එක මිනිසකු තුළ රහස් පොලිස් නිලධාරියෙක්, කවියෙක්, කැමරා ශිල්පියෙක්, අභිධර්ම ගුරුවරයෙක් යන එකිනෙකාට වෙනස් චරිතාංග කිහිපයක් රඟපෑ නළුවකු සිටි බව ඉතිහාසයේ සැඟ වී ඇති පුවතකි.
ඔහු විල්සන් හෑගොඩය.
වරක් ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියකු වූ ගුණදාස ලියනගේ කියා ඇති පරිදි විල්සන් හෑගොඩ පුදුම මිනිසෙකි. ඇත්ත වශයෙන්ම මහම මහ පුදුම මිනිසෙකි. ඔහු පරිසරයට වහල් නොවි පරිසරය තමාට වහල් කරගත් මිනිසෙකි. පොලීසියේ රක්ෂාව කළාට මොකද ඔහුගේ ගතිගුණ වැඩ කටයුතු සේරම පොලීසියට නොගැලපෙන අමුතු ඒවාය.
1915 ජනවාරි 08 වැනිදා ගාල්ලේ බටුවන්තුඩාවේ උපත ලැබූ රණසිංහ ආරච්චිගේ විල්සන් හෑගොඩගේ පියා ගොවියකු වූ හින්නි අප්පුහාමි ගාල්ලේ උසාවියේ රුකියාවක් කර ඇත. මව වූ අගිද හාමිනේ රාජපක්ෂ මහත්මිය ගෘහනියකි. විල්සන්ට වැඩිමහල් සොහොයුරන් තිදෙනෙකි. හතරවැනියා විල්සන්ය. පවුලේ බාලයා නැගණියකි. විල්සන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගාල්ලේ වක්වැල්ල පාරේ හපුගල රාජාභිෂේක බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. විල්සන් කොළඹට පැමිණෙන්නේ මවගේ ඕනෑකමටය. කොළඹ පැමිණි ඔහු මෝදර ආනන්ද විද්‍යාලයට ගොස්, ගාලු මුවදොර ගල් පල්ලියේ පාසලෙන් වැඩිදුර ඉගෙනීම ලැබීය.
මම ගමේ ඉන්නකොට ගාල්ලේ උළුකේවිට පන්සලේ දහම් පාසලට ගියේ අම්මාගේ බලපෑම නිසා. කොළඹ ආවට පස්සේ කොල්ලුපිටියේ පොල්වත්තේ පන්සලේ ඉරිදා ඉස්කෝලෙට ගියා. බෞද්ධාචාර්ය විභාගයෙන් විශිෂ්ට සම්මාන ලැබුවා. ඒ අතර මෝදර ක්‍රිස්තුදේව රාත්‍රී ඉංග්‍රීසි පාසලට ගිහින් ඉංග්‍රීසි දැනුම දියුණු කරගත්තා. මම අභිධර්මය ළමයින්ට උගන්වන්න ආශාවෙන් හිටියේ. මම ප්‍රඥාවර්ධන බෞද්ධ සමිතිය ආරම්භ කරලා අභිධර්මය උගන්වන්න පටන් ගත්තා. මේ කාලයේ (1937) වික්ටෝරියා පාක් (විහාරමහා දේවි උද්‍යානයේදී) පී.බී. අල්විස් පෙරේරා, ටී.ජී.ඩබ්ලිව්. සිල්වා, ආතර් අල්විස්, කපිල සෙනෙවිරත්න, කුඩගිලම, පීටර් පෙරේරාත්, මාත් එක්වී කොළඹ කවි සමාජය පිහිටුවා ගත්තා. පස්සෙයි මෙය අගනුවර තරුණ කවි සමාජය ලෙස (අ.ත.ක.ස.) අලුත් නමකින් ප්‍රසිද්ධ වුණේ. මම මේ කාලයේම බාලදක්ෂ ව්‍යාපාරයටත් බැඳුණා. මම කවියෙන් වුණාට පස්සේ මගේ මුල්ම කවි පන්තිය පළවුණේ ඒ.ඊ. ගුණසිංහගේ වීරයා නම් පුවත්පතේ බරන්දෙණියේ විල්සන් ආර්. හෑගොඩ නමින්. ඊට පස්සේ පියදාස සිරිසේනගේ සිංහල ජාතිය පළවූ කවි පන්තියක් නිසා එතුමාගෙන් මට එන්න කියලා පණිවුඩයක් ලැබුණා. මට ප්‍රසංශා කළ සිරිසේන මහතා මට දිගටම කවි ලියන්න අතහිත දුන්නා. මම කවියෙක් වුණේ එහෙම. මගේ මුල්ම කවිපොත වූ අමෘත ධාරා පළවුණේ පීටර් පෙරේරා සමඟ. විල්සන් හෑගොඩ කවියා තම අතීතය මතක් කරමින් වරක් කීවේය.
