2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

අවුරුද්දට නැකත් ඕනැද?

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

මුළු අලුත් අවුරුද්දම පදනම් වී ඇත්තේ නැකැත් මතය. නැකැත් නොමැති නම් අලුත් අවුරුද්ද නැතිවන තරමට එය නැකැත් හා බැඳී පවතී. උත්තර භාරතීය ශාස්ත්‍ර නියමවලට අනුව අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත්වලට අනුරූපව පිළිපැදිය යුතු චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර - වාරිත්‍ර විධි රාශියක් ඇත. සැම දෙනාගේම කායික හා මානසික ප්‍රබෝධය වෙනුවෙන් නැකැත් අනුව මෙම චාරිත්‍ර ඉටු කළ යුතු යැයි ජ්‍යොතිෂයේ දැක්වේ. අවුරුදු චාරිත්‍ර විධිවලට අවනත වීමෙන් ලබන නව අවුරුද්ද තුළ ආරෝග්‍යත්වය, සැප සම්පත, සමෘද්ධිය හා වාසනාව උදාවන බව පිළිගෙන තිබේ.

අවුරුදු නැකැත් අභිබවා කටයුතු කිරීම නිසා මතු ජීවිත අවාසනාවන්ත වන බව අතීතයේ සිට අද දක්වාම පැවතගෙන එන මතයකි. ඒ නිසා හෙළයන් හැකි තරම් දුරට නැකැත් වෙලාවල අනුගමනය කරමින් අවුරුදු චාරිත්‍රවලට නතුවීමට ප්‍රමුඛත්වය දී තිබේ. අවුරුද්දේ අප්‍රේල් මාසයේ හෙවත් සිංහල මාස ක්‍රමයට අනුව බක් මාසයේ 12, 13 හා 14 දින ආශ්‍රිතව වැඩි වශයෙන් අවුරුදු නැකැත් යෙදී තිබේ.

නක්ෂත්‍රානුකූලව පිළිගෙන ඇති අයුරු අලුත් අවුරුද්ද ලබන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙනි. පෘථිවිය මත ජීවත් වන සෑම ජීවියකුම සූර්යයා නිසාම ජීවත් වෙයි. යම් දිනයක සූර්යයා නැති වුවහොත් එවිගසම සියලු ජීවිත අවසන් වේ. ඒ නිසාම සූර්යයා දිව්‍ය රාජයකු ලෙස සලකනු ලැබේ. මේ හේතුවෙන් අවුරුදු නැකැත් සියල්ල සූර්යයා ගමන් කරන විලාශය අනුව නියම වේ. පොළොව වටා ඇති අවකාශය අභ්‍යවකාශය දක්වා එකසමාන ප්‍රධාන කොටස් දොළොසකට බෙදා ඇත. රාශි වශයෙන් නම්කර ඇත්තේ ඒවාය. එම රාශි හරහා හිරුරැස් පතිත වන විට වසන ජීවීන්ට නොයෙක් වෙනස්කම් දැනෙන බව ජ්‍යොතිෂ විද්‍යාවේ දැක්වෙයි. මෙම රාශි දොළස හැඳින්වීම සඳහා සංකේත දොළසක්ද නිර්මාණය වී ඇත. මෙයින් පළමු රාශිය මේෂය වන අතර අවසාන රාශිය මීනය වන්නේය. සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ සූර්යයා හෙවත් රවි අවසාන මීන රාශියේ සිට නැවත වරක් අලුත් ගමනක් ඇරඹීම සඳහා මේෂ රාශියට සංක්‍රමණය වීම මුල්කොටගෙනය. යළිත් වරක් මේෂ රාශියෙන් හිරුරුස් වැටීම ආරම්භ වීම අලුත් අවුරුද්දේ ආරම්භය ලෙස සැලකෙයි.

අලුත් අවුරුද්ද සැමරීම සඳහා අද අනුගමනය කරන නැකැත් මේවාය.

1. අලුත් අවුරුද්ද සඳහා සඳ බැලීම
2. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම
3. පුණ්‍ය කාලය හෙවත් නොනගතය
4. ආහාර පිසීම
5. ආහාර අනුභවය
6. ගනුදෙනු කිරීම
7. වැඩ ඇල්ලීම
8. හිසතෙල් ගෑම හා ස්නානය කිරීම
9. අලුත් අවුරුද්දේ රුකීරක්ෂා සඳහා පිටත්ව යාම

පැරුණියෝ මෙම අවුරුදු නැකැත් සම්පූර්ණයෙන්ම පිළිපැදීමට සැදී පැහැදී සිටියෝය. අවුරුදු නැකැත් අනුගමනය නොකළහොත් ලබන අවුරුද්ද සාර්ථක නොවේ යැයි යන අදහස ඔවුන් තුළ තරයේ මුල්බැසගෙන තිබීම එයට හේතු විය. අලුත් අවුරුද්ද සඳහා සඳ බැලීමෙන් පටන්ගෙන රැකීරක්ෂා සඳහා පිටත්ව යාම දක්වා සියලු අවුරුදු චාරිත්‍ර නැකැත් නොවරදවා ඉටු කළහ. ඒ කාලයේ අවුරුදු නැකැත් බැලීම සඳහා සෑම නිවෙසකම හෝරා යතුරක් හෙවත් ඔරලෝසුවක් තිබුණේ නැත. ඒ නිසා ඔවුන්ට නැකැත් වෙලාව පැමිණ ඇති බව සැල කළේ ගමේ විහාරස්ථානයයි. එසේ වෙලාව දැනුම් දුන්නේ පන්සලේ ඝණ්ඨාරය නාද කිරීමෙනි. ඝණ්ඨාරය මුල්වරට නැකැත් වෙලාවට විනාඩි කිහිපයකට පෙර නාද කළ අතර අනතුරුව නැකැත් වෙලාවටම නාද කෙරුණි. මුල්වර නාද කළේ නැකැත් වෙලාව ආසන්න බව දැනුම් දීමටය. පන්සල හැරුණුවිට නැකැත දැනගත හැකි වූයේ එකදිගට ඇසෙන භූමිතෙල් වෙඩි හඬ නිසාය. උණ ලීයක කට කපා සකස් කළ භූමිතෙල් වෙඩිල්ලක් එකල සෑම නිවෙසකම අවුරුද්දට පත්තු කිරීම සඳහා කල්වේලා ඇතිව සකස් විය. රතිඤ්ඤා දැල්වූයේ ගමේ වත්පොහොසත්කම් ඇති ගෙවල්වල පමණි. කෙසේ වුවද මෙම සංඥා අනුව නැකැත් අනුගමනය කිරීමට සියල්ලෝම වගබලා ගත්හ. කුඩා දරුවන් ඒ සඳහා පොළඹවනු ලැබුවේ වැඩිහිටියන් විසිනි.

එහෙත් අද වන විට අලුත් අවුරුදු නැකැත් අනුගමනය කිරීම අභාවයට යමින් පවතී. එයට ප්‍රධාන හේතුව වන්නේ අනෙකුත් සැම දේ මෙන්ම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රද වාණිජකරණයට ලක්වීමය. මේ නිසා සිංහල අලුත් අවුරුද්දේ චිරාගත බවට මෙන්ම එහි පරමාර්ථයටද හානි වෙමින් පවතී. කුඩා දරුවන් කෙරෙන් අවුරුදු නැකැත් ඉටුකිරීම මේ වන විට බොහෝ සේ ඉවත්ව ගොස් ඇති සැටියකි. එයට හේතුව වැඩිහිටියන් ඔවුන් දැනුවත් නොකිරීමය. මේ වන විට කාර්යබහුල ජනතාවට අලුත් අවුරුදු නැකැත් අනුගමනය කරමින් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට අවස්ථාව නොලැබේ. අනේ අපට ඕවාට වෙලාවක් නැහැ. ඔයිට වඩා වැදගත් වැඩ තිබෙනවායි ඔවුහු කියති.

නගරයේ පමණක් නොව පිටිසර ජනතාව තුළද නැකැත් කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳවැටෙමින් පවතී. අවුරුදු නැකැත් ඉටු කිරීමට පසුගාමී වන තවත් හේතුවක් වනුයේ එම නැකැත් ප්‍රායෝගික නොවීමය. එම නැකැත් වෙලාවල් ඉටු කිරීමට නොහැකි වීමය. අලුත් අවුරුද්ද සඳහා සඳ බැලීමට නැකැත යෙදී ඇත්තේ ඇතැම් අවුරුදුවල දිනයේ පාන්දර යාමයේය. දවස තිස්සේ වෙහෙසෙන ජනතාවට හොඳහැටි නින්ද යන්නේ එම කාලයේදීය. ඉතින් ඔවුන් අවුරුදු සඳ බැලීමට නිදිවරා බලා සිටීද? නොඑසේනම් මහ රූ අවදි වී නැකැත් වෙලාව එනතුරු අහස දෙස බලා සිටිනු ඇත්ද? සඳ බැලීම පමණක් නොව සෙසු නැකැත් වෙලාවන්ද බොහෝවිට යථාර්ථවාදී නැත. ආහාර පිසීමේ නැකැතේ සිට ආහාර අනුභවයට ඇති නැකැත දක්වා ඇත්තේ සුළු කාලයකි. ඒ කාලය තුළ ගෘහණියට කෑම පිසීම ප්‍රායෝගිකව අපහසුය. එසේම ඇතැම් අලුත් අවුරුදු නැකැත් අනුව ආහාර අනුභවය හා වැඩ ඇල්ලීමේ නැකැත එළඹෙන විට සාමාන්‍යයෙන් ආහාර ගන්නා වෙලාව පසුවී බොහෝ වෙලා ගොස්ය. නොනගත කාලය දික්වන අතර ජනතාවට සිදුවන්නේ නැකැත් වෙලාව එනතුරු බොහෝ වේලා කුසගින්නේ සිටීමටය. ගෙවල්වල දරුවන් කුසගින්නේ ආහාර ඉල්ලා හඬන විට දෙමාපියන්ට සිදුව ඇත්තේ නැකැත් වෙලාව නොසලකා ඔවුන්ට කෑම දීමටය. සාමාන්‍යයෙන් ආහාර ගන්නා වෙලාව පසුවූ විට වැඩිහිටියන්ට වුවද ආහාර ගැනීමට රුචියක් නැතිවේ. එවිට ඔවුන්ටද සිදුවන්නේ නැකැත් වේලාවට හිතෙන් බණිමින් හිත් අමනාපයෙන් නැකැතට ආහාර ස්වල්පයක් ගැනීමටය. බොහෝ අවස්ථාවල වැඩ ඇල්ලීමේ නැකැතේද කිසිදු ප්‍රායෝගිකභාවයක් නැත. වැඩ අල්ලන්නට සිදුවන්නේ වැඩක් කළ හැකි වෙලාවට නොවේ.

ගනුදෙනු කිරීමේ අවස්ථාද ප්‍රායෝගිකව යෙදී නොමැති වූ නිසා ජනතාවට සිදුවන්නේ කාලය අපතේ යැවීමටය. සමහර ව්‍යාපාරික ස්ථාන වසා තිබීම නිසා ආහාර අනුභවයෙන් පසු ගනුදෙනු කිරීමට අපහසු වේ. ඇතැම් අවස්ථාවල බැංකුවලටද සිදුවන්නේ ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන් ගෙන්වාගැනීම සඳහා අවේලාවේ ආයතන විවෘත කර තැබීමටය. එසේ විවෘත කර තැබුවද අවේලාවේ ගනුදෙනු සඳහා පැමිණෙන අය විරල වනවා ඇත. වැඩ ඇල්ලීමටද සමහර අවස්ථාවල සිදුවෙන්නේ කිසිදු වැඩක් නොකළ හැකි වෙලාවලටය. ඒ නිසා සමහරු වැඩ ඇල්ලීම හිතාමතාම අතහරිති.

ඇතැම් අවස්ථාවල හිසතෙල් ගා ස්නානය කිරීමේ නැකැත යෙදී තිබෙන්නේ ඇත්තවශයෙන්ම එය ප්‍රායෝගිකව කිරීමට දුෂ්කර අවස්ථාවලදීය. සමහරවිට උදේ පාන්දර හෝ සවස් කාලයේ යෙදී තිබෙනවා නම් එම නැකැත් වෙලාව අනුගමනය කිරීමට යන අයට දුෂ්කර අවස්ථාවලට මුහුණදීමට සිදුවෙනවා ඇත. තවද රැකීරක්ෂා සඳහා පිටත්ව යන දිනය හා වෙලාවද නැකැත් පත්‍රයේ දක්වා ඇත්තේ එය සිදු කිරීමට දුෂ්කර අවස්ථාවලදීය. ඇතැම් නැකැත් අනුව රැකීරක්ෂා සඳහා පිටත්ව යාමට නැකැත දී ඇත්තේ සියලු අවුරුදු චාරිත්‍ර ඉටු කර සතියකට පමණ පසුව විය හැකිය. මෙහිදී නැකැත අනුගමනය කරන අය රැකීරක්ෂා සඳහා පිටත්ව යාමට නිකරුණේ කාලය ගත කළ යුතුව ඇත. දෛනිකව රැකියා කටයුතුවල නිරත වී වැටුපක් ලබන අයකු වෙතොත් රැකියාවක් නැතිව සෑහෙන කාලයක් නැකැත එනතුරු නිකම් බලාගෙන සිටීමට සිදුවීමෙන් ආර්ථික හානියක් සිදුවනවා ඇත. එසේ නොමැතිව ස්ථිර රැකියාවක් කරන අයකු වුවහොත් නැකැත පැමිණෙන තුරු නිවාඩු දමා නිවෙසේ සිටින්නට සිදුවනු ඇත. මේ තත්ත්වය නිසා නැකැත ගැන නොසලකා රුකියාවට යාමට ඔවුන්ට සිදුවේ. අද සමාජයේ බොහෝදුරට නැකැතට රුකියාවට යාම නොසලකා හැරීමට සිදුව ඇත්තේ මේ හේතුව මතය. එසේම නැකැත දී ඇති වෙලාවට අනුව නැකැතට පිටත් වී රාජකාරියට ගියහොත් එදින වැඩ කරන්නට ලැබෙන්නේ නැත. ඇතැම් නැකැත් යෙදී ඇති වේලාව අනුව අලුයම නැකැතට පිටත් වී රැකියාව ආරම්භ කරන වෙලාව වෙනතුරු අතරමඟ බලා සිටින්නට සිදුවෙයි. නැකැත් වෙලාව ප්‍රායෝගික නොවේ යැයි සනාථ වන්නේ මේ නිසාය.

මෙවැනි දුෂ්කරතා මතුවීම නිසා අද වන විට නැකැත් වේලා නිසි ලෙස අනුගමනය කරන අය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින ප්‍රවණතාවක් උද්ගත වී ඇත. අවුරුද්දේ නැකැත් පත්‍රයෙන් අද වැඩිපුර අනුගමනය කරනුයේ ආහාර පිසීම, අනුභවය යන නැකැත පමණක් බව දක්නට ඇත. සෙසු නැකැත් වෙලාවල් අනුව ක්‍රියා කිරීම බොහෝදුරට ගිලිහෙමින් පවතී. එයට හේතුව නැකැත පිළිබඳ ජනතා විශ්වාසය පළුදුවීම නොව අද පවතින සමාජ රටාව අනුව ජනතාවට එම නැකැත් ඒ අයුරින්ම පිළිපැදීම අපහසු වී ඇති නිසාය. ඒ නිසා අත්‍යවශ්‍ය ලෙසම අනුගමනය කළ යුතු හා කළ හැකි නැකැත් අනුව අවුරුදු සැමරීමට කටයුතු යෙදෙමින් පවතී. කොතරම් හොඳ නැකැත් තනා තිබුණද ඒවා අනුව කටයුතු කිරීමට අපහසු වන්නේ නම් ඒවායින් ඇති වැඩක් නැත.

අද වන විට රාජ්‍ය අනුග්‍රහයෙන් අවුරුදු නැකැත් සම්පාදනය කිරීම සිදුවේ. අලුත් අවුරුදු නැකැත් නියම කිරීම සඳහාම ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකැත් කමිටුවක් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් පත් කර ඇත. එහි සාමාජිකයෝ මාස ගණනාවක් තිස්සේ විවිධ ජ්‍යොතිෂ ගවේශනවල යෙදෙමින් නැකැත් පත්‍රය සකස් කරති. එක් වසරක අලුත් අවුරුදු නැකැත් සකස් කරනුයේ ඊට පෙර වසරේ ආරම්භයේ සිටමය. ඒ නිසා ඔවුන්ට ජනතාවට ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි පහසු නැකැතක් නිර්මාණය කිරීමට අපහසුවක් වන්නේ නැත.

එහෙත් දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවක් වන්නේ එම ජ්‍යොතිෂවේදීන්ට එක මතයකට පැමිණීමට නොහැකි වීමය. පසුගිය වසරවල මෙම ජ්‍යොතිෂ නැකැත් කමිටුවේ සාමාජිකයන් එකිනෙකා ප්‍රසිද්ධියේ විවේචනය කරගත් අවස්ථා අපට මතකය. සමහරුන් කමිටු රැස්වීම්වලට සහභාගිවීම පැහැරහරිමින් නැකැත් සකස් කළ පසු එහි ඇති දුර්වලතා පෙන්වා දීමට උත්සාහ කරන බවක් දක්නට ඇත. ඒ නිසා ජනතාව අතර මෙම නැකැත් පිළිබඳ විශ්වාසනීයත්වය අවම බවට පත්වී ඇත. එවැනි දුර්වල මානසිකත්වයකින් කොතරම් නැකැත් අනුගමනය කළද යහපත් ප්‍රතිඵලයක් නොලැබෙන බව පැවසිය යුතුය. ඒ නිසා ඔවුන් ප්‍රසිද්ධියේ එකිනෙකා කපාහරිමින් අභියෝග කිරීම දැන්වත් නැවැත්විය යුතුය. අනික් අතට රාජ්‍ය නැකැත් කමිටුවට පත්වී ඇත්තේ රටේ නැකැත් සකස් කිරීමට විශේෂඥයන් වූ ජ්‍යොතිෂවේදීන් පමණකැයි සිතිය නොහැකිය. ඔවුන්ට වඩා දක්ෂ දෛවඥයන් කොතෙකුත් සිටින්නට පුළුවන. මෙහිදී සිදුවිය යුතුව ඇත්තේ කමිටුවේ අය කමිටුවෙන් බාහිර අයගේද අදහස් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම බව පෙන්වා දිය යුතුව ඇත.

 යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03