2021 අප්‍රේල් 11 වන ඉරිදා

සශ්‍රීක ශ්‍රී ලංකාවකට දොර ඇරේ

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:07 397

ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රයට අනුව 2021 නව අවුරුදු උදාව

2021.04.14 වැනිදාට එළිවෙන පාන්දර ශ්‍රී ලංකා වේලාවෙන් 02.32.43ට නව සිංහල - හින්දු අලුත් අවුරුදු උදාව සිදුවේ. දිගු කාලයක් තිස්සේ ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍ර පර්යේෂණ ක්‍රමවේදය වන 1999.12.31 මධ්‍යම රාත්‍රී නව ශතවර්ෂ උදා ග්‍රහ පිහිටීමට ආදේශිත නව වසරේ ග්‍රහ ගෝචර ආරෝපිතය 2021 නව අවුරුදු අනාවැකි සඳහා ද භාවිත කෙරේ.

ශතවර්ෂ උදා ගුරු - චන්ද්‍ර යුවල සමඟ 2021 නව වර්ෂ උදා ගුරු - චන්ද්‍ර දෙදෙනා යහපත් සංස්කරණ නිර්මාණය කරනු ඇත.

මේ අනුව සෞභාග්‍යයෙන් සපිරි සශ්‍රීක ශ්‍රී ලංකාවකට දොරටු විවෘත කෙරෙන නව මේෂ රවියක උදාවක් සිදුවේ. භූමිය සශ්‍රීක වී ගහකොළ ඵල බරින් බර වේ. අල බතල ආදී බෝග වගා සාර්ථක වේ. මිනිසා මෙන්ම සතා සීපාවාද ආහාරයෙන් පෝෂිත වී තම වර්ගයාට අදාළ ප්‍රීති උත්සවවල රට පුරාම යෙදෙන වසරක උදාවක් වේ. මෙම තත්ත්වය එක් එක් ලග්නවලට බලපාන අයුරු මෙසේය.

ආර්ථික හානි හා නීති ගැටලු

මේෂ:- ලග්නාධිපති කුජ ග්‍රහයා ගෝචරය වන්නේ චන්ද්‍රයා සමඟ ත්‍රිකෝණගතව මෙන්ම ශතවර්ෂ උදා රවි - බුධ - යුරේනස් සමඟ පීඩා වෙමිනි. මිශ්‍ර ඵලදායකයි.

රැකියා ව්‍යාපාර:- සාර්ථක මෙන්ම දියුණුවට දොරටු විවර වේ. ඊර්ෂ්‍යාකාර කුහකයන්ගේ කුමන්ත්‍රණයට ඉඩ දුන්නොත් ආර්ථික හානි නීති කරදර මතුවේ. කල්පනාවෙන් කටයුතු කරන්න. හිතමිතුරන් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. වෘත්තීය දැනුම වර්ධනය කර ගැනීමේදී මෙන්ම උසස් අධ්‍යාපනයට යොමුවීමේදී මිතුරන් වෙසින් සිටින සංසාරගත සතුරන් තමාට බාධා පමුණුවාවි.

සෞඛ්‍ය:- පිත් දෝෂ - ලේ දෝෂ මතුවේ. ගමන් බිමන්වලදී පරිස්සම් වන්න. සුළු අසනීප ගතියක් මතුවුවත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ගුප්ත ශාස්ත්‍රීය ආරක්ෂාව පතන්න.

ගෘහ ජීවිතය:- යහපත් වේ. පවුලේ ළඟම ඥාතින් කෙරෙහිම විශ්වාසයෙන් කටයුතු කරන්න.

මාර්ගෝපදේශය:- බෙහෙත් තෙල් ආලෝක පූජාව, රතු කැකුළු කිරිබත් පූජාව, රතු නෙළුම් මල් පූජාව බුදුන්ට පුදන්න. කතරගම දෙවියන්ට බාරවෙන්න. උදාවන සූර්යයා දෙස බලාගෙන දෑතට නමෝ ශ්‍රී කන්‍යතුරේ ස්වාහ දැහැන කියා මුහුණ පිසදාගන්න.

