2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

සශ්‍රීකත්වය වෙනුවෙන් පවත්වන මුට්ටි නැමීමේ මංගල්‍යය

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1306

පුරාණ රජරට සහ වන්නියේ ගැමි ජනජීවිතය ගලා ගියේ වැවත් එක්කමයි. මේ හින්දයි ඔවුන්ට හැමවෙලාවෙම වැව තම ජීවිතයට සම්බන්ධ කර ගත්තේ. කලට වැසි ලැබී ගොවිතැන් බත් සරුවේවා යැයි ප‍්‍රර්ථනා කරමින් වැව් ගම්මානවල ගොවි ජනතාව මුට්ටි නැමීමේ මංගල්‍යය පැවැත්වීම සිරිතක්. ජනවහරේ එය මුට්ටි නැමිල්ල, මුල් මංගල්ලෙ සහ වැවේ රාජකාරිය ලෙසද භාවිත කරනවා. දෙමළ හත්පත්තුවේදී “හත්කට්ටුවේ රාජකාරිය, ගමේ රාජකාරිය” යනුවෙන්ද ව්‍යවහාර කරනවා. සෑම පළාතකම කුඩා වැව්වල මුට්ටි නැමීමේ මංගල්‍යය වාර්ෂිකව පැවැත්වීම පොදු සම්ප්‍රදායයන් අතර තිබුණා.

වැව යටතේ ඇති ගමේ උදවිය එකතුවෙලා අවුරැද්දකට දෙකකට හෝ තුනකට වතාවක්‌ අයියනායක දෙයියන්ටත්, කතරගම දෙයියන්ටත් සහලින් බත බුලතින් පරිත්‍යාගයක්‌ කරනවා. දානයක්‌ දෙනවා. ඒ අතරින් එක් දානයක් තමයි මුට්ටි නැවීමේ මංගල්‍යය කියන්නේ. කෙතට කමතට විශාල යන්ත්‍ර පැමිණි අද වනවිට බොහෝදුරට දුරස් වී ඇති එම පුරාණ සිරිත ගැන කතාබහ කිරීමටයි මේ උත්සාහය. 

සමහර ගම්වල කුඩා ගම්වැව්වල සෑම වසරකම අලුත් අවුරුද්ද පසුවෙනවාත් සමග කෙම්මුර දිනයකදී මෙම මුට්ටි නැමීමේ මංගල්‍යය සිදුකරනවා. ඉදිරි කන්නය සඳහා වැවට නිසි පරිදි වැස්ස ලැබී වැව පිරී ඉතිරී ඉන් ලෙඩ රෝගවලින් තොරව සරුසාරව ගොයම් වැවී ගොවිතැන් බත සරුසාර කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලා සිටීමයි මෙහිදී සිදුවන්නේ. මෙම අභිචාරාත්මක උත්සවය සිදුකරනු ලැබූයේ අයියනායක දෙවියන් උදෙසායි. 

අයියනායක දෙවියන් වැව්වලට අධිපති දෙවියන් ලෙස සැලකෙනවා. අයියනායක දෙවියන් ඉන්දියාවේ සිට මෙරටට ආ දෙවියකු ලෙස ගැමියන් විශ්වාස කරනවා. මේ චාරිත්‍රයේදී කතරගම දෙවියන්, වල්ලි අම්මා සහ පත්තිනි මෑණියන් වැනි ප්‍රකට දෙවි දේවතාවන් මෙන්ම ප්‍රදේශීය වශයෙන් දෙවියන් යැයි සැලකෙන ඉලන්දාරි, කම්බිලි හඳුන්කුමාර, වැවේ බණ්ඩාර, වෙලේ බණ්ඩාර, මලේ බණ්ඩාර, ගලේ බණ්ඩාර, හිඟුරක බණ්ඩාර, පනම් බණ්ඩාර, අයියනායක වැනි දෙවිවරැන් ද සිහිපත් කෙරෙනවා.  එක් එක් ප්‍රදේශවල මේ දෙවිවරුත් වෙනස් වෙනවා.

මුට්ටි නැමීමේ මංගල්‍යය පැවැත්වෙන කාල සීමාව පිළිබඳව විවිධ මතවාද පවතිනවා. එය පුරාණ රාජකීය මහා වැව් පදනම් කරගනිමින් සත් වසරකට වරක්ද, කුඩා වැව්වල වසර පහකට වරක්ද පැවැත්වෙන බව නුවර කලාවියේ ජන මංගල්‍යය කෘතියේ සඳහන් වෙනවා. යල සහ මහ කන්න දෙක මැද එළඹෙන මාස් කන්නයේදී තමයි මේ මංගල්‍යය සාමාන්‍යයෙන් ඉටුකරන්නේ. වර්ෂාව ඇරැඹී වැව හොඳින් පිරුණු පසු හෝ වැස්සෙන් වැව පිරීම පටන්ගත් පසුව මෙය සිදු කෙරෙනවා. නියං කාලෙදී මේ වතාවත කරන්නේ නෑ. 

