සත්ත්ව පාලනය ආහාර වෙනුවෙන් කරගෙන යන විශාල ව්‍යාපාරයකි. කිරි ආහාර නිෂ්පාදනය හා මස් සඳහා වැඩිම අවධානයක් යොමු කෙරේ. ගවයන් ඇතිකිරීම සත්ත්ව පාලනයේ සෑහෙන කොටසක් ආවරණය කරයි. කාලගුණ විපර්යාස ගැන අවධානය යොමු කරන විද්‍යාඥයෝ ඕසෝන ස්ථරයට හානි කරන එක හේතුවක් වශයෙන් හරිතාගාර සත්ත්ව පාලනය නම් කරති. එයින් ද බලවත් හානිය ගවයන් ඇතිකිරීමේ දී සිදුවන බව පෙන්වා දෙති.
ලෝක ජනගහනය වැඩිවන අතර එයට සරිලන පරිදි ප්‍රෝටීන අවශ්‍යතා සම්පාදනය පහසු කාර්යයක් නොවේ. කිරි හා මස් නිෂ්පාදනය එයට එක විකල්පයකි. සංවිධානාත්මකව කරන පිරිවැය අඩු ගව පට්ටි පාලනයේ දී මහා පරිමාණයෙන් පරිසර හානියක් සිදුවෙයි. ගවයන් නිකුත් කරන මීතේන් වායුව එයට හේතුවයි. ශාක භක්ෂක ගවයන් සිය ආහාර ජීර්ණ ක‍්‍රියාවලියේ දී මයික්‍රොබැක්ටීරියා පැසවීමක නිතර වන අතර එම ශෛලීය වියෝජනයේ දී මීතේන් වායුව නිදහස් වෙයි. මීතෙන් වායුව පරිසරයේ පවතින කාලය අඩු නමුත් එය ආශ්වාස කිරීම නරක ප‍්‍රතිඵල ඇති කරයි. අනෙක වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ්, මීතේන් ඇතුළු විෂ වායු ප‍්‍රතිශතය වැඩිවන විට එය ඕසෝන පද්ධතියට බලපෑමක් බව දැක්වෙයි. ඕසෝන පද්ධතියට හානිකර තත්ත්වයක් ඇති කරයි.
ගවයන්ගේ ආහාරවලට මුහුදු පැළෑටි එකතු කිරීමෙන් ක‍්‍රමානුකූලව මයික්‍රොබැක්ටීරියා තත්ත්වය පාලනය කරගත හැකි බව පර්යේෂණවලදී සනාථ වී තිබේ. තෝරාගත් ගවයන් ප‍්‍රමාණයකට දෙන ආහාරයට මුහුදු පැළෑටි එකතු කර තිබේ. එයින් ලැබී ඇති ප‍්‍රතිඵලය ආස්වාදනීය එකකි. මීතේන් ජනනය අවම වී ඇත. ලෝකයේ මීතෙන් වායු නිෂ්පාදනයේ දී වැඩිම කොටසක් හරිතාගාර ආවරණ තුළ කරන ගවයන් ඇතිකිරීම ඔස්සේ සිදුවන බව දැක්වෙයි.
ලෝක ජනගහණයෙන් යම් ප‍්‍රතිශතයක් ඉහළ ආදායම් මට්ටමට එන විට මස් මාළු පරිභෝජනය වැඩිවෙයි. එයට සරිලන සේ ආහාර පිණිස සතුන් ඇතිකරන්නට අවශ්‍ය කරන ඉඩම්, ජලය හෝ සත්ත්ව ආහාර ප‍්‍රමාණය සලකා බලන විට එය විශාල පරිසර ප‍්‍රශ්න ඇති කරන බව අනාවරණය වී තිබේ. විශාල සත්ත්ව ගොවිපොළ පාරිසරික සාධක වෙනස් කර පැවැත්මට තර්ජනය කරන බව ඔප්පු වී තිබේ. හරිතාගාර වායු විමෝචනය පරිසරයට කරන හානියෙන් සියයට දහ අටක ප‍්‍රතිශතයක් ගව ගාල්වලින් සිදුවන බව ගණන් බලා තිබේ. එය ලෝකයේ පැවැත්මට ඉතාම අහිතකර තත්ත්වයකි. ස්වභාවික මස් හා මානව විද්‍යාගාරයක කෘත්‍රීම මස් නිපදවීමට පර්යේෂකයෝ සමත් වී සිටිති. ඇම්ස්ටඩෑම් හා ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අනුව සාමාන්‍ය සත්ත්ව පාලනයෙන් පරිසරයට සිදුවන හානිය විශාල ප‍්‍රමාණයකින් වළකා ගන්නට කෘත්‍රීම නිෂ්පාදන උපකාරී වී තිබේ. කෘත්‍රීම මස් නිෂ්පාදන රසායනාගාරයක හරිතාගාර වායු විමෝචනය සියයට හතරකි. ජල සංරක්ෂණය සිතාගත නොහැකි තරම්ය. අනෙක් වැදගත් කාරණය ඉඩම් ප‍්‍රමාණයයි. පශූ සම්පත් හා සත්ත්ව පාලන කටයුතු සඳහා දැනට භාවිත වන ඉඩම් ප‍්‍රමාණයෙන් සියයට දෙකක් එම කාර්යය කෘත‍්‍රීමව නිපදවන්නට ප‍්‍රමාණවත් බව ගණන් බලා තිබේ. අනෙක සත්ත්ව ආහාර සඳහා මුහුදු පැළෑටි සැපයීම තවත් පැත්තකින් වාසිදායකය. ගෝලීය උණුසුම ඉහළ යන ප‍්‍රතිශතය අවම කරගනු සඳහා වෑයම් කරන පර්යේෂකයන් කෘත්‍රීම මස් නිෂ්පාදනයට අතගසා ඇති අතර අනෙක් පැත්තෙන් සත්ත්ව ආහාර වෙනස් කර තිබේ.