කවියකු වූ හෑගොඩ කවියා කැමරාවට පෙම්බැන්ඳේ කොහොමද? මම වරක් ඔහුගෙන් විමසීමි.
ඒ කාලයේ 1937 විතර පියර්ස් රෝස් කියලා සබන් වර්ගයක් තිබුණා. සබන් කවර පනහක් එකතු කරලා යැව්වාම මිකාඩෝ කම්පැණියෙන් තෑග්ගක් එවනවා කියලා වෙළෙඳ දැන්වීමක තිබුණා. මම පියර්ස් රෝස් සබන් කවර 50ක් එකතුකරලා ඒ කොම්පැණියට භාරදුන්නා. මට තෑග්ගට ලැබුණෙ බොක්ස් කැමරාවක් (Box Camera) ඒකෙන් ඉස්සෙල්ලාම පින්තූරයක් ගත්තේ අම්මාගේ.
විල්සන් හෑගොඩ කවියාගේ මුල්ම රුකියාව වූයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කිරීමයි. ඔහු තුළ කැමරාවට තිබූ දස්කම දුටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සුපිරින්ටැන්ඩන්ට් විජේමාන්න මහතා එම අංශයේ ඡායාරූප ශිල්පියා ලෙස උසස්වීමක් ලබා දුන්නේය. ඔහු කොතරම් ඡායාරූප කලාවෙන් දස්කම් පෑවා ද යත් 1966 අප්‍රේල් 26දා ලංකා පොලිස් ගැසට් පත්‍රයේ මෙසේ සඳහන් වී තිබූ බව මු. අරුක්ගොඩ ලේඛකයා සඳහන් කර තිබුණි.
ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයන් සඳහා සහභාගීවීමෙන් හා අන්තර්ජාතික විශ්ව කීර්තියට බඳුන් වූ ඉහළ පෙළේ ඡායාරූප කෘතීන් ඉදිරිපත් කිරීමෙන් අප නිලධාරියා විශේෂයෙන් ලංකා පොලීසියටත් පොදුවේ අප ලංකාවටත් හිමිකර දී ඇත්තේ උසස්ම ගෞරවයකි.
උප පොලිස් සාජන්ට්වරයකු මෙන්ම උප පොලිස් පරීක්ෂකවරයකුද ලෙස උසස්වීම් ලැබූ හෑගොඩ මහතා බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය, වයිට් හවුස් මංකොල්ලය, හාර ලක්ෂ මංකොල්ලය ආදී ප්‍රකට නඩුවලදී අපරාධ පින්තූර ගත්තේය. ඔහුගේ දස්කම් නිසා 1964දී එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියට බැඳී අපරාධ පරීක්ෂණ පින්තූර ගැනීම, විශේෂයෙන් ඇඟිලි සලකුණු ඡායාරූපකරණය සඳහා පාඨමාලාවක් හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබිණ. අපරාධ පිටුපස ගොස් මිනීමරුවන් අල්ලා ගැනීමට කැමරාවෙන් රහස්‍ය රාජකාරියක් කළත් ඔහු වඩාත් තෘප්තිය ලැබුවේ පින්තූර ගැනීම, ඡායාරූප ශිල්පය නොමිලයේ ඉගැන්වීම, කවි ලිවීම හා දහම් පාසල්වල ඉගැන්වීමටය. ඔහු විසින් ආරම්භ කළ ඡායාරූප කලා සංගමය 1961 ලංකාවේ සිංහලයෙන් පළ වූ මුල්ම සඟරාව වූ කැමරාව තුළින් මෙරට ප්‍රවීණයන්ට මෙන්ම නවීනයන්ට, පාසල් සිසුන්ට අතහිත දුන්නේය. ජයග්‍රාහක ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට මෙන්ම මෙරට මුල්වරට කවි ලේඛක ඡායාරූප ප්‍රදර්ශනයක් තමාගේ ඡායාරූපවලින් පැවැත්වූයේ ඔහුය.
