2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

පැළවෙන පෑනක් හැදූ මහනුවර සචිනි

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

පාවිච්චියෙන් පසු ඉවතලන පෑන්වලින් සිදුවන බරපතළ පරිසර හානිය නැවැත්වීම සඳහා දිරාපත් වන අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් පරිසරයට හිතකාමී විස්මිත පෑනක් නිපදවූ තරුණ සිසුවියක් පිළිබඳව මහනුවරින් වාර්තා විය.
මහනුවර බාලිකා විදුහලකින් සිප් සතර හදාරා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු විද්‍යා උපාධිය හදාරන විශ්මිත නව නිපැයුමක් මෙසේ රටට හඳුන්වා දුන් ඇය සචිනි ක්‍රිස්ටිනා සුගීර්දන් නැමැති තරුණියයි.

භාවිතයට ගෙන ඉවත දමන ප්ලාස්ටික් හිස් කාබන් පෑන් දිරාපත් නොවී පරිසරයට සිදුවන මහා හානිදායක තත්ත්වයට පිළියම් වශයෙන් සචිනි විසින් නිපදවූ එම පෑන් පස තුළ රෝපණය කිරීම තුළින් එළවළු හා පළතුරු පැළ වගා කිරීමට හැකියාව තිබේ.
මහනුවර වටපුළුව මෛත්‍රී මාවතේ පදිංචි ක්‍රිස්ටිනා මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ ජෛව පද්ධති තාක්ෂණ විෂය හදාරමින් උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නීය.

විවිධ බීජ වර්ග හිස් කාබන් පෑන තුළට ඇතුළු කළ හැකි පරිදි නිපදවා ඇති මෙම නව නිෂ්පාදනය පරිසර හානිය වළක්වාලීමට බෙහෙවින් උපකාර වෙයි. දෛනිකව ඉවත දමන විවිධ ප්ලාස්ටික් වර්ග වසර ගණනාවක් නොදිරා අපේ පොළොවේ පස තුළ රුඳී තිබෙන බැවින් එම තත්ත්වය අවම කර ගැනීම සඳහා ක්‍රිස්ටිනා සිසුවිය නිපදවූ නව නිර්මාණය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගැයීමටද ලක්වී තිබේ.
දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිතා කර ක්‍රිස්ටිනා මෙනවිය නිපදවූ විශේෂිත පරිසර හිතකාමී කාබන් පෑන භාවිතයෙන් පසුව ඉවත නොදමා විවිධ පළතුරැ හා එළවළු වර්ග වගා කිරීම සඳහා යොදාගත හැකිය. දිරාපත්වන අන්දමට තනා ඇති සචිනි නිපදවූ කාබන් පෑන ඉදිරියේදී මෙරට පරිසරය සුරක්ෂිත කිරීම සඳහා මහත් පිටිවහලක්ද වනු ඇත.

නව නිෂ්පාදනය රටට හඳුන්වා දුන් සචිනි ක්‍රිස්ටිනා සුගීර්දන් සිසුවිය තම නිර්මාණය පිළිබඳව මෙසේ පැවසුවාය.
විවිධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, විශේෂයෙන් කාබන් පෑන් අති විශාල වශයෙන් පරිසරයට මුදාහැරීම පිළිබඳව පරිසර අමාත්‍යංශය මගින් පළකළ ප්‍රවෘත්ති කිහිපයක් මම දුටුවා. ඒවා ගැන විශේෂ අවධානයක් යොමුකරල මේ පරිසර හානියට අපෙන් ඉටුවිය යුතු යුතුකම කුමක්ද කියා සිතමින් තමයි මෙවැනි නිර්මාණයක් කිරීමට මමත් මගේ පියාත් තීරණය කළේ....

මමත් මගේ මව්පියන් (ඩී. සුගීර්දන්, ඩී.එම්. ස්ටෙලා) දෙන්නත් එකතු වෙලා මහනුවර ධර්මරාජ විදුහලේ උප විදුහල්පති පුබුදු බණ්ඩාර, මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය ඉඳුනිල් පෙරේරා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සනත් අමරතුංග යන මහත්වරැත් ලබාදුන් සහාය මතයි මෙවැනි පරිසර හිතකාමී මෙවලමක් නිෂ්පාදනය (Eco Friendly Pen) කිරීමට හැකිවූයේ.
මගේ අනාගත අපේක්ෂාව පරිගණක ක්ෂේත්‍රය තුළින් මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමයි. ඒ තුළින් මෙම නිෂ්පාදනය වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරනවා. මගේ උපන් රට ශ්‍රී ලංකාවයි. රටට ගෞරවයක් ගෙනදීම මගේ අපේක්ෂාවයි.
මම මගේ පියා හා එක්ව නිපදවූ මෙම නව නිර්මාණය සඳහා ලබාගත් පේටන්ට් බලපත්‍රය කිසි කෙනෙකුට මිල කරන්න බැහැ. එය අපි කාටවත් දෙන්නෙත් නැහැ. ඉදිරියේදී මේ රටේ තරැණ පරපුරට ප්‍රයෝජනවත් වන අන්දමට මගේ නිර්මාණය වැඩිදියුණු කර මම උපන් රටට කීර්තියක් අත්කර දීම මගේ අරමුණයි.

තම රට වෙනුවෙන් නව නිපැයුම සඳහා ලබාගත් පේටන්ට් බලපත්‍රයේ අයිතිය තම පියා සහ තමා සතුව තිබෙන බවත් එය කිසිදු රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බවත් සචිනි සිසුවිය පැවසුවාය.

තම නව නිපැයුම සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පර්යේෂණ නිලධාරියකු වූ එරංග ලක්මාල් මහතා ලබාදුන් සහායට ස්තූතිය පුදකළ සචිනී, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කීර්තිනාමය උදෙසා නව නිර්මාණ තවත් බිහිකිරීමටද අපේක්ෂාවෙන් සිටින්නීය. තමාගේ නිර්මාණය රටට හඳුන්වාදීමට කණ්ඩායම් හැඟීමෙන් සහාය දුන් සියලුදෙනාටම සචිනි සිය හෘදයාංගම ප්‍රණාමය පුදකළාය.

ජේ.ඒ.එල්. ජයසිංහ