2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

පිළිකා බිමක අපේක්ෂාවන් දැල්වූ හිත හොඳ දොස්තර ගමන නිමකරයි

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

මඟහැරෙන හෝ ගෙවී යන හැම තත්ත්පරයක්ම අතීතයේ අයිතියකි. ඒ අතීත මහකන්ද දිගේ ඇවිදිද්දී ආදරයෙන් සංරක්ෂණය කළ ඇතැම් මතක අපි සසර සක්මන පුරා රැගෙන යන්නෙමු. ඒ මතක හා ආදරයෙන් හදවත බැඳී අති හෙයිනි. ඒ දවසත් මට හොඳ හැටි මතකය. රාජකාරි කටයුත්තකට එදා අපි මහරගම අපේක්ෂා රෝහලට ගිය ගමනේදී එහි ළමා වාට්ටුවට කොමඩු රැගෙන දෙන්නට අපට සිත් ඇති විය. රාජකාරි කටයුත්ත සඳහා අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක හමුවූ ඉනික්බිති කතාබහ අවසානයේ අපි මෙලෙස විමසුවෙමු.

ඩොක්ටර් ළමා වාට්ටුවට කොමඩු අරන් දෙන්න ආසයි. දැන් ළමා වාට්ටුවට කොමඩු දෙන්න අවසරය අරන් දෙන්න පුළුවන්ද?

හා... අපි දෙමු. මට විනාඩි පහක් දෙන්න... එසේ කී වෛද්‍යවරයා හෙදියක් කැඳවූයේය. අපේ අවශ්‍යතාවය විනාඩි පහක් යන්නටත් පෙර ඉටුකර දුන්නේය. අපි ඒ ආසන්නයේම සුපිරි වෙළෙඳසැලකට ගොස් කොමඩු ගෙනැවිත් ඒ දරුවන්ටත් දෙමාපියන්ටත් දුන් සතුට අදත් ජීවිතයේ ලද ආදරණීය සතුටකි. ඒ සතුට පිටුපස වෛද්‍ය වසන්ත දිසානායකයන්ගේ ළෙන්ගතු සහයෝගය රුඳී තිබුණි. එදා කතාබහ අවසානයේ ඔහු මෙවැනි ඉල්ලීමක්ද කළේය.

මගේ අලුත් පින්තූරයක් අරගන්න... ඉන්නකෝ මම ලෑස්ති වෙන්නම්... පරණ පින්තූර නැතිව මේ ගත්ත පිංතූරේ ඔයාලගේ ලිපියට දාන්න... එසේ කී වෛද්‍යවරයා කාමරයේ වූ අල්මාරියක් ඇර කෝට් එකක් හැඳ කොණ්ඩය පීරාගෙන කොහොමද හොඳදැයි විමසුවේ සිනාසෙමිනි.

ඒ සේයාරුව අපි එදා ඔහුගේ ලිපිය සමඟ පළමු වතාවට පළ කළෙමු. ජීවිතයේ ඇතැම් සංසිද්ධින් තීරණය කරන ස්වභාවධර්මය නම් දෙවියන් වහන්සේගේ තීරණ වරෙක පුදුමාකාරය. වරෙක ඒ විනිශ්චයන් සරදමක් යැයි සිතෙන තරම්ය. එදා සුමුදු ගත් සේයාරුව අපි දෙවැනි වතාවට ඔහු සියල්ලන්ගෙන් සහ සියල්ලක්ගෙන් සමුගත් දා ඔහු වෙනුවෙන් ලියන මේ මතක සමුදායේ සංක්ෂිප්තය රුගත් මේ ලිපිය වෙනුවෙන් අපි පළකරමු. එදා ඔහු නමින් පළකළ ඒ සේයාරුව දකින්නට ඔහු නෙත් ඇරී තිබුණත් දෙවැනි වර ඒ සේයාරුව පළවෙද්දී එය දකින්නට ඔහු මෙදියත නැත. ජීවිතයේ හැටි එහෙමය. ජීවිතය යනු අවිනිශ්චියකි. ජීවත්වීම යනු ඒ අවිනිශ්චිතය නිශ්චිතයන්ගෙන් පුරවන්නට දරන වෑයමකි. ඒ වෑයමේ එක් විනිශ්චයකදී අපි පරාජිතයෝ වෙමු. ඒ විනිශ්චය මරණයයි. එහෙත් හෘද සාක්ෂිය නම් අධිකරණය ඉදිරියේ නිදොස්කොට නිදහස් කළ හැකි මනෝකායක් අවසානයේ මේ විශ්වයට මුදාහල හැකි මිනිසෙකු ලෙස අපට ජීවත්විය හැකිනම්... සුවඳවත් මතකයන් ලෝකයට ඉතිරිකර නික්ම යන්නේ එවන් සොඳුරු මිනිසුන්මය.

අමාත්‍යංශ ලේකම්වරයකු වූ සෙනරත් දිසානායක මහතාගේ තාත්තාට පිළිකාවක් හැදෙද්දී ඔහු පුතු වසන්ත දිසානායක ඉගෙනගත්තේ එක වසරේය. සෙනරත් දිසානායක මහතා තම බිරිඳ වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉංග්‍රිසි ගුරුතුමී කුසුමා දිසානායකද සමඟ තම පියා බලන්නට එකල ගිය එක්තරා ගමනකදී වසන්තට කාරයෙන් බැස සීයා බලන්නට එන්නට තහනම්ය. ඒ ඔහුගේ සීයාට පිළිකාවක් සෑදී ප්‍රතිකාර ගනිමින් සිටි නිසාය. කාරය තුළ සිටින වසන්ත දරුවා කබායක් හැඳ ප්‍රතාපවත් පෙනුමෙන් සිටින වෛද්‍යවරයා දකිද්දී හැමදාම හිතුවේ එකම එක දෙයකි. මමත් කවදාහරි මෙහෙම  දොස්තර කෙනෙක් වෙලා මෙතෙන්ට එනවා...

තරව සිහි ඇතිව පරතෙරට යන අටින්

කරව පියාසර කොන්ත ගංතොටින්...

ඒ අතීතය සිහිපත් කරද්දී විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සැළලිහිණි සංදේශයද සිහිපත් කළ හැටි මට මතකය. 

රුසියානු සාහිත්‍යයට හා සිංහල සාහිත්‍යයටත් සිනමාවට, කවියට හා ගීතයටත් දරුවකුව ගෙවූ ළමා කාලයේ සිටම අප්‍රමාණව ආදරය කළ රසවතෙකු වූ ඒ විද්වතා හැමදාමත් ජීවිතය පිළිබඳව කතා කළේ යථාර්ථවාදී සංතුෂ්ටියකිනි.

ආපසු හැරිලා බලද්දී මට ජීවිතය ගැන පසුතැවීමක් දැනුණේ නෑ.... මම පාසලේ පොතපතට විතරක් සීමාවුණු දරුවෙක් වුණේ නැහැ... දරුවෙක් විදිහට මම ළමා විය වින්දා.... ජීවිතයේ ගෙවපු වසන්තය මට හරිම සුන්දර කාලයක්. මම ආදරයට හුඟාක් ආදරය කළ මිනිහෙක්... අපේක්ෂා රෝහලට ආවට පස්සේ මම රෝගීන්ට, සේවකයන්ට රෝහලට ආදරය කළ වෛද්‍යවරයෙක්... මානව හිතවාදයෙන් තොරව, මනුෂ්‍යත්වයෙන් වියුක්තව පිළිකා රෝහලක අධ්‍යක්ෂ පුටුවේ වාඩිවෙන්න එපා කියන හැඟීම මගේ හදවතේ ඉපදුණ හැඟීමක්... ඒ වචන අයිති ඔහුටමය.

ජීවිතයත් මනුෂ්‍යත්වයත් විෂයෙහි සුගැඹුරු සිතුවිලි ලියලන චින්තනයක් අවදි කළ ඔහු ළමාවියේදී එක්තරා ආකාරයක සොඳුරු හිතුවක්කාරයෙකි. ඒ හිතුවක්කාරකම් දඟකාරකම් සමඟ අපූරුවට නිරතුරු සාහිත්‍ය හා යා වුණු මතක වියමනේ නම්ගම්ද ඈඳුණේය. ආනන්දයේ සිටි ගුරුවරයකුට බම්බල් යැයි අන්වර්ථ නමක් ඔහු තැබූයේද ඒ අනුවය.

කවුද මේ බම්බල්... බම්බල් ඔහුට හමුවූයේ චාර්ල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ටුවිස්ට්^ හි දීය. 

ඇයි ඒ සර්ට බම්බල් කියලා නම දැම්මේ.

ඒ සර් ඔලිවර් ටුවිට්ස් පොතේ බම්බල් වගේමයි... හරි සැරයි. හැම තිස්සෙම ළමයින්ට ගහනවා.

ගුරු සැරට පුංචි ශිෂ්‍යයා සාහිත්‍යසරයෙන් කැලතුණු හිතින් පෑ විරෝධය සොඳුරු නොවෙත්ද? වසන්ත දිසානායක දරුවාගේ නිවස ඉදිරිපිට තිබුණේ රබර් වතු යායකි. පත පොතේ වැඩෙන් කර අරින මොහොතක ඔහු දිව ගියේ ඒ රබර් වත්තටය. ඒ රබර් ඇට අහුලන්නටය. එකල රබර් ඇට රාත්තලක මිල සත 10කි. ඔහු රබර් ඇට අහුලා විකුණා ඒ සල්ලිවලින් ගෝල්ඩ් ෆිෂ් මාළුන් ගෙනාවේය. කොළඹ ආනන්දය ඉදිරිපිට තිබූ සුරතල් මසුන් විකිණීමට ඇත^ යන නාමපුවරුව සහිත කඩයෙන් මිලට ගත් මාළුන් එකල ඔහුගේ සුරතලුන්ය. කුඩා වියේ සිටම සතුන්ට ආදරය කළ ඔහු ඒ සත්ත්ව කරුණාව ගැන කතා කරද්දී කියූ එක් දෙයක් විය.

ජීවිතයට ආදරය කරන්න කෙනෙක් තෝරා ගනිද්දී ඒ කෙනා සතුන්ට ආදරය කරන කරුණාව දක්වන කෙනෙක්ද කියලා බලන්න. සතුන්ට හිංසා කරන වද දෙන කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්න එපා. සත්තුන්ට ආදරය නොකරන කෙනෙකුට මිනිස්සුන්ට ආදරය කරන්න බෑ... මගේ පුතා චාමරත් මම වගේම සමනලුන්ට කුරුල්ලන්ට හැම සතා සිව්පාවටම ගහ කොළටම ආදරෙයි... මට ඒ ඇති... 

වසර 15ක් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඉක්බිති මිය යනතුරුම තෙවසරක් එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඔහු ප්‍රශංසනීය මෙහෙවර උදෙසා ජාතික හා ජාත්‍යන්තර සම්මානවලින්ද වරෙක පිදුම් ලද්දේය.
වසර 18ක ඒ මෙහෙවර තුළ මහරගම පිළිකා රෝහල අපේක්ෂා රෝහල නමින් නම්කර රෝහලේ නම තුළින් පවා රෝගී දන මන තුළ ජීවිතය පිළිබඳ සුවහසක් බලාපොරොත්තු දල්වන්නට ඔහු යත්න දැරුවේය. ඒ ගැන ඔහු හැමදාමත් කතා කළේ විසල් තෘප්තියකිනි.

