2021 අප්‍රේල් 11 වන ඉරිදා

සූර්යයා මීන රාශියෙන් ගෙදර නිවෙසේ ආලින්දයට

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:16 190

අලුත් අවුරුද්දක් උදාවෙමින් තිබේ. තවත් පැය හතළිස් අටකින් සුබ නැකත එළඹෙනු ඇත. සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට එන බව ජ්‍යොතිෂ විද්‍යාව අනුව දැක්වෙයි. අවුරුදු නැකැත් සීට්ටුවක් හදන අතර අලුත් අවුරුද්දේ නැකැත් රහිත කාලය නොනගතයයි. ඉන්පසු නැකතට ලිප ගිනි දල්වා ආහාර පිස වැඩ අල්ලන අතර ගනුදෙනු කිරීම අලුත් අවුරුදු චාරිත‍්‍ර අතර තිබේ. බක් මාසයේ උත්සවවලට පදනම අස්වැන්නයි. නිසි කලට වැසි වැටී අස්වනු සරුසාර වීමේ සතුට වෙනුවෙන් ජනයා ප‍්‍රීති උත්සව පවත්වති. මෙම අලුත් අවුරුදු උත්සවය තුළ සූර්යයාගේ ගමන බලවත් ඇගයීමකට ලක් කෙරේ. යහපත් කාලගුණයකට හේතුව සූර්ය ශක්තිය බව මිනිස් සංහතිය කෘතවේදීව සිහිපත් කරති. මිනිසුන් පමණක් නොව ගහකොළ සතුන්ට පවා ජීවය ලැබෙන්නේ හිරුගේ බලයෙනි. බලවත්ම ශක්තිය හා එයින් අත්පත් කරගත හැකි ජවය ගැන තවමත් සම්පූර්ණ අවබෝධයක් නැති බව නිසැකය. 

මුළු ලෝකයම සූර්ය බලයෙන් පවතින යුගයක් කරා යොමුවෙමින් තිබේ. අලුත් අවුරුදු වකවානුවේ දී සූර්ය සංක‍්‍රාන්තිය පමණක් නොව ලැබෙන පිටිවහල ගැන ද අවධානය යොමුකිරීම කාලෝචිත වනු ඇත. ජගත් ප‍්‍රජාව සූර්ය බලය කෙරෙහි අප‍්‍රමාණ විශ්වාසයක් ඇති කරගෙන තිබේ.

චීනය සිය ප‍්‍රාථමික යුගයේ සිට හිරුගේ බලය ගැන විශ්වාස කළ රටකි. චීනය මහත් ලැදියාවක් දක්වන රතු පැහැය සූර්යයා නැගෙන අවස්ථාවේ දී දකින්නට ලැබෙන රක්ත වර්ණය සනිටුහන් කරන බව එරට වැසියෝ විශ්වාස කරති. රතු පැහැයට කැමැති චීනය සූර්යයාගේ බලය අනාදිමත් කාලයක සිට දන්නා වග නිසැකය. ලෝකයේ සියලුම ශිෂ්ටාචාර හිරු අදහන ලදහ. සූර්ය නමස්කාරය අදත් විශ්වාසයකි. නැගෙනහිර ගැන මහත් ගෞරවයක් තිබේ. සූර්යයාගේ අසීමිත ශක්තිය ගැන අවබෝධ කරගෙන ඇති ලෝක ප‍්‍රජාව එහි ශක්තියෙන් අප‍්‍රමාණ ප‍්‍රයෝජන සැලසුම් කරමින් සිටිති. සූර්ය තාපයෙන් විදුලිය නිපදවිම එහි එක පරාසයක් පමණකි.

අලූත් වාර්තා දක්වන පරිදි වසර 2060 වන විට චීනය, පරිසර හානියක් නැති සම්පූර්ණයෙන්ම හරිත රටක් බවට හැරවෙනු ඇත. චීන ජනාධිපති ෂී ජින්ග් පින් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිය දේශය කාබන් මුදා නොහරින රටක් බවට පත්වන බලවත් අභිලාශය හෙළි කරන ලදී. මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වොට් ටි‍්‍රලියන 1.9ක සූර්ය තාප විදුලිය ප‍්‍රමාණයක් නිපදවන දැවැන්ත ඉලක්කයකට ගමන් කරමින් සිටී. මෑත කාලයේ දී සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම සඳහා විශාලතම ආයෝජනය කරන්නේ චීනයයි. මුහුදේ පාවෙන සෝලා පැනල් පමණක් නොව ගංගාවල පවා සෝලා බලාගාර සවි කරමින් සිටී. අනාගතයේ දී උවමනා කරන බලශක්තිය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී බවට හරවන වෑයම තුළ සූර්ය විදුලිය එක ප‍්‍රධාන ප‍්‍රභවයක් බවට පත් කරගෙන ඇත. ඉලක්ක සාක්ෂාත් වන විට ලෝකයේ සමස්ත සූර්ය විදුලිය භාවිතාවෙන් හරි අඩක් චීනය ප‍්‍රයෝජනයට ගන්නා බව සමීක්ෂණ වාර්තා දක්වයි. 

2020 ඔක්තෝබර් මාසයේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ දහනව වැනි සැසිවාරයේ දී සූර්ය විදුලිය කෙරෙහි අවතීර්ණ වන තීරණ ගණනාවක් ගෙන තිබිණ. 2021-26 දක්වා වන විදුලිය උත්පාදන පස් අවුරුදු සැලැස්මක් ප‍්‍රකාශයට පත් කිරීම එයින් එකකි. එම සැලසුම තුළ සෑම වසරකම සූර්ය තාපයෙන් විදුලිය උත්පාදනය දෙගුණ කරන පියවරක් යෝජනා කර තිබේ. විශාලතම ජනගහණයක් සහිත සහ පොසිල බලශක්තිය වැඩිම ප‍්‍රමාණයක් ප‍්‍රයෝජනයට ගන්නා චීනය මෙවැනි පියවරක් අනුගමනය කිරීම අනාගත පරපුරේ පැවැත්මට බලපාන වටිනා තීන්දුවක් වශයෙන් සැලකේ.

චීනය පෙරමුණේ සිටින අතර අමෙරිකාව හා ඉන්දියාව ද සූර්ය තාපය විදුලියට හරවා ප‍්‍රයෝජනයට ගන්නා රටවල් අතර සිටී. ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට 2020 දී ලෝකයේ රටවල් තිස් හතක් සිය බලශක්ති අවශ්‍යතාවයෙන් අඩුම වශයෙන් සියයට එකක් සූර්යයාගෙන් සපුරාගන්නා බව දැක්වෙයි. ක‍්‍රමයෙන් වර්ධනය වන මෙම භාවිතාව ඉමහත් අස්වැසිල්ලකට හේතුවක් බව පැහැදිලිය. නිතිපතා දහනය කරන ඉන්ධන, ගල්අඟුරු හා ද්‍රව ගෑස් වායුගෝලය අපවිත‍්‍ර කරමින් සිටී. කාබන්ඩයොක්සයිඩ් සහ අනෙක් අහිතකර වායු ප‍්‍රතිශතය ඉහළ නංවයි. එය ජීවයේ පැවැත්මට තර්ජනයකි. ඔක්සිජන් ප‍්‍රතිශතය පහළ වැටීම පමණක් නොව අහිතකර වායු හෙයින් ඕසෝන් ස්ථරයට ද හානිකරය. එයින් ඇතිවන ඉරණම ඉතාම බරපතළය. ඕසෝන් ස්ථරය තුනීවන අතරතුර මහපොළොවට වැටෙන සූර්ය තාපය වැඩිවීම ගැටලුවකි. අහිතකර කිරණ තර්ජනයක් බව දැක්වෙයි. ගෝලීය උණුසුම ඉහළ යන අතර එය උත්තර හා දක්ෂිණ ද්‍රුවවල දැවැන්ත අයිස් කඳු දිය කරන හේතුවක් වී තිබේ. අයිස් කඳු දියවන විට මුහුදු මට්ටම ඉහළ යන අතර සමහර රටවල වෙරළබඩ කොටස් මුහුදු ජලයෙන් යටවන බවට අනාවැකි ප‍්‍රකාශයට පත් කර තිබේ. මාලදිවයින ඇතුළු සමහර රටවල දූපත් සම්පූර්ණයෙන්ම ලෝකයෙන් මැකී යන අවදානමක් ඇති බව දැක්වෙයි. 

ගෝලීය උණුසුම පාලනය කරන පියවර සඳහා ජගත් ප‍්‍රජාව පැරිස් සම්මුතියකට අත්සන් කර තිබේ. එයට අනුව ගෝලීය උණුසුම ඉහළ යන්නට හේතුවන සියලු පැති පාලනය කිරීම ආණ්ඩුවල වගකීමකි. වනාන්තර ආරක්ෂා කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර අහිතකර වායු නිපදවන සියලුම පැති ගැන වඩා විද්‍යාත්මකව අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. 

බලශක්ති අවශ්‍යතාව දිනපතා ඉහළ යන අතර ඒවා සපුරා ගැනීමට ස්වභාවික උත්පාදනය ඉතා වැදගත් වන පසුබිම අවබෝධ කරගත යුතුය. තාක්ෂණය හා ආයෝජනයට සම්පත් ඇති රටවල් එහිදී විශේෂ මෙහෙවරකය. බලශක්තිය පරිභෝජනයේ දී සැලකිය යුතු කොටසක් වැය කරන ප‍්‍රවාහන කටයුතු ගැන සෑම රටක්ම අලුත් අවධානයකය. ප‍්‍රවාහනයේ දී විදුලිය බලය යොදාගත හැකි සෑම අවස්ථාවක්ම  ප‍්‍රයෝජනයට ගන්නා වෑයමක සිටී. ඉන්ධන භාවිත කරන වාහන ධාවනය කළ හැකි අවසන් දින වකවානු පවා සමහර රටවල් ප‍්‍රකාශයට පත් කරමින් සිටී. සූර්ය සංක‍්‍රාන්තිය සිදුවන මෙම සුබ අලුත් අවුරුදු අවස්ථාවේ දී සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි‍යට එන ගමනේ සුබ පල පමණක් නොව ලබාගත හැකි අසමසම අවස්ථා ගැන ද අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03