2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

හදිසියේ පුපුරාගිය විස පොල්තෙල් බොම්බයය

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

සාමාන්‍යයෙන් රටක දියුණුව සලකන ප්‍රධාන මිනුම් දණ්ඩක් වන්නේ ඒ රටේ පුරවැසියාගේ සෞඛ්‍යයයි. ඒ නිසා එවැනි දියුණු රටවල සාමාන්‍යයෙන් තම රටේ පුරවැසියාට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමේ නිදහස උප්පත්තියෙන්ම උරුම කර ඇත. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය පවා ආහාර ද්‍රව්‍ය සැපයීමේදී තම රටේ පුරවැසියාට වගවන තැනකට පත්ව ඇත. මේ නිසාම මොළය, ශරීරය වර්ධනය ඒ හරහා ඇතිවන නිරෝගී මිනිස් ප්‍රජාවක් ඒ රටට නිතැතින්ම උරුම වෙන අතර ඒ නිසාම ශක්තිමත් රටක් ලෝකය හමුවේ විරාජමානව වැජඹෙමින් තිබේ. එහෙත් මේ කතාව ලියන මමත්, මේ කතාව කියවන ඔබත් ජීවත්වන අප සමාජයේ එවැනි නිදහසක් උරුම වී ඇතිද? තමන් ගන්නා ආහාරය, භාණ්ඩය ගැන විශ්වාසයක් තබාගත හැකිද? රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශය රටේ පුරවැසියාට වගවන්නේද? ඒ සියල්ලටම ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ඒ සියල්ලටම ඇත්තේ අවිනිශ්චිත බවකි.

මේ කතාව කියවන මොහොත වනවිට රටේම මිනිස්සුන්ට ඇති ලොකුම ප්‍රශ්නයක් වී ඇත්තේ තමන් ආහාරයට ගන්නා පොල්තෙල්වල ප්‍රමිතිය ගැනය. රටම කතාවෙන පිළිකාකාරක පොල්තෙල් ගැනය. වගකිවයුතු ආයතන එහේ මෙහේ බෝලය පාස් කරමින් වගකීමෙන් මිදෙන්න හදනා මොහොතක ජනතාව අසරණ වී ඇත්තේ අපි කන පොල්තෙල් කෙතරම් ආරක්ෂිතද යන්න ගැන පිළිතුරක් නැතිවය. ඒ නිසාම අප මේ කතාව මෙලෙස ලියන්නේ සියලුදෙනාටම දැනගැනීම පිණිසය.
ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකය අඩංගු පොල්තෙල් තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට ප්‍රථමයෙන්ම රටට අනාවරණය කරන්නේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය විසින්ය. එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා විසින් විශාල අනාවරණයන් සිදු කෙරිණි. ඒ ආනයනික පිළිකාකාරක පොල්තෙල් කන්ටේනර් 13ක් වෙළඳපොළට නිකුත් වී ඇති බව කියාය. එය ලැව්ගින්නක් සේ පැතිර ගියේය.

ඔවුන්  ප්‍රධාන මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය තුළ පවා තොරතුරු අනාවරණය කළේ විශේෂයෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකයාට මේ හරහා දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවන බව කියමිනි. මීට පෙරද පොල්තෙල් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් ඇතිවිය හැකි බවට සිදුකළ අසත්‍ය ප්‍රචාරය නිසා විශාල ලෙස පොල්තෙල් නිෂ්පාදනය කඩා වැටෙන්නට විය. කෙසේ වෙතත් පිළිකාකාරක සංඝටක අඩංගු පොල්තෙල් ආනයනය කර ඇති බවට ඔවුන් විසින් අනාවරණය කිරීම මුළු රටටම ලබාදුන් ආශීර්වාදයක් යැයි අමුතුවෙන් කිවයුතු නැත. එසේ නොවුණානම් අප කන්නේ පිළිකාකාරක පොල්තෙල්ය.

මෙකී අනාවරණයත් සමඟ නින්දෙන් ඇහැරුණු බලධාරීන් සහ නිලධාරීහු මේ සිද්ධියට හේතුකාරණා රුසක්, විශේෂයෙන් නිදහසට හේතු කාරණා ගොඩක් රට හමුවේ ඉදිරිපත් කළහ. ඒ එතෙක් නොකී කතාය. මෙහි පළමු ප්‍රතිචාරය දක්වන්නේ වෙළෙඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ එම කන්ටේනර් 13 රේගු බාරයේ තිබෙන බවත් ඒවා මුද්‍රා තබා ඇති බවත්ය. ඒ නිසා එම පොල්තෙල් වෙළඳපොළට මිශ්‍ර වී නැති බවත් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂණයක් සිදුකරන බවත් ඔහු කීවේය.

මේ අතර මෙම පිළිකාකාරක තෙල් සම්බන්ධයෙන් පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා මාධ්‍ය අමතමින් කීවේ තමන් සහතික ලෙසම මේ තෙල් එළියට නොගොස් ඇති බව පවසන බවය. එහෙත් දිගින් දිගටම අනාවරණය වුණේ පිළිකාරක තෙල් ප්‍රමිති ආයතනයේ නියෝග මත එළියට ගොස් ඇති බවය. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එම සැක තෙල් එළියට නොදමන ලෙස දන්වා තිබියදී එම තෙල් ප්‍රමිති ආයතනයේ නියෝග මත එළියට ගිය බව ඇතැම් මාධ්‍යවලත්, විශේෂයෙන් සමාජ මාධ්‍යවලත් ප්‍රචාරය වන්නට විය. මේ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයේ සභාපතිවරයාට විශාල වශයෙන් චෝදනා එල්ල වී තිබුණි.

එලෙස එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් පසුව ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කළේය. ඔවුන් සඳහන් කර සිටියේ කිසිදු ආකාරයකින් එම කන්ටේනර් පිට කිරීම සඳහා අවසර ලබාදී නැති බවත් එදිරිසිංහ එඩිබල් ඔයිල්, සේන මිල්ස් පිරිපහදුව, අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම, කටාන පිරිපහදුව නැමැති ආයතන හතරින් මෙරටට ගෙන්වන තෙල්වල සාම්පල ලබාගනිමින් පරීක්ෂණ සිදුකරන බව කියාය. කෙසේ වෙතත් මේ සමාගම්වලින් එක් සමාගමක තෙල් දෙවැනි වර පරීක්ෂණයෙන්ද පිළිකාරක අඩංගු බව තහවුරු විය. සැකකටයුතු කන්ටේනර් 13 සමාගම් තුනකින් පමණක් ගෙනැවිත් තිබූ අතර පසුව අනාවරණය වුණේ එකී සමාගම් තුනෙන් ගෙනා කන්ටේනර් 13ම ඇෆ්ලටොක්සින් අධි සාන්ද්‍රණයෙන් ඇති බව කියාය. ප්‍රමිති ආයතනය විසින් ඒ බව තහවුරැ කිරීමත් සමඟ එම කන්ටේනර් පෙට්ටි 13ම නැවත ප්‍රති අපනයනය කරන ලෙසට රේගුවට දන්වා යැවිණි. ඒ වනවිටත් කන්ටේනර් රඳවා තිබුණේ අදාළ සමාගම්වල ගබඩා තුළය. එය අවදානමක් ලෙස බොහෝදෙනා පැවසූ අතර සැබවින්ම එය නරියාට කුකුල්ලු බාරදීමක් හා සමානය. එහෙත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ අදාළ ගබඩාවල රුඳෙව්වත් රේගුවේ නියෝග සහ මුද්‍රා යටතේ එම කන්ටේනර් රඳවා ඇති බවය.

ඒ ආකාරයෙන් එම කන්ටේනර් ගැන ජනතාවට තිබූ අවදානම මකා දැමීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියා කළත් ඊට පසුදින දංකොටුව පොලීසියට හදිසි ඇමතුම් අංකයෙන් ඇමතුමක් ලැබෙන්නට විය. එහි සඳහන් වූයේ සැකකටයුතු තෙල් බවුසර දෙකක් ප්‍රදේශයේ ස්ථානයක සඟවා ඇති බවය. ඒ අනුව දංකොටුව පොලීසිය මේ බව මාරවිල අධිකරණයට දන්වා අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා තිබුණි. මාරවිල අධිකරණයේ නියෝගය වුණේ පොලීසිය අත්අඩංගුවට ගැනීමට තමන්ගෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බවය. ඒ අනුව අදාළ තෙල් බවුසර දෙක අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි තෙල් ලීටර් 55,000ක් අඩංගු විය.

මේ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ආනයන සමාගමක් විසින් රාගම සිට එම ප්‍රදේශයට බවුසර් දෙක එවා ඇති බවය. එය බවුසර් සැඟවීමේ අරමුණින් බවද පොලීසිය සැක කළේය. කෙසේ වෙතත් අවසානයේ අත්අඩංගුවට ගත් තෙල් බවුසර ඊට පසුදින පොලිසිය විසින් රේගුවට බාරදුන්නේ වැඩිදුර පරීක්ෂණ සඳහාය. එහෙත් මාරවිල අධිකරණය ඊට විරෝධය පෑවේය. එනම් රේගුවේ බාරයේ තබා ගැනීමට නොහැකි දෙයක් නැවත රේගුවට බාරදීම වැරදි දෙයක් බව ප්‍රකාශ කරමිනි. එසේම මේ සැක තෙල් සාම්පල රජයේ රස පරීක්ෂවරයා වෙත ඉදිරිපත්කොට වාර්තා ලබාගන්නා තෙක් අධිකරණ බාරයේ තෙල් බවුසර තබන ලෙස ලබාදුන් නියෝගය පිටින් ඒවා රේගුවට ලබාදීම ගැන වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග ලබාදී තිබුණි. සැබවින්ම එය ප්‍රශ්නයකි. එලෙස බවුසර් බාරදුන්නේ කෙසේද කියාය. ඒත් තවම එයට පිළිතුරක් නැත.

එහෙත් මෙතන මතුවන ප්‍රශ්නය මේ බවුසර් මෙලෙස පිටට ගියා නම් තවත් බවුසර් පිටට ගියේ නෑ කියන්නේ කෙසේද යන්නයි. සහතික ලෙසම සැක පොල්තෙල් එළියට නොගිය බවට පොල් රාජ්‍ය අමාත්‍යවරයා කිව්වත් දැන් ඇස්පනාපිටම එය සිදුවී ඇත. එසේ නම් පාරිභෝගිකයන් කන්නේ හරි පොල්තෙල් යයි සහතික කරන්නේ කෙසේද? එයට හොඳම විහිලුව වන්නේ බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය අමතමින් එවැනි පොල්තෙල් ඇත්නම් වහාම තමන්ට දැනුම් දෙන ලෙස කියා තිබීමය. එය කෙතරම් විහිලුවක්ද? ජනතාව කෙසේ පරීක්ෂා කරන්නද? රසායනාගාර පරීක්ෂණ හරහා සිදුකළ යුතු දේ මිනිස්සු සිදු කරන්නේ කෙසේද යන්න අමාත්‍යවරයකුට නොසිතෙන්නේ කෙසේද? එය සැබවින්ම වගකීම් විරහිත ප්‍රකාශයකි.
කෙසේ වෙතත් දැන් ප්‍රකාශ කළ බොහොමයක් කරැණු කනපිට හැරී ගොස් ඇත. සැක හිතෙන ලෙසට තෙල් බවුසර් එළියට පිටව ගොස් ඇත. ඒවා ගිය ආකාරයක් දන්නේද නැත. අඩුම තරමේ එලෙස පිටකළ ආයතනයක නමක් රට හමුවේ ප්‍රකාශ කරන්නේද නැත. දැන් දැන දැනත් වස පොල්තෙල් කන තැනකට ජනතාව මුහුණදෙන්නට සිදුවී ඇත. එය කෙතරම් අවනඩුවක්ද? මේවාට දඬුවම් කොයින්ද? පාලකයන්ද අපෙන් පොල්තෙල් ඇති තැන් විමසනවා නම් තවත් මොන කතාදැයි ඇසිය යුතුය.

ඇෆ්ලටොක්සින් යනු කුමක්ද?

ඇෆ්ලටොක්සින් යනු ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පිළිගත් අංක එකේ පිළිකාකාරකයක් බව සඳහන් වේ. එය දීලීරයක් හරහා ඇතිවන අතර අධික ලෙස එකවරක් ඇෆ්ලටොක්සින් ශරීර ගතවුවහොත් දරුණු ආබාධ හෝ හදිසි මරණ පවා ඇතිවිය හැකි බව වෛද්‍යවරු පවසති. විශේෂයෙන් ඇෆ්ලටොක්සින් කාලයක් ශරීර ගතවුවහොත් ප්‍රධාන වශයෙන් අක්මාවේ පිළිකා තත්ත්වයක් ඇතිවන බව සඳහන් වේ. එසේම ප්‍රතිශක්තිකරණය හීන වීමද සිදුවේ. ඒ හරහා සිදුවන ජානමය වෙනස්වීම් හරහා උපදින දරුවන්ට පවා බලපෑම් එල්ලවිය හැකි බව වෛද්‍යවරු පවසති. කෙසේ වෙතත් මෙය අනාවරණය කරගත හැක්කේ රසායනාගාර පරීක්ෂාවකින් පමණක් බවද සඳහන් වේ. මහත් ආන්දෝලනයකට තුඩුදුන් ආනයනික පොල්තෙල්වලද ඇතුළත් වී ඇත්තේ පිළිකාකාරකයක් වූ මෙකී ඇෆ්ලටොක්සින්ය. 

 

I ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03