රැකියා උසස්වීම් ලැබේ

වෘෂභ:- ගෝචර ලග්නාධිපති සිකුරා සමඟ රවි - ගුරු - චන්ද්‍ර දිශා බල ශක්තිය බලගැන්වෙයි. පුද්ගලික ප්‍රාර්ථනා ඉටුකරගත හැක. ඊර්ෂ්‍යාකාර සතුරන් මෙල්ල වෙයි.

රැකියා ව්‍යාපාර:- වගා ආදී නිෂ්පාදන ක්‍රියාවලි උසස් වගකීම් බවට පත්වේ. කලා ක්ෂේත්‍රයක කෙනකු නම් පරිස්සමට මුල්තැන දිය යුතුයි. කල වයස හරි නම් මංගල සීනු හැඬවේ.

සෞඛ්‍ය:- සෙම් පීඩා උග්‍රවීමේ අවදානම ඇත. ශීතාධික ආහාරපාන අහිතකරය. මත්පැන්, දුම්පානය භාවිතය නතර නොකළොත් විශාල සෞඛ්‍ය පිරිහීමකට ලක්වේ.

ගෘහ ජීවිතය:- පවුලට නව සාමාජිකයන්ගේ එකතුවීමක් සිදුවේ. පවුලේ අය සමඟ ආගමික මෙන්ම විනෝද චාරිකා ආදියේ යෙදී සතුටු විය හැක. වටිනා කියන දේට හානියක්, සොර සතුරු බියක් ගෙන දෙනු ඇත.

මාර්ගෝපදේශය:- බුදුන්ට සමන්පිච්ච, සේපාලිකා මල් පූජාව සිදු කරන්න. අටපිරිකර පූජාවක් පවත්වන්න. සුදුසු ස්ථානයක දියුණුවට මුදල් පරිත්‍යාගයක් කරන්න. ලක්ෂ්මි දෙවඟනට පූජා තබා, ඕම් ශ්‍රීම් මහා ලක්ෂ්මී ආගච්ඡා ගච්ච මම මන්දීරේ තිෂ්ට තිෂ්ටා ශ්වාහා දැහැන භාවිත කොට තැන්පත් ධනය තර කරගන්න.

පවුලේ සමගිය වර්ධනය වේ

මිථුන:- ගෝචර ලග්නාධිපති බුධ ග්‍රහයා ශතවර්ෂාරම්භ ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍ර බලවර්ධන සංස්කරණයක ස්ථාපනය වෙයි. 2021 දී ඇරඹූ නව කටයුතු සාර්ථක වේ. විදේශ හිතමිතුරු සහයෝගය ලැබේ.

රැකියා ව්‍යාපාර:- කුමන රැකියා ව්‍යාපාර කටයුත්තක යෙදී සිටියත් පළතුරු - එළවළු - මල් වගා කටයුත්තකින් ලාභයක් ප්‍රයෝජනයක් අමතර වශයෙන් ලබාගත හැක.

සෞඛ්‍ය:- අතේ පයේ රුදා - රුධිර සංයුතිය වෙනස්වීමේ පීඩා මතුවේ. ශීර්ෂ පීඩා වළක්වා ගැනීමට උත්සුක වන්න. බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රිය ආරක්ෂාවට මුල්තැන දෙන්න.

ගෘහ ජීවිතය:- පවුලේ සමගිය සාමය වර්ධනය වේ. අමනාප වී සිටි කෙනකු සාමයේ හස්තය දිගු කරයි. කුමන්ත්‍රණයකට හසුවිය හැකි නිසා කල්පනාකාරී වන්න.

මාර්ගෝපදේශය:- ශ්‍රී විෂ්ණු උපුල්වන් දෙවිඳුගේ ආවතේවකරුවකු ලෙස සිතාගෙන ක්ෂීරපායාස සහ කිරිපිඬු බුද්ධපූජා පවත්වා දේව ආශිර්වාදය ලබාගන්න. තමා කරනු ලබන සියලු කටයුතුවලදී, &භූම දේවී නමෝ නමඃ* කියා පොළොවට වැඳ ක්‍රියාකාරකම්වල යෙදෙන්න. විජයග්‍රාහී වසරක් බවට 2021 පත්කරගත හැක.

