2021 අප්‍රේල් 10 වන සෙනසුරාදා

අනුන්ගේ ඔටුනු ගලවා හත්පොළේ ගාගත් රූප රාජිණිය!

 2021 අප්‍රේල් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 195

දිනය අප්‍රේල් මස 04 වැනිදාය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් ඇරඹුණ (Mrs. Sri Lanka for Mrs. World) තරගාවලිය අවසන් වූයේ කිසිදාක, කිසිවෙකු බලාපොරොත්තු නොවුණ අශීලාචාර ක්‍රියාකලාපයකිනි. 
මෙම තරගාවලිය මාස කිහිපයක් පුරාවටම විවිධ තරගකාරි ඉසව් හරහා විනිශ්චයට ලක් විය. මාස ගණනාවක් පුරා පැවැති මෙම තරගාවලියේදී නිත්‍යාරාම මුර්තු, රමනි ප්‍රනාන්දු, ධනංජය බණ්ඩාර, මෝහිනී ෂර්මා ඇතුළු පිරිසක් විනිශ්චය මණ්ඩලය වශයෙන් කටයුතු කළහ. මෙම විනිශ්ච මණ්ඩලයේ කිහිපදෙනෙකුට ආරාධනා කොට තිබුණේ 2020 ලෝක විවාහක රූ රැජන ලෙසින් කිරුල පැළඳි කැරොලයින් ජූරි විසිනි.

කෙසේ වුවද අවසන් තරගාවලියේදී අවසන් දෙදෙනා අතරට තේරී පත්ව සිටියේ ආෂියා බස්නායක සහ පුෂ්පිකා ද සිල්වාය. නිවේදකයා විසින් අවසන් ප්‍රතිපලය නිකුත් කළේ පුෂ්පිකා ද සිල්වාට “Mrs. Sri Lanka” ලෙස කිරුළ හිමිකර දෙමිනි. පුෂ්පිකාට මල් කළඹ දී සාටකය පළඳවන ලද්දේ අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පළමු ලෝක විවාහක රූ රැජන ලෙසින් කිරුළ පැළඳි රෝසි සේනානායක මහත්මිය සහ ලෝක විවාහක රූ රැජන තරගාවලියේ මෙරට අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා විසිනි. මෙහිදී පුෂ්පිකාට හිමි කිරුළ පළඳවන ලද්දේ 2020 ලෝක විවාහක රූ රැජන ලෙසින් කිරුළ පැළඳි කැරොලයින් ජූරිය.

කෙසේ වූවද පුෂ්පිකාට හිස පැළඳි තම කිරුළ දරා සිටින්නට හැකිවූයේ ඉතා කෙටි කාල සීමාවකට පමණි. කාලයක් සිට හිතේ කැකෑරෙමින් තිබූ මොකක්දෝ පහත් හැඟීමක් කැරොලයින්ගේ හිතින් එළියට පැන්නේය. වහා නිවේදකයාගෙන් මයික්‍රෝෆෝනය උදුරාගත් කැරෝලයින් ජූරි පුෂ්පිකා විසින් දිනාගත් කිරුළ හා ජයග්‍රහණය ඇයට අයිති නොවන බව නිවේදනය කළාය. ඇය ප්‍රකාශ කළේ පුෂ්පිකා දික්කාසාද වූ ගැහැනියක බවත් එය ජාත්‍යන්තර තරගයට වලංගු නොවන, නීතිරීතිවලට පටහැනි දෙයක් බවත්ය.

කැරොලයින් විනිශ්ව මණ්ඩලයේ තීරණයට එහා ගිය තීරණයක් වේදිකාවේ සිට එසේ ප්‍රකාශ කර එතැනින් නැවතුණේ නැත. ඇය වහා පුෂ්පිකා වෙත ගොස් ඇගේ හිස පැළඳ සිටි කිරුළ හිසින් බලෙන් ගලවා දමන්නට දැඩි උත්සහයක නිරත වූවාය. ඇගේ ගමන ආවේගශීලී විය. ඇගේ ක්‍රියාව ආවේගශීලි විය. ඒ සියල්ල දෙස වේදිකාව ඉහළ සිට තවත් තරගකාරියන් දෙදෙනෙකු බලා සිටියදී දෙනෝදාහක ආරාධිත අමුත්තන් වේදිකාව ඉදිරිපස බලා සිටියදීත් තරගාවලියේ කිසිදු සංවිධායකයෙක් මෙම ක්‍රියාව නතර කරන්නට ඉදිරිපත් වූයේ නැත. නමුත් වේදිකාව පිටුපස සිටි තවත් කෙනෙක් වු චූලා නම් කාන්තාවද වහ වහා කැරොලයින් ජූරි සහ පුෂ්පිකා වෙත ඉතා ඉක්මනින් පැමිණියාය. ඇයද පසෙක සිට ගොදුරකට ඉව ඇල්ලූ සතෙකු සේ බලා සිටි බවත් කියති. කැරෝලයින් ජූරි පුෂ්පිකාගේ හිස පැළඳි කිරුළ ගලවා දමන්නට උත්සාහ ගනිද්දී චූලාද වේගවත් අඩි තබමින් මේ ගොදුර වෙත දිව ආවාය. 

