අවුරුදු උත්සව සමය ආරම්භ වීමට පෙර පටන්ම අපට කොහෝ කොහෝ සද්දේ ඇසෙන්නට ගනී. ඒ සැබෑ කොහාගේ නොව රූපවාහිනී සහ රේඩියෝ මාධ්‍යවලිනි. කොවිඩ් වසංගතය නිසා ලංකාවට ගෙවල්වලට හිර වී පරිසර බලපෑම් අවමව පැවති පසුගිය අවුරුද්දේ කොහා බහුලව කොළඹ අවට දැකගත හැකිවූ බව නිරීක්ෂණය කිරීමට ලැබුණි. කලක පටන්ම කොහා වාණිජකරණය වී ඇත්තේ ඌටත් නොදන්වාමය. මේ අතර සමහරු කොහා කියා වරද්දාගෙන කපුටන් යොදාගන්නා අවස්ථාද සමහර විට කෙවිලිය යොදන අවස්ථාද දැකගැනීමට ලැබේ. ඒ අද කොහාවත් අඳුරන්නේ නැති පරපුරක් බිහිවීම හින්දයි.
• ලංකාවේ කොහා වර්ග
අපි හුඟදෙනෙක් දන්නේ අවුරුද්දට කෑගසන කොහා ගැන පමණයි. ඒ කෝකිලයා හැරෙන්නට තවත් කොහා පක්ෂි වර්ග 13ක් පමණ අප රටේ දක්නට වාසය කරති. කොණ්ඩ කොහා, උකුසු කොහා, කෝන කොහා, රට කොහා, පුංචි කොහා, වයිරම් කොහා, හීන් කොහා, නීල කොහා, කවුඩු කොහා, වත නිල් කොහා, වත රතු මල් කොහා (ආවේණික), පතන් ඇටි කුකුලා, බටු ඇටි කුකුලා, ගෙවතු ඇටි කුකුලා කොහා පවුලේ එම විශේෂ 13ට අයත් වෙති.
• ඉන්දියන් කොහා
අවුරුද්දට කෑගසන කොහාට කියන්නේ ඉන්දියන් කොහා නැත්නම් Indian koel කියලයි. මේ පක්ෂියාගේ විද්‍යාත්මක නාමය Eudynamys scolopacea. සංස්කෘතයෙන් ඌ හඳුන්වන්නේ කෝකිල නාමයෙනි. ලංකාව, ඉන්දියාව, නේපාලය වැනි රටවල පුරාණයේ පටන්ම කාව්‍ය නිර්මාණ සඳහා කොහා පාදක කර ගැනීම සිදුව ඇත. කොහා වසර පුරාම දැකිය හැකි පක්ෂියෙකු වුණත් අප්‍රේල් මාසයේ වැඩිපුර උගේ නාදය ඇසේ. කොහා මුළුමනින්ම තද නිල් පැහැයට හුරු කළු පාටය.
ශරීරයේ නිල්, දම්, කොළ දිස්නයක් දැකගත හැකියි. කෙවිලියගේ ශරීරයේ දුඹුරු පැහැති පසුබිමක ලා දුඹුරු හා සුදු ඉරි මෙන්ම ගෝමර දක්නට තිබේ. මොවුන්ගේ ශරීරය දිගටි වන අතර සිහින් දිගු පෙඳයක් පිහිටා තිබේ. සාමාන්‍යයෙන් සිරුරේ දිග සෙ.මී. 40-46 දක්වා වන අතර බර ග්‍රෑම් 190- 330 දක්වා වේ. ලා කොළ මිශ්‍ර සුදු පැහැති හොට විශාලය. එහි අග මඳක් නැමී තිබේ. කොහා සහ කෙවිලිය යන දෙදෙනාගේම ඇස් තද රතු පැහැතිය. ඇස්වල පාටින් කොහා පහසුවෙන් හඳුනාගැනීමට පුළුවන. මිහිරි නාදය නගන්නේ කොහාගේ පිරිමි පක්ෂියාය.
• අවුරුද්ද අමතක වූ කොහා
කුරුලු නිරීක්ෂකයකු සහ පරිසරවේදියකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මීට දශක කිහිපයකට පෙර අවුරුදු උදාව සහ කොහාගේ නාදය සමපාත වී තිබුණද මේ වනවිට එහි වෙනසක් දැකිය හැකි බව සඳහන් කර සිටී. ඔහු පවසන පරිදි වර්තමානය වනවිට කොහාගේ නාදයේ උච්ච අවස්ථාව අසන්නට ලැබෙන්නේ, අප්‍රේල් මාසයේ නොව මැයි මස වෙසක් කාලයේදීයි.
