නිර්මාණාත්මක, ප්‍රමිතියෙන් යුතු ප්‍රතිමා නෙලන ශ්‍රේෂ්ඨ කලා ශිල්පීන් මෙන්ම බොල් ප්‍රතිමා හදන බාල වර්ගයේ වෙළෙන්දෙකු අතර ඇත්තේ කොතරම් වෙනසක්ද? අපේ රටේ ප්‍රකට පුද්ගලයන්ගේ ප්‍රතිමා දකින කෙනෙකුට මේ එයාමදැයි අසන අවස්ථා තිබුණි. එසේ අප රටේ හොඳ කලාකාරයකු ශ්‍රේෂ්ඨ ස්ථානයකට නඟින්නට ලැබෙන්නේ ඇනුම් - බැනුම් ඉවසමින් මුල්ලකට වී දුක සේ වැඩ කළහොත් පමණක් බව මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් වරක් අපේ රටේ සිටි විශිෂ්ටතම මූර්ති ශිල්පියා වූ තිස්ස රණසිංහ ගැන 1959 සිළුමිණ පත්‍රයට (දෙසැම්බර් 20 වැනිදා) ලියූ ලිපියක සඳහන් කර තිබුණි.
එසේ වැඩකොට කිසියම් සැලකිල්ලක් ලාභයක් ලබන්නට වූ විට ඔහු අනිත් කලාකාරයන්ගේ පමණක් නොව, තම හිතවතුන්ගේද ද්වේෂයට හා ඊර්ෂ්‍යාවට හසුවෙයි. මේ කිසිවක් නිසා නොකලකිරී උතුම් අදහස මුදුන් පමුණුවාගනු සඳහා වැර වෑයම් කරන්නට ශක්තිය ඇති කලාකාරයෙකියි සිතමි, තිස්ස රණසිංහ.
පැරණි පාර්ලිමේන්තුවේ ඉදිකර ඇති ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, කර්නල් ඕල්කට් ප්‍රතිමා නිර්මාණය කළ තිස්ස රණසිංහගේ විශිෂ්ට නිර්මාණයන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන ආදීන්ගේ ප්‍රතිමාද වෙයි. 1963 ලේක්හවුස් ආයතනයේ සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයක් ලෙස ඇරඹුණු සරසවිය සම්මාන උළෙලේදී කලාකරුවන්ට පිරිනැමුණු ලෝකඩ සරසවිය සම්මානයේ නිර්මාතෘද තිස්ස රණසිංහයන්ය.
තිස්ස රණසිංහයන්ගෙන් මා වරක් සරසවිය සම්මානය ගැන විමසුවේ 2007 වසරේ ලයනල් වෙන්ට් රඟහලේ හැරල්ඩ් පීරිස් කලාගාරයේ ඔහුගේ අවසාන මූර්ති ප්‍රදර්ශනය පැවැත්වූ අවස්ථාවේදීය.
මට සරසවිය සම්මානය නිර්මාණය කරන්න භාරදෙන විට මතකයට ආවේ සරස්වතී දේවිය මොණරකු පිට වීණාවක් අත ඇතිව ඉන්න ආකෘතියක්. එය මම ලෝකඩවලින් මුල් ආකෘතිය හැදුවා. සරසවිය සම්මානයේ ඉතිහාසය මම කියන්නම්. 1963 වසරයි ඒ. එවකට සරසවිය කර්තෘවරයාව සිටි විමලසිරි, දිනමිණ කර්තෘ ධර්මපාල වෙත්තසිංහ, බෙදාහැරීමේ කළමනාකර රෝලන්ඩ් අබේසිංහ, ඡායාරෑප ශිල්පී නිමල් පෙරේරා අභයවර්ධන යන මහත්වරු මම පදිංචිව සිටි බම්බලපිටියේ ෆ්රුන්ක්ෆර්ට් පාරේ අංක 29 දරණ නිවසට ආවා. මේ සරසවිය සම්මානය මටම හදන්න දෙන්න කියලා කිව්ව දෙන්නෙක් ගැන මට පසුව ආරංචි වුණා. එක් කෙනෙක් කාන්තාවක්, එනම් ලංකාවේ සිටි ප්‍රකට චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ නෝනා. සිබිල්ගේ සැමියා වූයේ ධර්මපාල වෙත්තසිංහ. අනික් එක්කෙනා ලංකාවේ සිටි විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ ස්ටැන්ලි අබේසිංහ. ස්ටැන්ලිගේ සහෝදරයා රෝලන්ඩ් අබේසිංහ.
