2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

අනුරාධපුර පුදබිමේ අවුල: පූජා නගර කමිටුව කරන්නේ වැරදි වැඩට උදව් කිරීමද? නාහිමිවරු ප්‍රශ්න කරති

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

පූජනීය මෙන්ම සංස්කෘතික අගනගරයක් වශයෙන් ද ලෝකය පුරාම සම්භාවනාවට පත්වී ඇති අනුරාධපුරය වර්ෂ 1982 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. අටමස්ථානය ඇතුළු ඉපැරණි පූජනීය ස්ථාන රාශියක් මෙන්ම මෑත අතීතයේ දී තැනූ විහාර, ආවාස ආදිය ද විශාල සංඛ්‍යාවක් අනුරාධපුරයේ පවතී. පූජනීය නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණ ගන්නේ පූජා නගර සංවර්ධන කමිටුව මගිනි.

පසුගියදා  අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රුස්වුණේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. ඒ අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් නීතිඥ ආර්.ඇම්. වන්නිනායකගේ ප‍්‍රධානත්වයෙනි. අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි සහ නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක ශාස්ත‍්‍රපති පල්ලේගම හේමරතන යන නාහිමිවරුන් එම රැස්වීමේදී පළ කළ අදහස් නිසා රැස්වීම උණුසුම් ස්වභාවයකට පත් විය. එම අවස්ථාවේ දී රැස්වී ගන්නා තීරණවලට පිටින් පූජා නගරයේ නොගැලපෙන දේවල් සිදුවීම නිසා තවදුරටත් පූජා නගර රැස්වීම් පැවැත්වීමේ තේරුමක් තිබේද යන්න නාහිමිපාණන් වහන්සේ දෙනම ප‍්‍රශ්න කර සිටියහ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ මෙසේද කීහ.

අනුරාධපුර පූජා නගරය කියන්නේ බෞද්ධයන්ගේ හදවත වගේම පුරා වස්තුවලින් පිරුණු නගරයක්. එම නිසා මේ පූජා නගරය අප විසින් ආරක්ෂා කරගත යුතුයි. මේ පූජා භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් තීරණ ගැනීමට නොහැකියි. මේ රැස්වීමේදී ඉදිරිපත් වූ අදහස්වලිනුත් ඒ බව අපට පැහැදිලි වුණා. මෙතන සිදුවන දේවල්වලට කවුරුවත් කැමති නැහැ. එහෙම අකමැති වන්නේ නොගැලපෙන දේවල් මෙහි කරන්න හදන නිසයි.

සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අබියස බිමේ පොසොන් පෝය දිනවල බැතිමතුන් දහස් ගණනක් සිල් සමාදන් වෙනවා. මේ වනවිට එම ස්ථානය වෙළෙඳසල්වලින් පිරිලා. ඒ මදිවට එම ස්ථානයේ අලුතින් තවත් කඩ පෙළක් ඉදි කරනවා. එම ස්ථානය කඩමණ්ඩියක් වුණාම සැදැහැවතුන් සිල් සමාදන් වෙන්නෙ සහ බණ භාවනා කරන්නෙ කොහෙද? ඒ හින්දා සමාධි බුද්ධ ප‍්‍රතිමාවට මීටර් පන්සියයක් දුරින් එම කඩ ඉදිකර දෙන්න කියා මා නියම කර සිටි බව මේ දේවල් සිදු කරන නිලධාරීන්ට කියන්න. ඊට මෙහා කඩ හදන්නත් එපා. ඉදිකිරීමට ඉඩ දෙන්නත් එපා.

මේ රැස්වීමේ දී රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියෝ මෙසේ අදහස් දැක්වූහ. 

සිද්ධස්ථාන අසල වෙළෙඳසල්වල විකුණන්න දෙන්නේ මොනවද? සිද්ධස්ථාන අසල නීත්‍යානුකුල නොවන සහ නොගැලපෙන දේවල් විකුණනවා නම් ඒ පිළිබඳව සොයා බලන්නෙ කවුද? ඒ සම්බන්ධයෙන් කවුද තීරණ ගන්නේ? ඒ වගේම එහි සිදුකෙරෙන ඉදිකිරීම් සම්බන්ධයෙන් තීරණ ගන්නෙ කවුද? පූජා නගර සංවර්ධන කමිටු රැස්වීමේදී ගනු ලබන තීරණ පසුව වෙනස් කරන්නෙ කොහොමද? මුහුණු බලල තීරණ ක‍්‍රියාත්මක කිරීමට යෑමෙන් තමයි මෙහෙම වෙන්නේ. 
පොලිසියට අහුවෙලා තිබෙනවා හැම සිද්ධස්ථානයක් අසලම මත්ද්‍රව්‍ය විකුණන බවට. සමහර තැනක් අධිසංවේදී ස්ථාන. ඒ වගේම එළවළු වෙළෙඳාම, මාළු වෙළෙඳාම සිදුකරනවා. ශ්‍රී මහා බෝධින් වහන්සේ හෝ රුවන්වැලි සෑය යන පූජනීය ස්ථාන දෙක අතර එළවළු, මාළු විකුණන්න දෙනවද? මේ කමිටුවෙන් අයින් වෙන්න මට අවස්ථාව ලබාදෙන්න කරුණාකරලා. එවිට මට පුළුවන් පූජා නගර කමිටුව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට අධිකරණයට යන්න. මෙහි සිටින ගමන් එය කිරීමට සදාචාරාත්මකව බැහැ. 

බොහෝ කාලයක් පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගි වුණා. එම අත්දැකීම් අනුව මට තේරෙන්නෙ මෙම රැස්වීමට සහභාගි වන සියලු දෙනාගේම කාලය ශ‍්‍රමය වැය කර අපි කරන්නෙ වැරදිකාරයන්ට උදව් කිරීම බවයි. අපි ගන්නා බොහෝ තීරණවල අවසාන ප‍්‍රතිඵලය වන්නෙ මේ කමිටුවේදී ගනු ලබන තීරණවලට අවනත නොවන පුද්ගලයන්ට අපි නීත්‍යනුකුලභාවයක් ලබාදීම නොහොත් අවජාතකයන් සුජාතයන් බවට පත් කිරීම බව දැඩි ලෙස කියා සිටිනවා. මා මේ කියන කාරණය සාක්ෂි සාධක සහිතව ඔප්පු කිරීමටත් මම සූදානම්.

පූජා නගරය අනුරාධපුර මහා නගර සභා බලප්‍රදේශයට අයත් වේ. ක‍්‍රි.පු 4 වැනි සියවසේ ආරම්භ වී 11 වැනි සියවස දක්වා අනුරාධපුර රාජධානියේ අගනුවර ලෙස මේ නගරය පැවතුණි. දැනට වර්ග කිලෝමීටර 40කින් පමණ සමන්විත, විහාරාරාම විශාල ප‍්‍රමාණයකින්  වටවුණු අනුරාධපුර පෞරාණික නගරය බෞද්ධ ලෝකය තුළ විශාල වැදගත්කමක් හිමිකර ගනී. 

පූජනීය නගරයේ ජනාවාස ඉදිකිරීමෙන් සිදුවන අයහපත් ක්‍රියා මැඩපැවැත්වීමටත් එහි සංරක්ෂණය සඳහා මුල්තැන දීමටත් අනුරාධපුර ප්‍රථම නගර සංවර්ධන සැලැස්ම 1949 තරම් ඈත කාලයක දී සකස් කර පූජා නගරය පිහිටුවා තිබේ. එහිදී පූජනීය නගරයේ ජනතාව නව නගරය තුළ පදිංචි කිරීමට සැලසුම් කෙරිණි. නැවතත් 2007 දී නාගරික සංවර්ධන අධිකාරිය මගින් විවිධ භාවිතයන් සඳහා ඉඩම් වෙන්කිරීම් කලාප 11ක් යටතේ වර්ගීකරණය කර “කලාපීයකරණය සැලැස්ම” සකස් කර තිබේ. 
එසේ සැලසුම් සකස් කළත් පූජා නගරයේ අවිධිමත් ක්‍රියා රිසි සේ සිදුවන බවත් ඒ සඳහා නිසි විසඳුමක් බලධාරින්ගෙන් ලැබී නැති බවත් විමසිල්ලෙන් බලන විට පැහැදිලි වේ. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපි කතා කළේ මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ටය:

