2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

කොවිඩ් එන්නත ගෙන්වීම පෞද්ගලික අංශයටත්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

කොවිඩ් එන්නත් ආනයන අවස්ථා පෞද්ගලික අංශයටත් ලබාදීම පිළිබඳ යම් සංවාදයක් නිර්මාණය වී තිබේ. රජය විසින් මේ තාක් ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති නමුත් මෙම සංවාදයේ පාර්ශ්වකරුවන් වීමට අපි උත්සාහ කළෙමු.
ලොව පුරා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මහජනතාව වෙත අලෙවි කිරීමක් මේ දක්වා වාර්තා නොවේ. මෙරට තුළ පෞද්ගලික අංශයට එන්නත් මිලදී ගැනීමේ අවකාශ සැලසීම පිළිබඳ සංවාදයක් නිර්මාණය වී ඇත්තේ එවන් පසුබිමකය. කෙසේ නමුත් කොවිඩ් එන්නත් ගෙන්වීමට තමන් හට අවස්ථාව ලබා දෙන ලෙස මෙරට පෞද්ගලික අංශයෙන් ඉල්ලීම් ඉදිරිපත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඉල්ලීම් කළ සමාගම් වෙත රජය දැනුම් දී ඇත්තේ 2021 ජූනි මාසයෙන් පසු එන්නත් ආනයනය කිරීමට හැකියාව ඇති බවයි.

ආරම්භයේ තත්ත්වය එසේ වුවත් මේ වන විට කොවිඩ් එන්නත ශ්‍රී ලාංකිකයන් මිලියන 13කට ලබාදීමට හැකි බව හඳුනාගෙන තිබේ. එනමුත් මෙරටට දැනට ලැබී ඇත්තේ එන්නත් විසි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකි. මරණ හා වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීමට නම් අවම වශයෙන් මිලියන 7ක ජනගහණයකටවත් එන්නත් ලබා දිය යුතුය.

ඒ අනුව කොවිඩ් එන්නත් ගෙන්වීමට ඇති හැකියාව සලකා බලා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව පෞද්ගලික අංශයටද අවසර ලබා දීමට පියවර ගන්නා බව කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධව පසුගිය දිනවල විවිධ පාර්ශ්ව අදහස් දක්වා තිබුණි. 

ඒ අනුව පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ. මේ මොහොතේ රජය හට එන්නත් අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකි නම් පිළියම එය බව ඔහු කියා සිටියි.

“කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩ කරන ආයතනවල කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව. එන්නත් ලබා දීම සඳහා මීළඟ ප්‍රමුඛතාව දිය යුත්තේ වැඩ කරන ජනතාවට. ඒ අවශ්‍යතාව සැපයීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් කොවිඩ් එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබා දිය යුතුයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම අනුව පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබා දීමේ ගැටලුවක් නෑ."

මේ අනුව කොවිඩ් එන්නත් පෞද්ගලික අංශය හරහා මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළක් හෝ නියාමන ක්‍රමවේදයක් සකසා ඇත්දැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙන් අපි විමසා සිටියෙමු. එවන් යෝජනාවක් තවමත් තමන් වෙත ලැබී නොමැති බව ඔහු කියා සිටියේය. යම් අවස්ථාවක ඒ සම්බන්ධව කටයුතු කිරීමට සිදුවුවහොත් අදාළ නියාමනය සිදුකිරීමේ හැකියාව ඇති බවද ජයසිංහ මහතා කියා සිටියේය. එසේම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මෙතෙක් ලෝකයේ කිසිදු රටක් පෞද්ගලික අංශය මෙම එන්නත්කරණ වැඩසටහනට එක් කරගෙන නොමැති බවයි.

මේ අනුව සිදු කළ සොයා බැලීමේදී පෙනී ගියේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ප්‍රතිපත්තියට අනුව රජයට කිසිදු මුදලක් ප්‍රතිලාභියාගෙන් අයකර ගැනීමට නොහැකි බවයි. ඒ අනුව යම් හෙයකින්  පෞද්ගලික අංශයට කොවිඩ් එන්නත් ගෙන්වීමේ අවකාශ ලබා දෙන්නේ නම් රජය ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුව තිබේ. කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන පරිදි මෙම එන්නත් ලෝකය තුළ පෞද්ගලික අංශයට ආනයනය කිරීමට අවකාශ ලබා දී නැත්තේ වෙළෙඳපොළ තරගකාරීත්වය හේතුවෙනි. අප කළ විමසීමක දී ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ උපදේශකවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය සංජය පෙරේරා මහතා වර්තමාන තත්ත්වය පැහැදිලි කළේය.

“මෙම එන්නත්කරණයෙන් යම් ප්‍රතිඵලයක් ලැබීමට නම් සීයට හැත්තෑවක පමණ ජනගහණයට මෙම එන්නත් ලැබිය යුතුයි. මිලියන විසි දෙකක ජනගහණයක් ඉන්න රටක මාත්‍රා දෙක බැගින් සියයට හැත්තෑවකට එන්නත් ලබාදීම පහසු නෑ. නමුත් එන්නත් වෙළෙඳපොළේ තරගකාරීත්වය වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙලා ඒ ඒ රටවලට නිෂ්පාදන සමාගම්වලින් එන්නත් ඉල්ලනවා. ඒ වගේම ප්‍රදානයන් විදිහට දෙනවා. ඒ නිසා සමාගම්වල නිෂ්පාදන ධාරිතාව ඉක්මවා යමින් තියෙනවා. ලෝකයේ කොහෙවත් පෞද්ගලික අංශ මෙම කටයුත්තට මැදිහත් වෙලා නැත්තේ තහංචි දැමීමක් නිසා නෙවෙයි. සැපයුමට වඩා ඉල්ලුම වැඩිවීම හේතු කරගෙන. සමාගම් පළමුව ලෝක සංවිධානය හරහා යන තොග ලබා දිය යුතු වෙනවා. පසුව තමයි ඔවුන්ට අවශ්‍ය විදිහට කටයුතු කරන්න ලැබෙන්නේ."

මේ අනුව රාජ්‍ය අංශයෙන්ම එන්නත් ආනයනය මේ වන විට සිදු කරයි. ලැබී ඇති තොරතුරු අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ඩොලර් පහක් පමණ වන බව කියැවේ. රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්’ එන්නත ඩොලර් 10 ක් පමණ වෙයි. දැනට මිල අධික එන්නත් සේ සැලකෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය තුළ නිෂ්පාදිත එන්නත්ය. 

පවතින තත්ත්වය මත එන්නත් ලබාදීම යම් හෙයකින් පෞද්ගලික අංශය සතු වුවහොත් හොඳ තත්ත්වයේ එන්නතක් රුපියල් අටදහසකට පමණ ලබාගත හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් පෞද්ගලික අංශයට මෙම එන්නත්කරණ වැඩසටහනට එක්වීමට අවකාශ සැලසුණු විට බොහෝ වංචා මෙන්ම අසාධාරණකම් සිදුවිය හැකි බව බොහෝ දෙනෙක් කියා සිටිති.

චමිඳු නිසල් ද සිල්වා