රටේ ජාතික ආදායම ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරන රාජ්‍ය ආයතනයක් වනුයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. රාජ්‍ය අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී මෙම දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂා කරන ආදායම් ඉලක්ක දැක්වේ. එහෙත් එම ඉලක්ක සපුරා ගැනීම උදෙසා අපේක්ෂා කරන දායකත්වය එම දෙපාර්තමේන්තුව හරහා ඉටුවේද යන්න අතීතයේ පටන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එහි අකාර්යක්ෂමභාවය සහ ආදායම් එකතු කිරීමේදී බහුල වශයෙන් සිදුවෙමින් පවතින වංචා දූෂණ පිළිබඳ නිතර අවධානය යොමු විය. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය ආණ්ඩු සමයේ රවි කරුණානායක මුදල් ඇමැතිවරයාව සිටියදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් ආදායම් එකතු කිරීමේ රාජකාරි පෞද්ගලික විදේශ ආයතනයකට පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද දෙපාර්තමේන්තු සේවකයන්ගේ විරෝධතාව හමුවේ එය ක්‍රියාත්මක නොවූ බව අපට මතකය.
මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබඳ කරළියට නැගෙන්නේ පසුගියදා මහාචාර්ය තිස්ස විතාරණ ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් පැවැති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදීය. එහිදී හෙළිදරව් වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ට හිමි ආදායම එකතු කිරීමට එතරම් උනන්දුවෙන් කටයුතු කර නොමැති බවය. එනිසාම වසරෙන් වසර හිඟ ආදායම ඉහළ නගී. 2020 දෙසැම්බර් 31දා වනවිට ආයතන හා පුද්ගලයන් 200කට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 14,553කට අධික මුදලක් අයවිය යුතුව ඇති බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී අනාවරණය වී තිබිණ. ඒවා ගෙවීම පැහැර හැර ඇති මුදල් ලෙසද සලකා තිබේ.
මෙලෙස ගෙවීම් පැහැර හැර ඇත්තේ කුඩා කුඩා ව්‍යවසායකයන් නොව දැවැන්ත සමාගම් බවද අනාවරණය වී ඇත. මෙලෙස පැහැර හැර ඇති ආයතන අතර ෆිනෑන්ස් සමාගම්, කැසිනෝ ව්‍යාපාර සහ රාජ්‍ය ආයතනද සැලකිවයුතු සංඛ්‍යාවක් අඩංගු වේ. මෙම ආයතනවලින් ලැබිය යුතු මුදල් අයකර ගැනීමට දෙපාර්තමේන්තුව සෑහීමකට පත්විය හැකි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න පිළිබඳවද කරුණු සාකච්ඡා කර තිබේ. මේ මුදල් අප්‍රමාදව අයකර ගතයුතු බවට ගිණුම් කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
මේ හැරුණුවිට තවත් අනාවරණය වී ඇති වැදගත් ඌණතාවක් වනුයේ ආයතන හා පුද්ගලයන් රුසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති චෙක්පත් 6878ක් බැංකු විසින් අගරු කරනු ලැබ ඇති බවය. මෙසේ අගරු වී ඇති චෙක්පත් විශාල මුදල් ප්‍රමාණවල ඒවා වන අතර සුවිශාල ව්‍යාපාරිකයන් සහ ධනවතුන් විසින් ලියනු ලැබ ඇති ඒවා බවද අනාවරණය වී තිබේ. එසේම කෝප් කමිටුවේදී අනාවරණය වූ තවත් කරුණක් වූයේ කැසිනෝ ව්‍යාපාරයක හිඟ බදු ලෙස රුපියල් කෝටි 267ක් අයකර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවය.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ 2010 අංක 16 දරන ගෙවීම් පැහැරහරින ලද බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනතේ 12 වගන්තිය අනුව 2020.12.31 දිනට ලබාදී ඇති හිඟ බදු විස්තරය පරිදි අයකළ හැකි හිඟ බදු මුදල රුපියල් කෝටි 14,453ක් බවකි. අයකරගත නොහැකි බදු අයකර ගැනීමට ගතයුතු පියවර පිළිබඳ තවම කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමක් ගැන අනාවරණය වී නැත. මෙලෙස බදු අයකර ගත නොහැකි වේ නම් ඒ පිළිබඳ වගකිවයුත්තන් කවුරුන්ද යන්න පිළිබඳ සොයාබලා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතුව තිබේ.
මෙම රුස්වීමේදී ගිණුම් කාරක සභාව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසටය. ආයතන 29ක් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් ඉන් 6ක් දැනටමත් එම පද්ධතියට එක්ව තිබෙන බවත් රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී හෙළිදරව් වී තිබේ. තවද මේ වසරේ දෙසැම්බර් 31 වනවිට තවත් ආයතන හයක් මෙම අන්තර් තොරතුරු පද්ධතියට එකතු කර ගන්නා බවද හෙළිවිය.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේදි අනාවරණය වී ඇති තොරතුරු අනුව සනාථ වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදය දෝෂ පවතින බවය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය මේ වනවිට රමික්ස් ක්‍රමයට (Ramix System) පරිවර්තනය වී ඇති නිසා අනාගතයේදී මෙවැනි අඩුපාඩුකම් සිදු නොවනු ඇතැයි අනාවරණය වෙයි. දැනට හිඟ ශේෂව ඇති මුදල් දිගුකාලයක් තිස්සේ ඉදිරියට ඇදෙමින් පවතින ඒවා බව අනාවරණය වෙයි. එහෙත් වගකිවයුතු නිලධාරීන් අයකර ගැනීම් පිළිබඳ උනන්දුවක් නොදැක්වීම නිසා අයකරගත යුතු මුදල් වැඩිවෙමින් පවතී. අයකර ගත නොහැකි ආදායම් ශේෂයන් කපාහැරීම හෝ අයකරගත හැකි මුදල් අයකර ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව දැක්විය යුතුව තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමසිංහ පවසන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණික ක්‍රම මේ වනවිට අනුගමනය කරන නිසා ආදායම එකතු කිරීම පිළිබඳ ප්‍රමාදවීම් ඇතිවිය නොහැකි බවයි. රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ පෙරකාලවල සිට එන හිඟ ආදායම් විය හැකි බව ඔහු කියයි.
&දෙපාර්තමේන්තුව Ramix System එකට යාමට පෙර හිඟව තිබූ ආදායම් තමා මෙම හිඟ මුදල්වලට වැඩි වශයෙන් අඩංගුවෙලා ඇත්තේ. මෙම ක්‍රමයේද සුළු සුළු අඩුපාඩුකම් තිබෙනවා. ඒවා නිවැරදි කළ යුතුයි. ඒ සඳහා නිත්‍යනුකූල තත්ත්වයක් ඇතිකිරීමට පනත් සංශෝධනය කළයුතු වෙනවා. මෙම Ramix System එකට හැරවීම කළේ සිංගප්පූරු සමාගමක් මගින් මේ ක්‍රමය නිසා ගෙවීම් කළ චෙක්පත්වලින් අගරු වූයේ සියයට දශම ගණනක් වැනි සුළු ප්‍රමාණයක් තමා. වැඩිපුරම ආපසු ආවේ රාජ්‍ය ආයතනවල ගෙවීම්වලින්. එසේම වැට් බදු සහ ස්වයං තක්සේරු මත ගෙවීම් කළ චෙක්පත්ද අගරු වුණා. බදු ගෙවිය යුතු දිනය ප්‍රමාද වූ පසු සියයට 10ක දඩයද සමඟ ගෙවිය යුතු වෙනවා. එය සිදුනොවුණහොත් නඩු පැවරීම කරනවා. හිඟ බදු අය කරන අංශය මගින් අදාළ පියවර ගන්නවා. හිඟ බදු අයකිරීමේ වගකීම එම දෙපාර්තමේන්තුව සතුවෙනවා. නොගෙවූ විට දේපළ තහනමට ගැනීමටද ප්‍රතිපාදන ඇත.
මේ වනවිට කුමන ක්‍රමයකින් හෝ ගෙවීම් පැහැර හැරීම සංවිධානාත්මක ලෙස කරන බව පෙනෙනවා. අද දියුණු තාක්ෂණය පවතිද්දී චෙක්පත් මගින් ගෙවීම් කළ යුතු නැහැ. මුදලින් ගෙවා රිසිට්පතක් ලබාගත හැකියි. බැංකු මගින් ගිණුමට මුදල් මාරුකිරීමට පුළුවන්. ඒ නිසා චෙක්පත් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙත් ගෙවීම අතපසු කිරීමේ ක්‍රමවේද තමයි හැදිලා තියෙන්නේ. මෙයට බාහිර පුද්ගලයන් මෙන්ම දෙපාර්තමේන්තුව ඇතුළේ සමහර අයද සම්බන්ධ වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එම අයගේ සහයද ලැබෙනවා ඇති.
අයවැය ලේඛනයෙන් අපේක්ෂිත ජාතික ආදායම අහිමිවීම තමා ප්‍රධානම ගැටලුව. අපේ රටේ විශාල වශයෙන් බදු අහිමිවන්නේ පහත සඳහන් අංශවලින්.
1. මත්පැන් ආශ්‍රිත කර්මාන්ත
2. රා නිෂ්පාදනය හා අලෙවිය
3. ඔට්ටු සහ සූදු බදු
4. රථවාහන හා අමතර කොටස් ආනයනය
5. නිදහස් වෙළෙඳ කලාප සමාගම්
6. පෞද්ගලික රෝහල්
7. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෘත්තීයවේදීන්
8. ආහාර ද්‍රව්‍ය ආනයනය හා බෙදාහැරීම්
මෙම ආයතන විවිධ ක්‍රම උපයෝගී කරගෙන බදු ගෙවීම මහා පරිමාණ ලෙස පැහැර හරිනවා. එහෙත් බොහෝ අවස්ථාවල වගකිවයුත්තන් නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. රටේ ජාතික ආදායමට විශාල වශයෙන් දායකත්වය දක්වන මෙම අංශ අද පවතින තත්ත්වයට වඩා කාර්යක්ෂම කළයුතු වෙනවා. පැහැර හරින රාජ්‍ය ආදායම ලබාගැනීම සඳහා යම් නීතිමය බාධක තිබේනම් ඒවා වුවද සකස් කළ යුතු වෙනවා.
