අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප‍්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යන්නට ඉඩ නොදෙන බව මහා පරාක‍්‍රමබාහු රජතුමා ප‍්‍රකාශ කර ඇති බව. ඉතිහාසය දක්වයි. ලංකාවේ වාරි තාක්ෂණය දස්කම් විස්කම් වලින් පරිපූර්ණය. අලුත් යුගය වෙනස් වෙමින් තිබේ. සිංගප්පූරුව අහස් දිය ගැන අලුතින් අවධානය යොමුකර තිබේ. අහස ගැන පමණක් නොව සමස්ත ජල සම්පාදන අවශ්‍යතා ගැන අලුත් රාමුවකින් අවධානය දක්වා ඇත. පරිසරය ආරක්ෂා කරගැනීම ගැන දක්වන උනන්දුව ගෝලීය ප‍්‍රවණතාවයක් බවට පත්ව තිබේ. පිරිසිදු පානීය ජලය එහි එක කේන්ද්‍රීය අවශ්‍යතාවයකි. සිංගප්පූරුව පිරිසිදු ජලය වෙනුවෙන් කරන ආයෝජනය ලෝක අවධානයට පාත‍්‍ර වී ඇත. අනාගතයේදී රටවල් ගණනාවක් ජල හිඟයෙන් පීඩාවට පත්වනු ඇති බවට පුරෝකථනය වී තිබියදී සිංගප්පූරුව ගෙන ඇති ඉදිරි පියවර ආදර්ශවත්ය.
සිංගප්පූරුව අලුත් ජල පිරිපහදු මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කරන පියවර ගෙන තිබේ. එය දැනට පවතින ජල අවශ්‍යතාවලින් සියයට හතළිහක් සපයන තරමට බලවත් යාන්ත‍්‍රණයකි. අනෙක මුහුදු ජලය පිරිසිදු කරන පිළිවෙළක්ද අරඹා ඇත. එයට ගෙන ඇති පියවර අනුව ජල අවශ්‍යතාවයෙන් සියයට තිහක් මුහුදු ජලය පිරිපහදු කිරීමෙන් සපයා ගැනීමට අපේක්ෂා කෙරේ. අනාගතයේදී ජලය සම්බන්ධයෙන් ඇති වෙළෙඳපොළ සිංගප්පූරුව අවබෝධ කරගෙන තිබේ. එය අනාගත ලෝක අවශ්‍යතාව බව හඳුනාගෙන ඇත. 2006 වසරේ සිට විශාල ආයෝජනයක් කර තිබේ. එයින් සෑහෙන පෙරළියක් සිදුවී ඇත. සිංගප්පූරුව ජල සම්පත ප‍්‍රමාණවත්ව නැති රටකි. පානීය ජලයෙන් හරි අඩක් පිටරටවලින් ආනයනය කෙරේ. වැඩිම ජලය ප‍්‍රමාණයක් ගෙන්වන්නේ මැලේසියාවෙන් බව සඳහන්ය. අලුත් සැලසුම් අනුව වසර 2060 දක්වා අවශ්‍ය වන ජලය රට තුළින් සපයා ගැනීමට සිංගප්පූරුව ඉලක්ක කර තිබේ.
එරට ක‍්‍රියා පටිපාටිය අනුව අහස් දිය සම්පූර්ණයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට සූදානම්ය. වර්ෂාව සමඟ පතිත වන දිය ඇළ මාර්ග ඔස්සේ ජලාශ දහ හතකට එකතු කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මකය. එම ජලය උද්‍යාන හා වගා කටයුතු වෙනුවෙන් ප‍්‍රයෝජනයට ගැනෙන බව දැක්වෙයි. පානීය ජලය හා කර්මාන්ත හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ජලය පරිහරණය වෙන් වෙන්ව කරන පිළිවෙළක් සකස් කර ඇත. මුහුදු ජලය හා වැසි ජලය අවශ්‍යතා පරිදි ගොවිපොළ හා කර්මාන්තවලට යෙදවෙන අතර පානීය ජලය වෙනම සැපයෙන පිළිවෙළක් සකසා ඇත.
