ලෝකයේ කාර්යබහුලම ප්‍රධාන වෙළෙඳ නාවික මාර්ගයක පිහිටා ඇති ඊජිප්තුවේ සුප්‍රකට සූවස් ඇළේ පසුගිය සතියේ මහා තදබදයක් හටගත්තේය. සූවස් ඇළ තරණය කරමින් සිටි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ආපදාවට ලක්වී ඇළ හරස්වීම නිසාය. මේ නිසා තවත් නෞකා හාරසිය ගණනක් පෝලිමේ සිරවිය. දින 5ක් ගතවන තුරුද නැව යථා තත්ත්වයට ගෙන සූවස් විවෘත කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබුණි.
පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ තායිවානයේ (එවර්ග්‍රීන් මැරයින්) (Evergreen Marine) සමාගමට අයත් (එම්.වී. එවර් ගිවන්) (MV EVER GIVEN) නමැති යෝධ බහාලුම් නෞකාව මාර්තු 23දා තදබල වැලි කුණාටුවකට ලක්ව හරස් වී දෙපස ඉවුරු අතර සිරවීම නිසා සූවස් නාවික ගමන්මඟ වැසී ගියේය. ලෝකය එතෙක් මෙතෙක් මුහුණ දුන් මහා නාවික ගමන් තදබදයකට හෙවත් ට්‍රැෆික් අර්බුදයකට ලක්විය.
මීටර් 400ක් දිග මීටර් 59ක් පළල ටොන් 219,079ක් බර මෙම නැව සිරවී දින 5ක් ගතවෙන්නටත් පෙර මෝටර් රථ, බෝරතෙල් සහ ගෑස් ඇතුළු බහලුම් නෞකා 400කට ආසන්න සංඛ්‍යාවක් සූවස් ඇළ ආශ්‍රිතව සිරවී තිබුණි. ඒ හේතුවෙන් එම කලාපයේ මුහුදු කොල්ලකෑම් ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයිද වාර්තා විය.
සූවස් ගමන්මග වැසී යාම නිසා නැව් යාත්‍රාවන්ට අප්‍රිකාව වටා දකුණට තවත් කිලෝමීටර් 5000ක පමණ අමතර දුරක් ගෙවා යන්නට සිදුවේ. යුරෝපය වෙත ගෙන යන භාණ්ඩ රැසක් සති ගණනක් ඒ රටවල් කරා ළඟාවීම මේ නැව් හරස්වීම නිසා දැන් බාධාවී ඇත. සූවස් අවහිරය නිසා මුහුණ දෙන්නට සිදුව තිබූ ප්‍රධානම ගැටලුවක් වනුයේ සති ගණනකට තෙල් සහ ගෑස් හිඟවීමය.
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උස තරම් දිගු වූ (එම්.වී. එවර් ගිවන්) නැවේ ඉදිරි කොටස සූවස් ඇළේ නැගෙනහිර ඉවුරේත් පසුපස බටහිර ඉවුරේත් සිරවීමෙන් නාවික මඟ තාප්පයක් ගැසුවාක් මෙන් අවහිර වීමේ මෙබඳු සිද්ධියක් සූවස් ඇළේ පසුගිය වසර 150කට ආසන්න ඉතිහාසයේ කෙදිනකවත් වාර්තා වී නැත.
මේ සිද්ධිය හේතුවෙන් සූවස් ඇළ හරහා යාත්‍රා කිරීමට පැමිණි බහලුම් රැගත් නෞකා රැසක් අප්‍රිකාවේ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා යුරෝපයට යෑම සඳහා යාත්‍රා කිරීමට සූදානම් වීමත් සමග එම මුහුදු කලාපයේ මුහුදු කොල්ලකෑම් ඉහළයෑමේ අවදානමක් මතුව තිබුණි. මේවා බොහොමයක් චීනයේ සිට යුරෝපයට භාණ්ඩ රැගෙන යන අතර ඒ නිසාම කොල්ලකරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත් ඒවාය.
