ගොඩයලාගේ ජිනදාසත් එව්.එම්. රොසලින් නෝනාත් දරුවන් විසි දෙනකුගේ ආදරණීය දෙමව්පියෝ වූහ. ජිනදාස මහතා අවුරූදු අසූනවයක් ආයු වළඳා පසුගියදා තම ජීවිතයෙන් සමුගත්තේය. විවාහ යෝජනාවකින් ජිනදාසත් රොසලින් නෝනාත් විවාහ වූ අතර දෙදෙනාගේ මුල්ම කැදැල්ල ගොඩනැගුණේ කෑගල්ල කඩිගමුව ප්‍රදේශයේය. ජිනදාස වතු කම්කරු රැකියාව කරමින් රොසලින් සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කළේය. රැකියාවක් නොකළ රොසලින් පුංචි ගෙපැළට වී තම ආදරණීය සැමියා රුකියාව අවසන් වී නිවසට එනතුරු බලා සිටියාය. රොසලින්ට ඒ කාලයේ සිටම හරි රහට කෑම උයන්නට පුළුවන්කම තිබිණි.
ජිනදාසගේත් රොසලින්ගේත් කැදැල්ලට එකතු වූ පුංචි අමුත්තිය ගැහැනු දරුවකු වෙද්දී තවත් ටික කාලයකින් නැවතත් පුංචි කැදැල්ලට දරුවෙක් එකතු විය. ඒද ගැහැනු දැරුවෙකි. කෑගල්ලේ ජීවත්වුණු ජිනදාස ගලේවෙල කටුපොතට පදිංචියට ගියේ ඉන් අනතුරුවය.
1959 දී කටුපොත ප්‍රදේශයේ පදිංචියට ආ ජිනදාස සුපුරුදු පිරිදි කටුපොත වතු මුරකරු රැකියාව කරගෙන ගියේය. එනැන් සිට පුංචි කැදැල්ලට දරුවෝ එකින් එකා එකතු වූහ. ඒ අතරින් දරුවන් පස්දෙනෙක් කහ උණ, මැලේරියාව, වසූරිය වැනි රෝග වැළඳී උපන් ගෙයිම අඩු වයසේදීම මෙලොව හැර ගියහ. අවසානයේදී ජිනදාසගේත් රොසලින් නෝනාගේත් පවුලේ ඉතිරි වූ දරුවන් ගණන පහළොවකි. මෙයින් නව දෙනෙකු පිරිමි දරුවන් වූ අතර හය දෙනෙක් ගැහැනු දරුවෝ වූහ.
මොලගොඩවත්ත වතුයායේ වතු මුරකම්කරුවකු ලෙස සේවය කළ ජිනදාසගේ දිනක වැටුප රුපියල් දෙකයි සත පනහකි. රුපියල් දෙකයි සහ පනහක දෛනික වැටුපකට දරුවන් පහළොවක් හැදූ ජිනදාසගේත් රොසලින් නෝනාගේත් ජීවිතවල ආර්ථීක අපහසුතා කොතෙක් තිබුණද ඔවුන් කිසිදා දරුවකු කිසිම කෙනෙකුට දරුකමට හදාගන්න දුන්නේ නැත. දරුවන් නොමැති ඇතැමුන්, “අනේ බං... අපිට ලොකු කෙලීව දරුකමට හදාගන්න දියංකෝ... උඹට දරුවො ගොඩක් ඉන්නවනේ.” යනුවෙන් දරුවන් ඉල්ලුවද දරුවන්ගේ වටිනාකම, ඒ බැඳීම ගැන දැනසිටි ජිනදාසත්, රොසලින් නෝනාත් දරුවන් දුන්නේ නැත. අඩුම තරමෙන් මේ අවුරුදු ගාණ පුරාවට ඒ එකම දරුවකු බඩගින්න නිවාගන්නට යැයි සිතමින් කිසිම ගේකට යැව්වේ නැත.
“අපේ සීයා එයාගේ කිසිම දරුවෙක්ව කන්න හොයාගෙන එන්න කියලා එහාට මෙහාට යැව්වේ නැහැ. එයා දරුවන් ගැන හරිම ආඩම්බරයෙන් හිටපු සීයා කෙනෙක්. දරුවන්ට හරියට ආදරය කරපු සීයා කෙනෙක්.”
