සිංහල අලුත් අවුරුදු උත්සවය ළඟ ළඟම එයි. පාරිභෝගික ජනතාවගෙන් නගරයේ කඩ සාප්පු පිරී පවතී. වාහන ගමනාගමනයද වැඩිවීම නිසා මහාමාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ. කඩි ගුලක් මෙන් සියල්ලෝම ඇවිස්සී සිටිති.
පසුගිය සිංහල අවුරුදු සමයේදීද කොරෝනා වසංගතය ඇතිවීම නිසා ජනතාවට එළිපහළියට ගොස් සිත් සේ භාණ්ඩ ලබාගැනීමට හැකි වූයේ නැත. මෙම වසරේදීද කොරෝනා වසංගත තත්ත්වය පහව ගොස් නැති නමුදු හෙට අනිද්දා එළඹෙන සිංහල අවුරුද්දට ජනතාව කලඑළි බැස සිටිති. වැඩිපුරම ප්‍රවණතාවක් ඇත්තේ රෙදිපිළි මිලදී ගැනීමට බව කොළඹට ආසන්න නගරවල කළ සංචාරවලදී දැකගත හැකි විය. පිටකොටුව, මහරගම, හෝමාගම, කිරිබත්ගොඩ, කඩවත, ජාඇළ ආදී රෙදිපිළි අලෙවිය සඳහා ප්‍රසිද්ධ නගරවලට මාර්තු මාසය මැද සිටම ජනතාව රොක්වීම පටන්ගෙන තිබුණි. මේ මාසය මුල සතිය වන විට එම තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ.
එසේම වෙළෙඳ ඇමැතිවරයා සහන මිලට දෙන රුපියල් දහසක බඩු මල්ලක් පිළිබඳවද ප්‍රචාරය වී ඇත. මෙම බඩු මල්ලේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කරන සහල්, සීනි, පරිප්පු, තිරිඟු පිටි, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය 12ක් අඩංගු වන අතර සාමාන්‍ය වෙළෙඳපොළ මිල හා සැසඳීමෙන් මෙම බඩු මල්ලකින් රුපියල් 410ක ලාභයක් පාරිභෝගිකයන්ට ලැබෙන බව වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
මේ අතර රජයේ පාලන මිල යටතේ අප්‍රේල් 1දා සිට සහල් අලෙවි කිරීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි. නාඩු කිලෝව රුපියල් 97 බැගින් සහ සුදු හා රතු කැකුළු කිලෝව රුපියල් 93 බැගින් සීමාවකින් තොරව අලෙවි කරන අතර සමූපකාර වෙළෙඳසල් 2500ක්, ලක් සතොස වෙළෙඳසල් 454ක් ඇතුළු වෙළෙඳසල් 4000ක් මගින් මෙලෙස සහල් නිකුත් කෙරේ. සහන මිලට සහල් අලෙවි කිරීම සඳහා මාස තුනකට අවශ්‍ය තොග එම වෙළෙඳසල්වලට නිකුත් කර ඇති බව කෘෂිකර්ම ඇමැති පවසා සිටී. ඉදිරියේදී ගම්බද වෙළෙඳසල් මගින්ද මෙම මිලට සහල් නිකුත් කරන බව පවසන ඇමැතිවරයා මේ මගින් රටේ පවතින බව කියන සහල් මාෆියාව බිඳහෙලා ඇති බවද කියා ඇත.