නැව බේරා ගැනීමේ සහ සූවස් මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු වහාම ඇරඹුණි. හරස් වූ නැවට වහාම පසුපසින් තිබූ බහාලුම් යාත්‍රා 2ක් පසුපසට ගත් අතර යාත්‍රාවේ බර අඩු කීරිම සඳහා තෙල් ජලය සහ ඇතැම් බහාලුම් ඉවත් කරන්නට යෙදිණි. යාත්‍රාව ඉදිරිපස සිරවී ඇති වැලි පරයෙන් ඇද ගැනීම ඊළඟ පියවර විය. ඒ සඳහා ටග් යාත්‍රා 11ක් සහ වැලි ඇදදමන විශාල ඩ්‍රෙජර් යන්ත්‍ර කිහිපයක් යොදාගැනීමට සූවස් ඇළේ බලධාරීන් පියවර ගෙන තිබුණි. එසේම වැලි උරා ඉවතට ඇද දමන සුවිශේෂී ඩ්‍රෙජර් යන්ත්‍රයක් - specialized suction dredger, මගින් සෑම පැයකටම වැලි ඝන මීටර 2000ක් ඇද දැමීමට සමත්විය. නැව නිදහසේ පාකර ගැනීමට නම් දෙපස ඉවුරු බද වැල්ල සහ රොන්මඩ තට්ටුවේ ඝන අඩි 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් හෑරිය යුතුව ඇත. ඒ අඩි 39-52ත් අතර ගැඹුරු පත්ලේ සිරවූ නැව් දෙකෙළවර නිදහස් කර ගැනීමටය. ඒ අනුව මේ ක්‍රියාන්විතය මෙහෙයවන රාජකීය බොස්කාලිස් ආයතනයේ ප්‍රධානියා මුලින් පෙන්වා දුන් අයුරු එවර් ගිවන් නෞකාව මුදාගැනීමට තවත් සති කිහිපයක කාලයක් ගතවීමට නියමිතව තිබුණි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තමරට සතු දැනුම සහ උපකරණ නැව මුදා ගැනීම සඳහා යෙදවීමට කැමැත්ත පලකළ අතර තමන්ගේ නාවික කණ්ඩායමක් ඒ සඳහා පිටත් කර තිබුණි.
සෙනසුරාදා දිනයේ පුර පෝය හඳේ බලපෑමෙන් උදම් රළ නැගී ඒමත් සමග ටග් යාත්‍රා 14ක්ම නැව ඇද තබාගැනීම සඳහා යොදවා තිබුණි. නැවේ අයිතිකාර සමාගමේ ප්‍රධානියා කියා තිබුණේ නැවට හානියක් වී ඇති සලකුණු දක්නට නොමැති නිසා එය නැවත නිසිලෙස හරවා පාවීමට සැලැස්සූ පසු පෙරසේ නිරුපද්‍රිතව ක්‍රියාත්මක කරවීමට හැකිවනු ඇත කියාය. ඒ වනවිට නැව සිර වී තිබූ ස්ථානයෙන් මඳක් නිදහස් වී මීටර 300ක් පමණ උතුරු දෙසට තල්ලු වී තිබීම එය බේරා ගැනීමේ උත්සාහය සාර්ථක වීමේ සලකුණක් ලෙස සැලකිය හැකි බව එදින බලධාරින් කියා තිබුණි.
ඒ අනුව සූවස් ඇළ ආශ්‍රිත නාවුක ඉතිහාසයේ මුල්වරට වාර්තා වූ නැවක් හරස්වීමේ මහා බාධකය මුලුමණින්ම ඉවත්කර දමන්නට පසුගිය සඳුදා (29) සවස 5.45 වනවිට ඔවුනට හැකිව තිබුණි. ඒ ඉකුත් සතියේ අඟහරැවාදා(23) නැව හරස් වූ දින සිට දින 06කට පසුවය. සූවස් - ඇළ නාවුක බලධාරීන්, නෙදර්ලන්ත රාජකීය බොස්කාලිස් ආයතනයේ මෙහෙයුම් කණ්ඩායම හා අමෙරිකානු නාවිකයන් ඇතුළු අන්තර්ජාතික මුදා ගැනීමේ කණ්ඩායමක් පුරපෝය හඳ සමග ඉහළට නැඟී ආ ප්‍රචණ්ඩ උදම් රළ ප්‍රවාහයේ බලපෑමත් සමග එක්ව සිදුකළ මේ ඉතිහාසගත මෙහෙයුම නිසා ඒ වනවිට ඇළ මාර්ගය දෙපස රුඳී සිටි නැව් 400ක් පමණ එදිනම රාත්‍රී 8.00 වනවිට නැවත ගමන් ඇරඹුවේය. එවර් ගිවන් මහා නෞකාවද නොට් 02ක (2 knots), පමණ වේගයෙන් උතුර බලා සිය ගමන හිමින් සීරුවේ ඒ රැයේම අරඹා තිබුණි.
සුගත් පී. කුලතුංගආරච්චි