චුලා ඇඟිල්ල දිගුකොට පුෂ්පිකාට බැණ වැදුණාය. කැරොලයින් පුෂ්පිකාගේ හිසේ පැළඳි රත්තරන්වලින් සැදවු බරුති කිරුළ ගලවා දැමුවාය. එතනින් නොනැවතුණ ඇය තරගයේ  දෙවැනි ස්ථානය හිමිකරගත් ආෂියා බස්නායකට කිරුළ පැළඳුවාය. ආෂියා තමන්ට හිමිවූ කිරුළ පැළඳ වේදිකාවට ආචාර කොට ඒ සතුට සැමරුවාය.

මෙය යම් වේදිකා නාට්‍යයක් යැයි සමහරවිට ඇතැමුන්ට හිතෙන්නට ඇත. 

මෙය සැලසුම් සහගතව කරනාලද ක්‍රියාවක් යැයි තවත් සමහරු චෝදනා කළහ. පුෂ්පිකා ද සිල්වාගේ හිසේ පැළඳි කිරුළ කැරොලයින් ගලවා ආෂියාට පැළඳීමෙන් අනතුරව පුෂ්පිකා වේදිකාව පසෙකට වූවාය. ඒ ඉවසීම පුදුම සහගතය. ඒ ගමනේ කිසිදු ආවේගශීලී රටාවක් තිබුණේ නැත.

පුෂ්පිකා ද සිල්වා පුංචි පුතෙකුගේ මවකි. තමන් දික්කසාද වූ කාන්තාවක් නොවන බවත් සැමියාගෙන් වෙන්වී තම කුඩා පුතණුවන් සමඟ වෙනමම ජීවත්වන බවත් පුෂ්පිකා පසුව ප්‍රකාශ කළාය. ඇය තවමත් නීතියෙන් වෙන්වී නැත. ඇයගේ සැමියාද තම මුහුණු පොත හරහා දන්වා ඇත්තේ තමන්ගේ විවාහයේ අවසන් තීරණය තවමත් දන්වා නැති බවය. ඒ අනුව ඔවුන් තවමත් දික්කසාද වී නොමැත. කෙසේ වුවද තරගාවලියට ඒමටත් පෙරම පුෂ්පිකා මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම ඇය තනිවම දරුවාව හදන (Single mom) කෙනෙකු බව පවසා තිබුණි. පුෂ්පිකා ඒ කිසිවක් සඟවා කටයුතු කළ කාන්තාවක් නොවීය.

මෙම තරගාවලියේදී දික්කසාද හෝ සැමියාගෙන් වෙන්වූ කාන්තාවකට තරග වැදීමට නොහැකි වන්නේ නම් ඒ පිළිබඳව එම සංවිධායකවරුන් තරගයට ඉදිරිපත් වූ මුල් කාලයේදීම පුෂ්පිකාට දැනුම් දෙන්නට තිබුණි. මෙම තරගාවලියේ ප්‍රධාන සංවිධායක වූ චන්දිමාල් ජයසිංහට මෙම තරගය පැවැත්වීම සඳහා කැරොලයින් ජූරි මුලසිටම ලොකු සහයෝගයක් ලබාදී තිබුණි. තරගයේ සිටි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙකුම තෝරාගෙන තිබුණේ කැරොලයින් ජූරිය. ඉන්දියාවේ සිට පැමිණි මෝහිනී ෂර්මාව මෙරට ගෙන්වා නිරෝධායන කටයුතු කොට තරගයේ විනිශ්ව මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේද කැරොලයින් ජූරි විසිනි. ඇය විසින් ගෙන්වූ  විනිශ්ව මණ්ඩලයේ සැදුම්ලත් පළපුරුද්ද සහිත ප්‍රවීණ විනිශ්ව මණ්ඩලයකින් තේරී පත්වූ තරගකාරියට තමන්ගේ අතින්ම කිරැළ පළඳා අවසානයේදී එය ගලවා දමන්නට තරම් කැරොලයින් ජූරි ආවේගශීලී වූයේ ඇයිදැයි වටනා ගත නොහැක.

කැරෝලයින් ජූරිද ලෝක රූ රැජිණ කිරුළ හිමිවූ ශ්‍රී ලංකික කාන්තාවකි. ඇය පසුගිය වසරේ එය දිනාගත්තේ මීට වසර තිස්පහකට පෙර රෝසි සේනානායක විසින් දිනාගත් ජයග්‍රහණයයි. එවැනි ජයග්‍රහණයක් දිනාගත් කැරොලයින් ජූරි අවසානයේදී තමන් දිනාගත් අභිමානය තවත් කාන්තාවක් ඉදිරියේ ලෝකයටම පෙනෙන්නට බිම දැම්මාය. කොළඹ නෙළුම් පොකුණේදී කැරෝලයින් ජූරි සහ චූලා එක්ව ගලවා දැමුවේ පුෂ්පිකාට පැළඳි කිරැළ නොව තමන්ගේ හිසේ පැළඳි “ලෝක විවාහක රූ රැජිණ” කිරුළේ අභිමානයයි.

“මේ සිදුවුණේ මට මගේ ජීවිතේ තියා මගේ හතුරෙකුටවත් ප්‍රාර්ථනා කරපු දෙයක් නොවේ. ගැහැනු කෙනෙකු අපහාසයට ලක්කරපු උපරිම අවස්ථාව මෙය කියලා ලෝකේ බොහෝ දෙනෙක් කියලා තිබුණා. ඒ අපහාසයට ලක්වුණ ගැහැනිය මමයි. මට ඒ වෙලාවේ හිතාගන්නවත් බැරිවුණා. මම පුදුම ඉවසීමක් ඉවසුවේ. ඒ හැම හොඳ ගතිගුණයක්ම මට දුන්නේ මගේ අම්මයි, තාත්තයි. ඒ වෙනුවෙන් මම මගේ අම්මට තාත්තාට ස්තූති කරන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට කියල දුන්නේ කිසිම කෙනෙකුට වෛර කරන්න එපා. කරුණාව දක්වන්න කියලයි. අපි හොඳක් කළොත් අපි ඒ හොඳ ගෙනියයි. අපි නරකක් කළොත් ඒකට අපිට කවදා හරි දඬුවම් ලැබෙයි කියලයි මම හැමවෙලේම විශ්වාස කරන්නේ. ඒ අය හැසිරුණු විදිහෙන් ඒ අයගේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවා. ඒක මුළු ලෝකයම දැක්කා. අද ඒකෙන් අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ ඒ අයමයි. ගැහැනියක් හැම වෙලේම ගැහැනියක් රකින්න ඕනේ. ඒ අයට උදව් කරන්න ඕනේ. ඒක තමයි ගැහැනුකම කියන්නේ. නමුත් ඒ ලාලිත්‍ය බව හදවත ලස්සන බව ඒ අය ළඟ තිබුණේ නැහැ.” යැයි පුෂ්පිකා ද සිල්වා  මේ  සිදුවීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවාය. 

බලහත්කාරයෙන් කිරුළ ගලවා ගනිද්දී එයින් පුෂ්පිකාගේ හිසට යම් තුවාල සිදුවී තිබූ අතර මේ නිසාම ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. හිසේ ඇතිවූ වේදනාවට වඩා ඇයගේ හිතේ විශාල වේදනාවක් ලැබූ බවද ඇය කියයි. 

“අම්මි... ඔයාගේ ඔළුවට තුවාල වුණාද? ඔයාට රිදෙනවාද ඇති...” පුංචි පුතු හිස අල්ලා ඇගෙන් අසද්දී පුෂ්පිකාගේ හිතේ ඇතිවූයේ වේදනාවකි.

මෙම සිදුවීමත් සමඟ ඇතැමුන් නෙළුම් පොකුණ රඟහලට අලාභහානි කර තිබුණි. පැය හතරකට නෙළුම් පොකුණ රඟහල වෙන්කර තිබුණද සිදුවූ අනපේක්ෂිත තත්ත්වය හමුවේ තවත් පැය දෙකක් පමණ වැඩිපුර කාලයක්ද ගතවී තිබීම හේතුවෙන් සංවිධායක මණ්ඩලයට තවත් විශාල මුදලක් ගෙවිමට සිදුව තිබිණි.

