ අනන්‍යතා ලක්ෂණ සහිතව ප්‍රචලිත කිරීමද මෙහි සිදුව ඇත. “දතහ ශමුදහ ලෙනෙ” යන්න “දත්ථාසේලාන්” ලෙස වැරදියට විග්‍රහ කර තිබේ. එමෙන්ම කටාරම් සහිත ලෙනක ඉදිරිපස ඇති පර්වත කොටසක අරාබි අක්ෂරයෙන් මෑතකදි ශිලා ලේඛනයක් කොටා එය ඔවුන්ගේ පුරාණ සෙල්ලිපියක් බව පවසා තම අනන්‍යතාවය තහවුරු කරගැනීමට ගත් උත්සාහයක්ද දැකගත හැකිය. පුරාවිද්‍යා ස්ථානයක් මෙසේ වෙනස්වීම්වලට ලක්කළද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවා ඒවා වැළැක්වීමට හැකියාවක් තිබුණේ නැත.
කූරගල පුරාවිද්‍යා ආඥාපනතට යටත් ගැසට් කළ රක්ෂික ස්මාරකයකි. එහි නැවත බෞද්ධ ප්‍රබෝධය ඇතිකිරීමේදී පවතින ආරාමීය නිස්කලංක වටපිටාවට හානි නොවන පරිදි පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කිරීම අත්‍යවශ්‍ය වේ. සියලු කටයුතු පුරාවිද්‍යා මූලධර්මවලට හානියක් නොවන පරිදි එම නිලධාරීන්ගේ සොයාබැලීම යටතේ ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් වන්නේ පුරාණ තපෝ භූමියක විනාශය වළක්වා ගන්නට යැයි කියමින් තවත් කොන්ක්‍රීට් වනාන්තරයක් ඉදිකිරීම පමණකි.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - සුමුදු හේවාපතිරණ