ජීවිතයේ නව පිටුවක් ඇරේ

කටක:- ශතවර්ෂාරම්භ චන්ද්‍රයා, ලග්නාධිපති ගෝචර චන්ද්‍රයා සම සප්තමව පිහිටමින් නව වසර උදාවන විට රවි ග්‍රහයා උත්තේජන ස්ථානවල පිහිටා ඇත. ප්‍රබෝධමත් වූ උනන්දුවෙන් යුතුව කටයුතු කළ හැකි වසරක් වෙනවා ඇත.

රැකියා ව්‍යාපාර:- කරන කියන කටයුතුවලට අමතරව තවත් අලුත් දේට යොමුවෙනවා ඇත. ඒ තුළින් ජීවිතයේ නව පිටුවක් පෙරළා ගත හැක. ගණ දෙවි - සරස්වතී දේව පිහිට ලැබෙන නිසා දේව පූජා මගින් රැකියා ව්‍යාපාර දියුණු කරගත හැක.
සෞඛ්‍ය:- නිදිමැරීම නිසා අක්ෂි දුර්වලතා මතුවේ. ජල පීඩාවක් අගෝස්තුවේදී පමණ මතුවේ. පරිස්සම් විය යුතුය.

ගෘහ ජීවිතය:- දුරබැහැරක රැකියා ව්‍යාපාර කළේ නම් පවුලේ සාමාජිකයන්ට ළං විය හැකි කාලයක් මවන වසරකි. දෙමාපිය පරම්පරා දේපළ ලැබීමට පසුබිම සැලසේ.

මාර්ගෝපදේශය:- ගර්භණීන්ට - දිළිඳු ස්ත්‍රීන්ට - සිල්මෑණිවරුන්ට විවිධ පරිත්‍යාග සිදු කරන්න. බතින් - බුලතින් සරු වී භෞතික සම්පත් ප්‍රාර්ථනා කරන්න. තමන් ඕනෑම ක්‍රියාවක් ඇරඹීමට පෙර, &ඕං ගුරුවේ නමඃ* පවසා ගුරු නැමදුමක යෙදෙන්න. නව සූර්ය වර්ෂය ඔබට වාසනාව ගෙන දේවි.

නව චින්තන රටා මතුවේ

සිංහ:- ගෝචර ලග්නාධිපති රවි ග්‍රහයා ශතවර්ෂය ආරම්භක රවි - බුධ සමඟ ත්‍රිකෝණගතව පිහිටා ශනි+ගුරු සමඟ ඉන්දීය භිර්ගු නන්දන නාඩි සංස්කරණයක් මවන නව සූර්ය වර්ෂයකි. ඔබට නව නිර්මාණ - නිෂ්පාදන, නව චින්තන රටා මැවිය හැකි වසරකි.

රැකියා ව්‍යාපාර:- නොවැම්බර් දක්වාම තමාගේ දියුණුව සලසා ගත හැක. රුධිර පරිත්‍යාගයක් වැනි පුණ්‍ය කටයුත්තක් නිසා ඔබට අලුත් හිතමිතුරන් ඇතිවේ. ඒ තුළින් රැකියා - ව්‍යාපාර දියුණු කරගත හැක. අල වගා ව්‍යාපෘතියකින් විපුල ප්‍රයෝජන ලැබිය හැක.

සෞඛ්‍ය:- ඌෂ්ණාධික රෝග - උණ රෝග ආදියෙන් වැළකීමට වගබලාගත යුතුය. ආගන්තුක ගමන් බිමන්වලදී ජල පීඩා - හදිසි අනතුරු ආදියෙන් වැළකීමට වගබලාගන්න.