“මේ ඇතිවූ තත්ත්වය හමුවේ නෙළුම් පොකුණ පරිශ්‍රයට හානි සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්නට සිදුවේවි. මෙම සිදුවීම නැවත නිරාකරණය කර ගැනීම සඳහා රෝසි සේනානායක මහත්මියගෙන් විශාල සහයෝගයක් මට ලැබුණා. දැන් ප්‍රශ්නය ඉවරයි. කිරුළ අයිති වන්නේ පුෂ්පිකා ද සිල්වාටයි. ඇයව ප්‍රවීණ පළපුරුද්දක් ඇති විනිශ්චය මණ්ඩලයකින් තමයි තේරුවේ. ඒක මයික් එකක් අරගෙන කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න පුළුවන් නම් මෙච්චර කාලයක් අපි මේ වෙනුවෙන් වෙහෙස වෙන්න ඕනේ නැහැ. විනිශ්ච මණ්ඩලයේ තීරණය අවසන් තීරණයයි. ලෝක විවාහක රූ රැජන තරගාවලියේ සංවිධායක මණ්ඩලයෙන් මට අවසන් තීරණය ගැනීමට අයිතිය ලබාදුන්නා. ඒ නිසා ඉදිරියේදී ලංකාවේ පැවැත්වෙන ලෝක රූ රැජන තරගයට ලංකාව වෙනුවෙන් පුෂ්පිකා ද සිල්වා ඉදිරිපත් වෙනවා. ඇය එහිදී නියෝජනය කරන්නේ අපේ රටයි. මම මේ රටට මේ ක්ෂේත්‍රයට ආදරෙයි. ඒ නිසා ඇයට ඒ ගමනට උපරිම සහයෝගය අපි ලබලා දෙනවා.” යැයි ශ්‍රී ලාංකික විවාහක රෑ රුජිණ තරගාවලියේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ පැවසීය.

2020 දී ලෝක විවාහක රූ රැජන ලෙසින් කිරුල පැළැන්දේ කැරොලයින් ජූරිය. නමුත් මෙම සිදුවීමත් සමඟ ලෝක විවාහක රූ රැජන තරගාවලියේ සංවිධායකවරුන් 2020 ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජූරිගේ එම හැසිරීම පිළිබඳව සිය කනස්සල්ල පළකර තිබිණි. නිවේදනයේ එම හැසිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය පියවර ගන්නා බවත් ඔවුන් සඳහන් කොට ඇත.

“මේ සිදුවුණු සිදුවීම ගැන මට ඇත්තටම දුකයි. කාන්තාවකගේ අනාගතය වෙනුවෙන් කවුරුන් හෝ කෙනෙකු ඒ ගමන නවත්වන්න හදනවා නම් ඒක එයා ලබන ජයග්‍රහණයක් නොවේ. ඒක ඒ කෙනා ලබන පරාජයක්. මගේ ජීවිතේ මට වැරදුණු තැන් ගොඩාක් තියෙනවා. මට හිතාගන්නවත් බැරි විදිහට මගේ ජීවිතේ වැරදුණා. ඒවා මම කිසිමදාක බලාපොරොත්තු වුණේ නැහැ. හැබැයි ඒ වැටුණු හැම තැනකදීම මට මගේ අම්මා, තාත්තා ලොකු ශක්තියක් වුණා. මගේ අක්කා මගේ සහෝදර සහෝදරියන් වගේම බොහෝදෙනා මගේ ළඟින් හිටියා. මම යකඩ ගැහැනියක්...” පුෂ්පිකා ද සිල්වා පවසන්නීය.

ඇය පවසන පරිදි ඇය ජීවිතෙන් කඩා වැටෙන්නට තිබුණේ මීට අවුරුදු තුනකට හතරකට පෙරය. වැටුණු හැම මොහොතකම ඇය ආයෙත් ධෛර්යයෙන් නැගි සිටියාය. 