ඉංග්‍රීසියෙන් කැන්සර් කියන්නේ කකුළුවාට... පිළිකාවත් හරියට කකුළුවෙක් වගේ අඬුවලින් තදකරලා ජීවිතයම අල්ලගන්න බලන්නේ. පිළිකා කියන නමේ සිංහල තේරුම අර්බුදය කියන එක. පිළිකා කියන නම වෙනස් කරන්න ඕනෑ කිය කියා හිතද්දී අරිසෙන් අහුබුදු මහත්තයාගෙනුත් අපි නමක් ගැන ඇහුවා. ඒ කාලේ රසාවි කියන ඉරාන සමාගම පිළිකා රෝහලට රුපියල් කෝටි 100ක ආධාරයක් දුන්නා. පර්සියානු බසින් රසාවි කියන්නේ උපේක්ෂාවට. උපේක්ෂාව - අපේක්ෂාව. ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් දල්වන්නට බලකරන රෝහලක් කරමු අපි පිළිකා රෝහල කියන හැඟීමෙන් තමා අපි අපේක්ෂා රෝහල කියලා පිළිකා රෝහලේ නම වෙනස් කළේ. මම එහි පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මල් වැවුවා. උද්‍යාන හැදුවා. අලුත් ගොඩනැගිලි හැදුවා. දරුවන්ට ගුරුවරු ගෙනැල්ලා උගන්වන්න, කලාකරුවන් ගෙනැත් සංගීත වැඩසටහන් කරන්න පසුබිමක් හැදුවා.... සමහර දවසට උදේට රෝගීන් 15ක් විතර මැරිලා. මේ රෝහලේ වැඩියෙන්ම ලෙඩ්ඩු මැරෙන්නේ රෑට. ඉතින් උදේට මට හරි දුකයි. හැබැයි ඒකෙන් මට එක දෙයක්  තේරුණා. ඒ ජීවිතය අනිත්‍ය කියන එක. අපි ඔක්කොම තාවකාලිකයි. කවදාහරි අපි මැ‌ෙරනවා කියන එක මට පසක් වුණේ මේ පිළිකා රෝහලට ආවට පස්සේ. ඒ හඬ ඔහුගේය.   

අවසන් පරිච්ඡේදය නොදැන කියවන මහා පුස්තකයක් බඳුය ජීවිතය... එක් පරිච්ඡේදයක සමාරම්භය ජීවන යාත්‍රාවේ එක් සමාප්තියක් බව අපි දනිමු. ඒ පරිච්ඡේදය මරණයයි. එහෙත්  බෞද්ධ දර්ශනය අනුව දෙතිස් කුණු කය අත්හැර සිත පමණක් රැගෙන යන සසර සක්මන වෙනුවෙන් ඔහු බොහෝ පින් කුසල් වත්කම් අත්පත් කර ගත්තේය. වරෙක අනුරාධපුරයට ගිය ගමනකදී විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා එහි සිටි හමුදා ප්‍රධානියකුගෙන් ඇහැල පැළ දෙකක් ඉල්ලුවේය. ඒ ඇහැල පැළ දෙක ඔහුගේම අතින් රෝහල් ගේට්ටුව දෙපස සිටවූයේය. ඒ 2005 වසරේදීය. කහපාට ඇහැල මලින් ඒ ඇහැල ගස් වැසී නොගිය දවසක් නොතිබුණේය. වසන්තයේදී සේම ගිම්හානයේදීද ඒ ඇහැල ගස්වල මල් පිපුණේය. ඒ ඇහැල මල් පිළිකා රෝගීන්ගේ හිත සතුටු කරන දසුනක් වනු දැක්ම ඔහුගේ ප්‍රාර්ථනය විය. ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් අර්හත්භාවය තුළ මිස අන් තැනක නැත. එහෙත් ආත්මාර්ථයේ සේයා තුළ වුවත් පරාර්ථයේ සෙවණැලි ප්‍රතිබිම්බගත වන ඉසව්වක රැඳෙන මනුෂ්‍යත්වයේ සුවඳ සැබැවින්ම ආස්වාදනීයය. ඒ සුවඳ එනයින්ම දැනවූ මිනිසෙකි ඔහු.

මිනිසුන්ගේ ආයුෂ තීරණය කරන්න අපිට අයිතියක් නෑ. අපි දෙවිවරු නෙවෙයි. ඒත් මනුෂ්‍යත්වයට වටිනාකම් දෙන්න අපිට පුළුවන්. ඒ අද නෑසෙන එදා ඇසුණ ඔහුගේ හඬය.

වරක් පිළිකාවෙන් පීඩා විඳිමින් සිටි සිව් හැවිරිදි දරුවකු මළ පුවත රැගෙන කිසාගෝතමියක් වෛද්‍යවරයා සොයා ආවේ ළසෝගින්නක් සමඟ දැවෙමිනි.

