2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

අවුරුදු අසුවෙදිත් සටන් කළ හැකි අංගම් - පොර

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 326

අංගම්පොර සටන් කලාව වූ කලී යම් දර්ශනයකි. බොහෝදෙනා අංගම්පොර තවත් එක් සටන් ක්‍රමයක් යැයි හැඳින්වුවද, දැන සිටියද, අංගම්පොර සටන් කලාවේ එක් අංගයක් වූ පොර යන කොටසේ ඇති අංග පමණක් මෙම කොටසට ඇතුළත් වේ. අංගම්පොර සටන් කලාව බොහෝ කලක පටන් පවතින කලාවක්, දර්ශනයක් වුවද වර්තමානයේදී බොහෝවිට කතා කරනු ලබන්නේ මෙහි ඇතුළත් පොර නම් කොටස ගැන පමණි. නමුත් එහි ඇති දර්ශනයට යටත්ව අංගම්පොර සටන් කලාව කරගෙන යා යුතු වේ.

අංගම් කලාවේ දර්ශනයද, ජ්‍යොතිෂයද, දේහදම් වෙදකමද තිබේ. අංගම් කලාවට ආවේණික වුණු වෙදකමක් පවතී. එය හෙළ වෙදකමයි. අංගම්පොර සටන් කලාව බොහෝවිට පවතින්නේ පාරම්පරිකවය. වර්තමානයේදී එය යම් විලාසිතාවක් වුවද අතීතයේදී අංගම්පොර ඉගෙන ගැනීමට පෙර ඒ සඳහා තමන් සුදුස්සකුදැයි සොයා බැලිය යුතු විය.

අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කිරීමට එන දරුවකුගේ වේලපත්කඩය පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා පෙර පින තිබිය යුතුයි. ඇතැම් ඒවා තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා ඔහු හෝ ඇය එය තේරුම් ගැනීමට හැකියාවට ඇති මනුස්සයෙක්දැයි මුලින් පරීක්ෂා කර බලනවා. අංගම් කියන්නේ එකක්. පොර කියන්නේ තව එකක්. අංගම් එකේ පොර කොටසක් ඇතුළත් වෙනවා. නමුත් මූලික තැන හිමිවන්නේ මේ අංගම් කියන කොටසටයි. දරුවකුගේ කේන්ද්‍රය පරීක්ෂාවේදී වීරත්වය, දරාගැනීමේ හැකියාව, හොඳ ගතිගුණ පැවතීම ආදිය සොයා බලනවා. අංගම්පොර සටන් කලාවේදී දරුණු දේ උගන්වනවා. නමුත් ඒ ඉගෙනගත් දෙයින් කිසිමදාක අංගම්පොර ශිල්පියකු අයුතු, අසාධාරණ දේ නොකළ යුතු වෙනවා.* යැයි පාරම්පරික අංගම්පොර ගුරු කෝසල ශ්‍රී හේවගේ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය

වේලපත්කඩය පරීක්ෂා කිරීමේදී ඇතැමුන්ට ඉගැන්වුවද ඒවා තම ග්‍රහණයට හසුකර ගැනීමට නොහැකිවීම පිළිබඳවද එහි සඳහන් වේ. එවැනි අයට අංගම්පොර ඉගැන්වුවද එය සාර්ථක වන්නේ නැත. සුදුස්සාට පමණක් අංගම්පොර ඉගැන්වීම පාරම්පරික අංගම්පොර ගුරුවරුන්ගේ සිරිතකි. එය තීරණය වන්නේ වේලපත්කඩය අනුවය.

අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරනු ලබන ශිල්පියකුගේ ශරීරය ශක්තිමත් නොමැති විට එම වීරත්වය ශරීරයට එකතු කළ හැකි ප්‍රතිකාර අංගම්පොර සටන් කලාවේ පවතී. අංගම්පොර සටන් ශිල්පියකුගේ වයස අවුරුදු අසූවක් ගතවුවද ඔහුට අංගම්පොර සටන් කලාව කළ හැකි ශක්තියක් පවතී. එයට ප්‍රධාන හේතුව වන්නේ අංගම්පොර සටන්කරුවකුට වා, පිත්, සෙම් අනුව ලබාදෙන ව්‍යායාම් රටාවයි.

වේලපත්කඩය පරීක්ෂාවේදී මෙන්ම අංගම්පොර ශිල්පියකුගේ වා, පිත්, සෙම් අනුවද ඔහුට ව්‍යායාම් අභ්‍යාසය ලබා දෙයි. ඇතැම් ව්‍යායාම කිරීමෙන් තමන්ගේ අධිෂ්ඨානය නැතිවී යයි. එම නිසා නිවැරදි ව්‍යායාම ලබාදීම අනිවාර්ය වේ. කුස, පපුව සවිමත් වීමෙන් සිත ශක්තිමත් වේ. කුස සහ පපුව ශක්තිමත් වීමෙන් අංගම්පොර සටන් ශිල්පියාගේ කොන්ද කෙළින් වෙයි. කොන්ද කෙළින් පැවතීමෙන් ශරීරයේ ඇති ශක්තිය මුළු ශරීරය පුරා විහිදෙයි.

අංගම්පොර සටන් කලාවේදී නිල වෙදකමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ වන විට අන්තර්ජාලයෙන් නිල අල්ලන්නට කියා දෙන නිල වෙද්දු සිටිති. නමුත් නිල වෙදකම යනු බොහෝ ඉවසීමෙන් ප්‍රගුණ කර ලබාගන්නා වෙදකමකි.