සත්ත්ව පාලනයෙහි වැඩිම වශයෙන් නිරත කලාපය ලතින් අමෙරිකාවය. දකුණු ආසියාව, ඊසාන හා වයඹ ආසියානු කලාපයේ රටවලද සත්ත්ව පාලන කටයුතු සාපේක්ෂව ඉහළ මටට්මකය. මෙම රටවලට මීතේන් වායුව අවම මට්ටමකට කැඳවන වගකීමක් ඇත. පිළියමක් වශයෙන් සාගර ආශ‍්‍රිතව මුහුදු පැළෑටි වගා කළ හැකිය. ලෝකයේ මුහුදු පැළෑටි වර්ග තුනකි. රතු, දුඹුරැ හා කොළ පැහැයෙන් යුක්තය. වාර්තාවලට අනුව ලෝකය පුරා වසරකට මුහුදු පැළෑටි මෙට්‍රික් ටොන් මිලියන 25 ක් පමණ නිපදවයි. එයින් වැඩිම කොටසක් එනම් සියයට අසූවක් ආහාර වශයෙන් වෙන්කර ගැනීමට මිනිස් ප‍්‍රජාව කටයුතු කරන බව දැක්වෙයි. තවත් කොටසක් එකිනෙකට වෙනස් නිෂ්පාදනවලට යෙදවෙයි.
චීනය මුහුදු පැළෑටි වගා කරන රටවල් අතර පෙරමුණ ගෙන තිබේ. එහෙත් ඒවා ජනතාවගේ ආහාර පිණිසය. ඉන්දුනීසියාව ඒවා වැඩිම නිෂ්පාදනයෙහිලා ලෝකයේ රටවල් අතර දෙවැනි තැනට පත්ව තිබේ. මෙම මුහුදු පැළෑටි භාවිත කර අතිරේක නිපැයුමක් වශයෙන් ජෛව ප්ලාස්ටික් නිෂ්පාදනය අරඹා ඇත. තිරිඟු, උක් දඬු සහ මඤ්ඤොක්කා භාවිත කර දැනට ජෛව ඇසුරැම් නිපදවන අතර ආහාරයට ගත හැකි ද්‍රව්‍ය යෙදවීම මිල අධික හා ලෝක ආහාර හිඟයට ගැටලුවකි. ජෛව ප්ලාස්ටික් එයට කදිම උත්තරයකි.
ඉන්දුනීසියාව දූපත් දහහත් දහසකින් සමන්විත අතර වන අති විශාල වෙරළ තීරයක් හිමිය. හොඳින් හිරැ රුස් වැටෙන නොගැඹුරැ මුහුදේ වගා කරන මුහුදු පැළෑටි නිෂ්පාදනය එරට කාන්තාවන් අතර ප‍්‍රචලිත වී ඇත. මුහුදු පැළෑටි නිෂ්පාදන දෙගුණ තෙගුණ කරන අතරවාරයේ ඒවායෙන් රටට අවශ්‍ය ජෛව ප්ලාස්ටික් නිපදවා ගැනීම එරට අදහස වී ඇත. එම අතරවාරයේ දී සත්ත්ව පාලනයේ දී යොදවාගත හැකිවීම තවත් වාසියකි. මුහුදු පැළෑටි වගා කරන රටවලට එම අදහස අලුත්ය.
මනුෂ්‍ය ආහාරයක් වශයෙන් වෙන්කර ගන්නා අතර ගවයන්ගේ ආහාරවලට එකතු කර මීතේන් අඩු සත්ත්ව පාලනයක් කරා අවතීර්ණ වී සිටී. ලෝකයේ පාරිසරික සංරක්ෂණ අදහස් හා ආහාර නිපදවීම ගැන කල්පනා කරන විට මුහුදු පැළෑටිවලට ලැබෙන ඉල්ලුම වේගයෙන් ඉහළ යන්නට ඉඩ තිබේ. මීතේන් වළකන පියවරක් වශයෙන් තවත් වටිනාකමක් එකතු වන හෙයින් පරිසරයට ද හිතකරය. =
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