2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

එදයි අදයි අවුරුදු සිරිතේ වෙනස

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 927

සිංහල අලුත් අවුරුද්ද පරණ වන්නේ නැත. එහෙත් මෙදා අවුරුද්ද කල් ඉකුත් වීදැයි සැකයක් අප තුළ උපදියි. අප එසේ කියනුයේ අතීතයේ අවුරුදු සිරිත් විරිත් මෙන්ම අවුරුද්ද සහ බැඳුණු සංස්කෘතිකාංග අද අප කෙරෙන් කෙමෙන් වියැකී ගොස් ඇති බැවිනි. අපට මඟහැරුණු එදා අවුරුදු සිරි අසිරිය පිළිබඳවත් මෙදා අප අත්දකින නූතන අවුරුද්ද පිළිබඳවත් විමසා බැලීමට සිතූවෙමු. 

අතීතයේ ලක්දිව සිංහල අලුත් අවුරුද්ද රට පුරා විවිධ ප්‍රදේශවලට අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණ සහිතව සමරනු ලැබීය. වාච්‍යාර්ථයෙන්ම බක්මහ වසරේ සෞභාග්‍යයේ මාසය විය. ගස්වැල් මලින් බරවී මාස් කන්නයේ අස්වනු සාර වී ජනයාගේ ගත සිත පිනා ගියේය. අලුත් අවුරුද්ද වෙනුවෙන් ලකලෑස්ති වීම බක් මහේ මුල සිටම සිදුවිය. එය වූ කලී අවුරුද්ද පිළිබඳ හැඟීම සියලු දෙනා තුළ ජනිත කිරීමට මහත් සේ දායක විය.  එදා අවුරුද්දේ අසිරිය වඩා ඔප්නැංවූයේ බවලතුන්ය. එදා සිංහල අවුරුද්දට පූර්වයේ ඔවුන් කළ කී දෑ අපි සිහිපත් කරමු.

පැරණි ලක්දිව බවලතුන් අවුරුද්ද වෙනුවෙන් සැරසුණේ මුළුතැන්ගෙය අලුත් කරමිනි. කඩමණ්ඩියෙන් හෝ ගමේ කුඹල්කරුවකුගෙන් ඔවුහු අලුත් අලුත් හැලි වළං රැගෙන ආහ. ගේදොර පිරිබඩ ගා ගෙදර පිරිමින්ගේ ද උදව් ඇතිව අලුත් අවුරුදු උදාව නැවුම් කරන්නට ඔවුහු වෙහෙස වූහ. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම ගෙදර මිල මුදල් උපයන්නා අතින් සිදුවුවද දරුවන්ට අලුත් ඇඳුම් මස්වාගැනීම ආදියට උරදුන්නේ මව් පාර්ශ්වයයි. මේ සියල්ල අතරේ එදා කතුන් වඩාත් වැඩිපුර වෙහෙසුණේ සිංහල අවුරුද්ද රසවත් කිරීම වෙනුවෙනි. අවුරුදු රසකැවිලි වෙනුවෙන් පිටි කෙටීම, පිටි හැලීම, ධාන්‍ය වර්ග අඹරා ගැනීම මෙන්ම සෙසු අනුපාත සකස් කර ගැනීම සිදු කෙරුණේ ගමේ බවලතුන් කිහිප දෙනකු සාමූහිකවය.

එහෙත් අතීතයට සාපේක්ෂව සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුවන ලකලෑස්තිය ද බවලතුන්ගේ සූදානම ද අද වන විට ඉඳුරාම වෙනස් වී තිබේ. මුළුතැන්ගෙය අලුත් කිරීම, අවුරුදු කාලය විෂයෙන් මුළුතැන්ගෙයට අදාළ උපකාරක මිලදී ගැනීම ආදිය සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ගේදොර අලුත්වැඩියාව පවා සිදුවන්නේ ඉතා අඩුවෙනි. එහෙත් අවුරුදු නම් ඇඳුම් තමයි කියන තරමට අලුත් ඇඳුම් මිලදී ගැනීමේ සංස්කෘතියක් අවුරුදු සමයේ නිර්මාණය වී තිබේ. එය එසේ වන අතර අවුරුදු රසකැවිලි සංස්කෘතිය මුළුමනින්ම පාහේ අභාවයට ගොස් ඇත. පිටි කොටා පිටි හලා රස කැවිලි සැකසීම කෙසේ වෙතත් අමුද්‍රව්‍ය වෙළෙඳපළෙන් රුගෙනවිත් රසකැවිලි සැකසීමට ද අද බවලත්හු මැලිවෙති. එසේම සිංහල අලුත් අවුරුද්ද තවදුරටත් සාමූහිකත්වය වර්ධනය කරන උත්සවයක් නොවන බව කිව යුතුමය.

