2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

විකට් එක කඩුල්ල කළ පාලිත පෙරේරා

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

සිංහල භාෂාවෙන් ක‍්‍රිකට් විස්තර විචාරය ආරම්භ කළ කාලය නිවෙසින් ගෙන යන බත්මුල කාලා, වැසිකිළි පයිප්පෙන් වතුර බීලා, බස් රථයෙන් නිවසට ගිය දුෂ්කර කාලයක් බව සජීවී සිංහල ක‍්‍රිකට් විස්තර විචාරයේ ආරම්භකයා වන පාලිත පෙරේරා මහතා පවසයි. සිංහලෙන් සජීවී ක‍්‍රිකට් විස්තර ආරම්භ කළ කාලයේ ඉංග‍්‍රීසි පුවත්පත්වලින් දැඩි විවේචන එල්ල වූ බවද පාලිත පෙරේරා මහතා සඳහන් කරයි.

ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පැලපදියම් වීමට සජීවී සිංහල විස්තර විචාරය ප‍්‍රබල සාධකයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. සජීවී සිංහල ක‍්‍රිකට් විස්තර විචාරයේ ආරම්භකයා වන පාලිත පෙරේරා මහතා සම්බන්ධ කරගැනීමට ‘දේශය’ ට අවස්ථාව ලැබුණි.

සජීවී සිංහල ක‍්‍රිකට් විස්තර විචාරයේ ආරම්භය වුණේ කොහොමද?  
ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ පළමු පන්දුවෙන් පන්දුව සජීවි ක‍්‍රිකට් විස්තර විචාරය 1963 වසරේ මාර්තු මස 30 වැනිදා ආරම්භ වුණේ. එම වසරේ ජනවාරි මම ගුවන් විදුලියේ නිවේදක වෘත්තියට එකතුවුණා. මම ඉල්ලීමක් කළා ආනන්ද සහ නාලන්දා මහා ක‍්‍රිකට් තරගයේ සජීවී විස්තර විචාරය කරමු කියලා. ඒ අනුව රාජකීය සහ ශාන්ත තෝමස් මහ ක‍්‍රිකට් තරගයේ දිවා විවේකයේදී මට විස්තර විචාරයක් කරන්න කිව්වා. එය දුරකථන තරංග හරහා ගුවන් විදුලියේ පටිගත යන්ත‍්‍රවල පටිගත වුණා. ඉන්පසුව ප‍්‍රධානීන්ගේ අනුමැතිය ලබාගෙන වැඩේට බැස්සා.

මම නාලන්දාවේ නිසා විස්තර විචාරය සමබර වෙන්න ආනන්ද විදුහලෙන් එම විදුහලේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වන ඒ වනවිට රසායන විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කළ රගුනාත් වීරසූරිය මහත්මයා මගේ විස්තර විචාරක සගයා ලෙස කටයුතු කළා.
මම 1963 සිංහල විස්තර විචාරය ආරම්භ කරන විට අනෙක් පස ඇළුමිනියම් අට්ටාලයේ ඉංග්‍රීසි බසින් ලූෂන් ද සොයිසා සහ බර්ටි විජේසිංහ යන මහත්වරු විස්තර විචාරය කළා. මේක පහසුවෙන් ආරම්භ කළ දෙයක් නොවයි. ගුවන්විදුලියේ වඩුමඩුවේ වඩු බාස් ගාවට ගියා. වඩුමඩුවේ ට්‍රාන්ස්මීටර් ගෙනාපු රට අඹ ලෑලි පෙට්ටි දෙකක් තිබුණා. ඒ පෙට්ටි දෙකේ ලෑලිවලින් කෙනකුගේ උසට ස්ටේජ් එකක් හැදුවා. එක පුටුවක් විතරයි තියන්න පුළුවන්. ඒකට ලෑලිවලින්ම පඩි දෙකක විතර තාවකාලික පඩි පෙළකුත් තිබුණා. බාබර් සාප්පුවේ වගේ උස පුටුවක ඉඳගෙන මම විස්තර විචාරය කරන කොට අව්වයි. මගේ අනෙක් සගයා රගුනාත් වීරසූරිය පඩියකට නැගලා කාන්තා කුඩයක් මගේ හිසට අල්ලනවා. ඔහු විස්තර විචාරය කරන විට මම එයාට කුඩේ අල්ලනවා. 
තිලක සුදර්මන් ද සිල්වා, අමරබන්දු රූපසිංහ, මයිකල් කරුණාතිලක, සිරිසෝම ජයසිංහ සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරු පසුකාලයේ මාත් සමඟ විස්තර විචාරයට එකතු වුණා.

