2021 අප්‍රේල් 11 වන ඉරිදා

ජනතාව වසවිස චුට්ටක් කෑවට කමක් නෑ

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:02 142

පසුගිය දිනවල මෙරටට ආනයනය කරන ලද පොල්තෙල් කන්ටේනර් 13ක පිළිකාකාරකයක් වන ඇෆ්ලටොක්සින් නමැති විෂකාරකය අඩංගු බවට ප්‍රචාර වීමත් සමඟ විශාල ආන්දෝලනයක් ඇති විය. පොල්තෙල් පරිභෝජනයට ජනතාව බිය වූ අතර බොහෝ ප්‍රදේශවල තමන් මිලදී ගත් පොල්තෙල් යළි වෙළෙඳසල්වලට බාර දී තෙල් මෝල් වෙත ගොස් මෙරට සිඳින පොල්තෙල් මිලට ගැනීමට ඇතැම්හු පියවර ගත්හ.  ඒ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න විසින් එක්තරා රූපවාහිනි නාළිකාවකට කරන ලද ප්‍රකාශය ජනතාව තුළ මෙන්ම දේශපාලන කරළියේද විශාල ආන්දෝලනයකට තුඩු දුන්නේය..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යනු මෙරට ජනතාව පරිභෝජනය කරන බොහෝ ද්‍රව්‍යවල තත්ත්වය පිළිබඳව සහතික කරන ආයතනයයි. එමගින් ලබා දෙන එස්.එල්.එස්. සහතිකය අනුව කිසියම් භාණ්ඩයක් පිළිබඳව ජනතාවගේ විශ්වාසය තහවුරු කෙරේ. ලංකාවට ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් අන්තර්ගත බවට අනාවරණ කළේ ප්‍රමිති ආයතනය මගින් නොව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගිනි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ තම ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය යන ආයතන දෙකම කිසියම් ආහාරයක් පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න පිළිබඳව සොයා බලන බවයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එම ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට පවතින්නේද යන්න සොයා බලන අතර කිසියම් ද්‍රව්‍යයක් පරීක්ෂණ දෙකකින් පසු නියමිත ප්‍රමිතියෙන් තොර නම් ඒ පිළිබඳව රේගුවට දැනුම් දීමක් සිදු කොට ඒවා ප්‍රතිඅපනය කිරීමට පියවර ගන්නා බවද ඇය කියා තිබුණාය.

පොල්තෙල්වල පිළිකාරක අන්තර්ගත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මෙන්ම ප්‍රමිති කාර්යාංශය මගින්ද සොයාගෙන තිබේ. එහෙත් ඒ පිළිබඳව ප්‍රමිති කාර්යාංශය කිසිවක් අනාවරණය නොකළ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඒ පිළිබඳව අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනාවරණය නොකළේ සියල්ල මාධ්‍යයට හෙළිදරව් කළ නොහැකි නිසා යැයි අධ්‍යක්ෂවරිය කියා තිබිණි. එසේ වුවද එවැනි විෂ  සහිත දේ  අඩංගු ද්‍රව්‍ය හමුවු විට ඒවා ප්‍රතිඅපනයනය කරන ලෙසට රේගුවට දන්වන බවද, තමන්ගේ කාර්ය භාරය නිශ්ශබ්දව ඉටු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා තිබිණි. 

ඇයට අනුව පොල්තෙල් සඳහා ප්‍රමිති ආයතනයේ සහතිකය අනිවාර්ය කර නොමැත. ප්‍රමිති ආයතනයේ සහතිකය සහිතව මෙරටට පොල්තෙල් බෙදාහරින සමාගම් ඇත්තේ එකක් පමණි. 