ගෘහ ජීවිතය:- තමාගේ නිවසේදී හිතමිත්‍ර ඥාතීන් ආදීන්ට බහින්බස් වීමට, රණ්ඩු සරුවල් වීමට ඉඩ නොදෙන්න. ඔබ නීති කරදරයකට පැටලේවි. තම නිවස සිද්ධස්ථානයක් වගේ ගෞරවනීය ලෙස තබාගන්න.

මාර්ගෝපදේශය:- එළඟි තෙල් ආලෝක පූජා බුදුන්ට පවත්වන්න. මහා බ්‍රහ්ම - විෂ්ණු - ඊශ්වර ත්‍රීමූර්තියට ආලෝක පූජා පවත්වන්න. &සං රවිඃ නඃ වෘචං දදාතු* මේ සූර්ය තෙමේ මට වචන දේවා, යනුවෙන් නැග එන සූර්යා දෙස බලා කියන්න. සතුරු බල බිඳී ඔබ නව දියුණුවකට පත්වේවි.

රැකියා තනතුරු හිමිවේ

කන්‍යා:- ලග්නාධිපති ගෝචර බුධ ග්‍රහයා ශතවර්ෂාරම්භ රවි - බුධ සමඟ කේන්ද්‍රගතවද සිකුරු සමඟ ත්‍රිකෝණගතවද පවතී. ඔබේ කීර්තිය ප්‍රබල වේ. නෑ හිතමිතුරන් වඩ වඩාත් ඔබට ළං වෙනවා ඇත.

රැකියා ව්‍යාපාර:- තාවකාලික රැකියා ස්ථිර වන්නාවූද, රැකියා විරහිත නම් රැකියාවක් ලැබෙන්නාවූද, කෘෂිකාර්මික වගා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හා තනතුරු තානාන්තර ලැබෙන්නාවූද වසරකි. රැවටීමකට වංචාවකට ගොදුරු වීමට ඉඩ ඇත.

සෞඛ්‍ය:- පාද ආබාධ - තෙහෙට්ටුව - උරහිස් අමාරු ආදිය මතු කළ හැක. දේශීය හෙළ වෙදහෙදකම්, තෙල් බෙහෙත් - පත්තු, කසාය ආදියෙන් සර්වාංග රෝග අතුරු ආබාධ රහිතව දුරු කළ හැක.

ගෘහ ජීවිතය:- නව නිවාස ගේදොර තැනීමේ කටයුත්තකට සිත යොමු වේ. විදේශගතවීමත්, දුරබැහැර රැකියා ව්‍යාපාර ආදියත් නිසා නිවසින් බැහැරවීමක් ඇත. පවුලේ සම්බන්ධතාවය, හිතවත් ලෙන්ගතුකම් වර්ධනය වේ.

මාර්ගෝපදේශය:- පිච්ච මල් 108ක් දැමූ වට්ටියකට රතන සූත්‍රයේ පස්වන ගාථාවෙන් 108 වාරයක් පිරිත් කර ඕනෑම චෛත්‍යයකට පූජා කරන්න. රෝග සුවය, ධනය හා දේපළ ඉල්ලීම සිදු කරන්න. තරඟ සහ විභාග ජය පතන්න. තමා මෙන්ම ඥාති හිතවතුන් වෙනුවෙන්ද ප්‍රාර්ථනා කළ හැක. ඒකාන්තයෙන්ම ජය පිට ජය නියතයි.

මානසික අසමතුලිතතාවක්

තුලා:- ලග්නාධිපති ගෝචර සිකුරු ග්‍රහයා ශතවර්ෂය ආරම්භයේ සිටි වෘශ්චිකයත් ගෝචර මේෂයත් ශෂ්ඨාෂ්ඨම වෙමින් ගෝචර රාහුගේ අභිමුඛයේ වීම නිසා මිශ්‍ර ඵල ගෙන දෙනවා ඇත. නමුත් උත්සාහය සහ ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි ඇතිවන භක්තිය නිසා සුවිශේෂී දියුණුවක් ලැබිය හැක.

රැකියා ව්‍යාපාර:- එම කටයුතුවලින් ලැබීමට නියමිත මුදල් ආදායම් ප්‍රමාද වීමට මෙන්ම සොර සතුරන් අතට පත්වීමේ අවදානම පවතී. 