මම කලා කටයුතු කළේ හුදෙක් මුදල් ගැන හිතා නොවේ. ආත්ම තෘප්තියට. එදා මට එක සම්මානයක් සඳහා ලැබුණේ රු. 300ක්. ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්. කෙනෙකුගේ මාසික වැටුපටත් වැඩි ගණනක්. එංගලන්තයේ ඉගෙනීම නිමාකරල රංජිත් විජයවර්ධන නම් නව යොවුන් වියේ තරුණයා ලේක්හවුස් සභාපතිවෙලා ආපු අලුත. එතුමා කලා රසඥතාවය ඇති තරුණයෙක්. මම මුලින්ම හදපු සම්මාන දැකලා අතට අරගෙන මේකෙ හොඳ බරක් තියෙනවා ඔහු කිව්වා යැයි තිස්ස රණසිංහයෝ මට කීහ.
තිස්ස රණසිංහ 1925 මැයි 09 වැනිදා සඳලංකාවේ යෝගියානේ උපත ලබා, යෝගියානේ සිංහල පාසලින් ඉගෙනුම ලබා පසුව මීගමුවේ හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙන්ද කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලැබීය. තිස්සගේ පියා සොලමන් රණසිංහ රාළහාමිය. මව වූයේ නාරංගමුවේ සෝමාය. පියාට අවශ්‍යව තිබුණේ පුතා රජයේ රාජකාරියකට යැවීමටය.
මම පුංචි කාලේ ඉඳලම චිත්‍ර කලාවට ආසයි. ගෙයි බිත්ති පුරා චිත්‍ර අඳින විට තාත්තා බැණ වැදුණත්, අම්මා මට ඒ සඳහා ධෛර්යය දුන්නා.
පුතා කැමැති චිත්‍ර අඳින්න නම් අපි එයාව ඒ අංශයෙන් ඉදිරියට යවමු. අම්මා තාත්තාට කිව්වා.
තාත්තා පොල් වගාවට, වැවිලි අංශයට, ගොවිකමට තිබුණු උනන්දුව නිසාම තිස්ස තම ජීවන වෘත්තිය ලෙස 1944 පේරාදෙණිය ගොවිකම් අභ්‍යාස විද්‍යාලයට ගියේය. කොළඹ ආව දිනෙක මම ගෙදරට හොරෙන් රජයේ කලායතනයේ අධිපති මහා චිත්‍ර ශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරා මහත්තයා හමුවෙන්න ගියා. මම අඳින ලද චිත්‍ර හා ගමේ ගස්වලින් කරන ලද නිර්මාණ දැකල ඔහු මගේ හැකියාවන් තේරුම් අරගෙන මෙහෙම කිව්වා
තිස්ස මූර්ති අංශයට බැඳෙන්න. ඔයාට අනාගතය තියෙන්නේ එතැන. මට දෙවියෙක් ලෙස පාර පෙන්නුවේ ජේ.ඩී.ඒ. මහත්තයා.
තිස්ස කියන ආකාරයට මූර්ති අංශයෙන් තමාට ඉදිරියට යන්න උදව් කළේ රතී ධනපාල මහත්මියලු. ඇය මහා පත්‍ර කලාවේදී ඩී.බී. ධනපාල මහතාගේ බිරියයි. තිස්ස රුක් කලාවෙන් හා මූර්ති අංශයෙන් ඉහළට ගිය පසු ඔහුට මූර්ති කලාව පිළිබඳව වැඩිදුරට ඉගෙනීමට එංගලන්තයට යාමට ලැබූ සුදුසුම ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ඇතැම් බොල් ප්‍රතිමාකාර මුග්ධයෝ අද මෙන්ම එදත් කුමන්ත්‍රණය කළහ. තිස්ස එයින් අධෛර්ය නොවිණ. සුදුස්සාට සුදුසු තැන කවදා හරි ලැබෙතැයි ජේ.ඩී.ඒ., ධනපාල හා රතී යුවළ ධෛර්යය දුන්හ. ගොම රිටි යට යනවා, තිරිවාන ගල් උඩ එනවා කීවාක් මෙන් තිස්ස උඩ ගියේය. රුසියානු ශිෂ්‍යත්ව කියා යාපනේ සැඟව සිට බොරු උපාධිගත් කාලයක තිස්ස එංගලන්තයේ Chelsea Collage of art and Design ආයතනය ගිය බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ ලියා තිබුණි. තිස්ස චෙල්සි කලායතනයෙන් මුල් තෑග්ග දිනාගත්තේ විදේශීය ශිෂ්‍යයන් පරදවමිනි. එහිදී තිස්සගේ ගුරුවරුන් වූයේ විලී සුකොෆ් හා බර්නාඩ් මෙඩෝස්ය.