• බැත වෙන් කිරීම

කමතේදී රැස් කරගත් නැවුම් වී අස්වැන්න හෙවත් බැත කන්දෙන් හා හා පුරා කියා දෙවියන් උදෙසා ‍වෙන් කරන කොටස “අක්යාල” වශයෙන් හඳුන්වනවා. අක්යාල දෙවියන්ට පූජා කිරිමේ මංගල්ලය, මුට්ටි මංගල්ලය නම් වෙනවා. එමඟින් සිදු කරන්නේ මුට්ටි ගහ අද්දරදී හෝ ගංකරයේ තෝරාගත් සම්මත ස්ථානයකදී සියලුම ගොවීන් සාමූහිකව එකරාශි වී කිරි ඉතිරවීමේ මංගල්ලයට දායක වීමයි. හත්කෝරළයේ වැව් ගම්මානවල ගොවිතැන හා බැඳුණු අතිමහත් පූජනීය පුද පූජාවක් ලෙසද මුට්ටි මංගල්ලය හැඳින්විය හැකිය.

• දිනයක් ලබා ගැනීම

මේ මංගල්‍යයට ගම් රාජකාරිය චාරිත්‍රය ආරම්භ වන්නේ පාරම්පරිකව ගම් රාජකාරි චාරිත්‍රය ඉටුකළ කපු පරම්පරාවක කපුරාලට බුලත් අතක් දී චාරිත්‍රය සිදුකිරීම සඳහා දිනයක් ලබා ගැනීමෙන්. මේ චාරිත්‍රය දින දෙකක් පුරා පැවැත්වෙන හෙයින් බොහෝ දුරට මෙකී චාරිත්‍රය අඟහරුවාදා හා බදාදා යන දෙදින පැවැත්වීමට දින යොදාගැනීම සිදු වෙනවා. එම දිනය නියම කර ගන්නේ ගමේ තිබෙන අසනීප, ආදිය ගැන හා විවිධ දේ පිළිබඳ සොයා බැලීමෙන් අනතුරැවයි. එම දිනයට ලබාගන්නේ සතියක පමණ කාලයක් ඉක්මවන දිනයයි. එම කාලය තුළ ගමේ වැසියන් කිසිදු ආකාරයකට වැවෙන් දිය නාන්න නොයයි, මළ ගෙවල්වල නොයයි, ගමෙන් පිට යන්නේත් නැහැ.

• මුට්ටි නැවීම

යල මහ දෙකන්නයේ කුඹුරු ගොවිතැන් කටයුතු ආරම්භ වීමට ප්‍රථමයෙන් කෙම්මුර දිනයක නැකත්රාල උන්දෑගේ අභිමතය පරිදි දේවතා හත් කට්ටුවක් වෙත භාර හාර වී මුට්ටි නැමීම සිදුවෙනවා. මෙහිදී කෙරෙන්නේ වැවට නැවුණු ගසක් තෝරාගෙන එහි අතු අග කපා දමා නැවුම් මුට්ටි කිහිපයක් නවා තැබීමයි. මුට්ටි නැමීමට සුදුසු “මුට්ටි ගහ” තේරීමේදී බොහෝවිට වැව අද්දර හෝ වැව් බැම්මේ තිබෙන තරමක් විශාල එමෙන්ම පැරණි ඇටුවම් බැහැපු ගහක් මේ සඳහා තෝරා ගන්නවා. එය බොහෝවිට කුඹුක් හෝ මී ගසක් විය හැකියි. සෑමවිටකම මුට්ටි තුනක් නවන බවයි පේන්නේ. ගසක් නැති අවස්ථාවක ජලයේ සිටවූ කණුවල මුට්ටි නැවීම සිදුවෙනවා.  

මුට්ටි නැමීමට පෙර ඇඹුල් ජාති ගා ගෙන වැවෙන් ස්නානය කිරීම සිදුවෙනවා. පිළා පිළිහුඩු ආහාරවලින් වැළකීමද, අක්යාල වැහි ආරම්භ වීමට ප්‍රථමයෙන් මෙම උතුම් මංගල්ලය අවසන් කිරීමද කළ යුතුවෙනවා. මේ මුට්ටිවල නැවුම් කිරි පුරවා එම කිරි ජලයට වැටෙන සේ අතුවල නැවීම සිදුවෙනවා. ජලය හා කිරි මිශ්‍රවීමෙන් සශ්‍රීකත්වය සංකේතවත් වෙනවා.

• දානයට අවශ්‍ය භාණ්ඩ

මුට්ටි නැමීමේ චාරිත්‍රය සඳහා කපුරාල දින ලබාදීමෙන් පසු ගමේ ජීවත්වන ගැමි පවුල්වලින් අදාළ චාරිත්‍රයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ එක්රුස් කිරීම සිදුවෙනවා. මෙසේ එකතු කරනු ලබන ද්‍රව්‍ය වන්නේ හාල්, පොල්, කැවුම්, බුලත්, පුවක් සහ මුදලින් යම් ප්‍රමාණයක්. ඊට අමතරව සෑම ගෙදරකටම භාරදෙනවා හාල් සේරුවක්‌, පොල් ගෙඩි 02ක්‌, පරිප්පු ග්‍රෑම් 250ක්‌ වගේ දානයට අවශ්‍ය ද්‍රව්‍ය. මේක සංවිධානය කරගන්න ගමේ සමිතියක්‌ තියෙනවා. වැඩිහිටියෙක්‌ ඉන්නවා. මේ විදිහට හාල් කිලෝ පන්සීයකට වඩා එකතු වෙනවා. මේ විදිහට මහා දානය පිළියෙල කරලා පූජාව පවත්වනවා.

ගමේ වැවේ වැව් කණ්‌ඩියේ පලසක්‌ බැඳලා ඒ මත බුලත් පන්දලම් දෙයියන්ට දීලා (බුලත් යහන දීලා) අයියනායක දෙයියන්ගෙ පුදපූජා සියල්ලක්‌ම තැන්පත් කරල කෝල්මුර කරලා පූජාවක්‌ කරනවා. පසුව ගමේ මිනිස්‌සු එකතුවෙලා වැව් කණ්‌ඩිය උඩදී දානයක්‌ දෙනවා. ඒ දානය දෙන්නේ අයියනායක දෙයියන්ට, පුල්ලෙයාර් දෙවියන්ට හා කතරගම දෙවියන්ට. ඒ දානයෙන් පස්‌සේ යළිත් අර එකතු කළ පූජා භාණ්ඩවලින් මහා දානයක් දෙනවා. ඒ සඳහා ගමේ කට්‌ටිය විතරක්‌ නොවේ අහල පහළ ගම්වල බාල මහලු වැඩිහිටි කොයි කවුරැත් සහභාගි වෙනවා.

මුට්ටි මංගල්ලයේදී පුරුෂ පක්ෂයේ සාමුහිකභාවය වැදගත් වන අතර කිරි දෙනුන්ගෙන් කිරි දෙවීම, ආහාර පාන සැකසීම, ආහාර පානවලින් සංග්‍රහ කිරීම ආදී වූ සියලුම කර්තව්‍යයන් සිදුකරන්නේ පුරැෂ පක්ෂය විසින්. පිළ හොඳ නොවූ දැරිවියන් හෙවත් “මල්වර නොවූ දැරිවියන්ට” පමණක් මේ සඳහා සහභාගී වීමේ හැකියාව පවතිනවා.

දෙවියන් සඳහා වූ අක්යාල පූජාවෙන් අනතුරුව කිරිබත ගමේ වගේම පිටගම්වලත් ගැබ්බර සිරියාවන්ට හෙවත් දරුගැබ් උසුලන මව්වරැන්ට හා කිරිදෙන මව්වරුන්ට මුලින්ම ලබාදීම සිරිතක්. එසේ කිරිබත් කොටස් ගංගෙවල්වල සිටින බිරින්දෑවරුන්ට ගෙනගොස් භාරදීමේ යුතුකම හිමිවනුයේ ඔවුන්ගේම ස්වාමිවරුන්ටයි. 

ගංකරයේ ගොවීන්ගේ නැවුම් බෝග අස්වැන්න කොටස ප්‍රධාන දේව හත්කට්ටුවක් වෙත පිරිනැමීම මෙහිදී සිදුවෙනවා. ඉන්පසුව ඉතා කුළුදුල් මෙම ආහාරය සම්මත පුද්ගලයන්ට ප්‍රදානය කෙරෙනවා. බලු-කපුටු සතුන්ට මේ ආහාරය කිසිදු විටෙක කෑමට දීම තහංචියක්. අවසානයේ තමයි මුට්ටි ගහ සමීපයට ගොස් මුට්ටි නැවීම සිදුකරන්නේ. මුට්ටි නවන මොහොතේ ගැමියකු තුවක්කුවක් යොදාගනිමින් වැවට පූජා වෙඩි තුනක් තැබීමත් චාරිත්‍රයක්.

රාත්‍රියේදී වැව් බැම්ම මත සිදුකරන අවසන් චාරිත්‍රය සඳහා සහභාගී වන්නේ ගම්මානයේ පිරිමි සාමාජිකයන් පමණයි. අනතුරුව අදාළ ස්ථානයේ දුම්මල ඇල්ලීමක් සිදුකර එකී කර්තව්‍යයෙන් පසුව සුදු රෙදිකඩ මත තැබූ බුලත්, පුවක් හා කැවුම් යනාදිය අසුරාගෙන ගම්මැද්දට එමෙන් පසු ගම් රාජකාරියේ අවසන් චාරිත්‍රයද නිමා වෙනවා.

 කුසුම්සිරි විජයවර්ධන