කෙසේ වුවද වෙළෙඳ ඇමැති සහ කෘෂිකර්ම ඇමැති විසින් දියත් කරනු ලැබ ඇති අඩු මිලට ආහාර ලබාදීමේ ව්‍යාපෘතිය කෙතෙක් දුරට සාර්ථකද යන්න පැවසීමට තවම කල්වේලා වැඩි අතර ඉදිරියේදී රටේ භාණ්ඩ මිල අඩු කිරීමට මෙමගින් හැකිවේද යන්න පිළිබඳ වෙළෙඳපොළ විශ්ලේෂකයෝ දැඩි වුවමනාවෙන් බලා සිටිති. තවම වෙළෙඳපොළේ සහල් අලෙවි වන්නේ සහන මිලට වඩා රුපියල් 7-8කට පමණ කිලෝව වැඩි මිලටය. එනම් නාඩු සහල් රුපියල් 105 සහ කැකුළු සහල් රුපියල් 100 ආදී වශයෙනි. සම්බා සහල්වල පාලන මිල රුපියල් 98 වුවද විවෘත වෙළෙඳපොළේ සම්බා මිල කිලෝව රුපියල් 150 ඉක්මවා සිටී. සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද සහන මිලට ලබාගැනීමට වෙළෙඳපොළේ නැත. පරිප්පු රුපියල් 190 හා සීනි රුපියල් 100 වශයෙන් අලෙවි කෙරේ. මේවායේ සහන මිල වන්නේ පරිප්පු රුපියල් 165 සහ සීනි කිලෝව රුපියල් 85කි. සෙසු ආහාර ද්‍රව්‍යවලටද උදා වී ඇත්තේ මේ ඉරණමම වේ. උත්සව සමයේදී වෙනදාට වඩා භාණ්ඩ මිල ඉහළ නැගීමේ ප්‍රවණතාවක් කවදත් පැවතිණි.
උත්සව සමයේදී භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රධාන හේතු දෙක තුනක් බලපායි. එකක් වන්නේ වෙළෙඳපොළේ මිල ඉහළ යාමය. මෙම මිල ඉහළ යාම වෙළෙඳුන් වැඩි ලාභ අපේක්ෂාවෙන් සිදු කරන වංචාවක් වන අතර ඇතැම් විට නිෂ්පාදකයන් මිල ඉහළ නැංවීමද හේතු වනවා ඇත. එසේම අනවශ්‍ය ලෙස වට්ටම් දීම හා මිල අඩු කිරීම් පිළිබඳ ව්‍යාජ ලෙස පුවත් ප්‍රකාශ කිරීම නිසා එයට රැවටුණු පාරිභෝගිකයෝ වැඩිපුර ඉල්ලීම නිසාද මිල වැඩිවේ. ඇත්තවශයෙන්ම සොයා බැලූ විට අවබෝධ වන්නේ පාරිභෝගිකයන් වට්ටම් අඩු කිරීමෙන් පසුවද භාණ්ඩවලට සාමාන්‍ය වෙළෙඳපොළේ මිලට වඩා වැඩිපුර ගෙවා තිබීමය. මෙය වංචාකාරී වෙළෙඳුන් විසින් කරනු ලබන පාරිභෝගිකයා රුවටීමකි. මෙලෙස මිල අඩුකර සේල් ලෙස විකිණීම ඇඳුම් පැළඳුම්වල සිට විශාල ලෙස මිල වැඩි ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහාම විහිදී යයි. වාරික වශයෙන් ගෙවීමට සහන සලසා ඇතැයි කියන භාණ්ඩවලට ගෙවූ විට භාණ්ඩයේ නියම මිලට වඩා එකට එකක් ගෙවා ඇති ඇති බව පෙනෙන්නට තිබේ. මෙම භාණ්ඩ මිලදී ගන්නා විට කිසිදු පාරිභෝගිකයෙක් තමන්ට අවසානයේදී ගෙවන්නට සිදුවන මුළු මිල ගැන ගණනය කිරීමක් සිදු නොකරයි. ඒ තරමටම ඔවුන් වෙළෙඳ ප්‍රචාරණයටද රුවටී ඇත. එසේම පරණ භාණ්ඩයට අලුත් එකක් හුවමාරු කිරීම යන සංකල්පය අනුව ඇතැම් අවස්ථාවලදී තමන් ළඟ තිබූ හොඳ හැටි ක්‍රියාකාරී වන භාණ්ඩ පවා අලුත් ඒවාට මාරු කිරීමට යුහුසුළු වන බවක් දක්නට ඇත. මෙවැනි හුවමාරුවලදී පැරුණි භාණ්ඩය වෙනුවෙන් අඩු කරනුයේ ඉතාම සුළු මුදලකි. එවැනි අවස්ථාවල අලුත් භාණ්ඩය වුවද තමන්ට අවශ්‍ය වර්ගය ලබාගත නොහැකි අතර වෙළෙඳුන් නියම කර ඇති දෙය ලබාගත යුතු වෙයි.
ඊළඟට භාණ්ඩ මිල ඉහළ යාමට තවත් හේතුවක් වනුයේ පාරිභෝගිකයා අනවශ්‍ය තරම් භාණ්ඩ ඉල්ලුම් කිරීමය. වුවමනාවක් නැති වුවද ඒවා ඉල්ලුම් කරයි. ඕනෑවට වඩා ලබාගැනීමට පෙළඹේ. පාරිභෝගිකයා එහිදී උපකල්පනය කරනුයේ ඉදිරියේදී මෙම භාණ්ඩ වෙළෙඳපොළේ නැතිවන බවකි. ඇතැම් වෙලාවට සමහර වෙළෙන්ඳන්ද &ඉස්සරහට මේවා එන්නේ නැහැ* යනුවෙන් පාරිභෝගිකයාට පවසා විකුණා ගැනීමට උත්සාහ කරයි. එසේ නොවේ නම් ඊළඟ තොගයේ මිල මෙයට වඩා වැඩි වේ යැයි කියා ඔහුව මුලා කරනවා ඇත. මේවාට රුවටෙන අහිංසක පාරිභෝගිකයා අනවශ්‍ය ප්‍රමාණවලින් භාණ්ඩ ලබාගැනීම නිසා වෙළෙඳපොළේ භාණ්ඩ හිඟ වූ විට මිල ඉහළ යාම සිදුවේ. එසේ නොවේ නම් සමහර කූට වෙළෙන්ඳෝ කෘත්‍රිම භාණ්ඩ හිඟයක් ඇතිකර මිල ඉහළ දමනවා ඇත. හිඟවන භාණ්ඩය වැඩිපුර ඉල්ලීමට පාරිභෝගිකයාගේ මානසික තත්ත්වය සකස් වන නිසා ඔවුහු අනවශ්‍ය භාණ්ඩ පවා වැඩියෙන් මිලදී ගැනීමට පෙළඹෙති.
පාරිභෝගිකයන් භාණ්ඩ වැඩියෙන් ඉල්ලීමට තවත් හේතුවක් වන්නේ ඔවුන්ගේ අතේ වැඩිපුර මුදල් ගැවසීමයි. උත්සව සමවලදී විවිධ මාර්ගවලින් ජනතාවට මුදල් ලැබේ. වැටුප නියමිත දිනයට පෙර ගෙවීම, බෝනස් හා පාරිතෝෂික ලැබීම, හිඟ වැටුප් සහ අතිකාල දීමනා ආදිය ලබාගැනීම, උත්සව අත්තිකාරම් හා වැටුප් ණය හා අත්තිකාරම් ලබාගැනීමට හැකිවීම ආදී මේ විවිධ හේතු නිසා ජනතාව අතට මුදල් යහමින් ලැබේ. එහිදී ඔවුහු අනාගතය ගැන නොසලකා අතට ලැබුණු සියලුම මුදල් දවසකින් දෙකකින් අවසන් කර ගැනීමට පෙළඹෙති. අවශ්‍ය දේ මොනවාද අනවශ්‍ය කුමක්ද, සීමා කළ යුත්තේ කුමන ඒවාද යන අවබෝධයකින් තොරව මුණගැසෙන සියලු දෙයම බදාගැනීමට පෙළඹෙති. උදාහරණයක් ලෙස කිවහොත් සාරියක් ගැනීමට සාප්පුවට යන කාන්තාව අතරමගදී හමුවන පාවහන් යුවලක් සඳහා මුදල් වැය කරන අතර ඇයට තමන්ට අවශ්‍ය සාරිය මිලදී ගැනීමට නොලැබේ.