පූජා නගරයේ අනවසර ඉදිකිරීම් අද ඊයෙක ඉඳන් නොවෙයි දිගු කාලෙක ඉඳන් සිදුවන දෙයක්. විශාල ප්‍රමාණයක් වෙළෙන්ඳෝ ඉන්නවා. අසපු වගේ තැනුත් ඕනෑතරම් තිබෙනවා. කොළඹ අවට හාමුදුරුවරු ඉඩම් සල්ලිවලට අරන් අසපු හදාගන්නවා. අනවසර පදිංචිකරුවන් වෙනම තැනක පදිංචි කිරීමට සැලසුමක් තිබෙනවා. ඒක සාර්ථක වුණොත් නම් හොඳ ප්‍රතිඵල ලැබේවි. තාත්තට වන්දි දීලා ඉවත් කළාම එයාගෙම පුතා ඇවිත් එතන පදිංචි වෙනවා. අලුත් පදිංචිකරුවන්ට වගේම වෙළෙන්ඳන්ටත් මේ නගරයේ වැදගත්කම ඓතිහාසිකත්වය ගැන වැටහීමක් හැඟීමක් නැහැ. ඉඩම් අත්පත් කරගෙන දවසෙන් දෙනෙක් ගොඩනැගිලි හදනවා. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල නිලධාරිනුත් මේ විදිහට ඉඩම් අල්ලා ගන්නවා. නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය විට අසරණ මිනිස්සු, බණ්ඩාරනායක මහත්තයාගෙ කාලෙ පටන් අනවසර පදිංචිකරුවන් වන්දි ගෙවලා ඉවත් කර තිබෙනවා. නමුත් ප්‍රශ්නෙ ආයෙත් කෙනෙක් ඇවිත් එතන පදිංචි වෙනවා. මේ නිසා ඒ වැඩේ සාර්ථක වෙලා නැහැ. රුවන්වැලි සෑය ළඟ කඩ 500ක් පමණ තිබෙනවා. ඔවුන් යැපෙන්නේ අටමස්ථානය නිසයි. නමුත් ඔවුන්ට තේරෙන්නෙ නැහැ මෙය රුකගත යුතු බව. මීට පෙර එවැනි අනවසර ඉදිකිරීම් පැවති ස්ථානයක් අත්පත් කරගෙන ඔවුන්ට වන්දි ලබාදී පුරාවිද්‍යාවට පවරා ගත්තා. එතන තමයි දැන් සඳහිරු සෑය හදලා තිබෙන්නේ. 

වාර්ෂිකව ලක්ෂ ගණනක් දෙස් විදෙස් වන්දනාකරුවන් පැමිණෙන අනුරාධපුරය මේ දිනවල කොවිඩ් අවදානම නිසා තරමක් පාළු ස්වභාවයක් පළ කරයි. මෙහි මතුපිටින් පෙනෙන නිසංසලත්වය යටින් විශාල හානියකට මුහුණදී සිටින බව විගණන කොමිසම හෙළිදරව් කර සිටී. ආචාර්ය ශිරාන් දැරණියගල විසින් කරන ලද ඇතුළු නුවර කැණීම්වලදී හෙළි වුණේ ක්‍රි.පු. 800 වනවිට ඇතුළුනුවර හෙක්ටයාර 10ක ජනාවාස පැතිර තිබූ බවයි. ක්‍රි.පු. 700 – 600 වනවිට එය හෙක්ටයාර් 50ක් විය. පසුව ඓතිහාසික යුගයට එළඹෙන අනුරාධපුරය පණ්ඬුකාභය (ක්‍රි.පූ. 370 - 307) රජු විසින් නගරයක් ලෙස සැලසුම් කර සංවර්ධනය කළ බව මහාවංශය සඳහන් කරයි.

අනුරාධපුර නගර සීමාව තුළ මෑත අතීතය තුළ අවිධිමත් ඉඩම් අත්පත් කර ගැනීම් සහ ඉදිකිරීම් සීඝ්‍රයෙන් ඉහළ ගියේය. නගරයේ ඉඩම්වල වටිනාකම වැඩිවීම නිසා රජයේ ඉඩම් විවිධ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය යටතේ අත්පත් කරගැනීම සුලබ සිදුවීමක් වී තිබේ.

නගරයේ ඉඩම් පිළිබඳව බලපවත්වන නීති කිහිපයකි. පුරාවිද්‍යා රක්ෂිත සඳහා පුරාවිද්‍යා ආඥාපනත බලපවත්වන අතර අනවසර ගොඩකිරීම් සහ සංවර්ධන ආඥාපනත (2011 අංක 46 දරන පනතින් සංශෝධිත) බලපායි. ආරක්ෂිත ඇළ රක්ෂිත හා වැව් රක්ෂිතවල සිදුකරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ බලය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත්ය. දුම්රිය රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කාර්යයකි. නාගරික කලාපයේ සිදුකරන සංවර්ධන කටයුතු සඳහා 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත බලපායි. වැඩිදුරටත් අප සමඟ විස්තර කළ පල්ලේගම නාහිමියෝ මෙසේ ද කීවෝය. 

“නගරයට සිදුවන අකටයුතුකම්වල අඩුවක් නැහැ. නිශ්ශංක විජේරත්න මහතා අනුරාධපුර දිසාපති වශයෙන් සිටි කාලයේ එය වැළැක්වීමට විශාල ක්‍රියාමාර්ගයක් ගත්තා. ඔහු අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කළා. නමුත් ඊට පසු පත්වූ නිලධාරින් රාශියක් එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට අසමත් වෙලා තිබෙනවා. මම යෝජනා කරන්නේ මේ නගරයේ විනාශය වැළැක්වීමට දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට තනියම පියවර ගැනීමට බැහැ. ඒ නිසා රජය ඉහළින් තීරණයක් අරන් එය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි. නැත්නම් අනුරාධපුර නගරය අනාගතයේදී ජාතියට අහිමිවන තැනට වැඩ සිදුවේවී.”

නගරයට බීමට ජලය සැපයෙන නුවර වැව හා තිසා වැව වන්දනාකරුවන් ස්නානයට ද පැමිණෙන ස්ථානයකි. මෙලෙස සෙනඟ ගැවසෙන නිසා එහි වැව් බැම්ම අවට වෙළෙඳසල් රුසක් ද දැකගත හැකිය. නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 275ක් සහ තිසා වැව ආශ්‍රිතව එවැනි ඉදිකිරීම් 130ක් පවතින බව විගණන වාර්තාවේ සඳහන්ය. එය ජලය දූෂණය වීමට මෙන්ම පාරිසරික ගැටලු නිර්මාණයට ද හේතුවකි. 

අනුරාධපුර පූජනීය නගරයේ එහි නිසංසලත්වය පූජනීයත්වය රුකගනිමින් ඉඩම් අත්පත් කරගෙන ගොඩනැගිලි ඉදිකිරීම වැළැක්වීමට නම් රජයේ ඉහළම බලධාරින් මැදිහත්වී ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව පෙනේ. ඒ සඳහා දැනට පවතින රජයේ ආයතනවලට නීතිමය බලයක් තිබුණ ද ක්‍රියාත්මක වීමේ දී ගැටලු පැනනගින බව අතීත අත්දැකීම් දෙස බලන විට පැහැදිලි වේ. 

  කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව I අන්තර්ජාලයෙනි