1963 වසරේ මේ වගේ පහසුකම් තිබුණේ නෑ නේද?
&වර්තමානයේ මෙන් විස්තර ප‍්‍රචාරය සඳහා වෙනම ලකුණු සටහන්කරුවකු සිටියේ නෑ.  ඕවල් ක‍්‍රීඩාංගණයේ යෝධ ලකුණු පුවරුව අපිට සියලුම විස්තර සැපයුවා. අපි ගෙදරින් බැඳගෙන ආ බත්මුල විස්තර ප‍්‍රචාරක උපකරණ සවිකිරීම සඳහා යොදාගත් ගොඩනැගිල්ලේ කොට තාප්පය උඩ තියාගෙන කාලා, බීමට වතුර සොයා ගියේ ඒ පිටුපස වැසිකිළියේ පයිප්පයටයි. එයට යනවිට අපි යන්නේ නාසය වසාගෙනයි.
අර පයිප්පයෙන්ම අලියා සිසිල් බීම බෝතලයකට පුරවාගන්නා වතුර විස්තර විචාරය අතරතුරේදී පානය කළා. තේ පානයේ විවේකයද අපි ගෙවා දැම්මේ වචන පානය කිරීමෙන්ම තමයි. එහි තේරුම ඔබට වටහාගත හැකි යැයි මම සිතනවා. විස්තර විචාරය නිමාවීමෙන් පසුව පයින්ම බොරුල්ලට පැමිණ බසයෙන් නිවසට යනවිට හොඳටම හෙම්බත් වෙලා.

වර්තමානයේ විස්තර විචාරයට භාවිත කරන සිංහල වචන ඔබ විසින්ම නිර්මාණය කරන ලද ඒවා නේද?
විකට්ටුවේ ආකෘතියට සමානව ගමේ ගෙවල්වල කඩුල්ල මැද සහ හරස් ඉනිවලින් සාදා තිබුණා. විකට්ටුවට කඩුල්ල යන වචනය මම එතනින් සොයාගත්තා. ‘ස්ටම්ප්’ ඉන්න බවට පත්වූයේ ගමේ වැට ඉනි දැක තිබීමෙන්. වැට පිටුපස රකින්නා වැට රකින්නා වුණා. ඒ වගේම සිංහල අලුත් අවුරුද්දට එන පන්දු කෙළියෙන් ‘බෝලයට’ පන්දුව ලෙස උපුටා ගත්තා. හේන්වල රෑස්ස ගස්වල බැඳ තියෙන තල් මැස්ස ආශ‍්‍රයෙන් ප‍්‍රචාරය කරන ස්ථානය අට්ටාලය වුණා. පිටිය වටේ ඇති හතරේ සීමාව ලණුවක් නිසාත් එය පසුකළහොත් ලකුණු හතරක් ලැබෙන නිසාත් හතරේ ලණුව කියලා අලුත් වචනයක් හැදුවා. එල්.බී.ඩබ්ලිව්. එකට කඩුල්ල මුවා කිරීමේ වරද කියලා දිගට යොදන්න සිදුවුණා. දැවීයෑම යන වචනය හැදුණේ කොහොමද කියලා මට මතක නෑ. මහාචාර්ය විනී විතාරණ මහතා ‘මේඩ්න්  ඕවරය’ යන්නට පසු කාලයකදී නිලකුණු ඕවරය යන වචනය දුන්නා. මා භාවිත කළ වචන 70 දශකය වනවිට රටම වැළඳගෙන සිටියා.*

සුද්දගේ ක‍්‍රීඩාව සිංහල භාෂාවෙන් ප‍්‍රචාරය කිරීම අභියෝගයක් වුණේ නැද්ද? 
අනිවාර් යේන්ම, සිංහල සජීවී විස්තර විචාරය ආරම්භ වීමත් සමඟ ඉංග‍්‍රීසි විස්තර අභිබවා ජනප‍්‍රියවීමෙන් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වෙන්න ගත්තා. විශේෂයෙන් ඉංග‍්‍රීසි පුවත්පත්වල මගේ විස්තර ප‍්‍රචාරය විවේචනය කරමින් ලිපි රැසක් පළ කළා.

මේ මිනිස්සු මේ දොඩවන මනස්ගාත මොනවද? තව ටික කලක් යන්න පෙර මෙයාලා කියාවි ‘ෂෝට් ලෙග්ට’ කොට කකුල කියා. ‘සිලි පොයින්ට්’ මෝඩ තැන කියලා. ‘නෝ බෝල්’ එකට බෝලේ නෑ ලෙස පුවත්පත්වල පළවී තිබුණා.*
ආරම්භක කාලෙ සුවිශේෂි සිද්ධි ඇති නේද?

සුවිශේෂි සිද්ධියක් තියෙනවා. ටික කලකට පසුව එතෙක් මා පාවිච්චි කළ වචන වෙනුවට මට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සකස්කළ පාරිභාෂිත වචන ලැයිස්තුවක් ලැබුණා. අපේ විස්තර ප‍්‍රචාරය ඕවල් ක‍්‍රීඩාංගණයේ වටේ කණුවල සවිකර ඇති ලවුඩ්ස්පීකර්වලට සම්බන්ධ කරලා තිබුණේ. මම පාරිභාෂිත වචන ලැයිස්තුවට අනුව ගළපමින් විස්තර ප‍්‍රචාරය කළා. ස්ලිප් ක‍්‍රීඩකයන් සඳහා ලබාදී තිබූ පදය වූයේ ලුහුට්ටාය. වැට රකින්නන් වටේ ලුහුට්ටන් පෙළියක් ඉන්නවා. පළමු ලුහුට්ටා, දෙවැනි ලුහුට්ටා තෙවැනි ලුහුට්ටා. දැන් මෙන්න ලුහුට්ටන් අතරින් පන්දුව ඇදී යනවා* ලෙස මම තරග විස්තර කරගෙන ගියා. ඉන්පසුව අට්ටාලයට පැමිණි මගේ ඉහළ නිලධාරියා මගේ පිටට තට්ටු කරලා මොනවද ඔය කියන්නෙ. අන්න පේ‍්‍රක්‍ෂකාගාරයේ මිනිස්සු එක දිගට ‘හූ’ කියනවා* කියලා. ඒ පිළිබඳව ප‍්‍රධාන කාර්යාලය දැනුවත් කළ පසු පාරිභාෂිත වචන ලැයිස්තුව අත්හිටුවන ලෙස දැනුම් දුන්නා. 
1963 තරගයේදී අවසන් දිනයේ පස්වරු 6 ට ආසන්න වනවිට නාලන්දාවේ ජයග‍්‍රහණයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු අටක් පමණයි. ආලෝකය තිබුණද විනිසුරුවන් තරගය අනපේක්‍ෂිත ලෙස අත්හිටුවීමෙන් ආනන්දය පරාජයෙන් ගැලවුණා. ඒ වනවිට මම තරගයේ අවසානය පිළිබඳව විස්තර ප‍්‍රචාරය කරමින් සිටියේ. නාලන්දාවේ 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයකු ඉනිමග දිගේ අට්ටාලයට නැග පිටුපසින් පැමිණ එකපාරටම ‘අම්පයාර් හොරා’ යැයි මයික‍්‍රපෝනයට කෑ ගැසුවා. එයිත් තිගැස්සුණු මම කොලුවාට පෙරළෙන්නට පහරක් ගැහුවා. සිය මංගල විස්තර විචාරය අශෝභන කළ එම කොල්ලාට රගුනාදන්ද පහරක් ගැහුවා. ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ පළමු සජීවි විස්තර විචාරය කැත කිරීම හේතුවෙන් ගුටි කෑ මෙම කොල්ලා පසුව දේශපාලනයට පිවිස ප‍්‍රබල චරිතයක් බවට පත්ව තිබෙනවා.

දිනය 1979 අප්‍රේල් මස 4 වැනිදා. එදින ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර නිල නොවන ටෙස්ට් තරගයක්. පාකිස්තානයේ හිටපු අග‍්‍රාමාත්‍ය අලි බූතෝ මහතා එදින පෙරවරුවේ එල්ලා මැරෑ බව විස්තර ප‍්‍රචාරය කරමින් සිටි මා දැනුවත් කර එය ප‍්‍රචාරය කරන ලෙස උපදෙස් ලැබුණා. මම එය එකවර ප‍්‍රචාරය කළේ නෑ. මම කොළයක පැත්තකින් ‘චෙක් විත් ද නිව්ස් රෑම්’ කියා ලියා පෙන්නලා කිව්වා මේක තහවුරු කරගන්න කියලා. එය දුටු ඔහු ප‍්‍රවෘත්ති කලාවේ ස්වර්ණමය යුගය මතකයට ආවා මෙන් සිනාසී හරියට හරි යැයි කියන්නා සේ මිට මෙලවූ අතේ මහපට ඇඟිල්ල මට පෙන්නුවා. අලි බූතෝ මහතා එල්ලා මැරෑ බව එදින 12.45 ප‍්‍රවෘත්ති විකාශයෙන් ප‍්‍රචාරය වනතෙක් මා ඒ බව කිසිවක් සඳහන් නොකර විස්තර විචාරය ක‍්‍රියාත්මක කළා.*

ඔබ වර්තමානයේ කළකිරීමෙන්ද ඉන්නේ?
මම හිතන්නේ අපේ රටේ කිසිවකුට නොලැබුණු අවස්ථාවක් මට කියුබාවේදී ලැබුණා. කියුබානු හිටපු ජනාධිපති ෆිඩෙල් කැස්ට්‍රෝ මගේ කරට අත දාලා ඡායාරෑපයක් ගත්තා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සංචාරයක් වාර්තා කිරීමට ගුවන් විදුලි වාර්තාකරු හැටියට මම කියුබාවට ගිය අවස්ථාවේදී ඔහු සමඟ විනාඩි තුනක සම්මුඛ සාකච්ඡාවකටත් මට අවස්ථාව ලැබුණා.
ඒ ඡායාරෑපය විශාල ලෙස සකස් කරලා එවකට තානාපතිනිය මට තෑගි කළා. ඒ ඡායාරෑපය හඩ්සන් සමරසිංහ මහතා දැකලා එය තවත් විශාල ඡායාරෑපයක් හැටියට රාමුකරලා ගුවන් විදුලි සංස්ථාවේ බිත්තියක ගැහුවා. 2015 පත්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් එය ගලවා විසිකළා. 

1963 වසරේ කඩවසම් තරුණයකු වූ පාලිත පෙරේරා මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වූ කරුණාරත්න අබේසේකර වැනි ප්‍රවීණයන්ගේ සෙවණේ වැඩුණේය. කරුණාරත්න අබේසේකරයන් පාලිත පෙරේරාගේ කඩවසම් බව සහ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හැකියාව වර්ණනා කරමින් ලියූ පද පේළියක් පහත දැක්වේ.
නැළවෙනවා පොඩි නෝනල ඔහුගෙ රුවට චමත්කාර
මිල කරන්න බෑ ඇත්තට පාලිතගේ වමත් පහර.....

සටහන: යොහාන් භාසුර