අතට වැඩිපුර මුදල් ලැබීම නිසා ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙයි. වෙනදා ගන්නවාට වඩා වැඩිපුර භාණ්ඩ මිලට ගත හැකිවන අතර මිල වැඩි විවිධ භාණ්ඩද අත්හදා බැලීමේ ස්වරෑපයෙන් මිලට ගැනීමට පෙළඹෙති. තමාට වැරදුණු බව කල්පනා වන්නේ මිලට ගෙන අමාරුවේ වැටුණු පසුය. පිරිමසා නොගෙන වැය කිරීම නිසා ඉදිරි අවශ්‍යතාවලට මුදල් ප්‍රමාණවත් නොවනවා ඇත. වෙනදා මාසයේ අන්තිමට ලැබෙන වැටුප මාසයේ 10 වැනිදා ලැබුණු විට 15 වැනිදා වන විට ඒ සියල්ල වියදම් කරන්නේ නම් ඊළඟ වැටුප ලැබෙන තුරු තවත් මාස 1 ½ක් වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රබල ගැටලුවක් මතුවේ. ජනතාවට සිදුවන්නේ ඉදිරි කාලයේ පවුලේ අත්‍යවශ්‍ය දේ සඳහා ණයට පොලියට මුදල් ගැනීමටය.
හෙට ගැන නොසලකා ආවේගවලට යට වී කටයුතු කිරීම නිසා වැඩි කාලයක් දුක් විඳීමට සිදුවෙනවා ඇත. ඒ නිසා මුදල් කළමනාකරණය ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ මේ උත්සව සමයේදීය. තමන් මිලයට ගන්නේ මොනවාද? කොතරම් මිලයට ගන්නවාද? කොතරම් ඒ සඳහා වැය කරනවාද? ආදී වශයෙන් කල්වේලා ඇතිව ඇස්තමේන්තු කළ යුතුය. ඒ සඳහා කළ යුතු වියදම තමාට දරාගත හැකිද යන්න පිළිබඳ අවබෝධයක් කල්තබා ඇතිකර ගැනීම අවශ්‍යය. නිවෙසක අඹු සැමියන් එකට සාකච්ඡා කරගත යුතු දේ පිළිබඳ තීරණය කළ යුතුය. ඇතැම් ගෙවල්වල බිරිය මිලයට ගන්නා දේ සැමියා නොදනී. සැමියා මිලයට ගන්නා දේ බිරිය නොදනී. ඔවුන් එකිනෙකාට රහසේ මිලදී ගන්නේ දැනගතහොත් අනෙකා එයට හරස් කපාවිය යන බිය නිසාය. මෙලෙස දෙදෙනා දෙදෙනාට රහසේ කටයුතු කිරීම නිසා එකම භාණ්ඩය දෙදෙනාම මිලයට ගත් අවස්ථා ලියුම්කරු අත්දැකීමෙන් අවබෝධ කරගෙන ඇත. අන්තිමට වැඩි භාණ්ඩය ආපසු බාරදිය නොහැකිව ඔවුහු අමාරුවේ වැටෙති. එයට හේතුව වෙළෙඳුන් වරක් අලෙවි කළ දේවල් ආපසු බාර නොගන්නා නිසාය.
උත්සව සමයේදී කවදත් සිදුවන දෙයක් වන්නේ පාරිභෝගිකයා වංචාකරුවන්ට හසුවීමය. වෙළෙඳපොළ හැසිරීම් රටාව ගැන නොදන්නා ඔවුහු බොහෝ විට අමාරුවේ වැටෙති. ප්‍රමිතියෙන් අඩු භාණ්ඩවලට හසුවීම, වැඩි මිලක් ගෙවීමට සිදුවීම හා වෙළෙඳුන්ගේ වර්ණනාවලට රුවටී අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම නිසාද පාරිභෝගිකයාට ගැටලු ඇතිවේ. මේ නිසා සෑම උත්සව සමයකදීම පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළවල් රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කෙරේ.
මෙවරද පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවලට අතදීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇත. භාණ්ඩ මිලදී ගැනීමේදී යම් ගැටලුවක් ඇතිවුවහොත් 1977 අංකයට දුරකතන මගින් පැය 24 පුරාම දැන්විය හැකි බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. රාත්‍රියට මෙම අංකයට ලැබෙන පැමිණිලි පටිගත වන අතර පසුදා ඒ පිළිබඳ යුහුසුළුව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. රට පුරා විශේෂ වැටලීම් සිදු කරන අතර, ඒවා මේ මාසය පුරාවටම ක්‍රියාත්මක වෙයි.
යසවර්ධන රුද්රිගූ