ශ්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී ඇති බව පසුගිය කාලය පුරා එතෙර මෙතෙර බොහෝ දෙනකු පවසනු ඇසිණි. ජාත්‍යන්තරයේ සමහරු චීන ණය උගුල පිළිබඳ විචාර පවා ඉදිරිපත් කරමින් ලංකාවේ අනාගතය ගැන අනාවැකි කීහ. එම නිසාම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන බලවේග ත්‍රිත්වයේ නියෝජිතයන් කිහිප දෙනකු ඇසුරේ අපි මත විමසුමක් සිදු කළෙමු.
දැන් හිරවෙලා ඉන්නේ ජාත්‍යන්තර ණය උගුලක
හර්ෂ ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය
ශ්‍රී ලංකාව ණය උගුලක සිරවෙලා ඉන්නවා. ඇත්තවශයෙන්ම දේශීය සහ විදේශීය ණය සැලකුවාම රුපියල් බිලියන දාහත් දහසක විතර ණය ප්‍රමාණයක් තියෙනවා. මේ ආණ්ඩුව 2019 බලයට පත්වන විට ණය තිබුණේ රුපියල් මිලියන දහතුන් දහස් තිහක් පමණයි. ඒ අනුව මේ ටික කාලයට මේ අය රුපියල් බිලියන එක්දහස් අටසීයකින් විතර ණය වැඩි කරගෙන තිබෙනවා. ගිය ආණ්ඩුව කාලේ රුපියල් බිලියන හත්දහසක් වගේ ණය පමාණයක් ගත්තා කියලා තමා මේ අය චෝදනා කළේ. ඒත් මේ ටික කාලය තුළ රුපියල් ට්‍රිලියන දෙකකින් විතර මේ අය ණය වැඩි කරගෙන.
දැන් ඔවුන් කියනවා අපිට කිසිම අර්බුදයක් නෑ. උගුලක් නෑ. මොකද අපි රුපියල්වලින් අච්චු ගහලා ණය ගෙවනවා කියලා. ඕකට මම කියන්නේ "මැජික් මනී ට්‍රී" කියලා. නමුත් මහ පොළොවේ යථාර්ථය ඊට වඩා වෙනස්. ඔය විදිහට සල්ලි අච්චු ගහනකොට උද්ධමනය වැඩි වෙනවා. බලාගෙන ඉන්නකොට ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මේකට හේතුව තමයි මහ බැංකුව හරහා මුදල් අච්චු ගහලා ණය ගෙවීම.
සමස්තයක් වශයෙන් ආණ්ඩුවට විදේශීය ණය ඩොලර් බිලියන තිස් පහක විතර ප්‍රමාණයක් තියෙනවා. ආණ්ඩුව කිව්වාම භාණ්ඩාගාරය, මහ බැංකුව කියන ආයතනවලට. මේවායෙන් බිලියන දාහතරක් විතර තියෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර. ඉතුරුවා නොයෙකුත් රට රටවලින් ගත්ත ඒවා. රටවල් විදිහට ගත්තොත් චීනයට තියෙනවා සීයට දොළහක විතර ණය ප්‍රමාණයක්. හැබැයි සීයට පනහකට කිට්ටු වෙන්න තියෙන්නේ ජාත්‍යන්තර බැඳුම්කරවලින් ගත්ත ණය. ලංකාව කිව්වම බැංකු ආයතන තවත් ඒවා තියෙනවා. එවාත් එකතු කළාම විශාල ජාත්‍යන්තර ණය ප්‍රමාණයක් තියෙනවා ගෙවන්න. චීන ණය උගුල කියන එක දේශපාලන කතාවක්. ඇත්තවශයෙන්ම අපේ රට හිරවෙලා තියෙන්නේ ජාත්‍යන්තර ණය උගුලක.
චීන ණය තියෙන්නේ සීයට 11යි
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
පොදුජන පෙරමුණ
ලොකුවට චීන ණය උගුලක් ගැන කතා කරනවා. නමුත් සංඛ්‍යාලේඛන බැලුවම අපේ රටේ මුළු ණය ප්‍රමාණයෙන් සීයට එකොළහයි චීන ණය තිබෙන්නේ. ඒත් මේ හම්බන්තොට වරාය වගේ පේන්න තියෙන දේවල් ගැන තමා මේ කතා කරන්නේ. මහ බැංකු වාර්තාව බැලුවම අපිට පේනවා අපේ යුරෝපා ණය චීන ණය ප්‍රමාණයට වඩා වැඩියි. ලෝකේ රටවල් දෙක තුනක උදාහරණ තියෙනවා. ඒවා පදනම් කරගෙන තමා මේ චීන ණය උගුලක් ගැන කතා කරන්නේ.
ජාත්‍යන්තරයෙන් චීන ණය උගුලක් ගැන චෝදනා කරනවා කිව්වාම බලන්න ඕනෑ කවුද මේ ජාත්‍යන්තරය කියලා කියන්නේ. අපි ඒ කාරණාව විග්‍රහ කරගත්තොත් මේ ගැන කතා කරන්න පුළුවන්. මේ ජාත්‍යන්තරය කියන්නේ අමෙරිකාව සහ යුරෝපය. ඒ අයට තියෙනවා අනිසි බයක්. මේ කතා පිටුපස ලෝකයේ සෙසු රටවලට චීනයෙන් ණය ලබාදීම අධෛර්ය කිරීමේ අරමුණක් තියෙන්න පුළුවන්. අපි කියන්නේ නෑ ඒක එහෙමයි කියලා. නමුත් ඒ වගේ අරමුණු තියෙන්න පුළුවන්.
ණය ගෙවන්න බෑ සල්ලි අච්චු ගහලා. ණය ගෙවන්න ඕනෑ ඩොලර්. අපි අච්චු ගහන්නේ රුපියල්. ඔය කියන විදිහට ඩොලර් අච්චු ගහන්න නම් අපිට අවසර දීලා නෑ. මහ බැංකු වෙබ් අඩවියට ගියොත් පහුගිය අවුරුදු පහේම මුදල් අච්චු ගහපු දින වකවානු සහ ප්‍රමාණයන් දැනගන්න පුළුවන්. පසුගිය කාලේ පුරාම මුදල් අච්චු ගැසීම ගැන බලාගන්න පුළුවන්. ඒ මුදල් අච්චු ගහන්නේ රටේ අවශ්‍යතාවයට. ලෝකයේ වැඩිම මුදල් අච්චු ගහන්නේ අමෙරිකාව. එතකොට තර්කයක් මතුවෙනවා අමෙරිකාවේ ආර්ථිකය බිඳවැටිලාද කියලා. අපි කියන්නේ මහ බැංකු වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න අච්චු ගහන මුදල් ප්‍රමාණය, දින වකවානු.
අමෙරිකා - යුරෝප - චීන - ඉන්දියා ණය උගුලක පැටලිලා
මන්ත්‍රී බිමල් රත්නායක
හිටපු පාර්ලිමේන්තු - ජනතා විමුක්ති පෙරමුණ
ලංකාව ඇත්තටම ණය උගුලක හිරවෙලා ඉන්නවා. ලංකා ආණ්ඩුවේ තාම වැඩිපුර ණය දේශීය වශයෙන් දේශීය බැංකුවලට. ලංකා ආණ්ඩුව රුපියල් සීයේ බැඳුම්කර ධනකුවේරයන්ට රුපියල් අනූවට අනු පහට ලබාදෙමින් දේශිය ධනකුවේරයන්ගේ ණය උගුලක ලංකාව ඉන්නවා දැන් අවුරුදු තිහක තිස් පහක ඉඳලා. 1980න් විතර පස්සේ ඉඳලා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන ලණු කාලා තියෙනවා. ඒ නිසා තවමත් මෙරට විදේශ ණයවලින් වැඩි පංගුවක් තියෙන්නේ අමෙරිකාවට සහ යුරෝපයට.
ඒ ණය ගන්න ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. පරිසර ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. ජාතික සම්පත් විකුණලා තියෙනවා. ඒ නිසා විදේශ ණය පංගුව ගත්තාම අපි ලෝක බැංකු ණය උගුලකත් ඉන්නවා. 2005න් පස්සේ ලෝක ආර්ථික අර්බුදය සහ තවත් දරුණු නිසා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දෙන එක අඩු කළා. ඊටපස්සේ ලංකාවට වැඩිපුර ණය දුන්නේ චීනය. දැන් එතකොට චීන ණය උගුලකත් පැටලිලා.
මේ ඔක්කොම එකම ධනකුවේරයන්ගේ ප්‍රාග්ධන තමා. මේ සල්ලි කලවම්. චීනයේ අමෙරිකන් යුරෝපීය ආයතනත් තියෙනවා. ඊටපස්සේ මේවා රාජ්‍ය විදිහට බෙදිලා තියෙනවා. එහෙම බැලුවාම කියන්න වෙන්නේ ලංකාව ඉන්නේ අමෙරිකන් යුරෝපා චීන ඉන්දියන් සහ දේශීය ව්‍යාපාරිකයන්ගේ ණය උගුලක. දැන් ආණ්ඩුව කරන්නෙ කාන්තාරෙක අතරමං වුණු මිනිහෙක් කරන දේවල්. තමන්ගෙම සගයාව මරලා ලේ ටික බොනවා. තමන්ගේම මුත්‍රා බොනවා. ඒ හැම එකෙන්ම වෙන්නේ මැරෙන එක. ඉතින් මරණය ඉක්මන් වෙනවා.
සටහන : චමිඳු නිසල් ද සිල්වා