2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

අඩු මිල - ඉක්මන් ඔක්ස්ෆර්ඩ් පරීක්ෂණයට ලංකාවත් එක්වෙයි!

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

ඇඟිලි තුඩගින් ලබාගන්නා රුධිර බිඳුවකින් කොවිඩ් ආසාදිතව ඇති - නැති බව හඳුනාගත හැකි සරල පහසු ලාබදායී ප්‍රතිදේහ පරීක්ෂාවක් ඔක්ස්ෆර්ඩ් සරසවිය නිර්මාණය කර තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් හඳුන්වා දී ඇති නවතම කොවිඩ් පරීක්ෂණයේ සාර්ථක බව අත්හදා බැලීමට ලංකාව ප්‍රමුඛ රටවල් 21ක් එක්ව සිටී. 

දැනට මූලික සායනික පරීක්ෂාවන්ගෙන් සියයට 90ක පමණ සාර්ථකත්වයක් පෙන්වා ඇති මේ පරීක්ෂාව කෙනෙකුට සිය නිවසේ කාර්යාලයේ හෝ ක්ෂේත්‍රයේ ඕනෑම තැනකදී ඉතා පහසුවෙන් සිදුකර ඇස්පනාපිට ප්‍රතිඵල ලබාගත හැකි ඉතා සරල පරීක්ෂාවකි. ඔක්ස්ෆර්ඩ් සරසවිය හඳුන්වා දී ඇති රසායනික ප්‍රතික්‍රියාකාරකයක් ඇතුළත් බොත්තමක් බඳු උපකරණයකට කෙනෙකුගේ ඇඟිලි තුඩගින් ලබාගන්නා රුධිර බිඳුවක් එකතුකර පැයක් ඇතුළත කොවිඩ් ආසාදිතයන් නිශ්චිතව සහ නිවැරදිව පියවි ඇසින්  හඳුනාගත හැකි බව ලංකාවේ මේ පිළිබඳ මූලික සායනික පරීක්ෂාවන්  සඳහා මාස 06ක පමණ කාලයක් පුරා දායක වන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ “දේශය”ට කීවාය.

කොවිඩ් වෛරස ස්පයික් ප්‍රෝටීනය නිසා ඇතිවන ප්‍රතිදේහ ඇසුරුකර ගනිමින් ආසාදිතයන් හඳුනාගන්නා මෙම ක්‍රමවේදය තුළදී රුධිර බිඳුව තුළ ඇති රතු රුධිරානු කැටි ගැසී ගොනුවී එහි හැඩය වෙනස් කරගන්නා ආකාරය අනුව කොවිඩ් ආසාදිතව  ඇති - නැති බව සරලව හඳුනාගත හැකි බව ඇය පෙන්වා දෙයි.

ලේ බිඳුවකින් කොවිඩ් සොයන මේ පරීක්ෂාව වැඩි දියුණු කිරීමට තායිවානය ඉන්දියාව සහ ප්‍රංශ විද්වතුන්ද ඔක්ස්ෆර්ඩ් සහ එංගලන්ත ජාතික සෞඛ්‍ය ආයතනයේ පර්ෙය්ෂකයන්ද එක්ව ඇත. මේ නව පරීක්ෂණය මගින් වෛරස ස්පයික් ප්‍රෝටීනය නිසා සිරැරේ ඇතිවන ප්‍රතිදේහ අරමුණු කරගන්නා නිසා එන්නත් ලබාගත් අය තුළ ඒ එන්නත් ක්‍රියාකාරීත්වය මැනවින් සිදුවෙනවාද යන වග පැහැදිලිව සනාථ කර ගැනීමටද මෙයින් හැකියාව ලැබේ. මේ පරීක්ෂණය මහා පරිමාණව යොදාගැනීම මගින් සමාජයේ කොවිඩ් පැතිරීම ගැන මෙන්ම සමුහ ප්‍රතිශක්තියේ සමාජ ව්‍යාප්ත මට්ටමද හඳුනාගැනීමට  හැකියාව ලැබෙන බව මෙහි නිර්මාර්තෘවරැ කියති.

කොවිඩ් හඳුනාගැනීම සඳහා වන ඉහළ මිලක් වැයකළ යුතු පී.සී.ආර්. වැනි පරීක්ෂාවන් රෝගය පැතිර යන අධික වේගයෙන් සිදුකර ආසාදිතයන් හඳුනාගැනීම අඩු ආදායම් ලාභී රටවලට දැරිය නොහැකිවූ ආර්ථික අභියෝගයකි. ඒ හේතුවෙන් මෙබඳු රටවල සිදුවන සීමිත පරීක්ෂණ හේතුවෙන් මගහැරී යන ආසාදිතයන් ප්‍රමාණය අධිකය. එය රෝගය අබිරහස් ලෙස පැතිර යාමට හේතුවකි. තමන්ට අවශ්‍ය වූයේ දිළිඳු රටවල් මුහුණ දෙන මේ අභියෝගයට සාර්ථක, පහසු, ඉක්මන් සහ දැරිය හැකි අඩු මිලක් සහිත පිළියමක් සොයාදීම බව මේ ක්‍රමවේදය හඳුන්වා දුන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව ප්‍රතිශක්තිකරණ විද්‍යා අංශයේ මහාචාර්ය ඇලේයින් ටවුන්සෙන්ඩ් කියයි. අලුතෙන් වාර්තාවන කොවිඩ් මාදිලි හඳුනාගැනීමට හැකි ලෙස මේ පරීක්ෂණය වැඩි දියුණුකර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ නවතම අඩුමිල සහ පහසු පරීක්ෂාව සඳහා  භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් රසායනික ප්‍රතිකාරකය සහිත උපකරණ නොමිලේම එය ලබාගැනීමට අවශ්‍ය ලෝකයේ ඕනෑම පර්ෙය්ෂකයකු හෝ කණ්ඩායමකට ලබාදීමට තමන් සූදානම් බව මේ පර්යේෂණය සැලසුම් කළ ඔක්ස්ෆර්ඩ්හී මහාචාර්ය ඇලේන් ටවුන්සෙඩ් කියා තිබේ. ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය, කොලොම්බියාව සහ නොර්වේ ඇතුළු රටවල් 21ක මේ නව ක්‍රමවේදය මේ වනවිට සායනික පරීක්ෂාවට ලක්කෙරෙමින් පවතී.
ලොව පුරා නවතම කොවිඩ්  මාදිලි මතුවීමත් සමග ඉතා ඉක්මන් සහ පහසුවෙන් සිදුකළ හැකි පරීක්ෂාවක අවශ්‍යතාව දැඩිව මතුව තිබේ. අනෙක් අතට දැනට ඇති පී.සී.ආර්. පරීක්ෂා සඳහා රෝහලකට හෝ සෞඛ්‍ය ආයතනයකටම යා යුතුව ඇත. නමුත් බාහිර පරිසරයේ එදිනෙදා සමාජ ක්‍රියාකාරකම් නොකඩවා පවත්වාගන යන අතරම කොවිඩ් ආසාදිතයන් ඉක්මණින් හඳුනාගන වෙන්කර ගැනීම සඳහා ක්ෂණික පරීක්ෂාවක් ඉතා අත්‍යවශ්‍යව තිබේ. ඔක්ස්ෆර්ඩ් නව පරීක්ෂාව මෙබඳු පරීක්ෂාවකි. අධි තාක්ෂණික මෙවලම් සහිත අධි මිල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුවිය නොහැකි රටවල් සඳහා තමන් සතුව ඇති ආධාර මුදල් උපයෝගී කර ගනිමින් මෙම පරීක්ෂණ මිලියන 10 පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව ප්‍රතිශක්තිකරණ විද්‍යා අංශයේ මහාචාර්ය ඇලේයින් ටවුන්සෙන්ඩ් කියයි.

 සුගත් කුලතුංග ආරච්චි

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03