බලය මිනිසා දූෂණය කරයි. අසීමිත බලය මිනිසා අසීමිතව දූෂණය කරයි. මෙම කතාව දේශපාලන විද්‍යාවේ එන සුප්‍රකට කියමනකි. මෙය කීවේ බ්‍රිතාන්‍ය දේශපාලන චින්තකයකු වූ ඇක්ටන් සාමිවරයාය. අප ජීවත්වනුයේ බල දේශපාලනය ගුරු කොටගත් සමාජ පසුතලයකය. එම නිසාම බලය උදෙසා සටන්වදින බලය රැකගැනීමට වෙරදරද්දී ඕනෑම කඳවුරක්, පක්ෂයක්, කණ්ඩායමක් තුළ අර්බුද නිර්මාණය වීම අතිශයෙන් සමාන්‍ය තත්ත්වයකි. එම අර්බුද බොහෝ විට එම කණ්ඩායම්වල පරිහානියට හේතුවෙයි. අප මේ කතාව කීවේ වර්තමාන ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය පිළිබඳ සාකච්ඡාවකට පූර්විකාවක් ලෙසය.
2020 අගෝස්තු 5 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් බලයට පත්වූ වර්තමාන ආණ්ඩුව මෙරට මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික බලයකට උරුමකම් කියූ ආණ්ඩුවකි. මෙම ආණ්ඩුව ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ ප්‍රමුඛව හවුල්කාර පක්ෂ රුසක එකතුවකින් නිර්මාණය වූයේය. ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළඋරුමය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදී පක්ෂ රුසක් වර්තමාන ආණ්ඩුවට හවුල් විය. තුනෙන් දෙකකට ආසන්න ආණ්ඩු බලයකට හිමිකම්ද කියන වර්තමාන ආණ්ඩුව තවමත් වසරක නිල කාලයක් සපුරා නැත.
මෙතරම් කෙටිකාලයක් තුළ අභ්‍යන්තර පක්ෂ අර්බුද සහ මතවාදී කඳවුරු කිහිපයකට වර්තමාන ආණ්ඩුව බිඳීගියේ කෙසේද යන්න අප පළමුව සාකච්ඡා කළයුතුය. එය සියුම්ව සහ දීර්ඝව විමසා බැලිය යුත්තක් නමුත් සැකෙවින් එය මෙසේ පහදමු. මෙම කිසිදු අර්බුදයක් ඉකුත් මාස හත අට තුළ අලුතින් ඉපදුණු අර්බුද නොවේ. ඒවාට දීර්ඝ ඉතිහාසයක් ඇත. ශ්‍රීලනිප පොහොට්ටු අර්බුදය 2015 වසරේ සිට ක්‍රමිකව විකාශනය වන්නකි. විමල් - බැසිල් ගැටුම මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමය දක්වාම දිවයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වියත්මග ක්‍රියාකාරීන්ට එල්ලවන විරෝධය ජනාධිපතිවරණ සමයටත් පූර්වයේ සිටම පැවත එන්නකි. මෙවන් ඉතිහාසයක් ඇති මේ අර්බුදවල වර්තමාන මහා පිපිරුම නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. විස්ස පිළිබඳ ඇතිවූ මතවාදී අර්බුදය අද අප අත්දකින විපරීත දේශපාලන ස්වභාවයට ආසන්නතම හේතුවයි.
මේ වනවිට අමාත්‍ය විමල් වීරවංශ ප්‍රමුඛ පිරිසක්, පක්ෂ 11ක් ආණ්ඩුව තුළ වෙනම කණ්ඩායම් ලෙස කටයුතු කරමින් සිටිති. ඔවුන් සහ බැසිල් රාජපක්ෂ හිතවාදී පොදුජන පෙරමුණ කණ්ඩායම අතර නිරන්තර මත ගැටුම් නිර්මාණය වන තත්ත්වයක් ඇතිව තිබේ. ආසන වශයෙන් ඔවුන් ගැටෙමින් සිටින්නේ පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධවයි. කැබිනට්ටුවේදී පවා මෙම ගැටුම නිරන්තර නිරෑපණය වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. බැසිල් පාර්ශ්වය වෙනුවෙන් ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, නිමල් ලංසා ආදී පිරිස් පෙනී සිටිති. එසේම වීරවංශ පාර්ශ්වය වෙනුවෙන් උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්, රතන හිමි ආදී පිරිසක් පෙනී සිටිති.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සෘජුව සබඳතා ඇති නාලක ගොඩහේවා, සරත් වීරසේකර, චන්න ජයසුමන, අලි සබ්රි ආදී පිරිස වෙනස්ම මාර්ගයක් අනුගමනය කරති. වියතුන් ඇයි සැලකෙන මෙම පිරිස සම්බන්ධව ආණ්ඩුවේ අභ්‍යන්තරයේ චෝදනා තිබේ. කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොදු අර්බුදයේ එක් පාර්ශ්වකට ලඝු නොවන බවක් පෙනීයයි. එසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂ දේශපාලනයේ තීන්දුව තීරණ ගැනීමේ බලයක් ලැබිය යුතු බවත් ඒ හරහා අර්බුදය සමනය වනු ඇති බවත් වීරවංශ පාර්ශ්ව දිගින් දිගටම කියා සිටිති. මතවාදී විවිධ මාතෘකා ඔස්සේ ගලායන විටින්විට ඇසෙන කුමක් වුවත් ජනාධිපති දේශපාලනීකරණය කිරීම සහ පොහොට්ටුවේ අධිපත්‍යය බිඳීම අනෙක් පාර්ශ්වල පොදු අරමුණ බව පෙනී යයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණු සහ ක්‍රියාකාරීත්වය වෙනම කියවාගත යුතුය. සන්ධානය තුළ සිය පක්ෂ බලය හීනවීම ඔවුන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි. එසේම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරයාට එල්ල වන පීඩනයත් බලපෑම් සහගතය. වර්තමානයේ නම් එය පාස්කු කොමිසම් වාර්තාව නම් මාතෘකාව තුළ ඔවුන්ගේ අර්බුදය ලඝුවී තිබේ. එහෙත් එය ඉතා විශාල වපසරියක පැතිර යන අතර වීරවංශ කණ්ඩායම තමන් වෙත නතුකර ගැනීම ඔස්සේ ශ්‍රීලනිප දේශපාලන බලය පුළුල් කර ගැනීමේ ප්‍රයන්ත තීරණාත්මකය. එහෙත් ආණ්ඩුව සමඟ ගැටීමේදී වීරවංශ පාර්ශ්වයට වඩා ඔවුන් පසුගාමී වන බව පෙනී යයි. ඊට හේතුව නම් පසුගිය ආණ්ඩුවේ පිරිස්වලට එරෙහිව නැගෙන චෝදනා සහ එවාගේ ගොදුරක් වීමට ශ්‍රීලනිප කණ්ඩායම තුළ ඇති අකමැත්තයි. කෙසේ නමුත් නැවත පුළුල් දේශපාලන බලයක් බලාගැනීම සහ කේවල් කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීමට ශ්‍රීලනිපයේ කැපවීම විශේෂය.
සමස්තයක් ලෙස ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය සම්බන්ධව තත්ත්වය ඉතා සැකෙවින් මෙසේ යැයි කිව හැකිය. කෙසේ නමුත් දේශපාලනය යනු අනාවැකි පළකළ හැකි යාන්ත්‍රණයක් නොවේ. එහෙත් බලයේ ස්වභාවය සැලකූ විට කොතරම් අර්බුදය තිබුණද මේ මොහොතේ බිඳීයාමක් අපේක්ෂා කළ නොහැක. ඊළඟ දැවැන්ත පිපිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් වීමට ඇති ඉඩකඩ බොහෝය. එහෙත් මෙම අර්බුදයේ කූටප්‍රාප්තිය 2024 සහ 2025 කාලය තුළ සිදුවෙතැයි අදහස් කරමු. අවසානයේ බලය සහ චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමු නියමය අප ඔබට සිහිකරමු. බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක්කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී.
තේරුම් නොගත්තොත් තව පහළ වැටේවි
- රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා
තුනෙන් දෙකක බලයක් සහිත මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජනප්‍රසාදයේයි අද ඉන්නේ. ආණ්ඩුව ඇතුළේ යම් අර්බුදයක් තිබෙනවා. ජනතාව අතර යම් යම් ගැටලු තිබෙනවා. අප්‍රසාදයන් තිබෙනවා. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි ඉස්සරහට යනකොට තව තවත් පහළට වැටෙන එක තමා වෙන්නේ. එහෙනම් මේ ආණ්ඩුව ඊළඟ මැතිවරණවලදී දින්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෑ. අපි අමතක කළොත් අපි බලයට ආවේ කොහොමද කියලා ඊළඟ මැතිවරණය අපිට දිනන්න බෑ.
අපි රජය පිහිටුවලා දැන් අවුරුද්දකුත් මාස කිහිපයක් ගිහින්. අපි යථාර්ථය පිළිගන්න ඕනේ. අපි මේ වනවිට ඉන්න තත්ත්වය, මහා විශාල ජන ප්‍රසාදයක ඉන්නවාද කියන ප්‍රශ්නය අපි අහන්නට ඕනේ. මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයේද අද ඉන්නේ. අපි අතර සමගිය තිබුණේ නැත්නම් ඊළඟ මැතිවරණය ලේසි වෙන්නේ නෑ. දැන් අපි බුද්ධියෙන් විමසලා විසඳුම් සෙවිය යුතුයි.
අපි මේ බණින්නේ ආණ්ඩුව හදාගන්න
- පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල
සමහරු අපෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදද කියලා අහනවා. කොළඹ නගරයට ගියාම අහන්නේ සර් මණ්ඩලේ කචල්ද කියලා. අපි ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව ඇත්තයි. ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැතිකරන්න නෙවෙයි, ආණ්ඩුව රැකගන්නයි. රටේ ජනතාව දුන්නු ජනවරම, ජනතාව තැබූ විශ්වාසය හා 69 ලක්ෂයේ අභිලාෂයන් රැකගන්නයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනයේ තිබුණු සමහර කරුණු ජනවරමට පටහැනියි. ජනවරම සුරකිනවා නම් 20 වැනි සංශෝධනයේ එම කරුණු එලෙසින් එන්න විදිහක් නෑ. ජනවරම සුරකිනවා නම් වරාය, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න මේ ආණ්ඩුවේ නායකයන් කිසිම කෙනෙක්ට සංකල්පයක්වත් පැළවෙන්න බෑ.
ජනවරම සුරකිනවා නම් දේශපාලන නායකයන් රටේ නීතිය රකින නිලධාරීන්ව හිංසාවට පත්වෙන තීන්දුගන්න විදිහක් නෑ. මේවා සිදුවෙනවා කියන්නේ 69 ලක්ෂයේ අභිලාෂයට, ජනතාව අපිට දුන්න ජනවරමට එරෙහිව යනවා කියන එකයි. මේ ආණ්ඩුව රැකගන්න නම් අපි වරදින තැනදී හඬ නගලා ඒක නිවැරුදි කරන්න ඕනේ. මගේ ජීවිතයේ මට වැඩිපුරම බැනලා තියෙන්නෙ අම්මයි තාත්තයි වගේ අපි මේ ආණ්ඩුවට බණින්නේ ආණ්ඩුව හදාගන්න ආණ්ඩුවට තියෙන ආදරේ නිසා.
චමිඳු නිසල් ද සිල්වා