2021 අප්‍රේල් 11 වන ඉරිදා

ගම සමඟ පිළිසඳරෙන් යළි උපන් කණුගහවැව

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:25 66

යමෙකු තමන් උපන්ගම හැරුණුවිට වෙනත් ගමක නමක් මතකයට, සාකච්ඡාවට බඳුන් කරන්නේ නම් ඒ ගම කුමන හෝ ආකාරයක සමාජමය ආර්ථිකමය සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් ඒ ගම සතුව පැවතිය යුතුය. එය සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් “කැබිතිගොල්ලෑව” ගම අපට නිතැතින් සිහියට නැගුණේ ඉහත සඳහන් හේතු නිසා නොවේ. යුද්ධයේ අනිටු විපාක අත්විඳින ඒ වෙනුවෙන් ලෙයින් හෝ ජීවිතයෙන් වන්දි ගෙවන නිරායුධ අහිංසක ගැමියන් ජීවත්වන ප්‍රදේශයක් වශයෙනි.

“කැබිතිගොල්ලෑව” බස් බෝම්බය රුදුරු ත්‍රස්තවාදය ආපිට පෙරළීමේ කේන්ද්‍රීය සාධකයක් විය. යුද්ධයට පෙර සාමාන්‍ය ලෙස ජනතාව ජීවත් වූ කැබිතිගොල්ලෑව, ත්‍රස්තවාදයේ වර්ධනය සහ ව්‍යාප්තියත් සමඟ තර්ජිත ගම් බවටත් පසුව එය මායිම් ගම්මාන ලෙසත් වඩාත් අවදානම් ජීවිත ගතකරන ගැමියන් වාසය කරන ප්‍රදේශයක් බවට පත්විය. 2009 වර්ෂයේ ත්‍රස්තවාදය අවසන්වීමෙන් පසු තවදුරටත් එම ගම්මාන මායිම් හෝ තර්ජිත ගම්මාන නොවුවත් අතිශය දුෂ්කර ගම්මාන ලෙසම පැවතියේය.

මානුෂීය මෙහෙයුමේ ක්‍රියාන්විත අත්දැකීම්ද රජයේ පරිපාලන නිලධාරියෙකු ලෙස ලැබූ අත්දැකීම්ද සහිතව ජනතාවගේ ප්‍රබල මතවාදයකින් ජනාධිපතිධුරයට පත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව දුෂ්කර ගම්මාන යන්නෙහි තවදුරටත් නොසිටිය යුතුය යන සංකල්පයේ සිට සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය ජනතාවට ඉදිරිපත් කරන ලදී. එහි සඳහන් “ගම සමඟ පිළිසඳර” ගමත් ගැමියාත් නගාසිටුවීමේ සෘජු වැඩපිළිවෙළයි.

ගම සමඟ පිළිසඳර සිව්වැනි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිතිගොල්ලෑව “කණුගහ වැව” ගම තෝරාගන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. පර්යන්ත ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඔවුන්ට කඩිනමින් දියුණු වීමට අවශ්‍ය අවස්ථා සලසාදීම “ගම සමඟ පිළිසඳරේ” අරමුණයි.

එහි ප්‍රථම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙළංවිට ගම්මානයෙන් ආරම්භ කරන ලදී. දීර්ඝ කාලයක් මුළුල්ලේ කිසිදු ආකාරයක අවධානයකට ලක්නොවූ ගම්, ප්‍රදේශ මේ සඳහා තෝරාගැනීම එම වැඩසටහනේ විශේෂත්වයකි. කණුගහවැව පිහිටා තිබෙන්නේ අනුරාධපුර නගරයේ සිට කි.මි 73ක් දුරිනි. එය කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. කැබිතිගොල්ලෑව දශක දෙකකට අධික කාලයක් පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදයට රුදුරු ලෙස ගොදුරු වූ ගම්මානයකි. අතොරක් නැති කෙනෙහිළිකම් මැද ජීවත් වූ ඔවුන්ට 2006 වර්ෂයේ වෙසක් මස 15 වැනිදා හල්මිල්ලවැටිය ගමේදී කොටි ත්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑව බස්රථය ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයට ලක්වී මරණයෙන් වන්දි ගෙවූ පිරිස 68 කි. 

වල් අලි තර්ජනයද දිවා රාත්‍රී නොබලා ඔවුන් කරා පැමිණියේය. මේ හැරුණු විට සුවසේ වාසය කිරීමට ස්ථිරසාර ප්‍රියමනාප නිවසක්, සැමට සමාන අධ්‍යාපනය ලැබීමට සුදුසු සහ ප්‍රමාණවත් පාසැල් පද්ධතියක්, ගොවිතැන් සඳහා දියවර ගෙන යා හැකි වැවක්, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, ගොඩ - මඩ ගොවිතැන සඳහා නිරවුල් ඉඩමක්, වගා කටයුතු කිරීමේදී පවතින නෛතික බාධා රුසක්, පාසලට අවශ්‍ය ගුරුවරු, ගමට අංගසම්පූර්ණ විහාරස්ථානයක්, පාසලට යටිතල පහසුකම් යන මේ සේවා සියල්ල බුක්ති විඳීම සඳහා අවම අවස්ථාව පවා කණුගහවැව ගැමියන්ට ලැබුණේ ඉතා විරල වශයෙනි.

පසුගිය වසරේ (2020) දෙසැම්බර් මස 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී “කණුගහවැව” පර්යන්ත ගම්මානය සියලු පහසුකම් සහිත ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලද්දේ ජනාධිපතිවරයා මේ ජනතාව විඳින දුකෙහි ආදීනව සියැසින්ම දුටු බැවිනි.

ගුවන් හමුදාවේ හැත්තෑ වැනි සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ගමේ නිවාස අවශ්‍යතාව සපුරාදීමේ වගකීම ගුවන් හමුදාපති එයාවයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාර ගන්නා ලදී. ගුවන් හමුදාව එය ඉතා කඩිනමින් විධිමත් ලෙස නිම කළේය. ආදර්ශ ගම්මානයේ නිවාස ඉදිකිරීමට අමතරව ගමට අයත් පාසලේ සියලු යටිතල පහසුකම්, ගමේ පන්සලේ සංඝාවාසය, බෝධි ප්‍රාකාරය සහ ගණ්ඨා කුලුණ ඉදිකිරීම, ගම්වැසියන්‍්ගේ ආරක්ෂාව වෙනුවෙන් “අලිවැට” ඉදිකිරීම, කණුගහවැව ප්‍රාථමික විද්‍යාලය, හල්මිල්ලවැටිය විද්‍යාලලීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ගුවන් හමුදාවේ බුද්ධිමය සහ ශ්‍රම දායකත්වයෙන් ඉතාමත් කෙටිකාලයකදී යථාර්ථයක් බවට පත්කර කණුගහවැව ගම්වැසියන් වෙනුවෙන් සංවර්ධනය කළ ආදර්ශ ගම්මානය ඔවුන් වෙත පැවරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) සිදුවිය.

මෙම ගම්මානයේ පවුල් 314 කට අයත් සාමාජිකයෝ 942 කි. ඔවුන්ගේ අවශ්‍යතා ඉදිරිපත් කරන ලද්දේ ගම්වැසියන්ම විසිනි. මෙහි වගකීම ගමේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ග්‍රාම නිලධාරී වෙත ජනාධිපතිවරයා විසින් පවරන ලදී. 

යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකෙරෙන භූමිය සංවර්ධනය හුදකලාව පැවති බෝධීන් වහන්සේ වටා අභිනව අලංකාර බෝධි ප්‍රාකාරයක් මහා සඟරුවන උදෙසා සුදුසු සංඝාවාසයක් හා සනීපාරක්ෂක පහසුකම් සියල්ල කණුගහවැව ගම්මානයේ ඉදිකර ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් සසුනට පූජාකිරීම පසුගියදා සිදුකෙරිණි.

කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයට අවශ්‍ය නව ගුරු නිවාසය, ක්‍රීඩාපිටිය, නව පාසල් ගොඩනැගිල්ලක්, පරිගණක විද්‍යාගාරය, අලුත්වැඩියා කිරීම සහ දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම්, ආදර්ශ ගෙවතු වගාව ඇතුළු ඉදිකිරීම් රුසක්  දැන් කණුගහවැවට ලැබී තිබේ.

මානව අවශ්‍යතාවල අවම පහසුකම් හෝ බුක්ති විඳීමට වරම් නොලද කණුගහවැව ගම්මානයේ පවුල් 13 කට අංග සම්පූර්ණ නිවාස ප්‍රදානය කිරීමද එදිනම ජනාධිපතිවරයා අතින් සිදුවිය. කණුගහවැව ආදර්ශ ගම්මානයේ අභිනව ඉදිකිරීම් ජනතාවට ප්‍රදානය කිරීමට සමගාමීව ජංගම අක්ෂි රෝහල මඟින් සිදු කළ අක්ෂි සායනය සහ සැත්කම් සිදු කිරීමත් ගුවන් හමුදා වනිතා සේවා ඒකකය මගින් පාසැල් දරු දැරියන් උදෙසා පාසැල් නිල ඇඳුම්, අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීමද මෙම අවස්ථාවේ සිදුවිය

තමා උපන්‍් බිමේ කිසිදු බිම්කඩකට අයිතිවාසිකමක් නොකියා විවිධ දුෂ්කරතා මධ්‍යයේ රජයේ ඉඩම් භුක්ති විඳිමින් ජීවත් වූ කණුගහවැව ගම්වැසියන්ට දීමනා පත්‍ර සහ ඔප්පු ප්‍රදානයද එදිනම සිදුවූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. අලින්ගෙන් වන උවදුරුවලදී ඔවුහු දිවා රාත්‍රී නොතකා දීර්ඝ කාලයක් බැටකෑහ. ඔවුන්ගේ දුක්ගැනවිලිවලින් ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස ගම සමඟ පිළිසඳරේදී අලිවැටක් ඉදිකර දෙන්නැයි ගම්වැසියෝ සියලු දෙනාගේ ඉල්ලීමද එදිනම යථාර්ථයක් බවට පත්විය. කණුගහවැව ආදර්ශ ගම්මානයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකළ නව ආරක්ෂක අලි වැට දිගින් කිලෝමීටර් 15 කි. එය ඉදිකරන ලද්දේද ගුවන් හමුදාවේ වගකීමක් ලෙසිනි. එයද ජනාධිපතිවරයා නිරීක්ෂණයට ලක්කළේ ගම්වැසියන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමිනි.

නුවරුන්ට බත සරිකරන ගොවියාටද සංවර්ධනයේ ප්‍රතිලාභ එකසේ ගලා යා යුතුය. එසේ වුවද දශක ගණනාවක් කණුගහවැව ගම්මානයේ වැසියන්ට එය දීර්ඝ කාලයක් සිහිනයක්ම බවට පත්විය. ත්‍රස්තවාදී උවදුරු, ස්වාභාවික විපත්, සංවර්ධනයේ ප්‍රතිලාභ සමපාත වූයේ නැත. ඒ සියල්ල තවදුරටත් දුකක් පසුතැවිල්ලක් නොවී යථාර්ථයක් බවට පත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය‍යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගම සමඟ පිළිසඳර සැබවින්ම දුෂ්කරතා සහිත ගම්වලට ගෙනයෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. මහජන නියෝජිතයා හෘදයාංගම සමීපතමයෙකු වූ විට ජීවිතය නීරස නොවන්නේ යැයි ප්‍රකාශ කළේ එබැවිනි. 

 එස්. ගොඩගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03