සර් මගේ දරුවා මැරුණා... මල් ශාලාවෙන් රුපියල් 20,000ක් ඉල්ලනවා. මගේ දරුවගේ මිනිය හොරොව්පතානට ගෙනියන්න මට සල්ලි නෑ මහත්තයෝ. මට රෙදිකඩක ඔතලා මගේ දරුවාගේ මිනිය බෑග් එකේ දාගෙන බස් එකේ ගමට අරන් යන්න දෙන්න සර්... මට මගේ දරුවව කොළඹ කනත්තක වළලලා දරුවා තනිකරලා දාලා යන්න බෑ...

වෛද්‍ය හදවතක හදගැස්ම මනුෂ්‍යත්වය පිළිබඳ සංවේදනාවන්ගෙන් රිදුම් දෙන්නට ගතවුණේ මිනිත්තුවකි. තවත් තිදෙනෙක් ඒ දරුවාගේ දේහයේ බරපැන දරන්නට වෛද්‍යවරයා සමඟ එක්විය. ගෞරවාන්විත අවමංගල්‍යයක් වෙනුවෙන් වෛද්‍ය වසන්ත ඒ අම්මාට ඉඩහසර සාදා දුන්නේය. එවන් සිය ගණන් අත්දැකීම් දහඅට වසරක සේවා කාලය තුළ ඔහු මැනවින් අත්වින්දේය.

මම ආසයි හඳ ගැන කියන සින්දුවලට... හඳ කියන්නේ හදවතේ ශෘංගාරය උපද්දවන ස්වභාවධර්මයේ අපූරු නිමැවුමක්.

සඳට ආදරය කළ ඔහුට සඳ එළියක් සදිසි ප්‍රේමයක්ද ජීවිත සුවිසැරිය තුළ මුණගැසුණේය. ඒ ප්‍රේම කතාවේ එක්තැනකදී පෙම්වතිය ගැන වසන්තගේ තාත්තා දැනගත් දා ඇය තාත්තා මොකද කීවේ යැයි ඔහුගෙන් විමසද්දී ඔහු අපූරු උත්තරයක් දුන්නේය.
තාත්තා කීවා ඇඟේ වතුර ලේ වුණේ දැන් කියලා... කෙල්ලෙ තාත්තා උඹට කැමතියි කීවා යන්න ඔහු නොකියා කීවේ එහෙමය.

කොවිඩ් හැම අත සැරිසරද්දී අපේක්ෂා රෝහලේ රෝගීන් රැකගන්නට ඔහු නොකළ දෙයක් නැති තරම්ය. ඔහු පංගුපේරුවකින් තොරව ආදරය ප්‍රදානය කළ වෛද්‍යවරයෙකි. ආදරයට ආදරය කළ මනුෂ්‍යයෙකි. ලැබෙන නොලැබෙන බව නොවිමසා ආදරය දිය හැකි තැන ආදරය නොඉල්ලා ආදරය දන්දුන් මිනිසෙකි.

හෙටත් ඔහු නොඑනා බව දැන - නොදැන වුවත් ඔහු ආවත් නොආවත් අපේක්ෂා රෝහලේ පිවිසුම දෙපස ඇහැල මල් සාරෙට පූදිනු ඇත. ඔහු පැල කළ ඇහැල ගස් තවත් කාලයක් අපේක්ෂා රෝහලේ පිවිසුම සරසනු ඇත. එහෙත් බක්මහේ 12 වැනි සඳුදා සිට ඒ ඇහැල මලක අසිරිය දකින්නට ඒ බිමට ඔහු ගියේ නැත. මරණය ඔහු කැටුව තවත් ජීවිතයක් සොයා ගියේය. එහෙත් වසන්ත දිසානායක ජීවිත පුස්තකය පරිච්ඡේද පනස් හතක් අවසානයේ නිමාවිය. ඇහැල ගස් සේම, ඇහැල මල් සේම අපේක්ෂා බිමේ අනන්ත අපේක්ෂාවන් වෙනුවෙන් පින්සාර හිතින් ඔබ පැළ කළ බොහෝ දෑ අද වගේම හෙටටත් ජීවමානය.... වෛද්‍යතුමනි.. කළ කී යහපත් වත්කම් පින් කුසල් සසර සක්මන පුරා ඔබ සමඟය.

ඔබ ගිහින් එන්න...
සංසාර සක්මන මෙතෙකින් නිම නොවන බව ඉඳුරාම මම දනිමි...

 සංජීවිකා සමරතුංග
සේයාරුව - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03