තිස්ස ලංකාවට පැමිණි පසු මුහන්දිරම් සමරවීර, සංගීතඥ එච්.ඩබ්ලිව්. රූපසිංහ, රොම්ලස් ද සිල්වා, ඇනී බොතේජු, අයිරාංගණී සේරසිංහ, ට්‍රිලීෂියා ගුණවර්ධන ආදීන්ගේ උඩුකය පිළිරෑද රාජකීය විද්‍යාලයේ නව රඟහලේ අපේ නාට්‍යවංශය නිරෑපණය කළ බිතුසිතුවමද නිර්මාණය කළේය.
පැරණි කලාකරුවන්ගේ උඩුකය ප්‍රතිමා නිර්මාණය කිරීමේ රසවත් සිද්ධි තිස්ස රණසිංහයෝ අපට විස්තර කළහ.
ඒ කාලේ සුපර් ස්ටාර් තමයි රොම්ලස් මාස්ටර්, ඇනී බොතේජු, රෑපසිංහ මාස්ටර්ලා. මේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ උඩුකය ප්‍රතිමා නිර්මාණය කරලා එදා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් එකකට රු.3000ක් ලැබුණා. ඒවා කලාභවනේ තැන්පත් කළා. ඒ සල්ලි මට ලෝහ ගන්නත් මදි. ඒත් කලාකරුවන්ට තියෙන ආදරය, ගෞරවය නිසා මම ඒ මුදල පිළිගත්තා. මම ඒ මුදලින් රොම්ලස්ට, ඇනීට රු.1000 බැගින් දුන්නා. දවසක් ඇනී බොතේජු මාව හම්බවෙන්න ඇවිත් මෙහෙම කිව්වා.
අනේ මහත්තයා මට මේ තරම් මුදලක් (රු.1000ක්) ලැබිලා නැහැ. මගේ උගස් තියපු රත්තරන් බඩු ටික බේරාගත්තේ මහත්තයා දුන්න සල්ලිවලින් කියලා. මට ලොකු සතුටක් ඇතිවුණා.
ගුණදාස ලියනගේ ලියා තිබූ අන්දමට ලංකාවේ මුදලින් රු. ලක්ෂ එකහමාරක් ගෙවලා තනවා ගත් ඩී.එස්. සේනානායක ප්‍රතිමාව පැරණි පාර්ලිමේන්තු මන්දිරය ළඟ සවි කෙරිණි. එහි එතුමාගේ මුහුණ නැතැයි මහජන උද්ඝෝෂණයක් පැමිණි අතර පසුව තිස්සට භාරදී ඩී.එස්.ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබේ. (මීට කලකට පෙර මියගිය ජනාධිපති ප්‍රේමදාසගේ ප්‍රතිමාවක් කොළඹින් පිට ඉදිකිරීමට දුන් පසු හේමා ප්‍රේමදාස මහත්මිය ඒ ප්‍රතිමාව තම සැමියාගේ නොවන බව කී පුවතක් ජාතික පුවත්පතක මුල් පිටුවේ පළවී තිබුණි)
තිස්ස රණසිංහ රජයේ කලායතනයේ (අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) විදුහල්පතිව සිටි කාලයේ ප්‍රතිමා නිර්මාණ පන්තියේ සිටි තම කීර්තිමත් සිසුන් ගැන ආදරයෙන් කතා කළේය. ලීලා පීරිස් බණ්ඩාරනායක, ප්‍රභාත් විජේසේකර, ඒ.කේ.වී. විජේරත්න, පුෂ්පානන්ද වීරසිංහ, මනෝ රංජන් හේරත් ඒ සිසු පිරිසය.