“කවුරු මට මොනවා කිව්වත් මට වැඩක් නැහැ. මට හොඳ දේ විතරයි කරන්නේ. මට මගේ දෙමව්පියෝ, දරුවා, සහෝදර සහෝදරියන් මාව ආරක්ෂා කරන, මට ශක්තිය ලබාදෙන වගේම මගේ රට ගැන විතරයි හිතන්නේ. මම වගේ දරුවෙක් එක්ක තනිවුණු අම්මාවරුන් අද ලංකාවේ ගොඩාක් දුක් විඳිනවා. මේ කිරුළ හිමිවන්නේ ඒ අම්මාවරුන්ටයි. මේ කිරුළෙන් ඒ අයගේ අනාගතය එළිය කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ සතුට. ගැහැනියක් විදිහට ඒ ගැහැනුන් විඳින වේදනාව මම දන්නවා. මේ කිරුළ තනිවුණ අම්මාවරුන්ට මම පරිත්‍යාග කරනවා...” යැයි පුෂ්පිකා වැඩිදුරටත් පැවසීය. මේ සිද්ධිය සම්බන්ධයෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලීසිය විසින් අප්‍රේල් මස 8 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පොලිස් ඇප මත ඔවුන්ව මුදාහරිනු ලැබිණි. මේ සම්බන්ධයෙන් චූලා තම මුහුණුපොතේ සඳහන් කර ඇත්තේ තමන්ව එලෙස අත්අඩංගුවට නොගත් බවය.

“මාවයි කැරොලයින්වයි අත්අඩංගුවට ගත් බවට නිවුස් වගයක් යනවා. එහෙම එකක් වුණේ නැහැ. අපි අද කුරුඳුවත්ත පොලීසියට මේ ගැන කතා කරන්න ආවා. ඒකෙදි පාර්ශ්ව දෙකේම එකඟතාවයක් මත අපි නඩු මඟට යන්න තීරණය කළා. මම හැමදාම අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්. ඉදිරියටත් එහෙමයි. ලෝකෙ අසාධාරණයට ඉඩක් නැහැ. සාධාරණය වෙනුවෙන් තනියෙන් හරි හිටගන්න කියලයි මගේ තාත්තා මට කිව්වේ. කවදා හරි සත්‍ය ජය ගන්නවා. හරි දේ අවශ්‍ය වෙලාවට කියන්න අපි කාලය ගත්තා.” යනුවෙන් චූලා මුහුණුපොත හරහා පවසා තිබුණි. මේ සම්බන්ධයෙන් තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ කුරුඳුවත්ත පොලීසිය ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මෙම පරීක්ෂණ කටයුතු සඳහා සියලුම දෙනා කැඳවා තිබුණා. පුෂ්පිකාගේ ඉල්ලීම වූයේ ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවකදී ඇයගෙන් සමාව ගත යුතු බව වුණත් එයට කැරොලයින් ජූරි එකඟ වුණේ නැහැ. ඇය කීවේ ඇය පෞද්ගලික ලිපියක් හරහා සහ නිවෙසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගැනීමට කැමති බවයි. නමුත් එයට පුෂ්පිකා කැමති වුණේ නැහැ. ඒ එකඟ නොවීම නිසා මෙය නඩු කටයුත්තක් බවට පත් වුණා.” 

මෙහිදී පුෂ්පිකා ද සිල්වා කුරුඳුවත්ත පොලීසියට පැමිණ මාධ්‍යයට මෙසේ අදහස් දැක්වීය.

“පැය හතරක් තිස්සේ මේක සමතයකට පත් කරන්න උත්සාහ කළා. මටත් මේක වැඩිදුර ගෙනියන්න ඕන වුණේ නැහැ. මමත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඇයත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මාව අපකීර්තියට ලක් කළාම මාධ්‍ය සාකච්ඡාවකින් හෝ මගේ නම සඳහන් කරල සමාව ඉල්ලන්න කියලා තමයි මම කියා සිටියේ. ඒකට එයාලා කැමැති වුණේ නැහැ. ඔවුන් අකැමැතිවීම නිසා අපේ නීතිඥවරියටත් මටත් නීතිමය කටයුතුවලට යන්න වෙනවා. මට සමාව දෙන්න පුළුවන්. නමුත් මට අමතක කරන්න බැහැ.” මේ අතර කුරුඳුවත්ත පොලීසියට පැමිණි කැරොලයින් ජූරි නැවත පිටව යද්දී මාධ්‍ය ඇසූ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා නොදුන් අතර ඇය පැවසුවේ “මම පස්සේ කියන්නම්” යනුවෙනි. මේ සම්බන්ධයෙන් එළඹෙන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කුරුඳුවත්ත පොලීසිය ඔවුන්ට වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

 


 දිශානි ජයමාලි කරුණාරත්න