ජිනදාසගේ වැඩිමහල් මුණුපුරා වූ නිශ්ශංක කුමාරතුංග දේශයට අදහස් දක්වමින් පැවසීය. සෑම දිනකම මේ දරුවන්ගේ කුසගිනි නිවාලන්නට ගෙපැලේ පුංචි මුළුතැන්ගෙයි කොස්, දෙල් කුරහන් පිට්ටු විශාල ඇතිලියක් පිසුණේය. කිසිම දවසක මේ දරුවන්ව රොසලින් නෝනා බඩගින්නේ තැබුවේ නැත. ඇය දරුවන් සියල්ලටම තම දෙතනේ කිරි ලබාදුන්නාය. මෙම කිසිම දරුවකු කුඩා කාලයේදී පිටිකිරි බී තිබුණේ නැත. දරුවන්ගේ කුස පුරෝලන්නට රොසලින් නෝනාත්, ජිනදාසත් නොවිඳිනා දුකක් වින්දහ. ඇතැම් දිනවල රොසලින් නෝනා කෑවේ වළඳ අඩියේ තිබූ දෙල් කැබැල්ලක් දෙකක් පමණි. කහට උගුරක් පමණි. නමුත් ඒ සියල්ලට වඩා දරු සෙනෙහස රොසලින් නෝනාගේ ජීවිතයට ලොකු හයියක් විය.
දරුවන් පහළොස්දෙනාටම මූලික අධ්‍යාපනය ලබා දුන්නද ඒ කිසිදු දරුවකුට වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට අවස්ථාවක් ලැබුණේ නැත. බොහෝවිට මේ සෑම දරැවකුගේම වයස පරතරය වූයේ වසරක් විය. නිවසේ ක්‍රියාකලාපයන් සමඟ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනයක් කරගන්නට හැකිවූයේ නැත. නමුත් ඒ දරුවන්ට දෑතේ කර්මාන්ත කිරීමේ හැකියාව ළමා කාලයේ සිට ලැබුණි.
රොසලින් නෝනා මේ දරුවන් විසිදෙනා වදන්නට කිසිදාක රෝහල් ගත වූයේ නැත. දරුවන් විසිදෙනාම ඉපදුණේ නිවෙසේදීමය. ඒ හැම මොහොතකම ගමේ වින්නඹු මාතාව රොසලින් නෝනාට උදවු කළාය. පසුකාලීනව බාල දියණියන් බිහිකරලන්නට වැඩිමහල් දියණින්ගේ සහායද රොසලින් නෝනාට ලැබී තිබුණි. වැඩිමහල් දියණියත් විවාහ වී දරුවන් බිහිකරද්දී ද රොසලින් නෝනාද ගැබිණි මාතාවක් වී සිටියාය.
“මම තමයි පවුලේ වැඩිමහල්ම මුණුපුරා. මටත් වඩා බාල මාමාලා ඉන්නවා. ඒ නිසා පුංචි කාලේ මම ඒ මාමලා නැන්දලා එක්ක තමයි සෙල්ලම් කළේ. ආච්චි එයාගේ දරුවන්ට කෑම කවද්දී මටත් කෑම කවලා තිබුණා. මට ඒ දෙන්නා එයාගේම දරුවන්ට වගේ තමයි සැලකුවේ. ඒ ආදරය, කරණාව මට උපරිමයෙන්ම ලැබුණා. ආච්චිගෙයි සීයාගේයි දරුවන්ට දුන්නු ආදරය වගේම ආදරයක් මුණුපුරා වෙච්චි මට ඒ දෙන්නා ලාබලා දුන්නා.”
නිශ්ශංක මාමා ආදරණිය සීයා ගැන දේශයට කියන්නේ එලෙසිනි.
දරුවන්ගේ මතකේ හැටියට ජිනදාස සීයා අවසන් දින කිහිපය දක්වාම කිසිදු බෙහෙත් පෙත්තක් බී තිබුණේ නැත. ඔහු නිරෝගී පුද්ගලයෙකි. ලෙඩක් දුකක් ගැන දරැවකුට තියා තම ආදරණීය බිරිඳටවත් කියා තිබුණේ නැත. දරුවන් විස්සක් වැදූ රොසලින් නෝනා පසුකාලීනව යම් යම් රෝගී තත්ත්වයන්වලට ප්‍රතිකර ලබා තිබුණද ජිනදාස සීයා කිසිම දවසක කිසිම ලෙඩකට බෙහෙත් පෙත්තක් හෝ වී තිබුණේ නැත.
ජිනදාස සීයා දරුවන්ට අසීමිතව ආදරය කළ පියෙකි. සීයා කෙනෙකි. ඔහුගේ සැඳෑ සමයේදී ඔහු තම දරු මුණපුරන් ඒකරාශී කර ගනිමින් සවස් කාලයේදී ගීත ගායනා කළේය. ඔහු රොසලින් නෝනාත් තම දරු මුණපුරන්ද වටකොටගෙන ගැයූ ඔහුගේ ආසම ගීතය වූයේ ගායක මොහිදීන් බෙග් මහතා ගැයූ “මැණිකක් රකිනා නා රජිඳෙකු සේ මම ඔබ නිරතුරු රකිමී....” ගිතයයි.
