සුබ මොහොතට වැඩඅරඹන, ආහාර අනුභව කරන, ගනුදෙනු කරන, නැදෑ හිතමිතුරුකම් අලුත්කරමින් ආගමික වතාවත් සිදුකරන සිංහල අලුත් අවුරුදු දිනය උදාවනුයේ මේ මාසයේය. එකම මොහොතකට රටම වැඩකරන භාග්‍යවත් මාසය බක් මාසයයි. මේ අලුත් අවුරුදු චාරිත්‍ර නිසිලෙස ශ්‍රී දළදා මාලිගාව තුළ දන්ත ධාතූන් වහන්සේ කේන්ද්‍ර කොටගෙන චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් නොකඩවා පවත්වාගෙනවිත් තිබේ. මේ ආකාරයෙන් සිංහල අලුත් අවුරුදු දිනය මුල්කොට පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාව මුල්කොට සිදුකරන වාර්ෂික සතර මංගල්‍යයන්ගෙන් එක් සම්මත මංගල්‍යයකි.
දුරුතු පොහොයට සිදුකරන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ හෝ නිකිණි මාසයට පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය හා ඉල් පුන් පොහෝ දිනට යෙදෙන කාර්තික මංගල්‍යය මහනුවර සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ සම්මත ප්‍රධාන සතර මංගල්‍යයන්ය. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාළිගාවේ අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට නියමිතය. ඒ පවතින කොවිඩ් වසංගතය හමුවේ නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුකූලවය.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද එළැඹුණ 13 හා 14 දිනයන්හිදී ශ්‍රී දළදා මාලිගාවේදී සැමරීමට නියමිතය. ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කරන ලද අවුරුදු නැකත් පත්‍රය අනුව, දළදා මාලිගාවේ හා සතර දේවාලයන්හි මල්වතු අස්ගිරි උභය මහා විහාරය ඇතුළු ඒ හා සම්බන්ධ විහාර හා දේවාලයන්හිද අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකෙරේ.
අවුරුදු දිනයට පෙර විදානේවරු දළදා මාලිගාව පිරිසිදු කරන අතර දළදා මාලිගාවේ කුඹල්කරුවන් විසින් කිරි ඉතිරවීම හා කිරි ආහාර පිසීමට අවශ්‍ය නැවුම් වළං ගෙනැවිත් දෙයි. අලුත් අවුරුදු මංගල්‍යයේ මුරුතැන් පිළියෙල කිරීම, පූජා කිරීම හා නානුමුර මංගල්‍යය හා හිසතෙල් ගෑම ආදිය ප්‍රධානය. නානුමුර බෙදාදීම පවතින ඉපැරුණි චාරිත්‍රයකි. නැකැත් මොහොට්ටාල විසින් සකස් කරන ලද නැකැත් පත්‍රයේ දක්වා ඇති ඖෂධවලින් සකස් කරගන්නා ලද නානු ද, තෙල් ද ශ්‍රී දළදා මාලිගාවේ කාරිය කෝරාළ ඇතුළු නිලධාරී පිරිස විසින් සෑම වර්ෂයකම අප්‍රේල් 12 හෝ පරණ අවුරුද්දට පෙර දින සවස ශ්‍රී නාථ දේවාලයට ගෙන යයි. ඒ සඳහා වට්ටෝරු රාළ, ගෙපරාළ හා දළදා මාලිගාවේ ලේකම්තුමා යන අය නාථ දේවාලයට පැමිණෙයි. නාථ දේවාලයේ මුන්තෝලය නමින් හැඳින්වෙන ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී නානු හා තෙල් බෙදාදීම සිදුකෙරේ.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොතේ, දළදා මාලිගාවේ හා සෙසු විහාර දේවාලයන්හිදී නව වර්ෂයට සුබ ප්‍රාර්ථනා කරමින් අලුතින් ලිප් බැඳ කිරි උතුරවයි. මාලිගාවේ හේවිසි මණ්ඩපයේ ප්‍රධාන දොරටුව අබියස, පල්ලේමාලේ පියගැටපෙළ අසළද තාවකාලිකව ළිප් දෙකක් බැඳ කිරි ඉතිරවීම කරයි. ඒ සමග හේවිසි වාදනයද සිදුකරයි.
ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල ඇතුළු විහාරස්ථාන කිහිපයකට පෙරහරින් මේ නානු හා තෙල් ගෙනයාම සම්ප්‍රදායයි. මාලිගාවේ හා සතර මහා දේවාලයන්හි සියලුම රාජකාරීකරුවන් සියලුදෙනා අලුත් අවුරුද්දට පෙර දියවඩන නිලමේවරයා හා බස්නායක නිලමේවරුන් හමු වී එම නිලමේවරුන්ට බුලත්හුරුලු දී බැහැදැකීමද සම්ප්‍රදායකි. මෙය අලුත් අවුරුදු මංගල්‍යයේ තවත් වැදගත් සම්ප්‍රදායකි. එය පෙනුම් ගමන් චාරිත්‍රය වශයෙන් හඳුන්වයි. මෙහිදී පෙර වැරදි කමා කර ගැනීමත් නව වසරට ආශිර්වාදය ලබාගැනීමත් සිදුවේ. අනතුරුව දියවඩන නිලමේවරයා හා රාජකාරීකරුවෝ සියල්ල එක්ව මල්වතු අස්ගිරි මහා විහාරයට ගොස් මහානායක මාහිමිවරු, අනුනායක හිමිවරු හා තේවාව සිදුකරන ස්වාමීන්වහන්සේලා බැහැදැක, අභිනව වර්ෂය සඳහා ආශීර්වාද ලබා ගැනීමයි.
කෙසේ වෙතත් මෙවර කාර්තික පෙරහර දැඩි සෞඛ්‍ය උපදෙස් මත ජන සහභාගීත්වයකින් තොරව වුවද සියලු චරිත්‍ර විධි සහිතව සිදුකෙරිණ. අතීත රජවරු විසින් දිනපතා සතිපතා මාසිකව සහ වාර්ෂිකව කළා වූ පුදපූජා චාරිත්‍ර විධි අදටත් එලෙසින්ම සිදුකරයි. ඒ අතර අලුත් සහල් මංගල්‍යය අලුත් අවුරුදු මංගල්‍යය ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන ප්‍රධාන හතරට අමතරව වෙසක් පෙරහර, පොසොන් පෙරහර සහ මැයි, ජූනි මාසවල්දී වාහල නාග උපසම්පදා පෙරහරද වාර්ෂිකව පවත්වති.
රජ දවස උඩරට රජු අවුරුදු පුද සිරිත් කළ ආකාරය දෙවැනි රාජසිංහ රජු සමයේ ශ්‍රී ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස් විසින් සටහන් කර තිබේ. අලුත් අවුරුදු දිනයේදී රජතුමා විසින් චිරාගතව පවත්වාගෙන එනු ලබන සිරිත් විරිත් විශේෂයක් වෙයි. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු දිනය දා උදෑසනින්ම අවදිවන රජතුමා නැකැත්කරුවාගේ උපදෙස් පරිදි ඉස සෝදා ස්නානය කරයි යනුවෙන් එහි සඳහන්ය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව විවිධ විශ්වාසයන් බැඳී පවතී. බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අලුත් අවුරුදු වත් පිළිවෙත් කිරීමට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව හුරුපුරුදු වී සිටිති. එබැවින් අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ල බෞද්ධාගමික මුහුණුවරක් යටතේ පවතී.
සෞභාග්‍යමත් හා නීරෝගිමත් නව වසරක් පතා ආශීර්වාද ලබාගැනීම සඳහා දළදා වහන්සේගේ වැඳපුදා ගැනීමට අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය තුළ මෙන් ම අලුත් අවුරුදු දිනය තුළත් මහ ජනතාවගෙන් ශ්‍රී දළදා මාලිගාව පිරී ඉතිරී යයි. එහෙත් මෙවර පවතින කොවිඩ් වසංගතය නිසා නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුකූලව සම්ප්‍රදාය ගරුකොට චාරිත්‍ර සිදුකිරීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා උපදෙස් ලබාදී ඇතැයි දළදා මාලිගාවේ සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල මහතා පැවසීය.
දළඳා මාලිගාවේ අලුත් අවුරුදු මංගල්‍යය අවසාන වන්නේ හිසතෙල් ගෑමේ මංගල්‍යය සමඟයි. ඉපැරණි සම්ප්‍රදායානුකූලව හිසතෙල් ගෑමේ මංගල්‍යය ශ්‍රී නාථ දේවාල භූමියේදී මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි සිදුකරයි. මේ සියල්ල සාම්ප්‍රදායිකව පැවැත්වීම අස්ගිරිය හා මල්වතු උභයමහා විහාරීය මහනායක හිමිවරුන්ගේ සහ තේවාව බාර නායක ස්වාමීන්වහන්සේගේ මෙන්ම දියවඩන නිලමේවරයාගේ සුවිශේෂී කර්තව්‍යකි.
දළදා මාළිගාවේ සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල මහතාට ස්තූතිය හිමිවේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර