ශ්‍රී ලංකා ඉතිහාසයට නව වාර්තාවක් එක් කරමින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 202 ඉක්මවා මේ වන විට පහළ බැස තිබේ. රුපියලේ අගය මෙලෙස වේගයෙන් අවප්‍රමාණ වීම නිසා දැනටමත් අර්බුදයක තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකය කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත්වී හමාරය. රුපියල අවප්‍රමාණ වීම පාලනය කිරීම සඳහා මෙයට පෙර පැවැති රජයන් මෙන් මෙම රජයද කෙටිකාලීන පියවර ගනිමින් පැවතුණද ඒ සියල්ල අසාර්ථක වී ඇති බව අද රුපියලට අත්වී ඇති ඉරණම ගැන බලන විට පැහැදිලි වේ.
අනපේක්ෂිත ලෙස විනිමය අනුපාතය පහළ යන විට පවතින රජයට මෙන්ම එහි ප්‍රධාන සම්පත්දායකයා වන ශ්‍රී ලංකා මහ බැංකුවට “ඔහේ බලාගෙන” සිටිය නොහැක්කේ එය ඔවුන්ගේ ප්‍රධානතම වගකීම වන බැවිනි. එහෙත් මෙතෙක් පැවැති කිසිදු රජයක් ඒ වෙලාවට පැළැස්තරයක් අලවනු විනා රුපියල ශක්තිමත් කිරීමට සාර්ථක පියවරක් ගෙන නොමැත. වර්තමාන රජය වුවද දැන්වත් යම් ක්‍රමවේදයකට යා යුතුව තිබියදී කරනුයේ පසුගිය යහපාලන රජයේ ක්‍රියාකලාපය නිසා මේ තත්ත්වය ඇතිවූවා යැයි ඔවුන්ට “බෝලය පාස් කිරීම” පමණකි.
මේ තාක් කල් රජයන් කළේ රුපියල වැඩියෙන් අවප්‍රමාණ වූ විට එයට ප්‍රතිකර්මයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතවලින් කොටසක් රුපියල් බවට පත්කර දිය කර හැරීමය. මෙය වනාහි අතීසාරයට අමුඩය ගසන්නාක් මෙන් වූ අසාර්ථක ප්‍රයත්නයකි. මෙවරද ඩොලරය රුපියල් 200 ආසන්නට පැමිණි විට ආණ්ඩුව කළේ මහ බැංකුවේ ඇති විදේශ සංචිතවලට අතපෙවීමය. එහෙත් සැමවිටම එය කළ නොහැකිය. එයට හේතුව රුපියල යථා තත්ත්වයට ගෙන ඒමට ප්‍රමාණවත් සංචිත මහ බැංකුව සතුව නොමැතිවීම සහ මහ බැංකුව සතුව සංචිත පවත්වාගෙන යාම අනිවාර්ය අවශ්‍යතාවක් නිසාය.
මේ කඩාවැටීම තාවකාලිකයි
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනුයේ මෙය තාවකාලික කඩාවැටීමක් වන අතර එය ඉක්මනින් යාවත්කාලීන වන බවයි. එහෙත් එය සිදු කරන්නේ කෙසේදැයි ඔහු පවසන්නේ නැත. මෙය හරියට අඬන ළමයා නලවා ගැනීමට මවක් දරණ ප්‍රයත්නය මෙන් අසාර්ථක කතාවකි.
රටක විනිමය අනුපාතිකය තීරණය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. ඒ සඳහා පවතින අනුමත ක්‍රමවේදයට අනනුකූලව යාමට මහ බැංකු බලධාරීන්ට නොහැකිය. එයට හේතුව මෙම ක්‍රියාදාමය ජාත්‍යන්තර මූල්‍ය සම්මුතීන් සමඟ බැඳී පවතින නිසාවෙනි. යම් විදියකින් විනිමය අනුපාතිකය ප්‍රකාශයට පත් කිරීමට අපේ පාර්ලිමේන්තුවට බලය තිබුණා නම් එය ඔවුනට කජු කනවා මෙන් පහසු වැඩක් වෙනවා ඇත. ආනයනය පාලනය කිරීම මෙයට එකම විසඳුමක් නම් එයින් සිදුවන්නේ අමෙරිකානු ඩොලර් වෙනුවෙන් රට තුළ ඇති ඉල්ලුම පහත වැටීමයි. අද ආනයන පාලනය නිසා සිදුවෙමින් පවතින්නේ එයයි. එය රට විශාල අර්බුදයකට යොමු කරනවා ඇත.
ආනයනය කපා හැරීම, අපනයනය වැඩි කිරීම, විදේශ රැකියාවල නිරතවූවන්ගෙන් හා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ප්‍රේෂණ වර්ධනය කිරීම මගින් මෙම බලපෑම අවම කළ හැකි නමුත් අවාසනාවට මෙන් මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වය මත එම උත්සාහය අසාර්ථක වනු ඇත. කෙසේ හෝ ආනයනවලට අවශ්‍ය තරම් විදේශ විනිමය උපයාගත හැකි නම් මෙම ගැටලුව උද්ගත වන්නේ නැත. එහෙත් අද වන විට ආයාත හා නිර්යාත අතර එකට එකක වෙනසක් ඇත. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දළ වශයෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 10ක් පමණ වන විට ආනයන වැය ඩොලර් 20 ඉක්මවා යයි. මෙයින් පෙනෙන්නේ අඛණ්ඩ විදේශ සම්පත් හිඟය හා ඒ ඇසුරෙන් නිර්මාණය වන ඉල්ලුම රටට කරන හානියයි. පසුගිය වසර 20 තුළ පත්වූ කිසිම ආණ්ඩුවක් මේ කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා මේ වන විට තත්ත්වය අති උග්‍ර වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව 2021 ජනවාරි සිට මාර්තු දක්වා වූ මුල් කාර්තුව (මාස 3) තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6.5 ඉක්මවා අවප්‍රමාණ වී තිබේ.
1950 වසර වන විට රුපියල් 4.76ක අගයක පැවැති ශ්‍රී ලංකා රුපියල 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දෙන අවස්ථාව වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පැවතියේ 8.87 මට්ටමිනි. වර්ෂ 2000 දී රුපියල් 75.78 දක්වා පහළ බැස තිබූ අතර 2016 දී රුපියල් 150.64 දක්වා පහළ වැටුණේය. 2020 ආණ්ඩු මාරුව සිදුවන විට රුපියල 160 ඉක්මවා අවප්‍රමාණ වීම ගැන කෑ කොස්සන් ගැහූ අතර එය මැතිවරණය ජය ගැනීමටද හොඳ තුරුම්පුවක් විය. එහෙත් අලුතින් පටන්ගත් අවුරුදු 1 ½ තුළ 200 ඉක්මවා අවප්‍රමාණ වී තිබෙන නමුත් විසඳුමක් නැත.
රුපියල මෙලෙස අවප්‍රමාණ වීම රටේ අභ්‍යන්තර මිල මට්ටම ඉහළ නැගීමට හේතුවෙයි. ආනයන භාණ්ඩවලට වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉහළ යන අතර එය දේශීය භාණ්ඩවලටද අහිතකරව බලපායි. මෙහිදී සිදුවන තවත් හානියක් නම් රුපියල අවප්‍රමාණ වන ප්‍රතිශතයට සාපේක්ෂව විදේශ ණය බරද ඉහළ යාමයි. එවිට වසරින් වසර ගෙවන්නට ඇති ණය හා පොලිය ඉහළ යයි. විදේශ ණය ගෙවීම සඳහා රට තුළ විනිමය නිපැදවීමක් නොමැති වූ විට ණය ගැනීමට සිදුවේ. මෙලෙස ණය ගෙවීමට තවත් ණය ගැනීම නිසා ණය බර ක්‍රමයෙන් උග්‍ර වෙයි. අලුතින් ණය ගන්නා විට ඒ ණයද මෙයට එකතු වීමෙන් අර්බුදය තවත් උග්‍ර වනවා ඇත. ආර්ථික විශ්ලේෂකයන් ශ්‍රී ලංකාව ණය උගුලක පැටලී සිටිනවා යැයි කියන්නේ මේ නිසාය.
දැනට 200 සීමාව ඉක්මවා අවප්‍රමාණ වී ඇති ශ්‍රී ලංකා රුපියල යම් තරමකට හෝ කෙටිකාලීනව ශක්තිමත් කර අනතුරුව දිගුකාලීන විසඳුම් මගින් ස්ථිරවම ශක්තිමත් කළ යුතුව ඇත. මෙම දිගුකාලීන විසඳුම්වලට යොමුවීම පවතින රජයේ ප්‍රධාන කාර්යභාරයක් වනු ඇත. මේ සැලසුම් යම් පමණකට හෝ දැන් ආරම්භ කළහොත් ඊළඟ දශකය තුළ කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් රට කරගෙන යාමට පහසු වෙනවා ඇත. එයට හේතුව වන්නේ දැනට උද්ගතව ඇති ප්‍රධානතම ගැටලුව වන රුපියල රුකගැනීමට අපොහොසත් වීම නිසාය.
අපේ රට ආයෝජකයන්ට නුසුදුසු රාජ්‍යයක් වෙලා
මේ පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මෙසේ කරුණු පහදයි.
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අසීමාන්තිකව අවප්‍රමාණ වන බව පෙනී යයි. මේ දිනවල මේ ගැටලුව විසඳීමට පිළියම් කවරේද යන්න පිළිබඳ දේශපාලනඥයෝ මෙන්ම ආර්ථික විද්‍යාඥයෝද කතා කරති. මේ සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් පවතී. දිගුකාලීන විසඳුම් පිළිබඳ වගකිවයුත්තන් දිගින් දිගටම නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතව ඇත. මෙම රුපියල බාල්දුවීමේ ගැටලුව දැනට වසර 15කට පෙර ආරම්භ වී අද දක්වා ඔඩුදුවා තිබේ. අද ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයට මුහුණපාන්නට සිදුව ඇත්තේ මුලදී ඒ පිළිබඳ නොසලකා කටයුතු කිරීම නිසාය.
මෙම තත්ත්වය විසඳීමට නම් අපේ විදේශ විනිමය ඉපැයීම ඉහළ මට්ටමකට ගෙන යා යුතුයි. විදේශ විනිමය තත්ත්වය සතුටුදායක වීමට නම් අපේ අපනයන ආදායම වැඩි විය යුතු අතර විදේශ ආයෝජන ලැබීම දියුණු කර ගැනීම වැදගත්. 90 වසරවල සිට අපේ අපනයනය වසරින් වසර දුර්වල වූ බව කිව යුතුයි. පසුගිය සමයේ ඇතිවූ කොවිඩ් වසංගතය නිසා මෙම තත්ත්වය වඩාත් අහිතකර වූ බව කිව යුතු වේ.
කෙටිකාලීන උපක්‍රම මගින් රුපියල අවප්‍රමාණ වීම අවම කිරීමට විවිධ පියවර ගත හැකිය. මේ කෙටිකාලීන උපක්‍රම ක්‍රියාවට නැගිය යුතු වන්නේ දිගුකාලීන පිළියම් කරා යනතුරු පමණය. කෙටිකාලීන විසඳුම් දිගින් දිගටම යොදන්නේ නම් එයින් සිදුවන හානිය වැඩි වේ. 2007 වසරේ සිට අප පුරුදුව සිටියේ බැඳුම්කර අලෙවි කර වාණිජ ණය ලබාගැනීමටය. එසේ වුවද සිදු කළ යුතු වන්නේ සුරැකුම්පත් වෙළෙඳපොළ හා කොටස් වෙළෙඳපොළ ආයෝජනයට විදේශිකයන්ට අවස්ථාව ලබාදීමයි. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙම උපක්‍රමය අසාර්ථක වූ අතර ආයෝජකයන් මෙරට ආයෝජන නවතා ස්වකීය මුදල් වෙන රටවලට රැගෙන යාම සිදුවිය. පසුගිය වසරේ අප්‍රේල් - මැයි මාසවල සිට මෙම සිදුවීම උග්‍ර වූ බව කිව යුතු වේ.
අපේ රටට ආයෝජකයන් නොපැමිණෙන්නේ ඇයිද කියලා සොයා බැලිය යුතුය. එන්නට සූදානම් අය ආපසු යන්නේ ඇයිද? අපේ රටේ අසල්වැසි රටවල් සොයා ආයෝජකයන් පැමිණේ. ඉන්දියාවට ඩොලර් බිලියන 40-50 ආයෝජන ලැබේ. සිංගප්පූරුවට අමෙරිකානු ඩොලර් බිලියන 70-80ක පමණ ආදායම් ලැබේ. ජපානයටත් බිලියන 50කට අධික ආයෝජකයන් එන බව කිව යුතුය. අපේ රටට ඩොලර් බිලියන 1කවත් ආයෝජන නොලැබේ. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මෙයින් තේරුම් යන්නේ අපේ රට ආයෝජකයන්ට නුසුදුසු රාජ්‍යයක් බවට පත්ව ඇති බවය. මේ රටේ ආයෝජනය කිරීමට ඔවුන්ගේ උනන්දුව ඇතිකිරීමට පියවර ගත යුතුය. ආයෝජකයන්ට ඒ සඳහා විශ්වාසයක් ඇතිකළ යුතු වෙයි.
අපේ රටට ආයෝජකයන් නොපැමිණීමට හේතු කිහිපයක් බලපා ඇත. ඒවා පිළිබඳ දැනුවත් වී එම අවහිරතා නැති කළ යුතු වේ. ආයෝජන බාධා නැතිකර ආයෝජන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම වැදගත් වේ. අදට ගැලපෙන නීති රීති හඳුන්වා දිය යුතු වෙයි. යල්පැනගිය නීති රෙගුලාසි ඉවත් කිරීම වැදගත් වෙයි. අපේ රටේ පවතින බදු ප්‍රතිපත්තිය ගැන ආයෝජකයන්ට සතුටු වීමට නොහැකිය. බදු පැනවීම විටින් විට සංශෝධනය වේ. ඒ නිසා කිසිදු සැලසුමක් ඇතිකරගත හැකි නොවේ. මේ වන විට රටේ ආයාත සීමා කර ඇත. සමහර ඒවා තහනම් කර තිබේ. අපේ රටට ආයාතවලින් සියයට 18-20 පමණ ආදායමක් ලැබේ. එයට හේතුව ආයාත බදු ඉහළ මට්ටමක තිබීමයි. ලෝකයේ දියුණු රටවලට ආයාතවලින් ලැබෙන්නේ සියයට 2-3ක පමණ ආදායමකි. එසේ බදු පහළ දමා තිබීම නිසා ආයෝජකයන් පැමිණීම වැඩි වේ. අපේ රටේ අනිත් පැත්තය.
රටේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිවීම අනෙක් දුර්වලතාව වෙයි. ආයෝජකයන්ට අවශ්‍ය ශ්‍රම සම්පත ලබාගැනීමට නොහැකි වේ. අවශ්‍ය සුවිශේෂ වෘත්තිකයන් නොමැත. ජාත්‍යන්තර තත්ත්වයේ වෘත්තීයවේදීන් අපේ රටෙන් ලබාගැනීමට නොහැකිය. පුහුණු ශ්‍රමිකයන්ගේද අඩුවක් තිබේ. වෘත්තීයවේදීන් හා පුහුණු ශ්‍රමිකයන් රට හැරයාමේ ප්‍රවණතාවක් පවතී. මේ නිසා මෙරටට එන ආයෝජකයන්ට අවශ්‍ය ශ්‍රමිකයන් ලබාගැනීම ගැටලුවක් වී තිබේ. එසේම ඉඩම් ප්‍රශ්නයද බලපායි. ඔවුන්ට අවශ්‍ය ඉඩම් රට තුළින් සොයාගැනීම අපහසුය. ඒ නිසා ආයෝජකයෝ කලකිරී සිටිති. ආයෝජනයට සුදුසු වාතාවරණයක් රට තුළ ඇතිකළ පසු ආයෝජකයන් පැමිණීම වර්ධනය වනවා ඇත. වරාය නගරය ආරම්භ කිරීමේදී කොතරම් විරෝධතා ගැටලු ඇතිවූවාද? තවමත් එම තත්ත්වය පහවී නැත. මේ නිසා ආයෝජකයෝ කලකිරෙති. රට ගැන වැරදි මත ජාත්‍යන්තරයේ ප්‍රචාරය වූ විට ඔවුන් පසුබානවා ඇත.
අපේ ප්‍රතිපත්තිවල ඇති දුර්වලතා සකස් කර ගැනීමට අද හොඳ අවස්ථාවක් ලැබී තිබේ. අර්බුදයක් තිබෙන විට පහසුවෙන් වෙනස්කම් කළ හැකිය. මෙතෙක් කරගන්න බැරි වූ දේ ඉටුකර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. අපේ රටේ අපනයන ආදායම වර්ධනය කර ගැනීමට ආයෝජන ඉහළ නැංවීමට උපක්‍රම ඇතිකරගත යුතු වෙයි. දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් අවස්ථාව ලැබී තිබේ. මෙතෙක් කල් අපි කළේ රුපියල අවප්‍රමාණ වීම අඩු කිරීම සඳහා විදේශ ඩොලර් ණයට ගැනීමටය. මෙය කොතරම් කාලයකටද යන්න ගැටලුවකි. මෙලෙස ණය ගැනීම නිසා ණය අර්බුදය මේ වන විට උග්‍ර වී ඇත. ගත් ණය ගෙවීම සඳහාද ණය ගැනීමට සිදුවේ.
මෙය කිසිදාක විසඳිය නොහැකි ගැටලුවකි. රටට විදේශ විනිමය ලැබෙන දිගුකාලීන අවස්ථා ඇතිකර නොගෙන පැලැස්තර දමා රුපියල කඩාවැටීම නැවැත්විය නොහැකි බව තේරුම්ගත යුතුය. මෙතෙක් කල් ඒ පිළිබඳ අවධානය යොමුකර නොගෙන දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා ගැටලුව උග්‍ර වී ඇත. ජනතාවගේ ජීවන තත්ත්වයටද මෙය එක ලෙස බලපායි. අප්‍රමාදව දැන්වත් මේ සඳහා නිසි විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකළහොත් අනාගතය තවත් බියකරු විය හැකි බව පෙන්වා දෙමි.
යසවර්ධන රුද්රිගූ