අතීතයේ සිංහල අලුත් අවුරුද්දේ අයිතිය මුළුමනින්ම පහේ ළමා ළපටින් සතු විය.  අවුරුද්දට දරුවන්ට ද සොඳුරු රාජකාරි අධික කාලයක් විය. ගැමි දරුවෝ කැපුණු ඉපනැල්ලේ චක්ගුඩු පනිමින් ගුඩු ගසමින් අපූරු විනෝදයක් ලැබූහ. අවුරුදු සමයේ ඵල දැරූ ගස්වල උරුමය දරුවන් සතු විය. අවුරුදු ක්‍රීඩා, ගැමි ක්‍රීඩා අපමණ තිබුණි. ඒ උදෙසා නිදහස ද උපරිම තිබුණි. පැද්දුම් ඔංචිල්ලාව ළමුන් වෙනුවෙන්ම බැඳ දුන්නේ වැඩිහිටියන්ය. ගම්බාර දෙවියන්ට බාරහාර වී ඉදිකෙරූ කතුරුඔංචිල්ලා බැඳීම ගුරුවරුන්ට මහත් වූ ප්‍රීති ප්‍රමෝදයක් විය. එසේම තුරුණුවිය එළිපත්තේ සිටි ගැහැනු දරුවන්ටම වෙන්වූ ඔළිඳ කෙළිය, පංච කෙළිය ආදී ජන ක්‍රීඩාවක් විය. එය ඉක්මවා යමින් වැඩිහිටියන්ට අවුරුදු අසිරිය භුක්ති විඳීමට හැකිවෙන පරිදි නිර්මාණය වූ අපූරු ජන ක්‍රීඩා විය.

වත්මනේ සිංහල අවුරුද්දේ දරුවන්ගේ සොම්නස කුමක්ද කියා වැඩිහිටියෝ පවා නොදනිති. අවුරුදු සැමරුමෙන් පසු ගම් නගරවල පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක බක්මහ සැණකෙළි හැරුණුකොට අවුරුදු සමයේ විනෝද විය හැකි කිසිදු අවස්ථාවක් කිසිවිට නොමැත. අවුරුදු සමයේ පාසල්වල යම් පමණකට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ දරුවන් දැනුවත් කිරීමට උත්සාහ දරන බව සැබෑය. එහෙත් එය සිංහල අලුත් අවුරුද්දේ දරුවන්ගේ සතුට සොම්නස නිදහස් වවන ක්‍රියාවලියක් නොව හුදු අධ්‍යාපනික අංගයකි. එසේම එදා දරුවන් අවුරුදු සමයේ ගහකොළ සමඟ ගොඩනගාගත් සම්බන්ධය අද දරුවන්ට බොහෝ දුරය. ගැටවරයන් තරුණියන් කෙරෙන්ද අවුරුදු අසිරිය අද ඈත්ව ගොස් තිබේ. බොහෝවිට අවුරුද්දේ සුරාව අනිවාර්ය අංගයක් කර ගැනීමට තරුණයෝ ද වැඩිහිටියෝ ද පුරුදු වී සිටිති. එසේම මුදලට සූදු කෙළීමද නව අවුරුදු සංස්කෘතියේ කොටසක් වී තිබේ.

සිංහල අලුත් අවුරුද්ද සමඟ බැඳුණු අනිවාර්ය සුවිශේෂී අංගය නම් නැකැතයි. නැකත ද ඒ සහ බැඳුණු චාරිත්‍රද පැරුණ්නෝ ඉතා උතුම් කොට සැලකූහ. නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, තෙල් වළං ලිප තැබීම ආදී නැකැත් ද අකුරටම ඉටු කිරීමට අතීතයේ දී පැරුණ්නෝ කටයුතු කළහ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අද වන විට අවුරුද්ද වෙනුවෙන් ඉතිරිව ඇත්තේ නැකැත් කිහිපයක් පමණි. අද යම් පමණකට හෝ මිනිසුන් සලකන්නේ ලිපගිනි මෙලවීම හා ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම ආදී නැකැත් සහ චාරිත්‍ර පමණි. එහෙත් එම නැකැත් ද බොහෝ දෙනකු ගන්නවා වාලේ නොගෙන බැරිකමට ගන්නා බව පෙනී යයි. ඒ නිසාම සිංහල අලුත් අවුරුද්ද සමඟ බැඳුණු චාරිත්‍ර සමුදායක් මඟහැරී ඇත. ඒ වෙනුවට වෙළෙඳපොළ අවශ්‍යතාව මත ගොඩනැගුණු නව චාරිත්‍ර රුසක් අද දැකිය හැකිය.

සිංහල අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සැමරුම් උත්සවයකි.  පරිසරික, ආර්ථික, සමාජයීය, සංස්කෘතික නැවුම් බව රැගෙන එන මෙම උත්සවය සැබැවින්ම එක දිනයකට හෝ දෙකකට ලඝු නොවේ. සතියක දෙකක කාලයක් පුරා එය ඇදී යයි. මෙවැනි ජාතික උත්සවයක් ලෝකයේ කිසිම රටක දක්නට නොමැති තරම්ය. ඒ තුළ අලුත් අවුරුද්දක සිදුවිය යුතු කායික මානසික අලුත්වීමට අවශ්‍ය සකලවිධ කරුණු කාරණා සකස් කර දෙයි. සූර්ය සංක්‍රාන්තිය හෝ වෙනත් කරුණු මත පදනම්ව බැහැර කළ නොහැකි ගැඹුරක් සිංහල අලුත් අවුරුද්දේ අන්තර්ගතය. අප අනාගත පරම්පරාවට මෙම අද්විතීය සංස්කෘතිය පවරා දිය යුත්තේ ද එබැවිනි. තවත් අතකින් අපේ ජාතිය සතු මහඟු දායාදයක් වූ අවුරුදු සිරිත් විරිත් මතුවටත් රැකගැනීම අපේ  යුතුකමකි. 

 චමිඳු නිසල් ද සිල්වා 

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03