2021 අප්‍රේල් 11 වන ඉරිදා

විමුක්ති දේශපාලනයට?

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, ප.ව. 02:21 81

දේශයේ විමුක්තිය උදෙසා විමුක්ති කුමාරණතුංග මෙරට දේශපාලන කරළියට පැමිණෙනු ඇතැයි රාවයක් පසුගිය දිනවල පැතිර ගියේය. ආසන්නම සිදුවීම වූයේ විමුක්ති කුමාරණතුංග සිය පියා වූ විජය කුමාරණතුංගගේ ඝාතනය පිළිබඳ පැරණි පුවත්පත් ලිපියක් සමාජ මාධ්‍යයට මුදා හැරීමයි. එමනිසාම විමුක්ති කුමාරණතුංග පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු. ඔහු පිළිබඳ ඇසුණු කතා මෙන්ම ඔහු වටා ගොඩනැගුණු කතා ඇසුරේ මෙම සටහන ලියැවේ. එසේ නමුත් විමුක්තිගේ දේශපාලන ආගමන පිළිබඳ ඔබ හමුවේ සපථ කරන්නට අපි ඉක්මනින් නොවෙමු.

ඉතිහාසයේද වර්තමානයේද  මව්පිය උරුමයෙන් මැතිසබයට ආ චරිත ඕනෑතරම් අපට හමුවේ. එහෙත් විමුක්ති කුමාරණතුංග නම් චරිත සුවිශේෂීය. ඔහු ඔටුන්න හිමි කුමාරයෙක් හා සමානය. ඔහුගේ සීයාද ආච්චීද අම්මාද මෙරට නම් දැරූ රාජ්‍ය නායකයෝය. පියා මෙරට සිනමාවේ සිහින කුමරාය. එම නිසාම විමුක්ති කුමාරණතුංග යනු වර්තමානයේ විශාලතම දේශපාලන පසුබිමක් ඇති තරැණයා බව කීම අසාධාරණ නැත. එහෙත් විමුක්ති මෙරට ජීවත්වන්නකු හෝ වර්තමාන දේශපාලනයට සක්‍රීයව දායක වූවෙක් නොවේ.

විජය කුමාරණතුංගගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ පුත්‍රයා ලෙස විමුක්ති කුමාරණතුංග මෙලොව එළිය දකින්නේ 1982 වසරේදීය. ඒ අනුව විමුක්තිට මේ වනවිට වයස 39කි. සැබැවින්ම විමුක්ති කුමාරණතුංග තරුණයකු ලෙස රට හඳුනාගත්තද ඔහු මැදිවියට පා තබමින් සිටින්නෙකි. ඔහු වර්තමානයේ ජීවත්වන්නේ එක්සත් රාජධානියේය. වෘත්තියෙන් පශු වෛද්‍යවරයකු වන විමුක්ති කුමාරණතුංග සත්ත්ව අක්ෂි විශේෂඥවරයෙක් බවද කියැවේ.

ඔහු 2005දී බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇත. එසේම සත්ත්ව අක්ෂි වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොහෝකලක සිට විමුක්ති දැඩි උනන්දුවකින් සිට තිබේ. ඒ අනුව ඔහු 2012දී පශු වෛද්‍ය අක්ෂි වෛද්‍ය විද්‍යාව පිළිබඳ තවදුරටත් හදාරා 2015 දී පශු වෛද්‍ය අක්ෂි වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් වෛද්‍යවරයෙක් බවට පත්ව සිටී. අනතුරුව කලක් ඔහු බ්‍රිස්ටල්හි ප්‍රසිද්ධ පෞද්ගලික පශු වෛද්‍ය රෝහලක අක්ෂි වෛද්‍යවරයෙක් ලෙස වසර ගණනාවක් සේවය කළේය. විශේෂයෙන්ම බළලුන්ගේ අක්ෂි වෛද්‍ය විද්‍යාව කෙරෙහි විමුක්ති කුමාරණතුංගගේ උනන්දුව සුවිශේෂී බව කියැවේ. ඒ අනුව ඔහු පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ පරීක්ෂණ කටයුතු සඳහාද සම්බන්ධව වී තිබේ.

පශුවෛද්‍ය විම් කුමාරණතුංග (Dr Vim Kumaranathunga) නමින් ඔහු බ්‍රිතාන්‍යය තුළ යම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති බව පෙනී යයි. තවද වනජීවි සහ සංරක්ෂණය වැඩසටහන් විදේශ සංචාරක ආදිය කෙරෙහිද ඔහුගේ නැඹුරුවක් ඇති බව පෙනී යයි. එසේම විම් කුමාරණතුංග පෙනී සිටින BBC රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ද අන්තර්ජාලය ඇසුරේ නිරීක්ෂණය වෙයි. එසේම ඔහුගේ Instagram ගිණුම හරහාද විමුක්ති ගතකරමින් සිටින ජීවිතය පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි.