ඊර්ෂ්‍යාකාරයන් මතුවී දියුණුව අඩාල කළ හැක. තමාගේ ජීවන චරිතය ලිවීමේ විවේකයක් ලැබෙන අතර එය අනාගතයේදී විකුණා මුදලක් ලැබීමට මඟ පාදාගත හැක.

සෞඛ්‍ය:- පරම්පරාගත නිදන්ගත රෝග හෝ ළමා කාලයේදී සිදුවූ ශාරීරික පීඩාවක ඍණවේගාත්මක ස්වභාවයක් නිසා ශාරීරික මානසික අසමතුලිතතාවය ගෙන දිය හැක.

ගෘහ ජීවිතය:- තමා වැඩිපුර ආවේගශීලී වීමක් නිසා සිදුවන අමනාපයක් හේතු කොටගෙන නිවසින් බැහැර වී යාමක් පෙන්නුම් කරයි. ආනාපානසති සහ මෛත්‍රී යන භාවනා තුළින් සිත පාලනය කර ගැනීමට උත්සාහ කරන්න.

මාර්ගෝපදේශය:- මුචලින්ද නාග දරණය මැද වැඩසිටින බුදුපිළිම වහන්සේට තල තෙල් පහන් 18ක් දිය ගොඩ මල් වර්ග 18ක් බෙහෙත් පැළෑටි වර්ග 18ක් සහිත පූජාවක් තබන්න. දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටින්න.

පෞරුෂත්වය ඔප්නැංවේ

වෘශ්චික:- ලග්නාධිපති ගෝචර කුජ ග්‍රහයා ශතවර්ෂ ආරම්භක රවි සමඟ සම සප්තමවද යුරේනස් සමඟ ශෂ්ඨාෂ්ඨමවද පිහිටන සූර්ය වර්ෂයකි. රාජ්‍ය නිලධාරීන් සමඟ ගැටෙන වර්ෂයක් බව ඉන්දීය භිර්ගු නන්දන නාඩිය පවසයි.

රැකියා ව්‍යාපාර:- තමාගේ පෞරුෂත්ව බලය ඔප්නංවාගෙන කරන කියන කටයුතු සාර්ථක කරගත හැක. තරග - වාද විවාද ආදියෙන් ජය ලැබිය හැක.

ගෘහ ජීවිතය:- අලුතින් නිවාස ගොඩනැගිලි ආදිය තනාගැනීමේ භාග්‍ය ඇත. නිවාස ආදිය ගොඩනගන කෙනකු නම් ඒවායේ වැඩ නිමකර ගත හැක

 විදේශීය හෝ ඈත දුරබැහැර රැකියාවක නියුතු නම් දිවයිනට හෝ නිවස කිට්ටුව රැකියා ස්ථානයකට පැමිණිය හැක.

සෞඛ්‍ය:- ශාරීරික මානසික පීඩාවලට ගොදුරුවීමේ අවදානම පවතී. උස් ස්ථානවලට නැගීම, සෝපාන ගමන, අත්වැල් රහිත තරප්පු නැගීම ආදියේදී පරිස්සමට මුල්තැන දෙන්න.

මාර්ගෝපදේශය:- තමන් කරදරයකට පත්වීමේ අවදානම් අවස්ථා බහුල විය හැක. පහත සඳහන් දැහැන වහාම මෙනෙහි කරන්න. &නමෝ තිලෝකගුරු ප්‍රතිෂ්ඨාහා* දිනපතා අලුයම ක්ෂීරපාන වීදුරුවක් තම තේ පානයට ප්‍රථම බුදුන්ට පූජා කරන්න.

සතුරු කරදර හා අවහිරතා ගෙන දේ

ධනු:- ශතවර්ෂාරම්භ කුජ ග්‍රහයා මතින් ලග්නාධිපති ගෝචර ගුරු ගමනේ යෙදේ. යම් යම් අයුතුසහගත වැරදි, අකුසල කර්මවල පව් ඉස්මතු වී විශාල කුසලයන් යටපත් වන නව සූර්ය වර්ෂයක් වෙයි. උත්සාහයන් සඵල කරගත හැක. ලග්නාධිපතිගෙන් 12 වැන්නේ ශනි ග්‍රහයා ගෝචරය වේ.