ජිනදාසත්, රොසලින් නෝනාත් තම දරුවන් පහළොස් දෙනාවම විවාහ කරදුන්හ. ඔහු ගමේ ජනප්‍රිය පුද්ගලයෙකි. ගමේ ජිනදාසව හැඳින්වූයේ “බෑනා මාමා” ලෙසිනි.
“බෑනා මාමා අපේ කොල්ලෙක් බැඳල නැහැ. උඹේ කෙල්ලෙක් අපිට දෙන්න බැරිද?”
“බෑනා මාමා අපි නෑදෑයෝ වෙමුද...?”
ගමේ වැඩිහිටියන් “බෑනා මාමා”ගෙන් දරුවන් ඉල්ලුවේ තම දරුවන්ට කරකාර බැඳ දීමටය. ඇතැම් අවස්ථාවල ජිනදාස ගමේ වැඩිහිටියන්ට තම දරුවන් ඔවුන්ගේ දරැවන් වෙත යෝජනාවක් ගෙනාවේය. කෙසේ හෝ දරුවන් පහළොස් දෙනාම නිසි වයසේදී විවාහ කර දීමට ජිනදාසටත් රොසලින් නෝනාටත් හැකියාව ලැබුණි. මේ වෙද්දී සෑම දිස්ත්‍රික්කයකම ජිනදාසගේ දරුවෝ පදිංචි වී සිටිති. ඉඳහිට දරුවන්ගේ නිවෙස් වෙත ගොස් ටික කාලයක් රැඳී සිටියද ජිනදාස වැඩියෙන් ආසා කළේ තම ගමේ නිවෙසට වී කල්ගත කරන්නටය. ඔහු මුණපුර මිණිපිරියන් අසූඑක් දෙනකුගේ සීයා කෙනෙකි. මේ සියල්ලෝම එකට එකතු වන දිනයක් නම් හරි අඩුය. හැමෝගේම ජීවිතවල කාර්යබහුලකමත් සමඟ සිංහල අලුත් අවුරුද්දට සීයා බලන්නට දරුවන් පැමිණියද දරුවන් පහළොස්දෙනාවම එකට ගෙන්වා ගන්නට නම් එතරම් ලේසි වන්නේ නැත. නමුත් ජිනදාස සීයාගේ මළගමට දරුමුණුපුරන් සියල්ලෝම පැමිණ තම ආදරණීය පියාණන්ට අවසන් ගෞරවය දැක්වූහ.
ජිනදාස සීයා මාසයක පමණ කාලයක සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසාම සීයාගේ අකමැත්තෙන් දරුවෝ ඔහුව වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගියහ. ජිනදාසව පරීක්ෂාකළ වෛද්‍යවරු ඔහුගේ උගුර නාලය හීනවීමක් ඇතිව ඇති බවත් එයට යම් ශල්‍ය කර්මයක් කළයුතු බවත් දැනුම් දුන්හ. නමුත් එම ශල්‍යකර්මය කිරීමට පෙර ජිනදාස සීයා තම අවසන් හුස්ම පොද මේ වාතලයට මුදා හැරියේය.
අවසන් හුස්ම හෙළන මොහොතේදී ඔහුගේ එක දියණියක් ඔහු අසලම සිටියාය. උදෑසන ජිනදාස තම බිරිඳ ඇමතුවේය. ඔහු තම බිරිඳට ආදරයට පවසන්නේ කැරකොප්පු ලෙසිනි.
“කැරකොප්පු මගේ පපුව රිදෙනවා. මොකද කරන්නේ” යැයි ජිනදාස ඇසීය. ජිනදාසත්, රොසලින් නෝනාත් හරි ආදරෙන් හිටි යුවළකි. රොසලින් නෝනා ජිනදාසගේ පපුවේ බෙහෙත් තෙලක් හොඳින් ආලේප කළාය. වසර ගණනාවක් තමන් එක්ක හිටි, දරුවන් විස්සකට ආදරණීය තාත්තෙක් වුණු මුණුපුර මිණිපිරියන් අසූ එක් දෙනෙකුට සීයා වුණු සමස්ත දරු මුණුපුරු මිණිපිරිවත් හාරසීය හැට තුන්දෙනකුට ආතා වුණු ජිනදාස සීයා මාර්තු මස විසි හය වැනිදා අවසන් හුස්ම හෙළීය.
දිශානි ජයමාලි කරුණාරත්න