2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

අවුරුදු සැමරුමේදී අමතක නොකළ යුතු කොවිඩ්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට තව ඇත්තේ සති එකහමාරක් පමණි. මේ දිනවල ජනතාවට කාර්යබහුල කාලයකි. මාස ගණනාවක් වසා දමා තිබූ පාසල් නැවත ආරම්භ කිරීමත් සමඟ මහාමාර්ගයේ රථවාහන තදබදයක් පවතී. ඒ අතරේ නගරාසන්න ප්‍රදේශවල අවුරුදු සිරිය නිවෙසට ගෙන යන්නට සාප්පු සවාරි යන ජනතාවද එමටය. කොවිඩ් වසංගතය හේතුවෙන් ගියවර අලුත් අවුරුදු සැමරීමක් සිදු නොවූවද මෙවර වසර දෙකටම සරිලන ලෙස ඇතැමුන් මහ ඉහළින් අවුරුද්ද සමරන්නට උත්සාහ ගන්නා බවක් දැකගත හැකිය. ඒ කිසිවකුට මේ වන විට කොවිඩ් වසංගතය පිළිබඳ කිසිදු මතකයක් නැත.

“මේ දවස්වල බොහෝ මිනිසුන්ට වසරකටත් වඩා වැඩි කාලයක් පැවති කොරෝනා වසංගතය අමතක වෙලා තියෙනවා. ඒ අමතක වෙන්න කාරණා දෙකක් බලපාලා තියෙනවා. ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමත්, රෝගීන් පෙර පරිදි බහුලව වාර්තාවීමක් නොමැතිකමත් නිසා බොහෝ දෙනකුට කොරෝනා වසංගතය අමතක වෙලා.” යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන වැඩිහිටි ජනගහණයෙන් බහුතරයකට කොවිඩ් එන්නත ප්‍රතිශක්තීකරණය කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද රාජකාරි කටයුතු කරන බොහෝ නිලධාරීන් මෙය ප්‍රතිශක්තීකරණය සිදු කර හමාරය. මේ නිසාම බොහෝ දෙනකුගේ මතය වන්නේ මේ වන විටත් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් වී ඇති බවය. ඇතැමුන්ගේ චෝදනාව වන්නේ අඩු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වීමට ප්‍රධාන හේතුව වන්නේ දිනකට සිදු කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවීම බවය.

කෙසේ වුවද මේ වන විට මහරගම, නුගේගොඩ, බොරැල්ල, කිරිබත්ගොඩ, පිටකොටුව වැනි නගරාසන්න ප්‍රදේශවල ඇති රෙදිපිළිසල්වල වැඩි වශයෙන් පාරිභෝගිකයන් එක්රැස් වන බව පෙනෙන්නට තිබේ. මොවුන් අතරේ මීටරයේ දුරක් නැත. නිවැරදිව මාස්ක් පැළඳීමක් නැත. විශේෂයෙන් රෙදිපිළිවලට නම් දැරූ පමුණුවෙහි මේ වන විටත් පවතින්නේ දැඩි රථවාහන තදබදයකි. පිට පළාත්වලින් පැමිණෙන වාහන මෙන්ම මහරගම නගරයට ආසන්න ප්‍රදේශවලින් රෙදිපිළි රැගෙන යාමට පැමිණෙන පාරිභෝගිකයන් නිසාවෙන්ද මෙම රථවාහන තදබදය හටගෙන තිබේ. විශේෂයෙන් (අලුයම් වෙළෙඳාම්) කටයුතු සිදුවෙද්දී පමුණුවට වැඩි වශයෙන් දුරබැහැර ප්‍රදේශවලින් තොග වෙළෙන්ඳෝ පැමිණෙති.

මීට පෙර කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවද මේ වන විට එම වාර්තාවීම් වැඩි වශයෙන් සිදුවන්නේ දුර පළාත්වලිනි. මේ නිසා මහරගම, පමුණුව වැනි ප්‍රදේශවලින් නැවතත් කොවිඩ් වසංගතය කොළඹ දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානමක් පවතී.