1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් කළ බුද්ධ ප්‍රතිමාව මෙන්ම වෙනත් නිර්මාණ ලන්ඩනයේ කවුන්ට් කවුන්සිල් කලා එකතුවේද, ලන්ඩන් ඇමෙරිකාව, ග්‍රීසිය හා ප්‍රංශ ආයතනවල බෞද්ධ කලා ප්‍රදර්ශනයන්හිද තිස්සගේ නිර්මාණ තැන්පත් කර ඇත. 1954 යුනෙස්කෝව මගින් තිස්සට ශිෂ්‍යත්වයක් ලැබුණු අතර Royal College of art රාජකීය කලා විශ්වවිද්‍යාලයෙන් අච්චුවේ දමා රෑප ඇඳීමේ ශිල්පය ඉගෙන ගත්තේය. ඔහුගේ මූර්ති අතර අග්‍රස්ථානය ලබන්නේ මුචලින්ද නා රජුගේ දරණය මත සිටින බුදුරුවය.
ලෝකයේ දක්ෂ මූර්ති ශිල්පීන් 1000 හිටියොත් ඉන් දක්ෂ ශිල්පීන් බිහිවන්නේ 10ක් පමණයි. මැටි පිඬු අනන මූර්ති ශිල්පියා අතිශය සංවේදී, කරුණාභරිත, මානව දයාව යුතු කිළිටි සිතුවිලිවලින් දක්ෂයන් පාගා සතුටු නොවන, අනුන්ට සම මෙත් දක්වන, කෙනෙක් පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිම වහන්සේ දැක්කම මට ලැජ්ජා හිතෙනවා. අපි මොන ප්‍රතිමාකාරයෝද? කියලා. සමාධි පිළිමය, අවුකන පිළිමය හදපු මිනිස්සුනේ නියම මිනිස්සු. ඒ අයගේ නම් ගහගෙන නැහැ. ඒ අය බොල් ප්‍රතිමා හදන බිස්නස්කාරයෝ නෙවේ. පරණ අයගේ ප්‍රතිමා නිර්මාණයේ හපන්කම් දැක්කම අපි පිග්මිවරු වගේ නේද මට සිතුණුවාර අනන්තයි. තිස්ස රණසිංහයෝ පුවත්පත් සාකච්ඡාවකදී මට කීහ.
තිස්සගේ සෙවනැල්ල වූයේ ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික බිරිය වූ සැලීය. ලෝදිය උණු කරමින් ලෝකඩ (සරසවිය සම්මානයට) අත්තිවාරම දැමීමට තිස්ස යුවළ ගන්නා වෙහෙස නිමල් පෙරේරා අභයවර්ධනගේ පින්තූරයක සටහන් වී තිබූ අයුරු කුඩා අපට එදා (1963 දී පමණ) %සරසවිය පුවත්පතින් දැකගන්නට ලැබිණ.
තිස්සට ආචාර්ය උපාධියක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමුණි.
මට මොන සම්මානද? මම නිකම්ම නිකං තිස්ස රණසිංහනේ මේක ලංකාවේ පැවැත්වෙන මගේ අන්තිම ප්‍රදර්ශනය. මම එංගලන්තයට ගිහින් එන්න බලාපොරොත්තුවක් නැහැ. ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී මම හමුවූ 2007 වසරේදී ඔහු කීවේය.
තිස්සගේ බාල සොහොයුරා වූයේ හිටපු අග්‍ර විනිශ්චයකාර පාරින්ද රණසිංහය.
තිස්සගේ මව් පාර්ශ්වයේ ටී.බී. සුබසිංහ හිටපු ඇමතිතුමාත්, ඔහුගේ සොහොයුරු සඳලංකාවේ වින්සන්ට් සුබසිංහත් සමීප ඥාතීහුය. කටුගම්පොළ හිටපු මන්ත්‍රී ලීලානන්ද වීරසිංහ තිස්සගේ මවගේ වැඩිමහල් අයියාගේ පුතාය. හිටපු ඇමැති, නගරාධිපති ඩී.බී. වෙලගෙදරද ඔහු පුත් සරත් වෙලගෙදර, ඉරිදා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ පී.බී. ඉලංගසිංහගේ මව වූ නිමලා මායා ගුණරත්න ඉලංගසිංහ ද තිස්ස සමීප ඥාතිවරුය.
ආචාර්ය තිස්ස රණසිංහ නිහතමානී, ඉහවහා ගිය මානව දයාවකින් පිරි අව්‍යාජ මිනිසා 2019 නොවැම්බර් 01 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය.