2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

පෞද්ගලික අංශයෙන් මීට වඩා වැඩක් ගත යුතුය

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

අලුත් අවුරුදු සිරිය අවසන් වෙමින් තිබේ. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය විය. නැවත වසරක් සඳහා අලුත් රාමුවකින් වැඩ අරඹා තිබේ. අවුරුදු නිවාඩුවට පසු නැකතට අනුව සේවයට වාර්තා කිරීම හෙටට යෙදී ඇත. සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී පෙරවරු 6.39ට නිවෙසින් පිටත්වීමට නැකැත් සීට්ටුව අනුව යෙදී තිබේ. නැකතට පසු වැඩට එන වැඩ කරන ජනතාව රට නැවත ගොඩනගන කාර්යයයේ කොටස්කරුවන් විය යුතුව ඇත.

කොවිඩ් වෛරසයේ බලපෑම රට අවිනිශ්චිත තැනකට හැරවීය. රාජ්‍ය ආදායම දුර්වල වී තිබේ. වියදම ඉහළ නැග ඇත. රජයේ හා පෞද්ගලික අංශයේ කර්මාන්ත කිසියම් ප‍්‍රමාණයකින් දුර්වල වී ඇත. එය සුබදායක තත්ත්වයක් නොවේ. අලුත් ව්‍යවසාය ඇතිනොවන විට හා පවතින කර්මාන්ත හා ව්‍යාපාර ගැටලුසහගත තැනකට පත්වන විට වැඩ කරන ජනතාවට ගැටලු ඇතිවෙයි. අලුත් අවුරුද්දට පසු ඇතිවිය හැකි සංක‍්‍රාන්ති අවකාශය ගැන වෙනම කල්පනා කිරීම සුදුසුය.

විරැකියා අනුපාතය වැඩිවන ඉදිරි කාලසීමාව

අලුත් වාර්තා අනුව 2020 වසරේ රැකියා විරහිතභාවය වාර්තාගත සේ ඉහළ නැග ඇත. මෙරට වැඩ කරන්නට හැකි ශ‍්‍රම බලකායෙන් සියයට 5.7කට රස්සා නැත. එය අභාග්‍යයකි. මෙරට ඉතිහාසයේ වැඩිම විරුකියා අනුපාතය වාර්තා වෙන්නේ දශක තුනකට කලින්ය. එය සියයට හයක ප‍්‍රතිශතයකි. හොඳට ඉගෙනගත් පිරිසකට පමණක් නොව අඩු අධ්‍යාපන පසුබිමක් සහිත පිරිසකට පවා රැකියා අහිමි වී තිබුණු බව දැක්වෙයි. එම කාල වකවානුව තරමට දරුණු නැති නමුත් එවැනි අවකාශයක් පහසුවෙන් උදා විය හැකි ස්වභාවයක් තිබේ. අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කර නිසි පියවර ගැනීම අවශ්‍යය. පහසුවෙන් වෘත්තීය අවස්ථා ගොඩනැගෙන පරිසරයක් සඳහා තීරණ ගැනීමේ මොහොත උදා වී තිබේ. කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශයන්හි උන්නතියක් වෙනුවෙන් වෙනස්කම් ඇතිකළ යුතුය. ව්‍යවසායකත්වය වෙනුවෙන් අවස්ථා පුළුල් කිරීම ද තවත් එක පියවරකි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අනාවරණවලට අනුව රැකියාවක නිරත බව ගණන් ගන්නා නිර්ණායක තිබේ. සතියකට පැය ගණනක් පවුලේ හෝ ආදායම තර කරන කාර්යයක නිරත වන ඕනෑම පුරවැසියකු රැකියාවක් කරන පුද්ගලයකු සේ සලකයි. ගැලපෙන රැකියාව සහ හොඳ ජීවන මට්ටමක් පවත්වාගෙන යාමට ඇති වෘත්තීය අවස්ථා ගැන සංකීර්ණ ගැටලු තිබේ. වෘත්තීය සම්බන්ධ අතෘප්තිය වැඩි දෙනකු තුළ තිබේ. රාජකාරියට එන යන පිරිස එය වෙනුවෙන් ගත කරන කාලය වැඩි කරන තරමට වඩා වැඩි අවස්ථා ඇත. කොළඹ අවට කිලෝමීටර් තිහක පමණ වපරිසයක ජීවත්වන වැඩ කරන ජනතාව ගැන හිතන්න. අධික මාර්ග තදබදය හෙයින් දිනකට පැය හතරක්වත් මහ මග හිරවෙයි. පැය අටක් වැඩ කරන්නට පැය හතරක් මඟට වැය කරන පසුබිම තුළ ආර්ථිකයකට දක්වන වාසියක් නැත. එක පැත්තකින් විරුකියාව නැග එන හා අනෙක් පැත්තෙන් රැකියා කරන පිරිසගේ අකාර්යක්ෂම රටාව බරපතළ තත්ත්වයකි.

දියුණු වෙන්නට නම් නැංවිය යුතු නිෂ්පාදනය

රටවල් දියුණු වී ඇත්තේ නිෂ්පාදනය නැංවීමෙනි. නිපදවන දේ කාර්යක්ෂමව හා අඩුම මිලකට නිපදවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමෙන් බව පෙන්වා දිය යුතුය. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය හා බ්‍රිතාන්‍ය වැනි රටවල් පවා අලුත් යමක් නිපදවන පිරිසට අනුග‍්‍රහය දක්වයි. කෘෂිකාර්මික, කාර්මික හෝ සේවා අංශයේ සිදුවන පුළුල්වීමේ දී සමාජයට රැකියා අවස්ථා සහ රටට අලුත් ආදායම් මාර්ග බිහිවෙයි. ආණ්ඩුවේ සේවය කරන පිරිසට වඩා වැඩි කොටසක් ආණ්ඩුවට පිටස්තර අංශවල නිරතය. එය පහසුවකි. රජය ආදායම් නිපදවන්නේ නැති අතර රජයේ වැඩ කරන කණ්ඩායමට ගෙවන්නේ ජනතාවගෙන් අය කරන බදුවලිනි. බදු වැඩිවන විට ජනතාවට බරකි. බදු වැඩිවන හේතුව රජයේ යාන්ත‍්‍රණයට වැඩිපුර වියදම් කිරීම බව පෙන්වා දිය යුතුය. 
රටින් පිටට ගොස් වෙනත් රටක දී තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගත හැකිය යන අදහසක් සමාජයේ තිබුණි. කොවිඩ් වෛරසය එයට අවහිර කළේය. විදේශතව රැකියා කළ දස දහස් ගණනක් ආපසු එන අදහසක් ඇතිව සිටිති. විවිධ රටවල ආර්ථික වර්ධනය අඩුවන විට එම රටවලට පිටින් පැමිණි පිරිස් ඉවත් කරන අතර සේවා ගිවිසුම් අවලංගු කරයි. මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ලක්ෂ ගණනකට රැකියා අවදානමක් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොව පර්යේෂණ අංශ පවා පවතින සෞඛ්‍ය තර්ජනය අවසන් වන දිනයක් ගැන අනාවැකියක් දක්වන්නට අපොහොසත්ය. තවත් වසර ගණනක් මෙම තත්ත්වය පවතිනු ඇතැයි කල්පනා කරයි. මෙරට වාර්තා අනුව සෑහෙන පිරිසක් ආපසු එන පොරොත්තු ලේඛනයේ සිටිති.

විදේශගත රුකියා කරන පිරිස ආපසු එවන ලද ධනය මෙරට විදේශ විනිමය ඉපැයීම්වල පළමු තැනට පත්ව ඇත. එවන විනිමය හුවමාරු කිරීමට බැංකු අතර විශාල තරගයක් තිබේ. ඉදිරියේ දී මෙම රාමුව වෙනස් වුවහොත් ඇතිවිය හැකි පසුබිම සලකා බලන්නට අවශ්‍යය. එම අවදානමෙන් සමාජය ගලවා ගන්නා වැඩපිළිවෙළක් වහාම අවශ්‍යය. 

විවෘත ආර්ථීකය වඩා සක‍්‍රීය කර මෙරට පුරවැසියන් හැමදෙනාටම සමාන අවස්ථා අලුතින් ඇතිකිරීම වැදගත්ම කාරණයයි. අවස්ථා පවතින බව ප‍්‍රකාශ කිරීම පමණක් ප‍්‍රමාණවත් නැත. රට තුළ ආකල්ප වෙනසක් ඇතිකිරීම අවශ්‍යය. එය කළ හැකි වන්නේ පවතින ආර්ථිකයෙන් නැගී සිටින්නට හැකි බවට විශ්වාසයක් ඇතිකළහොත් පමණකි.

රාජ්‍ය අංශය දෙගුණයක් කරනු වෙනුවට ව්‍යවසායකත්වය 

පසුගිය කාලය තුළ මෙරට රජයේ සේවය දෙගුණයක් වී තිබේ. වත්මන් ආණ්ඩුවට පවා උපාධිධාරීන් හා අඩු ආදායම් පවුල්වල ලක්ෂ ගණනක් රජයට එකතු කරගෙන තිබේ. ඉදිරි වසර දෙක තුළ තරුණන් විශාල ප‍්‍රමාණයක් රුකියා ඉල්ලන බව නිසැකය. රජයට පමණක් රැකියා සැපයිය නොහැකිය. සාමාන්‍යයෙන් රජයේ ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට හයකි. එවැනි සුළු ආයෝජනයකින් අලුත් රැකියා ලක්ෂ ගණනින් බිහි කරන්නට හැකියාවක් නැත. අඩු ආයෝජනයක් හා රජයේ රැකියා කරන ප‍්‍රමාණය දෙගුණයක් වන විට ආර්ථිකය දුර්වලවීම වැළැක්විය නොහැකිය. ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 12.6 කි. මෙම වසරේ එය සියයට 9.4 ක් විය හැකිය. එයින් ඉනික්බිතිව පවා සියයට අට ඉක්මවන අයවැය හිඟයක් පවතිනු ඇතැයි සැලකේ. මෙම හිඟය පියවන්නට ගන්නා ක‍්‍රියාමාර්ග අලුත් අයෝජන අවහිර කරයි. එහි ප‍්‍රතිඵලය තව තවත් රුකියා උත්පාදනය අඩුවීම බව සැලකිය යුතුය. 

දියුණුවට පත් රටවල පළමු ක‍්‍රියාමාර්ගය ධනය බිහිකිරීමට ඉඩදීමයි. ධනය නිපදවිය හැක්කේ ව්‍යවසායකත්වයටය. පෞද්ගලික අංශය යනු මහා පරිමාණ කම්හල් සහ ව්‍යාපාරිකයන් පමණක් නොවේ. සුළු වශයෙන් තමන්ම යමක් නිපදවා එයට වෙළෙඳපොළක් සකස් කර ගැනීමට තැත් දරන ව්‍යවසායකයකු පවා නියෝජනය කරන්නේ පෞද්ගලික අංශයයි. රටට දැනෙන ආර්ථීක වර්ධනයක් පවත්වාගෙන යන්නට නම් දළ දේශීය නිෂ්පාදිතයේ සියයට අටක් දහයක් අතර වාර්ෂික වර්ධනයක් පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් සියයට 25 ඉක්මවීම අවශ්‍යය. ආණ්ඩුවේ නියෝජනය සියයට හයක් පමණ වන විට ඉතිරි පරතරය පියැවිය යුතු පෞද්ගලික අංශයයි. රට තුළ ව්‍යාපාර බිහිවන විට එයින් අලුත් ආදායම් මාර්ග පාදාගන්නට හැකියාව ලැබේ. කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා නව ව්‍යාපාර ජාලයක් ඇතිකරන්නට පහසුකම් සැලසීම අද රටට ඇති ප‍්‍රධාන අවශ්‍යතාවයකි.

මූල්‍ය ක‍්‍රමය හා නීති පද්ධතියේ වෙනසක් කිරීම

ව්‍යවසායකත්වය සඳහා බැංකු සහ මූල්‍ය අංශයට කළ හැකි කාර්යභාරයක් තිබේ. ව්‍යවසායකත්වයක් ඇතිකරන ලෙස ණය පහසුකම් නිකුත් කිරීමට බැංකු පද්ධතිය පියවර ගත යුතුය. අලුත් ව්‍යාපාර අරඹන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙරටින් ප‍්‍රාග්ධනය සොයාගැනීම පහසු නැත. අද වන විට අඩු පොලී අනුපාත නියම කර ඇති නමුත් බැංකුවල නිලධාරීන් අලුත් ව්‍යවසායකයන් කෙරෙහි දක්වන ආකල්පය සුහද නැත. වත්කමක් නැති, ඇපකරුවන් ඉදිරිපත් කිරීමට අපහසු තරුණන් බැංකුවලදී ප‍්‍රතික්ෂේප වෙයි. අලුත් ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැගීම අවශ්‍යව ඇත. බැංකු පද්ධතිය සමඟ සම්බන්ධයක් නැති තරුණ ව්‍යවසායකත්වයක් ඇතිකළ යුතුය. එයට ගැලපෙන අරමුදලක් සකස් කිරීම අවශ්‍යය. අවදානම් ණය සඳහා රක්ෂණ පිළිවෙළක් ඇරඹිය හැකි අතර එම රක්ෂණය ව්‍යවසායකයන්ගේ තවත් බරක් බවට හැරවීම නරකය. තැන්පත් රක්ෂණය හා සමානව අලුත් ණය අවදානම් අරමුදලක් ඇතිකළ හැකිය. එය බැංකුවලට ද ව්‍යවසායකයන්ට ද අවස්ථාවකි. බැංකු ක‍්‍රමය ණය නිකුත් කරන්නට පොළඹවන හේතුවක් වනු ඇත. 

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මැදි ආදායම් මට්ටමට පැමිණ ඇත. මෙම අවධිය තුළ ආර්ථිකය සක‍්‍රීය කරනු සඳහා ගන්නා තීරණ ඉතාම වැදගත්ය. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය තියුණු බලපෑමක් කළේය. වර්ධනය අඩුවන අතර විරුකියා අනුපාතය වැඩිවීම එහි ප‍්‍රතිඵලයකි. සමාජයේ ආකල්ප වෙනස් කිරීමකින්, ආර්ථික ප‍්‍රතිසංස්කරණයකින් විශාල වෙනස්කම් ඇතිකළ හැකිය. මෙරට ආර්ථිකය කළමනාකරණය වෙනසක් නොවීම වෙනත් ගැටලුවකි. විශ්වවිද්‍යාලයෙන් පසු ආණ්ඩුවේ රුකියාවක් අපේක්ෂා කරයි. තමන් යමක් නිපදවා හොඳ ව්‍යවසායකයක් හදන බවට තීරණය කරන්නේ ස්වල්ප දෙනෙකි. මෙම අකාර්යක්ෂමතාවයේ වන්දිය වෙනමම කතා කළ යුතු පැත්තක් වන අතර රැකියා වියුක්තිය පිළිබඳ සංඛ්‍යාලේඛන වෙනුවට රට තුළ නිරවද්‍ය මුහුණුවරක් ඇතිකරන්නට නම් ව්‍යවසාය සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයන් තීරණ ගත යුතු මොහොත උදා වී තිබේ.

 ගාමිණී සරත් ගොඩකන්ද

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03