මහ පොළොවෙන් ලැබෙන පිරිසිදු වතුර පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් වෙන්කරන අතර මුහුදු ජලය පිරිසිදු කර ගැලපෙන පරිදි යෙදවෙයි. අනෙක වැසි දිය ආරක්ෂා කරගෙන ප‍්‍රයෝජනයට ගැනීමය. එයින් නතර වී නැත. සිංගප්පූරුව පාසල් දරුවන්ගේ සිට ජලය පරිහරණය කරන ක‍්‍රමවේද ගැන කියා දෙන්නට පටන් ගෙන තිබේ. ජලය ආරක්ෂා කළයුතු සම්පතක් වන අතර පරෙස්සමෙන් භාවිතා කළ යුතු බව උගන්වයි. 2003 වසරේ දී එරට ඒක පුද්ගල ජල පරිහරණය ලීටර් 165 කි. අවබෝධය ලබාදෙන වැඩපිළිවෙළ සාර්ථක වී ඇත. දැන් එරට ඒක පුද්ගල ජල පරිහරණය ලීටර් 155 දක්වා අඩු වී තිබේ. එයින් ඉතිරිකරගත හැකි ජල ප‍්‍රමාණය එරට ආර්ථිකයට ලිහිලකි. කොවිඩ් වෛරසයේ බලපෑම සමග ජල භාවිතය වැඩි වී ඇත. දිනකට සෑහෙන වතාවක් සබන් යොදා අත සෝදාගැනීමට සිදුවී තිබේ. ඇඳුම් පිරිසිදු කරන ප‍්‍රමාණය සාපේක්ෂව ඉහළය. දිනපතා ස්නානය හා ඇඟපත සෝදා ගැනීමට වැඩි ජල ප‍්‍රමාණයක් අවශ්‍ය වෙයි. ලෝක ප‍්‍රජාව භාවිත කරන ජල ස්කන්ධය සෑහෙන ප‍්‍රතිශතයකින් ඉහළ මටට්මකට පැමිණ ඇති බව නිසැකය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පිරිසිදු ජල අවශ්‍යතාව අලුතින් පැන නැගෙන අභියෝගයකි. වාර්තා දක්වන අන්දමට ඉදිරියේදී එනම් වසර 2040 වනවිට ලෝකයේ රටවල් දහ හතක් උග‍්‍ර ජල හිඟයකට මුහුණ පාන බව දැක්වෙයි. දේශගුණ විපර්යාස හා ජනගහනය වැඩිවීම බරපතළ සාධක සේ පැන නැගෙනු ඇත.
සිංගප්පූරුව පමණක් නොව ලෝකයේ නොයෙක් තැන්වලින් ජලය ගැන අලුතින් කරන ප‍්‍රයත්න තිබේ. මුහුදු ජලය පිරිසිදු කර බෙදාහැරීමේ ව්‍යාපෘති කරගෙන යන නමුත් එය විශාල වියදමක් දරන්නට සිදුවන බව දැක්වෙයි. මුහුදු ජලය පිරිසිදු කර භාවිතයට ගැනීමේ ව්‍යාපෘති වැඩිපුරම කරන්නේ මැද පෙරදිග රටවල්ය. ලෝකයේ එවැනි ව්‍යාපෘති වලින් නිපදවන ජලයෙන් සියයට හැටක් එම කලාපයට අයත් අතර සියයට දොළහක පමණ ප‍්‍රතිශතයක් ඇමරිකාව උපයෝගී කරගන්නා බව විද්වත් වාර්තා පෙන්වා දෙයි. එමිරේට්ස් රාජ්‍යයෙන් අනාවරණය වන තොරතුරකට අනුව ඇන්ටාක්ටිකාවෙන් අයිස් ග්ලැසියර ඇදගෙන එන අදහසක් ඉදිරිපත්ව තිබේ. එමිරේට්ස්හි ඩුබායි නගරයේ ඉංජිනේරුවන් අයිස් ග්ලැසියර ඇදගෙන එන අරමුණ ඇතිව සහයෝගය ප‍්‍රකාශයට පත් කරන නිල වෙබ් අඩවියක්ද අරඹා ඇත. ජලය පිරිපහදු කළ හැකි නමුත් එයට දරන්නට සිදුවන පිරිවැය ඕනෑම රටක ආර්ථිකයට ප‍්‍රශ්නයක් වන හෙයින් ස්වභාවික වැසි සහ භූගත ජලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට පර්ෙය්ෂකයෝ පෙළඹී සිටිති. අනාගතයේදී පිරිසිදු ජලය බහුලව පැවැතිය හැකි කලාප ලෝකයේ සලකුණු කරන විද්‍යාඥයෝ එම ප‍්‍රදේශ ඉතා අවධානයකින් සංරක්ෂණය කළ යුතු බව ප‍්‍රකාශ කරති. එම කලාපයට ශ‍්‍රී ලංකාවද අයත් බව අමතක කළ යුතු නැත. සෑම පුද්ගලයෙකුටම සෑම ආයතනයකටම ජලය කළමනාකරණය ගැන හිතන්නට සිදුවනු ඇත. සිංගප්පූරුව ඉදිරියෙන් සිටින ආකාරය හොඳ උදාහරණයකි.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