“මේ බොහෝ දෙනකුට කොවිඩ් වසංගතයේදී ලබා දී ඇති උපදෙස් මාලාව අමතක වෙලා. දුරස්ථභාවය තබාගැනීම, නිවැරදි ලෙස මුඛ ආවරණ පැළඳීම, විෂබීජහරණය කිරීම ආදිය වෙනදා මෙන් සිදු කළ යුතු වෙනවා. ලංකාවේ අපි නොහිතන විදිහට මේ වන විටත් රෝගීන් වාර්තා වෙනවා. පසුගිය කාලයේදී දකුණු පළාතෙත්, මේ දිනවල යාපනයේත් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වුණා. අපි නොහිතන ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවීමක් සිදුව තිබෙනවා. ඒ නිසා මීට වඩා ජනතාව මේ පිළිබඳව අවධානයක් යොමු කළ යුතු වෙනවා. එසේ නොමැතිව මේ තත්ත්වය දිගින් දිගටම පවතී නම් අලුත් අවුරුද්දට පසුව සහ මැයි මාසය මුල වන විට විශාල වසංගත කාලයක් නැවත ඇතිවීමට ඉඩ තියෙනවා. මෙයින් වගකීමකින් තොරව කටයුතු කරන සියලු දෙනා රෝගීන් වීමට ඉඩ තියෙනවා.” යැයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලයේදී කොවිඩ් වසංගතයත් සමඟ රෙදි සාප්පුවල ඇඳුම් තේරීමේදී ඇඟලා බැලීමට අවස්ථාවක් නොවුණද, මේ වන විට ඇතැම් රෙදි සාප්පුවල ඇති ඇඳුම් ඇඟලා බැලීමට අවස්ථාව ලබා දී තිබේ. මෙයද යම් අවදානම් තත්ත්වයකි. බොහෝ රෙදිපිළි අලෙවිසල්වල මේ දිනවල ඇත්තේ තදබදයකි. වසරක් පුරා සාප්පුවලට නොපැමිණි පාරිභෝගිකයන්ගේ පැමිණීම වාසිදායක වුවද මෙයින් සිදුවන්නේ අවදානම් තත්ත්වයකට මුලපිරීමක් පමණි.

අලුත් අවුරුදු සමයේ රථවාහන තදබදය මේ වන විටත් දැකගත හැකිය. ඇතැම් බස්රථවල ජනතාව ගමන් කරන්නේ පා පුවරුවේය.

“මේ වන විට පොදු මගී සේවා පෙර මෙන් පොල් පටවාගෙන යන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මගීන් සීමා කිරීමක් නැහැ. දුරස්ථභාවයක් නැහැ. මුඛ ආවරණය නිසි පරිදි පළඳාගැනීමක් නැහැ. විශේෂයෙන් ඇතැම් බස්රථවල රියැදුරන් සහ කොන්දොස්තර මහතුන් මේ වන විටත් මුඛ ආවරණය අයින් කරලා දාලා. පැළඳගත්තත් නිසි පැළඳීමක්  සිදු කරන්නේ නැහැ. මොවුන් බස්රථ ධාවනය කරන්නේ අවදානම් විදිහටයි. මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා. නිවෙසට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ගැනීමට නිවෙසින් එක්කෙනෙක් හෝ අවම සාමාජිකයන් සංඛ්‍යාවක් පිටතට බැහැර වන්න. හැකියාවක් ඇත්නම් තමන්ගේ පෞද්ගලික ප්‍රවාහන සේවයක් භාවිත කරන්න. අවශ්‍යම කටයුතු සිදුකර ගැනීමෙන් පසුව හැකි ඉක්මනින් නිවෙසට ඒමට වගබලා ගන්න. ඒ හැම මොහොතකම මුඛ ආවරණය නිසි පරිදි පළඳින්න. දුරස්ථභාවය තබාගන්න. නිරන්තරයෙන් විෂබීජනාශකයකින් අත හෝදන්න.” උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

අවුරුදු කාලයේදී වෙන වසරවල මෙන් විනෝද චාරිකා, නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස්වලට යාම සීමා කරන මෙන්ද, වැඩි වශයෙන් පිරිස් එක්රැස් වන මත්පැන් සාද, අවුරුදු උත්සව වැනි තැන්වලට යාම සීමා කරන ලෙසද පවසන උපුල් රෝහණ මහතා අවුරුදු සැමරීමට ගොස් කොවිඩ් ආසාදිතයකු නොවිය යුතු බවද කියයි.

පසුගිය කාලයේදී සෑම වෙළෙඳසලකටම ඇතුළු වීමට පෙර අත් සේදීම, ශරීර උෂ්ණත්වය මැනීම, ඇතුළු වන පුද්ගලයන්ගේ දත්ත සටහන් කර ගැනීම සිදු කළද මේ දිනවල ඇතැම් වෙළෙඳසල්වලට ඇතුළු වන අයගෙන් එවැනි තොරතුරු සටහන් කර ගැනීමක් සිදුකර ගන්නේ නැත.

“යම් හෙයකින් ආසාදිතයකු වාර්තා වී විමර්ශන කටයුතුවලදී එම පුද්ගලයා ආ ගිය තැන් පවසද්දී ඔහු සඳහන් කළ වෙළෙඳසල්වල ඒ අදාළ දත්තයන් සටහන් වී නොමැති නම් ඒ ආයතනවලට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනවා.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03