මරදානේ පොලීසියේ ඇතුළත තිබෙන පොලිස් නිවාස සංකීර්ණයක පදිංචි සිය ගණනක ගෙවල් අතර ඩී බ්ලොක් එකේ දෙවැනි මහලේ හෑගොඩ මහතාගේ නිවෙසට එක් රොක්වන්නේ කවියන්, ලේඛකයන්, කැමරා ශිල්පීන් මිස පොලිස් නිල ඇඳුමින් සැරසුණ අය නම් නොවේ. තම පියා ගැන අපූරු තොරතුරු අපට කීවේ කවියකු, කැමරා ශිල්පියකු ලෙස ප්‍රකට ලාල් හෑගොඩය.
මගේ පියා අමුතුම චරිතයක්. හාස්‍යයෙන් පිරි විනෝදයෙන් පිරි ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. තාත්තා මිනීමැරුම්, සිය දිවි නසාගැනීම්වල පින්තූර ගත්තත් වැඩි තෘප්තියක් ලැබුවේ මරදානේ මහා බෝධි විද්‍යාලයීය ඉරු දින දහම් පාසලේ අභිධර්මය ඉගැන්වීමෙන්. තාත්තා අභිධර්මය උගන්වන කොට ඈනුම් යනවලු. අභිධර්මය කියන්නේ අමාරු විෂයක්. ඒත් තාත්තා විනෝද කථා, කවි කියමින්ලු අභිධර්මය උගන්වන්නේ. දවසක් පන්තියේ සිටි එක ළමයෙක් තාත්තාගෙන් මෙහෙම ඇහැව්වලු.
මහත්තයා මොකක්ද අභිධර්මය කියන්නේ? තාත්තාට හිනා ගියාලු.
ළමයෝ, ගුරුවරයාටත්, ශිෂ්‍යයාටත් නොතේරෙන ධර්මයට කියන්නේ අභිධර්මය කියලා.
ලාල්ලට තම තාත්තා ගැන රසබර තොරතුරු රුසක් මතක තිබේ.
දවසක් තාත්තා මාතර නඩුවකට ගිහිල්ලා ගෙදර ආවේ අම්මාත් අප සහෝදර සහෝදරියන් සමඟ කෑම කමින් සිටිය අවස්ථාවක.
හරි වැඩක්නේ මට අද වුණේ?
මොකද? මොකද? අම්මා කුතුහලයෙන් ඇහැව්වා.
මම කොළඹට ආවේ රුහුණු කුමාරි කෝච්චියෙන්. මුහුද පැත්ත බලාගෙන ඉඳගෙන හිටපු මට බටහිර පැත්තෙන් ඉර බහිනවා පෙනුණා. මගේ මූණට හොඳට සුළං පාරක් එනවා. ඔහොම එනකොට සමනළයෙක් හුළඟට මගේ මුහුණට ඇවිත් නළලේ වැහැව්වා. කොළඹ පැත්තට කොච්චිය යනවා. සමනළයා නළලේ වැහැව්වා. මට සීතලක් දැනුණා. මූ යන පාටක් නෑ. එකපාරට මම ඌව අල්ලගත්තා.
ඔන්න, ඔන්න තාත්තා කෑම කන වෙලාවේ අප්‍රිය වෙන කතාවක් කියන්න යන්නේ. කරුණාකරලා නාන කාමරයට ගිහින් නාගෙන එන්න. අම්මා තාත්තාව එළෙව්වා.
සමනළයට මොකද වුණේ? නංගි ඇහැව්වා.
පුතේ ඒ සමනළයෙක් නොවෙයි, කාගේද සෙම්ප්‍රතිශ්‍යාවක්.
අම්මා ආයිත් තාත්තාව නාන කාමරයට එළෙව්වා.
හෑගොඩ කවියාගේ පිළිබඳ සිත ගියේද කිවිඳියකටය. ඇගේ නම නන්දා ආර්. ජයවර්ධනය. රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 1941 වසරේ මුල්වරට ඇඳිරි නීතිය පැනවූදා ඔහු ඇයට මෙසේ ලීවේය.