මෙම සාකච්ඡාවේදී ඇෆ්ලටොක්සින් විෂකාරකය සහිත ආහාර ද්‍රව්‍ය ආනයනය කරන තවත් සමාගම් තිබෙන බවත් එවැනි ආයතන පිළිබඳ හෙළිදරව් කළහොත් දේශීය නිෂ්පාදන සමාගම් කඩාවැටෙන බවත් ඇය කීවාය. අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් කළ මෙම ප්‍රකාශය විශාල ආන්දෝලනයක් නිර්මාණය කළේය. එම ව්‍යාපාරිකයන් පිළිබඳව අනාවරණයක් නොකොට ඔවුන් නිවැරදි මාර්ගයට ගැනීමට කටයුතු කරන බවද ඇය කීවාය. මෙහිදී මාධ්‍යවේදියා  ඇයගෙන් ප්‍රශ්න කළේ ප්‍රමිති ආයතනය එම සමාගම් නිවැරැදි මාර්ගයට ගන්නා තුරු ජනතාව වස කෑ යුතුදැයි කියාය. එසේ වන්නේ කෙටි කලකට පමණක් යැයි ඇය කීවාය. ඇගේ ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ ජනතාව කෙටි කාලයක් වස අනුභව කළාට කමක් නැත යන අරුතය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනා චෝදනා කළේ ජනතාවට වසවිස කවන සමාගම් ආරක්ෂා කිරීමට ප්‍රමිති ආයතනය  කටයුතු කරන බවටය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඇයගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු “ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කරන තොරතුරු අනුව මේ රටේ ජනතාව පිළිකාකාරක සහ  වසවිස සහිත ආහාර පාන පරිභෝජනය කරන බව මෙම ආයතනය හොඳින් දන්නා බව පැහැදිලි වෙනවා. ඒ බව දැන දැනත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් අපොහොසත් වෙලා තියෙනවා. මනුෂ්‍ය ශරීරයට විෂ සහිත දෙයක් ඇතුළුවනවා කියන කාරණය දැනුවත්ව සිදුවනවා නම් එය අපරාධමය වරදක් බව දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිළිව සඳහන් වනවා. මේ වස විස ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත්ව සිටි බව අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ප්‍රකාශයෙන් පැහැදිලියි”

“මෙහිදී මහජනයාගේ සෞඛ්‍යයට සිදුවන හානිය සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුද? මෙම පොල්තෙල්වල පමණක් නොවෙයි වෙනත් ආහාර ද්‍රව්‍යවලත් මෙවැනි වසවිස තිබෙන බවට ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය කියනවා. ප්‍රමිති ආයතනය එවැනි ආයතනයක් නම් එය ප්‍රමිතියක් නැති ආයතනයක්. ප්‍රමිතියක් නැති ප්‍රමිති ආයතනයක් තිබෙන එකම රට ශ්‍රී ලංකාව යැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේය.

පසුගිය 6 වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය සම්පූර්ණයෙන්ම විරුද්ධ වන අතර එය අනුමත නොකරන බවයි. ඇයගේ එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන අතර එම ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට රජය විසින් ගතයුතු තීන්දු සහ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ඉදිරියේදී ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

සිද්ධිකා සේනාරත්න මහත්මිය ප්‍රකාශ කළ පරිදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ආනයනය කරන වෙනත් සමාගම් අනාවරණය වී තිබේ නම් ඒවායේ නම් හෙළිකරන ලෙසට සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය 5 දින ශ්‍රී ලංකා ප්‍රමිති ආයනයෙන් ඉල්ලා සිටියහ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔවුන් මෙම ඉල්ලීම කළ අතර ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරාද හමුවී පවතින තත්ත්වය පිළිබඳව විමසීමටද පියවර ගත්හ. සභාපති නුෂාඩ් පෙරේරා කියා සිටියේ තමාට කිසිවක් සැඟවීමට හෝ කිසිවෙක් ආරක්ෂා කිරීමට අවශ්‍ය නොවන බවත් සියලු තොරතුරු පසු දින ලබා දීමට පියවර ගන්නා බවත්ය.

එහෙත් පොරොන්දු වූ පරිදි පසුදින ඔහු එම ඉල්ලීම ඉටු කළේ නැත. තොරතුරු ලබා ගැනීමට එහි ගිය සිවිල් සංවිධාන සාමාජිකයන්ට ආයතන පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොලැබුණු අතර ප්‍රමිති ආයතනය  ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු තොරතුරු ලබා දෙන බවටය. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තාක්ෂණ අමාත්‍යංශය ඇයගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි අනාවරණය වේ. පසුව කමිටුවක් පත්කර විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නම් ඒ අනුව කටයුතු කිරීමටද නියමිතිය.

මතභේදයට තුඩු දී ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 2016න් පසු පාර්ලිමේන්තුවට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03