පොලිස් පහරදීම් සම්බන්ධව සමාජ කතිකාවන් කලින් කලට නිර්මාණය වෙයි. පසුගියදා මහරගම පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුගේ ක්‍රියාවක් හේතුවෙන් එම සමාජ කතිකාව අලුත් විය. අදාළ පොලිස් නිලධාරියා ලොරි රථ රියැදුරකුට මහමඟදී අමානුෂික ලෙස පහර දුන්නේය. කවුරුන් හෝ එය වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණි. ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් පෙළ මේ වනවිටත් බොහෝ දෙනෙක් දනිති. අප සැරසෙන්නේ අදාළ සිදුවීම පිළිබඳ කතිකා කිරීමට නොවේ. මේ සිදුවීම පදනම් කරගෙන පොලිස් පහරදීම් සම්බන්ධව පොදු සමාජ කතිකාවක් නිර්මාණය කිරීමටයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාව අනුව අත්අඩංගුවට පත්වෙන ඕනෑම අයෙක් අධිකරණය හමුවේ වරදකරුවෙකු වනතුරු ඔහු නිර්දෝෂී අයකු ලෙස පිළිගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යමෙක් අත්අඩංගුවට පත්වනවිට ඊට හේතුව දැනගැනීමට ඔහුට අයිතියක් ඇත. එසේම අමානුෂික වධ බන්ධනයන්ට පත් නොවී සිටීම, නිර්දෝෂී පුද්ගලයකු ලෙස සැලකීම් ලැබීම, රඳවා සිටින අතරතුර ඥාතීන් සහ නීතීඥයන් මුණගැසීම, හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් වීම ආදිය සම්බන්ධව ඔහුට අයිතියක් ඇත. මෙම අයිතිවාසිකම් කඩවූ විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තමන්ට සිදුවූ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට සාධාරණයක් ඉටුකර ගැනීමට ඔහුට හෝ ඇයට හැකිය.
නීතිමය පදනම මෙසේ වුවත් ප්‍රායෝගික ක්‍රියාවලිය මීට ඉඳුරා වෙනස්වෙයි. පහරදීම් සාධාරණීකරණය කිරීමට සෘජුව සහ වක්‍රව පොදු සමාජය ඉදිරිපත් වෙයි. උදාහරණ ලෙස මහරගම පොලිස් පහරදීම දැක්විය හැකිය. මෙම සිදුවීමට අදාළ වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වීමෙන් පසු ඊට හේතුව කරළියට ආවේය. එහිදී කියවුණේ පහරදීමට ලක්වන තැනැත්තා මාර්ගයේ රාජකාරි කරමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර ඇති බවයි. ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශනය පොලීසිය මුදා හැරියේය. ඒ සමඟම මෙම පහරදීම සාධාරණීකරණය කිරීමට ඇතැමුන් ඉදිරිපත් වූහ. සැබවින්ම මෙය කලක් තිස්සේ පොදු සමාජයේ නිර්මාණය වූ ආකල්ප සමුදායක ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් අනියමින් පොලීසියද යම් සාධාරණීය බවක් පෙන්වීමට අනුකම්පාවක් ලබාගැනීමට මෙහිදී උත්සාහ කළේද යන්න පිළිබඳ මතුවන්නේ සැකයකි.
අදාළ සිදුවීම සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිදුකළ ප්‍රකාශයෙන් කොටසක් උපුටා ගත්තෙමු.
“එම විමර්ශනයේදී අනාවරණය වූයේ අදාළ රියදුරු ලොරි රථයකින් ඊයේ උදෑසන පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේදී මහරගම පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක මෛත්‍රීපාල මහතා මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි බවත් ලොරි රථ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනයෙන් මහාමාර්ගයේ රාජකාරි කළ මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මෛත්‍රීපාල එම රථයේ ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත්ය වුණා. දැනට ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙහිදී මෙම ලොරි රථයේ රියැදුරු වරදක් සිදුකර තිබෙනවා. නොසැලකිලිමත් සහ අපරික්ෂාරී ධාවනයක් සිදු කිරීම. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා ඔහුට පහරදීමක් සිදුකර තිබෙනවා. පොලිස් නිලධාරියකු ලෙස එවැනි පහරදීමක් සිදුකිරීමට කිසිසේත්ම ඔහුට හැකියාවක් නෑ. ඒ වගේම එවැනි පහරදීමක් කිසිසේත්ම ශ්‍රී ලංකා පොලීසිය අනුමත කරන්නේ නෑ.”
මෙරට පොලිස් පහරදීම් සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් වන ප්‍රධාන ස්ථානයක් වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවයි. පොලිස් පහරදීම් සම්බන්ධව ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධව තොරතුරු දැනගැනීමට අපි කොමිසමේ සභාපති ජගත් බාලසූරිය මහතා ඇමතුවෙමු. ඔහු කියා සිටියේ පොලිස් පහරදීම් සම්බන්ධව පැමිණිලි සැලකිය යුතු ප්‍රමාණයක් කොමිසම වෙතද ලැබෙන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑමට බොහෝදෙනාට නොහැකි බැවින් මානව හිමිකම් කොමිසම වෙත විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බව ඔහු කියා සිටියේය.
“මානව හිමිකම් කොමිසමට පනත අනුව බලයක් තිබෙනවා කොතැනක හරි මානව හිමිකම් උල්ලංඝනය වෙනවා නම් මැදිහත් වෙන්න. ඊට පැමිණිල්ලක් කරන්න ඕනෑ යැයි අපට හැඟී යනවා නම් මැදිහත් වෙන්න.”ඔහු කීය.
පොලිස් පහරදීම්වලට එරෙහිව නීති තිබුණද නීති ක්‍රියාත්මක කරන ආයතන තිබුණද ජනතාව ඒවා පිළිබඳ දැනුවත් නැතිවීම සැබෑ ගැටලුවයි. පොලිස් පහරදීම් සහ වධ හිංසාවන් සම්බන්ධයෙන් රටේ යම් යම් සිවිල් සංවිධාන පවා කටයුතු කරයි. නීතිමය උපදෙස් ලබාදෙයි. එහෙත් මෙවන් සිදුවීම්වලදී නීතිමය කටයුතුවලට යොමුවීමට ප්‍රමාදයක් සිද්ධ වුවහොත් සාධාරණය ඉෂ්ඨ කරගැනීමේදී නොහැකි වීම සැබෑ ගැටලුවකි.
හැඟීම්වලට වහල් වෙලා පොලීසියට වැඩකරන්න බෑ
- ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා
මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීම සහ වැඩතහනම් කිරීමට අදාළ ක්‍රියාවලිය ප්‍රශංසනීයයි. ඒ පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ස්තුතිවන්ත විය යුතුයි. මෙහිදී පොලීසිය යම් සාධාරණීකරණයක් කරන්න උත්සාහ කරාද කියන ප්‍රශ්නය මතුවෙනවා. කෙසේ වෙතත් මේ පරීක්ෂණ පිළිබඳ තොරතුරු හරියාකාරව ලබාගැනීම සදා කිසිදු බාධාවක් නොවන ආකරයට අධිකරණ ඔහුව රිමාන්ඩ් භාරයට පත්කරලා තිබෙනවා. එය ඉතා නිවැරැදි තත්ත්වයක්.
මෙම සිදුවීමට අදාළ තුවාල ලැබූ පුද්ගලයාව අදාළ පොලිස් නිලධාරියා ඔහුව දින 14ක රිමාන්ඩ් භාරයට පත්කරන බව කියමින් තර්ජය කොට තිබෙනවා. කණගාටුදායක තත්ත්වය තමා පහර කෑමට ලක්වූ පුද්ගලයා පවසන පරිදි ඔහුව රෝහල වෙත රැගෙන ගොස් තිබෙන්නේ ප්‍රතිකාර සඳහා නොවෙයි. ඔහු බීමත්ව සිටියාද කියා පරීක්ෂා කිරීමට පමණයි. ඒ වගේම ඔහු තමාට පහරදුන් බව කියා ඇතිමුත් ඒ සම්බන්ධව වෛද්‍යවරු පවා නොසලකා හැර ඇති බව වාර්තා වෙනවා.
මෙම පහර කෑමට ලක්වූ පුද්ගලයාට හැකියාව තිබෙනවා අදාළ විඩියෝ දර්ශනය රැගෙන මේ පිළිබඳ වන්දි ලබාගැනීම සඳහා ක්‍රියාකරන්න. දිසා අධිකරණයේ නඩුවක් පැවරීම තුළින් එය කළ හැකියි. ඊට අමතර ඔහුට දින තිහක කාලයක් ඇතුළතදී මානව හිමිකම් කොමිසම් සභාවට වාර්තා කිරීමට හෝ මානව හිමිකම් නඩුකරයක් පවරලා කටයුතු කරන්න පුළුවන්. එහිදී අමානුෂික ආකාරයට පහරදීම ඊට අදාළ වෛද්‍ය වාර්තාව පවා ලබා නොගැනීම ආදී කරුණු යටතේ ඔහුට කටයුතු කළ හැකියි.
තමාගේ උසස් නිලධාරියාට සිදුවූ අනතුරුව මත ක්‍රියාකළ කියන එක සමාවට කාරණාවක් නෙවෙයි. එය කිවයුතු දෙයක්වත් නෙවෙයි. පොලීසිය මධ්‍යස්ථ පුද්ගලයන් ලෙස කටයුතු කළ යුතුයි. ඔවුන්ට හැඟීම්වලට වහල් වී වැඩ කරන්න බෑ. මේ හා සමාන නඩු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා. පොලීසිය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට තීන්දු ලබාදී තිබෙනවා.
චමිඳු නිසල් ද සිල්වා