රැකියා ව්‍යාපාර:- සියලු කටයුතුවලට අවහිර බාධා ගෙන දේ. බලාපොරොත්තු නොවූ අයවලුන්ගෙන් සතුරු පීඩා ගෙන දේ. කල්‍යාණ මිත්‍රයන්ට වෙනස්කම් කිරීමට සිතිවිලි පහල වීම නිසා දියුණුව අඩාල වෙයි.

සෞඛ්‍ය:- ආහාරපාන ගැනීමේ ඇති රුචිය අඩුවෙයි. ශරීරය දුර්වල වීමේ පසුබිම් සැකසේ. මානසිත අසමතුලිතතා ඇතිවනු ඇත. නොසන්සුන් වීම නිසා තෙහෙට්ටුවක් ඇතිවේ.

ගෘහ ජීවිතය:- අඹු සැමියන් දුරස් කර තැබීම පිණිස කාලත්‍රයා විදේශත කරවීම - දුරබැහැර ස්ථානවලට රැකියා මාරු ලබාදීම වැනි දේ සිදුවේ. නිතරම අඹු සැමියන් එකිනෙකා අතර විශ්වාසයෙන් මෛත්‍රී සිතිවිලි බැඳීමෙන් යුතුව සිටිය යුතුය.

මාර්ගෝපදේශය:- මහා බ්‍රහ්ම - විෂ්ණු - ඊශ්වර ත්‍රීමූර්තිය ප්‍රමුඛ දේව මණ්ඩල පූජාද - සෙනසුරු ග්‍රහ කන්නලව්ද සිදු කිරීම මැනවි. එළඟි තෙල් පහන් පූජා බුදුන්ට පූජා කිරීම සුදුසුය. &ඕං ශනේෂ්වරාය නමහඃ* යන දැහැන කියමින් නිල් මල්මාලා සෙනසුරුවට පැළඳවීම මැනවි.

අතමිට මුදල් හදල් ගැවසේ

මකර:- වර්ෂය ආරම්භයේ සෙනසුරු ග්‍රහයාට දහවැන්නේ නමුත් යුරේනස් මතින් ගෝචර ලග්නාධිපති සෙනසුරු ගමන් කරනු ලබන වසරකි. දැඩි උත්සාහය ආත්මශක්තිය මැවෙන වසරකි. නමුත් හදිසි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

රැකියා ව්‍යාපාර:- නව රැකියා - ව්‍යාපාර - කර්මාන්ත භාග්‍ය ඇත. අතමිට මුදල් හදල් ගැවසෙන නමුත් තැන්පතු හීන වේ. අනවශ්‍ය වැය කිරීම්වලට මඟ පෑදේ.

සෞඛ්‍ය:- දෙපාවලට ආබාධ මතු වේ. මානසික පීඩා, චෝදනා, අපවාද, නීති කරදර මතු වේ. මහන්සි වී වැඩ කිරීමට සෞඛ්‍ය තත්ත්වය බලවත් වේ.

ගෘහ ජීවිතය:- දරුවන්ගේ දියුණුව සැලසේ. දරුවන්ගේ රුකීරක්ෂා විවාහ කටයුතු ආදිය සාර්ථක වෙයි. භූමි ලාභ - බහිරව බලවේග ශක්තිමත් වී ස්ථාන දියුණුවක් සැලසේ.

මාර්ගෝපදේශය:- සෙනසුරු ග්‍රහ බලවේගය වෙනුවෙන් එළඟි තෙල් පහන් පූජාවක් තැබීම සුදුසුයි. විෂ්ණු දෙවියන්ට නිල් මල්මාලා පූජා තබා ආශිර්වාද පතන්න. විෂ්ණු දෙවියන්ගේ ආවතේවකරුවකු යයි සිතාගෙන ක්ෂීරපාන සහ කිරිපිඬු පූජා බුදුන් වහන්සේට පූජා කර ආශිර්වාද ලබාගන්න.

