රාජකීය කඳුළු බිඳුවක් කඩා වැටුණේය. කිසිදා නොතැවෙනවා යැයි, නොහඬනවා යැයි ලොව සිතා සිටි යකඩ ගැහැනියකගේ ඇසින් ඇදහැළුන ඒ කඳුළේ සැඟව තිබුණේ ලොව සාර්ථකම සහ දීර්ඝතම රාජකීය විවාහ සබඳතාවක සොඳුරු අමිල මතකයයි. මහා බ්‍රිතාන්‍යයම සොවින් කම්පා වෙද්දී සෙසු ලෝකයාද එකසේ මේ කඳුළු බිඳුවේ ශෝක වේදනාවේ රිද්මයට අනුගත වූහ. ඒ වසර 99ක්වූ සිය ජීවිතයේ හැලහැප්පිලි කම්කටොලු හැරදා නික්ම ගිය අදටත් සමහර දූපත්වාසීන්ට දෙවියෙක් වූ, මිනිසකුගේ නික්ම යාම නිසාය. රජකු ලෙස ඉපිද මිනිසකු සේ මියයන්නට හිතට ගත් එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමරුගේ අභාවය නිසාය.
දෙවැනි එළිසබෙත් රැජණගේ ස්වාමිපුරුෂයා ලෙස සෙසු ලෝකය හඳුනන එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමරු සුපිරි රාජකීයයෙකි. රටවල් කිහිපයකම රාජකීය උරුමයන්ට නෑකම් කියන්නෙකි. ඔහුගේ මව බැටන්බර්ගයේ ඇලිස් කුමරියයි. ඇය මහා වික්ටෝරියා අධිරාජනියගේ මී මිනිබිරියකි. ඇගේ වල්ලභයා වූ පිලිප්ගේ පියා පළමුවැනි ජෝර්ජ් රජුගේ බාලම පුතුය. ඔහු එවකට ග්‍රිසීයේ සහ ඩෙන්මාර්කයේ ඔටුන්න දැරූ ඇන්ඩෘ කුමරුය. මේ නිසාම පිය පාර්ශ්වයෙන් පිලිප් කුමරා ග්‍රීසියේ ඔටුන්නට හිමිකම් කියන්නෙකි. ඩෙන්මාර්ක් කිරුළටද හිමිකම දරන්නෙකි. ඔහු ග්‍රීසියේ කොන්ස්ටන්ටයින් රජුගේ බෑනාය. මේ නිසා ඔහු ග්‍රීක රජ පෙළපතේ ඔටුන්නට හිමිකම දරණ 6 වැනියාය. දෙමාපියන්ගේ මේ ඉපැරැණි රාජකීය උරුම සබඳතා අනුව ඔහු පර්සියානු සහ රුසියානු රජ පෙළපත්වලටද නෑකම් කියන්නෙකි. රුසියාවේ රොමානොව් සාර් අධිරාජ්‍යයන්ට ඔහුගේ ඇති මේ ලේ නෑකම නිසා මෑතකදී දෙවැනි නිකොලායි සාර් රජුගේ ඇටකටු සොයාගත් විට ඒවා නිවැරැදිව හඳුනාගැනීමට සිදුකළ ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා රුධිරය ලබාදුන් තිදෙනා අතර පිලිප්ද එක් ඥාති සාර්වරයෙකි.
ග්‍රීසියේ බටහිර වෙරළාසන්න කෝෆූ දූපතේ ඇති ග්‍රීසියේ රාජකීයන්ගේ පුරාණ මාලිගාවක් වූ Mon Repos, හිදී ඒ රට තුළ එවකට භාවිත කළ ජූලියන් කැලැන්ඩරයට අනුව පිලිප් කුමරු උපන්බව සඳහන් වෙන්නේ 1921 මැයි 28දාය. නමුත් සෙසු ලෝකයාට අනුව නම් ඔහු ඉපැදී ඇත්තේ 1921 වසරේ ජූනි 10 වැනිදාය. ඒ අනුව ඔහුට උපන්දින දෙකකි. රාජකීයයකු වූවත් උපන්දා සිටම පිලිප්හට හිමිවූයේ විප්‍රවාස වාසයකි. විවිධ ඥාති පවුල් අතරේ තැනින් තැන යන, මව - පියා අහිමි අයාල ජීවිතයකි.
ග්‍රීසිය සහ තුර්කිය අතර යුද්ධය ඇවිල ගිය 1919–22 කාලයේ පිලිප්ගේ මාමා වූ පළවෙනි කොන්ස්ටන්ටයින්හට සිය පවුලත් සමග රටින් පලායන්නට බල කැරිණි. එංගලන්ත මවුන්ට්බැටන් පවුලට තිබූ සබඳතාව නිසා මේ රජ පවුල සඟවාගෙන එන්නට HMS Calypso නැව යවන ලදි. ඉපදී එක් දිනකින් උපන් රටෙන් පිටුවහල් කරන ලද සිඟිති පිලිප් කුමරුද මේ පිරිස සමග රැගෙනවිත් ඇත්තේ ලී පළතුරු පෙට්ටියක බහා සඟවාගෙනය. එදා සිට ඔහු මුල් අවදියේ දිවිගෙවූයේ සිය නැන්දනිය වූ ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඔටුන්න දැරූ කුමරිය මාරි බොනපාර්ට් සමගිනි.
ඔහුගේ කුඩා කාලය අඳුරු වූ සොඳුරු නොවූ හැලහැප්පිලි සහිත වූවකි. ඔහුට යාන්තම් අවුරුදු 8ක් වනවිට, 1930දී මව මානසික රෝගිනියක වූවාය. මේ හේතුවෙන් සිය රාජකීයයන්ගේ සමීපයෙන් ඉවත්කළ ඇලිස් කුමරිය මානසික රෝහල්වල නේවාසිකාවක බවට පත්වූවාය. ඇය ස්විට්සර්ලන්තය වෙත ගෙන ආ විට ඇගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ සුප්‍රකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ය.
ඉන්පසු අවුරුදුවල පිලිප් කුමරු සිය දෙමාපියන් දුටුවේ ඉඳහිටය. ඔහුගේ පියා අනියම් බිරිඳක් සමග ප්‍රංශ රිවේරියාවට පළා ගියේය. එතැන් සිට ඔහුව හදාවඩා ගත්තේ එක්සත් රාජධානියේ විසූ ඥාතීන් වන මවුන්ට්බැටන්වරුන්ය. ඒ නිසාම තමන්ට පිය උරුමයෙන් ආ ඉතා දිගු වාසගම අත්හැර දැමූ පිලිප් සිය මව් පාර්ශ්වයෙන් උරුම මවුන්ට් බැටන් නම තෝරා ගත්තේය. ඉතා කෙටිකලකින්ම ඔහුගේ ආරක්ෂකයා මෙන්ම හිමිකරුවාව සිටි මවුන්ට්බැටන් මාමණ්ඩිය පිළිකාවකට ගොදුරුව මියගියේය. එයට පෙර වසරේ ඔහුගේ සහෝදරිය සහ පවුලම ගුවන් අනතුරකින් මියගියහ. මේ සියලු බාධක කම්කටොලු මැද පිලිප් දක්ෂ ලෙස ඉගෙන ගත්තේය. ප්‍රංශය, ජර්මනිය සහ එංගලන්තය රටවල් 3කම පාසල්වලින් විනය හා ශික්ෂණය ලැබුවේය. පාසල් අධ්‍යාපනයෙන් පසු පිලිප් ඩාර්ට් මූවර් හී රාජකීය නාවුක කැඩෙට් පුහුණුවට එක්විය. එහිදී විශිෂ්ට කෙඩෙට් භටයෙක් ලෙස සිය පන්තියේ අංක එක බවට පත්විය. ඔහුගේ ජීවිතය වෙනස් කළ රාජකීය ප්‍රේමය හමුවට මඟපෑදෙන්නේ මෙහිදීය.
1939 වසරේදී VI වැනි ජෝර්ජ් රජු එංගලන්තයට නිල චාරිකාවක් සඳහා පැමිණියේය. පිලිප් කුමරුට එහිදී පැවරුණේ ඔහුගේ දියණියන් වූ එළිසබෙත් කුමරිය සහ මාග්‍රට් කුමරිය සතුටෙන් සහ විනෝදයෙන් තැබීමේ රාජකාරියයි. කුමරියන්ගේ භාරකාරිය ලෙස කටයුතු කළ මේරියන් ක්‍රව්ෆර්ඩ් පසුව සිහිපත් කරන්නේ පිලිප් කුමරු එය 'අතිශයින්ම උනන්දුවෙන්' සිදුකළ බවයි. 13 හැවිරිදි එළිසබෙත් කුමරියගේ සිතේ ඔහු නොමැකෙන ලෙස රැඳෙන්නට ඒ සුළු කාලය තුළ සමත් වුණේය.
පිලිප් දෙවැනි ලෝක යුද්ධයේදීද විශිෂ්ට සේවාවක් ඉටුකළේය. ඉන්දියානු සයුරේ සිදුකළ හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ විය. 1942 වසරේදී, එනම් අවුරුදු 21 දී ඔහු රාජකීය නාවික හමුදාවේ ළාබාලතම පළමු ලුතිනන්වරයා බවට පත් විය. නව යොවුන් පිලිප්, එළිසබෙත් කුමරිය සමග හසුන් හුවමාරු කරගනිමින් සිටියේය. සිතට ළඟ පෑනේ මිතුරන් බවට පත්වූහ. ඔහුගේ ඡායාරූපයක් කුමරියගේ ඩ්‍රෙසිං ටේබල් එක මත විය.
මිතුරන් වී වසර 7කට පසු පිලිප්, රජුගෙන් එළිසබෙත් කුමරියගේ අතපතා සිටියේය. කෙසේ හෝ ජෝර්ජ් රජු, සිය දියණිය සමග විවාපත් වීමට පිලිප්ට අවසර දුන්නේය. නමුත් මුලින් එය ලෙහෙසි තීරණයක් නොවිණි. ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ කුමරු, ඒ වනවිට බ්‍රිතාන්‍යයේ උදාසීන මාතෘකාවක් බවට පත්ව තිබුණේය. එංගලන්ත කතෝලික පල්ලිය සමග එක්වී ඔහු පසුව සිය සියලු විදේශ ගරුනාම අතහැර දැමුවේය. 1947 නොවැම්බර් 20 වැනිදා සිය මංගල දිනයේදී ඔහු එඩින්බර්ග්හි ආදිපාදවරයා බවට පත් විය. ඒ, ඉතිරි මුළු ජීවිත කාලය පුරාම ඔහුව හැඳින්වුණු, බොහෝ දෙනෙක් ඔහුව දැන සිටි නමයි. ඒ වනවිට ඔහු 26 හැවිරිදි වූ අතර, ඔහුගේ බිරිඳ 21 හැවිරිදි විය. ඒ ලෙස 1947දී විවාපත් මෙම රජ යුවළ, දරු දෙදෙනෙක් සමග නිස්කලංකව වසර 4ක් ගත කළහ. අනතුරුව කිරීටයේ රාජකාරි පවුල් ජීවිතය තුළට කඩා වැදුණේය. ඒ සයවැනි ජෝර්ජ් රජු නොහොත් එළිසබෙත්ගේ පියා, වයස අවුරුදු 56 දී මියගිය බවට වූ ආරංචියත් සමගිනි. ඔවුන්ට ඒ ආරංචිය ලැබෙන විට ඔවුන් සිටියේ කෙන්යාවේය. 1952 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සංචාරයට සහභාගී වෙමිනි. කිරීටයේ බර එළිසබෙත් වෙත හිමි වෙද්දී ඔහුට වගකීම් සහගත රාජකීය සැමියෙක් බවට පත්වන්නට සිදුව තිබුණි.
ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ළාබාලතම අධිරාජිනියගේ වල්ලභයා ලෙස ඔහු මියයන තුරු රාජකීය කටයුතු 22,191ක් සමග සම්බන්ධ වී තිබේ. 2017 වසරේදී රාජකීය නිල කටයුතුවලින් සමුගත් පසුවද සංවිධාන 780කට වඩා වැඩි සංඛ්‍යාවක මහජන කටයුතුවලට දායක විය. ලොවපුරා යන රැජණ සමග ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයීය ඇතුළු සෙසු සංචාරයන් සඳහා එක් විය. පිලිප් කුමරු සහභාගීව ඇති රාජකීය විදෙස් සංචාර ප්‍රමාණය 637කි. චතුර ලෙස ප්‍රංශ සහ ජර්මානු බස කතා කිරීමට ඇති හැකියාව එහිදී ඔහු ප්‍රයෝජනයට ගත්තේය. සිය දීර්ඝ දිවිසැරිය තුළ ඔහු විසින් කර ඇති දේශන සංඛ්‍යාව ආසන්න වශයෙන් 5,493ක් ලෙස දැක්වෙන අතර, බ්‍රිතාන්‍යයේ වඩාත් ජනාදරයට පත් රාජකීයයා ලෙස ඔහු විවිධ සංවිධාන 800කට ආසන්න ප්‍රමාණයක නිල සහ ගෞරව තනතුරැ දරා තිබේ.
දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති වනුආටු දිවයිනට පැමිණි විට වැසි වනාන්තරයක වෙසෙන ප්‍රජාවක් විසින් ඔහුව සලකා තිබෙන්නේ සිය පුරාණ යුධ විරුවෙකුගේ පුනරුප්පත්තිය ලෙසය. අදටත් මේ වනවාසීහු පිලිප් නම් වූ සුදු දෙවියා අදහති. වඳිති.
විවාහ පත්වූ දා සිට වසර 73ක සාර්ථක විවාහ දිවියක් ගත කළ ඔවුන් දෙදෙනා දරුවන් සිව් දෙනෙක් සහ මුණුපුරු මිනිපිරියන් 10 දෙනකුගේ දරු සුරතල් දකින්නටද වාසනාව උදාකර ගත්හ. දෙන්නාම කුමරු මිය යනතෙක් මේ දෙදෙනා සැමදාම සවස තේ මේසයට පැමිණීම චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන ආහ. මේ සැඳෑ තේ සාදය ඔවුන්ටම වෙන්වූ සොඳුරු හෝරාවක් විය. මේ දෙදෙනා එකනෙකා හා තදින් බැඳිගත් යුවළකි. පිලිප් කුමරු පුංචි පුංචි විහිලු තහලු කරමින් රැජණ විස්මයට හා අමන්දානන්දයට පත්කරන්නට ක්‍රියා කළේය. එක් වතාවක රැජණ පිටත රාජකාරියකට ගොස් මාලිගයට එද්දී මාලිගය ඉදිරියේ අමුතු ආරක්ෂක භටයෙක් සීරුවෙන් සිටිමින් ඈ දෙස හොරුහින් බලා උන්නේය. රැජණ වසර 13ක බාලිකාවක ලෙස සිටියදී ඇගේ හද සොරාගත් දඟකාර කෙළිලොල් තැනැත්තාමය. මේ දුටුවනම එතෙක් දරා සිටි බැරෑරුම් රාජකීය සාටෝපවත් බව අමතකව ගිය රැජණද එදා මුල් හමුවදා ඈ පෑ දැරියකගේ ලජ්ජාශීලි සිනාව පෑවාය. ඇය හැරදා ගිය පිලිප් එබඳු ආලවන්ත තැනැත්තෙකි.
උත්පත්තියෙන්ම රජකිරුළකට හිමිකම් කී සුපිරි රාජකීයයෙකු වුවත් ඔහු රාජකීය සැමියෙකු වනු මිස කිසිදා රජෙකු වීමට උත්සාහ නොකළේය. ඔහු සිය බිරිය, අධිරාජිණියට පසෙකින් සිටීම තෝරාගත්තේය. ඩියුක්වරයා හෙවත් ආදිපාදවරයාව සිටි සමයේ සිටම නිකම්ම නිකං පිලිප් කුමරු බවට පත්විය. සිය දරුවන්ට සිය වාසගම වූ මවුන්ට්බැටන් ලබාදීමට අසමත් වීම නිසා සිතින් තැවුණේය. නමුත් කතා කළ යුතු තැන නිභයව තරාතිරම නොබලා ඇත්ත කතා කළේය. කියන්න ඇති දේ මුහුණටම කීවේය. ඔහු උපහාසාත්මක ප්‍රකාශවලට දැඩි රුචිකත්වයක් දක්වන්නෙකි. ඇතැම්විට රාජකීයත්වයට නොගැළපේ යැයි සිතෙන තරමේ විහිළු තහළු ගැනද ඔහු ප්‍රසිද්ධය. මලාලා යූසුප්සායි සමග හමුවූ අවස්ථාවක ඈ රාජකීය ගෞරවයද පෙරදැරිව තමන්ගේ රටේ දරු දැරියන් පාසලට නොයවන බවත් ඒ නිසා ඔවුන්ට සිදුවන අසාධාරණය ගැනත් බැරෑරුම් ලෙස කීවාය. පිලිප් කුමරු ගත්කටටම කීවේ “මෙහේ නම් ළමයි පාසල්වලටම තල්ලු කරන්නේ ඒ අයගේ කරදරෙන් බේරිලා කණක් ඇහිලා ගෙදර ඉන්නයි” කියාය. උන්හිටි තැන අමතකව ගිය මලාලාද හිනාවෙන් පුපුරා ගියාය.
ඔහු වෙනස්කම් ප්‍රියකළ පුහු සම්ප්‍රදාය පිළිකෙව් කළ අලුත් ලෝකය සහ තාක්ෂණය වැළඳගත් රාජකීයයෙකි. 1949 වසරේදී ක්ලැරන්ස් හවුස්හි වාසයට පැමිණි විට, ඔහු සිය කබායට බොත්තම දැමීමටත් සේවකයෙකු සිටින බව දැන, ස්වයංක්‍රීයව බොත්තම දමන යන්ත්‍රයක් සිය අල්මාරියට සවිකර ගත්තේය. බකිංහැම් මාලිගයේ සේවකයන් තමන් වෙනුවෙන් ශ්‍රමය අනවශ්‍ය ලෙස යොදවන ආකාරය ගැන පිලිප් කුමරු සතුටෙන් සිටියේ නැත. සාමාන්‍යයෙන් එතෙක් පැවැති පිළිවෙත වූයේ, රැජණ වෙත පණිවුඩ ලියා ඒවා සේවකයන් අත යැවීමයි. නමුත් ඒ වෙනුවට පිලිප් කුමරු මාලිගයේ ඉන්ටකොම් දුරකථන පද්ධතියක් සවි කළේය. එයින් නොනැවතී, තමන්ගේ බඩු බාහිරාදිය තමන්ම උස්සාගෙන ගියේය. තමන්ගේ උදේ ආහාරයද තමන්ම පිළියෙළ කර ගත්තේය. කාමරයේ සිට ඔහු එය කරගත්තේ විදුලි සාස්පානකිනි. නමුත් එහි ආහාර සුවඳට රැජණ ප්‍රිය නොවූ නිසා ඔහුට එය ඉවත් කිරීමට සිදුවිය.
මේ කරුණු කෙසේ වුවද මියයන්නට මාස කිහිපයකට ආසන්න වනතුරුම වාගේ රාජකීයයන් අතර කාර්යබහුලම තැනැත්තා වූයේ පිලිප් කුමරුය. ඔහුගේ නමේ දැලි ගෑවුණේ ඩයනා කුමරියගේ මරණය පිළිබඳ සැකය ඔහු වෙත එල්ල වූ මොහොතේදී පමණය. ඒ හැර පීලිප් කුමරු රටේ සහ සමස්ත ලෝකයේම ජනතාව අතර ජනාදරය දිනාගත් ජනකාන්ත චරිතයකි. දැන් ඔහු කාලාන්තරයකට අමතක නොවන කඳුළු මතකයකි.
සුගත් පී. කුලතුංගආරච්චි