ප්‍රජනන සමයේ වුවද කොහාගේ නාද කිරීම පරිසර සාධක කිහිපයක් මත රැඳී පවතින බව පක්ෂි නිරීක්ෂකයෝ පවසති. ඒ උෂ්ණත්වය, වර්ෂාව සහ අහස පැහැදිලි වීම යන කරුණු මතය. කොහාගේ නාදය කපුටන්ගේ කැදලි තැනීම සමඟ ඒකාබද්ධව කෙරෙන වැඩකි. කපුටා කූඩුව තැනුවේ නැත්නම් කොහාට බිත්තර දැමීමට තැනක් නැති නිසාය. අප්‍රේල් අවසානයේදී කොහා නාදය අඩුවී මැයි මාසයේ වෙසක් පොහොය ආසන්න වන විට එය උච්ච අවස්ථාවට පත්වන බව ජගත් ගුණවර්ධන පෙන්වා දී තිබේ.
• කොහා නාදය
අවුරුද්ද පුරාම ගස්වදුලු අතර ජීවත් වුණත් අපට ඌ ඉන්නා බව මතක් වන්නේ කොහෝ නාදයෙනි. එම නාදය කරන්නේ උගේ ප්‍රජනන සමයේදීය. ඒ අනුව කොහා බිත්තර දමන්නේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලයේදී බව හෙළී වී ඇත. කොහා පරපුටු පක්ෂියෙකු ලෙස සලකනු ලබයි. එනම් අන් පක්ෂීන්ගේ කූඩුවල බිත්තර දමයි. කොහා බිත්තර දැමීමට ප්‍රධාන වශයෙන් කපුටු කූඩු යොදා ගනියි. අළු පාටට හිරු කොවුල් බිත්තර ප්‍රමාණයෙන් මි:මි: 31X23 පමණ වේ. කොහාගේ බිත්තරත් කපුටාගේ බිත්තරත් හැඩයෙන් යම්තාක් දුරකට සමාන වන අතර, පැටවුන් බිහි කිරීමේ කාලසීමාවද එක සමාන වේ. මොවුන් ගස්වලින් බිමට බසින්නේ කලාතුරකිනි. පෙරවරු කාලයේදී අව්ව තැපීමට කොවුලා ප්‍රියයි. එමෙන්ම පළතුරක් ආහාරයට ගන්නා විට ඉතා කෑදර බවක් පෙන්වයි. කොළඹ නගරය ඇතුළු නාගරික ගෙවතුවලද වදුළු තුළ සැඟවී ජීවත් වේ.
• කපුටු කූඩුව
කපුටා රවටා උගේ කූඩුවල බිත්තර දැමීමට අවස්ථාව උදාකර ගැනීමට කොවුලා අපූරු උපක්‍රමයක් යොදාගන්නා බව ජගත් ගුණවර්ධන සඳහන් කර සිටී. එය නම් කපුටු කැදැල්ල අසලට ගොස් කෑගැසීමයි. එවිට කපුටා කොහා පසුපස පන්නමින් ඌට පහර දීමට පෙළඹේ. කපුටා කැදැල්ල හැරයන ඒ මොහොතේ කෙවිලිය කපුටු කැදැල්ල තුළ බිත්තර දමා පලා යයි. කොහා එලවා දමා කැදැල්ල වෙත එන කපුටු මවුපියන්ට තම කැදැල්ලේ වෙනස ගැන අවබෝධයක් නොමැති අතර ඔවුහු පෙර පරිදිම බිත්තර රැකීමේ කාර්යයේ නිරත වෙති. වැඩි වූ බිත්තරයක් ගැන කපුටන්ට සැකයක් ඇතිවීම වැළැක්වීමට කෙවිලිය කපුටු කූඩුවේ තිබෙන බිත්තරයක් බිමට තල්ලු කර දමන බවද සමහර පක්ෂි වාර්තාවල සඳහන් වේ. සාමාන්‍යයෙන් කපුටා බිත්තර දමා දවස් එකහමාරකට පමණ පසු කෙවිලිය බිත්තරය දමන බව තවත් පක්ෂි නිරීක්ෂකයෝ සඳහන් කරති. කෙවිලිය වඩාත් කැමති එතරම් උස් නොවූ සහ පළතුරු ගස්වලට ආසන්නයෙන් ඇති කපුටු කූඩුවල බිත්තර දැමීමටයි. බිත්තර දවස් 12ක් 14ක් වැනි කාලයක දී පුපුරා පැටවු එළියට එති.
පාදවල ගැටෙන ඕනෑම දේකට තදින් පහරදීමේ හැකියාව කොවුල් පැටවුන්ට සහජයෙන්ම උරුම වී පවතී. උන් කුඩා අවදිය ගතකරන්නේ කපුටු දෙමාපියන් සමඟ නිසා ඊට මුහුණදීමට ආක්‍රමණශීලි චර්යාවන් උපතින්ම හිමිව තිබෙන බව පෙනේ. එනම් වැඩිපුර ආහාර ගෙන කපුටු පැටවුන්ට වඩා වර්ධනය වීමත් උන් අතර දැකගත හැකි ලක්ෂණයකි. තරමක් වැඩෙනවිට මේ සිටින්නේ කපුටු පැටවුන් නොවන බව දැනගන්නා කපුටෝ කොවුල් පැටවුන්ට පහර දී පන්නා දමති.
කුසුම්සිරි