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක:
රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු සංවිධාන 850කට අධික සංඛ්‍යාවකගේ ගිණුම් පරීක්ෂා කිරීම රාජ්‍ය ගිණුම් කාරක සභාවට අයිතියි. දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු මෙන්ම ශ්‍රී ලංකා රේගුවද රටේ ජාතික ආදායමට විශාල වශයෙන් දායකත්වයක් දක්වනවා. අතීතයේ සිට එන ගැටලුවක් තමා මෙම ආයතනවල ඵලදායිතාව හා කාර්යක්ෂමතාවේ ඇති දුර්වලතා. උනන්දුව මදිකම, රාජකාරි ඉටු කිරීමේ ප්‍රමාදය හා වෙනත් වංචා දූෂණ ආදිය පැවතීම. එසේම වත්කම් වැරදි ලෙස පරිහරණය කිරීම්. මේ වාගේ ඇතැම් නිලධාරීන් විධිමත්ව ලැබෙන ආදායම පවා දඩ මුදල් ලෙසට පරිවර්තනය කරනවා. ඒවායින් ලැබෙන කොමිස් මුදල් ලබාගැනීම සඳහා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ බරපතළ ගැටලු පවතින බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වුණා. මේ පිළිබඳ තීරණ ගැනීමේදී හා කටයුතු කිරීමේදී අනවශ්‍ය ප්‍රමාද ඇතිවෙනවා. ඇතැම් නිලධාරීන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැහැ. කල් ගන්නවා. විවිධ කරුණු කියා පිළිතුරු නොදී පැහැර හරින්නට කටයුතු කරන බව පෙනෙනවා. මේ අයට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ගිණුම් කාරක සභාවට ලබාදිය යුතුය. දැනට අපට ඇත්තේ අමාත්‍යංශ ලේකම්ට නියෝග කිරීමේ බලය පමණයි. එතැනින් එහාට දෙයක් සිදුවන්නේ නැහැ. පසු විපරම් කරලාත් ප්‍රතිඵලයක් නැහැ. අවශ්‍ය දේ සිදුවන්නේ නැහැ. අපට දෙන නියෝග ක්‍රියාත්මක නොකිරීම විශාල අඩුපාඩුවක්.
අයකරගන්නට කියන දේවල් කපා හරිනවා. විවිධ හේතු ඉදිරිපත් කර ආදායම කපා හැරීමෙන් රජයට පාඩු සිදුකරනවා. එවැනි අවස්ථාවලදී කටයුතු කිරීමේ බලයක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට නැහැ. එම තත්ත්වය වෙනස්විය යුතුයි. විශේෂයෙන් ගෙවීම් පැහැර හැර ඇත්තේ සහ චෙක්පත් ආදිය දී ගෙවීම් ප්‍රමාද කර ඇත්තේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්. කුඩා අය මෙවැනි වැරදි කරන්නේ නැහැ. ලොකු අය මෙහෙම දේවල් කරන්නේ සංවිධානාත්මකවයි. දීර්ඝකාලයක් තිස්සේ කරගෙන යන දෙයක්. දෙපාර්තමේන්තුව ඇතුළේ සිටින සමහරුන්ගේ සහායෙන් මෙය කරනවාද යන සැකයක් මතුවෙනවා. මෙය දෙපාර්ශ්වය කතාවෙලා කරන දෙයක් විය හැකියි. අභියාචනා ඉදිරිපත් කරවා විවිධ කරුණු පෙන්වලා ගෙවිය යුතු සමහර බදු කපා හරින බවක්ද දක්නට තිබෙනවා. මෙම තත්ත්වය නැති කිරීමට විධිමත් කළමනාකරණයක් තිබිය යුතුයි. ඇතැම් නිලධාරීන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන සලකාගෙන ව්‍යාපාරිකයන් සමග සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ට උපදෙස් දෙනවා.
විගණන කටයුතුවලදී විගණකාධිපතිගෙන් විශාල සේවයක් සිදුවුවද එය තනිවම ඔවුන්ට කළ නොහැකි අතර ආයතනවල පරිපාලනයේ සහයද අවශ්‍ය වෙනවා. මේ වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුන් වතාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවලා තියෙනවා. ඉදිරියේදීද කැඳවීමට නියමිතයි. ආදායම් බදු දෙපාර්තමේන්තුව පිළිබඳ විමර්ශන තවම අවසන් කර නැහැ.
යසවර්ධන රුද්රිගු