යුද බිය ඇවිල යන මිනීමරු කලාවක
කන හුනි හඬ ගුවන් උවදුරු වෙලාවක
ගුරු දින අගනුවර ගනඳුරු වෙලාවක
සිතුවිලි හැඟුම් පැටලෙයි තරු වළාවක
1945 වසරේ විවාහ වූ හෑගොඩ යුවළට නාලිනී, ශ්‍රීමතී, ප්‍රදීපා නම් දියණියන් තිදෙනෙක්ද, ලාල්, පාලිත, අනුර (ඔහු ද කවියෙකි. එංගලන්තයේ පදිංචිව සිටී) පුතුන් තිදෙනෙක්ද වූහ.
හෑගොඩ මහතා දිනක් විවේකයෙන් සිටි දවසක දරුවන් පාඩම් කරන වෙලාවක අභ්‍යාස පොත් පරීක්ෂා කරමින් එහි ඇති පිටුවක් බලා මෙසේ කීවේලු.
ප්‍රශ්නය - මී මැසි රුජිනගෙන් සිදුවන ප්‍රධාන කාර්ය කුමක්ද? තාත්තා පොත බලා කීවේය.
මොකක්ද? තාත්තේ උත්තරේ බාල පුතෙක් අසයි.
චාල්ස් කුමාරයාව බලා ගැනීම. තාත්තාගේ පිළිතුරට දරුවෝ මහ හඬින් සිනාසෙති.
විල්සන් හෑගොඩ මහතා 1973දී ඇමෙරිකාවේ Evidence Photography International Council වෙතින් FEPIC ගරු සම්මාන දිනාගත් අතර, එම වසරේ Federation International D Art Photography නම් ජාත්‍යන්තර සංවිධානයෙන් ඔහු 1977 වසරේ Fsflap සම්මාන දිනාගත්තේය.
ඔන්න මම අද අමුතු කතාවක් කියන්න යන්නේ... තාත්තා අරඅඳින කොටම, එපා එපා කුණු කතාවක් වෙන්න ඇති. අම්මා විසින් තාත්තාට හරස් කපන බව ලාල් අපට කීය.
හෑගොඩලා පදිංචිව සිටි පොලිස් නිවාසයට නිතර කවියන්, ඡායාරූප ශිල්පීන්, පාසල් ශිෂ්‍යයන් ආ ගිය නිසා ගුරුවරියක වූ නන්දා හෑගොඩ මහත්මියට අමුත්තන්ට සංග්‍රහ කිරීමට දිනකට සීනි රාත්තල් දෙකක පමණ තේ සෑදීමට සිදුවිය. තම පියාගේ ගති පැවතුම් ගැන කතා කළ ලාල් හෑගොඩ වරක් මෙසේ කීවේය.
මම තර්ස්ටන් විද්‍යාලයට යන කාලේ රගර් කණ්ඩායමේ නායකයා. විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක දී මට රගර් ක්‍රීඩාව උදෙසා කුසලානයක් ලැබුණා. මම ඒක අරන් ගෙදර ගිහිල්ලා තාත්තාට පෙන්නුවා. ඒක බලලා හූම් කිව්වා. ඒ තාත්තාගේ හැටි. හිත යටින් තාත්තා සතුටු වෙනවා. හැබැයි තාත්තාගෙ ගෝලයෙකුට ඔය අවස්ථාව දැක්කොත් ගෝලයට වඩා සතුටු වී ප්‍රසිද්ධියේ ඒක අගය කළා.
වරක් විමලරත්න කුමාරගම කවියා, හෑගොඩ කවියා ගැන ලෙඩ ඇඳේ සිට ලියූ කවියකින් මේ ලිපිය අවසන් කිරීමට සිතුණි.
හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූ
ඔහුගේ සෙවණ ලැබ උල් අපමණය ඉනූ
රට දැය කලා පිළිබඳ ඇති හැඟුම උණූ
ඔහු දුක් විඳින විට සඳරැස් සෙවණ දෙනූ
හෑගොඩ කවියා මෙලොවින් සමුගත්තේ 1984 සැප්තැම්බර් 13 වැනිදාය.