මෙම තොරතුරු කෙසේ වෙතත් මෙරට විමුක්ති කුමාරණතුංග පිළිබඳ ඇත්තේ ඊට ඉඳුරා වෙනස් ප්‍රතිරූපයකි. ඔහුගේ පෞද්ගලිකත්වය සම්බන්ධව විවිධ කටකතා රැසක් මෙරට දේශපාලනයේ තිරය පිටුපස වේ. කෙසේ වෙතත් විමුක්ති සම්බන්ධව මෑතකාලීන අවධානයට ලක්වූ සිදුවීම් කිහිපයක් වෙයි. ඉන් ප්‍රමුඛ වන්නේ ඔහු දේශපාලනයට පිවිසෙන බවට කලින් කලට පැතිර යන කටකතාය.

එසේම මීට කලකට ඉහතදී එක්තරා උත්සව අවස්ථාවකදී විමුක්ති කුමාරණතුංග විසින් සිත්ගන්නාසුලු නර්තනයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. මෙරට තුළ ඊට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබුණි. විමුක්ති එහිදී තම පිය පාර්ශ්වයේ ඥාතියකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මිනිපිරිය සමඟ නර්තනය ඉදිරිපත් කළේය.

ඒ අතර බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා කළ පිඹුරකු බේරාගැනීම සම්බන්ධ පුවතක් මෙරට අවධානය යොමුවිය. බ්‍රිතාන්‍යයට එය සතකු බේරාගැනීම පිළිබඳ පුවතක් වුවත් මෙරට මාධ්‍ය වෙත එය විමුක්ති කුමාරණතුංග සම්බන්ධව පුවතක් විය. එහිදී සිදුවී තිබුණේ කාරයක ඩෑෂ් බෝඩ් එකක් තුළ සිරවී සිටි අඩි පහක් පමණ දිගින් යුතු පිඹුරකු පශුවෛද්‍ය විමුක්ති කුමාරණතුංග විසින් බේරාගැනීමයි. කෙසේ වෙතත් මෙය සංකීර්ණ කටයුත්තක් වී ඇති අතර කාර්මික ශිල්පියකුගේද සහය ලබාගෙන පශුවෛද්‍ය විම් කුමාරණතුංග විසින් මෙම පිඹුරා බේරා ගැනීමේ මෙහෙයුම සිදුකර තිබේ.

කලින් කලට පැතිර යන දේශපාලන කතා කෙසේ වෙතත් විමුක්ති කලකට පෙර දේශපාලනයට එන ලෙස ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කර තිබුණි. එහිදී තම පියා, මව හා සීයා, ආච්චී දේශපාලනය නිසා මුහුණ පෑ හිරිහැර හේතුවෙන් මෙරට දේශපාලනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ අකමැත්ත ප්‍රකාශ වී ඇති බව දැනගන්නට ලැබේ. එසේම දේශපාලනය කිරීමට තරම් සුදුසු වාතාවරණයක්‌ තවමත් ගොඩනැගී නැති බව කුමාරණතුංග මහතා ප්‍රකාශ කර ඇතැයිද කියැවේ.

එසේ නමුත් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසා තිබුණේ සිය දරුවන් ලෝකය සිදුවන දෑ සහ මෙරට දේශපාලන පිළිබඳ අවධානයෙන් සිටින බවයි. විමුක්ති සිදුකළා යැයි කියැවෙන ප්‍රකාශයට සමාන ප්‍රකාශයක්ද හිටපු ජනපතිනිය මෙහිදී සිදුකර තිබුණි. “කවදහරි විශාල තරුණ පිරිසක් හරියාකාරව හැදිලා ආපු දවසකට මගේ පුතත් ඇවිත් ඒකට දායක වුණොත් මමත් කැමති වෙනවා. හැබැයි තනියම ඇවිල්ලා මේ කොහෙද යන හොරු ගොඩක් ආපහු ගේන්නේ මොකටද?” යනුවෙන් ඇය ප්‍රශ්නය කර ඇත. කෙසේ නමුත් හිටපු ජනපතිනියගේ තිරය පිටුපස දේශපාලනයට විමුක්තිගේ සහ යශෝධරාගේ එතරම් ප්‍රසාදයක් නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කවරක් වුවත් මෙරට පවුල් දේශපාලන ගැන සහ එහි උරුමයන්ගේ නැවත ආගමනය පිළිබඳ අපිට අනාවැකි කියවිය නොහැකිය. එසේ නමුත් විමුක්ති කුමාරණතුංග දේශපාලනඥයකු ලෙස නොව විජයගේ සිනමාවේ දිගුවක් ලෙස නැවත කරළියට පැමිණෙන්නේ නම් මෙරට බොහෝදෙනා කැමැති වනු ඇත. විමුක්ති තුළ දේශපාලනය කෙසේ වෙතත් යම් කලාවක් නම් ඇති බව අප කළ සොයා බැලීමේදී පෙනී ගියේය.

අන්තර්ජාල සහ පුවත් මූලාශ්‍ර ඇසුරින් සටහන

 චමිඳු නිසල් ද සිල්වා