අනුන්ගේ වස්තුව ලැබේ

කුම්භ:- ගෝචර ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ශතවර්ෂය ආරම්භක කුජගෙන් දොළොස්වැන්නේ ගමන් කරද්දී නව සූර්ය වර්ෂය උදා වේ. ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍ර න්‍යායට අදාළව හදිසි අනතුරු විපත්ති අවදානම පවතින බව පෙන්නුම් කෙරේ.අනුන්ගේ වස්තුව ලැබීමේ වාසනාවද මතු කර ඇත.

රැකියා ව්‍යාපාර:- පවතින රැකියා ව්‍යාපාර නැතිවීමටත් අලුතින් එවැනි දේ සමඟ නව තනතුරු තානාන්තර ලැබීමටත් භාග්‍ය හිමි වේ. උත්සාහය අත් නොහළ යුතුය.

සෞඛ්‍ය:- දෙපාවල මෙන්ම උගුර සම්බන්ධව අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් මතු කළ හැක. පිට කරන වචන නිසා ඇතිවන මානසිකත්වයක් මත ශාරීරික පීඩා ගෙන දිය හැක.

ගෘහ ජීවිතය:- පවුලේ සමගිය සාමය වර්ධනය වෙයි. අලුතින් ඥාති හිතමිත්‍රාදින් නිවසට එක්රොක් වනු ඇත. නිවසට ගෙදරදොරට අවශ්‍ය බොහෝ දේ ලැබීමට නියමිතය. නිවසට අලුතින් කොටසක් එකතු කරයි.

මාර්ගෝපදේශය:- දන්ත ධාතුන් වහන්සේට පූජා තබන්න. විශ්වකර්ම දෙවියන්ට පින් දෙන්න. ගණ දෙවි හනුමන්තා දෙවිවරුන්ට සුදු කිරිබත් පූජා කරන්න. සූර්ය නමස්කාරය කර ජයග්‍රහණ ඉල්ලන්න

ව්‍යාපාරවලින් ලාභ හිමිවේ

මීන:- ගෝචර ලග්නාධිපති ශතවර්ෂය ආරම්භයේ ගුරු - ශනිට යාබද වෙමින් පවතින සූර්ය වර්ෂයකි. අමුතු ආශ්වාදයක් - ධෛර්යයක් - ජයග්‍රහණයක් වැනි දෙයක් කෙරෙහි සිත යොමු වේ.

රැකියා ව්‍යාපාර:- පමා වී තිබූ උසස්වීම් ලැබේ. පාඩු ලැබූ ව්‍යාපාර ලාභ ලැබෙන තත්ත්වයට පත්වේ. ව්‍යාපාර - නිවාස ගේදොර ආදියේ සිටි සංසාරගත සතුරු දැසි දසුන් ඉවත්ව යයි

සෞඛ්‍ය:- සෙම් දෝෂ ඇතිවීම සුව වෙයි. පරිසරය වෙනස්වීම නිසා සෞඛ්‍යසම්පන්න තත්ත්වය ඇතිවේ. නිරවුල් මනසකින් යුතුව කටයුතු කළ හැක. 

ගෘහ ජීවිතය:- නිවාස ගොඩනැගිලි අලුතින් ගොඩනැගීමට පුළුවන. පවුලේ අය සමඟ ප්‍රීති වන අවස්ථා මතුවේ.

මාර්ගෝපදේශය:- අඹ පැළයක් රෝපණය කරන්න. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ශ්‍රී ලක්ෂ්මි පිළිරුවකට මුදල් මාලාවක් පළඳවන්න. &ඕම් ශ්‍රීම් ක්ලීම් මහා ලක්ෂ්මී ඒහි ඒහි සර්ව සෞභාග්‍යා දේවි නමෝ නමඃ* දැහැන කියවන්න.

 ජ්‍යොතිෂවේදී අක්මීමන සුරා ශ්‍රී ගුණවර්ධන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03