2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

තුන්වැනි රැල්ලක අවදානම ඉහළයි!

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

ලෝකයේ බොහෝමයක් රටවල් මේ වන විට තුන්වැනි කොවිඩ් රැල්ලක අවදානම හමුවේ සිටියි. ඒ ගැන සමහර රටවල අනතුරු ඇඟවීම් පවා නිකුත් කොට හමාරය. සාමාන්‍යයෙන් අපේ රටේ බහුතරයක් දෙනා කල්ලි ගැසී සමරණ අවුරුදු උළෙල හේතුවෙන් මෙවර අලුත් කොවිඩ් අවදානමක් පැතිර යාවී යන සැකය දැනටමත් මතුව තිබේ. අවුරුද්දෙන් පසු හිස එසැවිය හැකි 3 වැනි රැල්ලක් ගැන පැතිර යන ඒ සැකය සනාථ වන ආකාරයේ හැසිරීමක් මේ දිනවල සමාජය තුළ දක්නට හැකිය.

මේ වන විට ලෝකයේ වඩා ඉක්මනින් පැතිර යන නව වෛරස මාදිලි රැසක්ම හිස ඔසවා හමාරය. මේවායේ අධික පැතිරීම නිසා රෝගය පාලනයට ලක්ව තිබූ ඇතැම් රටවලද දැන් නොසිතූ විරූ ලෙස රෝගීන් බුරැතු පිටින් වාර්තා වීමේ තත්ත්වයක් උදා වී තිබේ. හොඳම උදාහරණය වන්නේ බ්‍රසීලය සහ අපේ අසල්වැසි ඉන්දියාවයි. වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් පසු පළමු වරට බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා ගොස් තිබුණි. බ්‍රසීලය අලුත් කොවිඩ් ප්‍රභේදයන්ගේ ග්‍රහණයට නතු වූ රටකි. එසේම ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය පසුගියදා  ඉන්දියාවෙන් හමු වී ඇත. ඒ, එරටින් පළමුවරට දෛනික ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වීමත් සමඟය. ඉන්දියාවද කොවිඩ් ප්‍රභේදයන්ගේ පැතිර යාමට තදින් නතුව ඇති රටකි. අප රට තුළද මේ වන විට එංගලන්ත මාදිලිය සහ දකුණු අප්‍රිකා මාදිලිය වාර්තා වී හමාරය. අපේ රටින්ම හමුවූ වෙනස් විකෘති මාදිලි ගැන ද පර්යේෂණ අරඹා හමාරය. මේ වෛරස තවදුරටත් පැතිර යාමට බලා සිටින්නේ මිනිසුන් අතර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් ලිහිල් වන තුරුය.

මේ වන විට අපේ රටේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ලක්ෂ 10කට ආසන්න පිරිසක් වෙත එන්නත් ලබා දී හමාරය. අප්‍රේල්  මුල්  සතිය මැද වන විට 924,479ක් එන්නත් ලබාගෙන තිබුණි. අප්‍රේල් 19දා සිට මුල් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස අතරින් 300.000කට දෙවැනි මාත්‍රාව ලබාදීම ඇරඹීමට නියමිතය. මෙලෙස එන්නත් ලබාගැනීම නිසා කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ ආරක්ෂාවක් තමන්ට මෙන්ම මුළු රට තුළටම ලැබී ඇතැයි යන මිත්‍යා අදහසක් දැන් බොහෝ දෙනා තුළ පැතිර පවතී. ඒ නිසාම මූලික සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් නොසලකා ඉවක් බවක් නැතිව හැසිරීමේ තත්ත්වයක් රට තුළ දක්නට ලැබෙන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දී තිබේ. මේ අනාරක්ෂිත නොසැලකිලිමත් තත්ත්වය නිසාම අවුරුදු සමයෙන් පසු රට තුළ කොවිඩ් 3 වැනි රැල්ලක් ඇතිවීමේ අවදානම අධික බවට ඔවුන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

සිංහල හින්දු අලුත් අවරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිනොපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද පවසයි.

අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක් පාලනය කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ. තමන්ගේ ආරක්ෂාව තමන් සතු යැයි සිතා සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපැදීමට වගකීමකින් යුතුව කටයුතු නොකළහොත් ප්‍රතිඵලය පාලනය කළ නොහැකි මට්ටමේ තුන්වැනි රැල්ලක් විය හැකි යැයි ඔහු අනතුරු අඟවයි.

මේ අවදානම ගැන සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් අලුත් අවුරුදු සමයේදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර හමාරය. නමුත් දැනටමත් මේ නීති ගැන නොතකා ඉවක් බවක් නැතිව පොදිකමින් පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් ගැනීමත් රෙදිපිළි ඇතුළු භාණ්ඩ සොයා සේල් පොළවල්වල අනාරක්ෂිතව ගැවසීමත් දක්නට හැකිය.

මේ වන විට අවුරුදු උත්සව ඉතාමත් කුඩාවට සංවිධානය කරන ලෙසටද අවුරුදු උත්සවවලදී කණ්ඩායම් වශයෙන් කරන ක්‍රීඩාවලට ඉඩක් නොදී සෞඛ්‍ය නීති රීති රකිමින් කළ හැකි ක්‍රීඩා ගැනද සෞඛ්‍ය අංශ කියා දී උපදෙස් ලබා දී තිබුණද ඒවා ක්‍රියාත්මක කෙරෙන ආකාරය ගැන පසු විපරමක් කිරිමට ඔවුන්ට නොහැකිය. එය මුළුමනින්ම මහජන වගකීමකි. එහෙයින් ඒ වගකීම නිසි ලෙස ඉටුවේදැයි යන්න ගැන දැන් සැක සංකා මතුව තිබේ. එය එසේ නොවුණහොත් ඇතිවිය හැකි තත්ත්වය භයානක තුන්වැනි රැල්ලක ආරම්භයකි. එවැන්නක් පැමිණියහොත් එය අපේ පාලනයෙන් ගිලිහෙන තරමේ දරුණු තත්ත්වයක වනු නිසැකය.

එළඹෙන අවුරුදු සමයේදී මහා පරිමාණ සැණකෙළි හා සංගීත ප්‍රසංග යනාදිය පැවැත්වීමට සම්පූර්ණයෙන්ම තහනම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද ඔහු කියයි. ගම්වල සංවිධානය කෙරෙන කුඩා කුඩා අවුරුදු උත්සවවලට පමණක් අවසර ලබාදෙන බව කී විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝදේශවලට යටත්ව ඒ උත්සව සංවිධාන කළ යුතු බවටද ඉල්ලීමක් සිදු කර තිබුණි.

මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ කොරෝනා මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික නොවන බවත් මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා තිබුණි.

මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කළ නමුත් එම මාර්ගෝපදේශද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වූ බවද ඔහු සිහිපත් කරයි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මාර්ගෝපදේශය ප්‍රායෝගිකව කිසිසේත් බිම් මට්ටමේදි  ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශයේ සඳහන් වෙනවා මුහුණු ආවරණ පැළඳගත්ත අවුරුදු කුමරා සහ කුමරිය තේරීම. ඒ වගේම ආධාරකරුවන් රහිත, ජලය පානය කිරීමට බෝතල් රහිත බයිසිකල් ධාවන තරග පැවැත්වීම වැනි ජනතාවට විහිළු සපයන ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා. මේ නිසා ප්‍රායෝගිකව මේක බිමේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ වගේම මේකේ සඳහන් වෙන 100ක සීමා කිරීම ප්‍රායෝගිකව කිසිසේත් වෙන්නේ නැහැ. අවුරුදු උත්සව පැවැත්වීම හෝ නොපැවැත්වීම යන තීරණය පමණයි මහජනතාවට අවශ්‍ය. ඔවුන් පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය දුන්නොත් මේ සියලුම මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් අවුරුදු උත්සව ලංකාව පුරා පවත්වනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා නොගත් පුද්ගලයන් රට පුරා සිටින අතර අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් දැඩි ලෙස ව්‍යාප්තවීමේ අවදානමක් මතුවන බවය. එය තුන්වැනි රැල්ලකට හේතුවන බවය.

එන්නත් විදීමෙන් පමණක් කොවිඩ් ආසාදන මුළුමනින්ම නවත්වන්නට හැකි යැයි ජනතාව අතර පැතිර ඇති මිත්‍යාව හේතුවෙන් ඇතිවන ව්‍යාජ ආරක්ෂිත හැඟීම නිසා ජනතාව  සෞඛ්‍ය  මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීමේ අවදානමක් දැනටමත් පවතී.
කොවිඩ් නිවාරණ එන්නත විදගත් පමණින් පුද්ගලයකු මුළුමනින්ම ආසාදනයෙන් හා රෝග ප්‍රචාරණයෙන් නොමිදෙන බවත් එය මිත්‍යා මතයක් බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක ජීව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ තහවුරු කළාය.

ඇය පවසන ආකාරයට, මේ කාලයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් ගැන වැඩි අවධානයට ලක් විය යුතු අතර කොවිඩ් වැළැක්වීමේ එන්නත ලබාගත් පුද්ගලයකුට පවා වෛරසය ආසාදනය විය හැකි බව අමතක නොකළ යුතුය. එවැන්නකුගේ සිරුරේදී වෛරස වික්‍රියාව අඩුවිය හැකි අතර එම පුද්ගලයාගේ ශ්වසන ස්‍රාවයන්හි වෛරස ඝනත්වයද අඩුවිය හැකිය. එසේ නමුත් ඔවුන්ගේ සම්ප්‍රේෂණ මට්ටම අඩු වුවද එවැන්නකුගෙන්ද රෝගය යම්තාක් පිරිසකට ප්‍රචාරණය සිදුවිය හැකි නිසාම රංචු ගැසීම්,  ඉවක් බවක් නැති ගමන් බිමන් පාලනයකට ලක් කළ යුතු බව මහාචාර්ය මලවිගේ අවධාරණය කරයි. 

මෙම පසුබිම තුළ ජනතාව විසින් මුහුණු ආවරණ, මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම  සහ සමාජ දුරස්ථභාවය තබාගැනීම තවමත් අත්‍යවශ්‍ය ලෙස සලකා කටයුතු කිරීම අතිශය වැදගත්ය. ඒ මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීම අත්හැරියහොත් තුන්වැනි රැල්ලක භීෂණාත්මක උදාව අත්දැකීමට අපට සිදුවනු ඇත. 

 සුගත් කුලතුංගආරච්චි

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03