අංගම්පොර කලාව ඉගෙන ගැනීමට වයස් සීමාවක් නැත. කුඩාම දරුවකුට කුමාර සෙල්ලම නම් අභ්‍යාසයේ සිට ඉගැන්වීම ආරම්භ කෙරෙයි. නමුත් වර්තමානයේදී බොහෝ අංගම්පොර ගුරුවරු මෙම කුමාර සෙල්ලම ඉගැන්වීම් නොකරති. එමගින් වම් මොළය හා දකුණු මොළයේ ක්‍රියාකාරීත්වය, වීරත්වය, මතක ශක්තිය පිහිටවීම ආදිය ඉගැන්වීම් සිදු කරයි. අංගම්පොර ගණිත ක්‍රමයේදී ගුරුළු, සිංහ, මී, ගජ වැනි යෝග සහ නැකැත් විසි අටක් ඉගැන්වේ. එම ගණිත ඉගැන්වීම් සති කිහිපයක් දරුවන්ට ඉගැන්වීම තුළින් ඔවුන්ට නැකැත් විසි අට, යෝග අට පාඩම් වේ. ඒ අනුව ජ්‍යොතිෂයේ එන මූලික ප්‍රධාන ඉගැන්වීම් එම ගණිත ක්‍රමය හරහා අංගම්පොර ගුරුවරයා දරුවාට කියා දෙයි. අවුරුද්දක් දෙකක් අංගම්පොර ඉගෙනගැනීම තුළින් ජ්‍යොතිෂයේ පමණක් නොව වෙදකමේ මූලික ඉගැන්වීම්ද දරුවන්ට ලබාගත හැකිය. එම ඉගැන්වීම් හරහා දරුවන් තුළ හික්මීම, ඉවසීම ඇතිවේ. මතක ශක්තිය වර්ධනය වේ. ඒ තුළින් දරුවන්ගේ හිත පිරිසුදු වේ. හිත පිරිසුදු වූ විට පිරිසුදු නිවැරදි ඕනෑම දෙයක් ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට හැකියාව පවතී. අංගම්පොර සටන් කලාවේද එය ඉගැන්වේ.

අංගම්පොර සටන් කලාවට පිරිමි පාර්ශ්වය වැඩි නැඹුරුවක් දැක්වුවද කාන්තා පාර්ශ්වයටද අංගම්පොර සටන් කලාවේ තහනමක් නැත. පාරම්පරිකව මෙන්ම ඉගැන්වීම් හරහාද අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළ ශිල්පීහු වෙති.

අංගම්පොර සටන් කලාව බොහෝ කලක පටන් පැවත එන සටන් කලාවකි. රාවණා රජුගේ ඉපදීමට පෙර සිටම අංගම්පොර පැවතිණි. මෙයටම ආවේණික වුණු අවි ආයුධ බොහොමයක් තිබේ. එම ආයුධ වර්ගද හිතුමතේ නිර්මාණය කළ නොහැක. දිග පොල්ල උත්තම මුගුර ලෙස හැඳින්වේ. නාග පොල්ල මධ්‍යම මුගුර ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් නිතරම භාවිත කරන අඩි දෙකක් පමණ දිග පොල්ල නීච මුගුර ලෙස හැඳින්වේ. තමන් භාවිත කරන මුගුර තීරණය කළ යුත්තේ තමන්ගේ නාමයට හිමි ඉලක්කම අනුවය. එය ප්‍රවීණ අංගම්පොර ගුරුවරු තීරණය කරති.

අප උත්පත්තිය ලබනවා සේම ඒ ආයුධවලටත් උත්පත්තියක් අවශ්‍ය වෙනවා. එවැනි ආයුධ නිර්මාණය කළ යුතු වන්නේ නැකැත්වලට අනුවයි. නිවැරදි නැකැතකට අනුව තමන්ගේ ආයුධය නිර්මාණය කිරීමෙන් කිසිදාක අයහපතක් සිදුවන්නේ නැහැ.* යැයි කෝසල ශ්‍රී හේවගේ පැවසීය.

අංගම්පොර සටන් කලාවේ කොටසක් ආත්මාරක්ෂාවටත් තවත් කොටසක් සොබාදහම තේරුම් ගැනීමටත් යොදාගනී. මෙය දර්ශනයකි. හේවා අංගම් ඉගැන්වීමේදී අඩි සලකුණකින් තමන්ගේ පුරවැසියාගේ උස තීරණය කර ගැනීමට හැකියාව ලබා දෙයි. එමෙන්ම ප්‍රතිවාදියා ස්ත්‍රියකු හෝ පුරුෂයකුදැයි අඩි සලකුණකින් තීරණය කරගත හැකිය. එයින් තම ආරක්ෂාව ලබාගැනීමේ හැකියාව පවතී. අංගම්පොර නිවැරදි ඉගෙනගන්නා ශිල්පියකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු අංගම්පොර ශිල්පියකු බව නිගමනය කිරීමේ හැකියාවක් ප්‍රවීණ අංගම්පොර ශිල්පීන්ට තිබේ.

අංගම්පොර සටන් කලාවේදී ශිල්පියාට ඇති රෝග ලක්ෂණ වගේම දේහ ලක්ෂණ අනුව කළ යුතු ව්‍යායාම් වෙනස් වෙනවා. ශිල්පියාගේ ඇස්වලින් පවා ඔහුට ඇති රෝග තත්ත්වයන් අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වගේම ව්‍යායාම් තුළින් ඒ රෝග තත්ත්වයන් දුරුකර ගන්නට පුළුවන්. සමහර අංගම්වල ඇතැම් දේ සාමාන්‍ය ශරීර ශක්තියෙන් කරන්න බැහැ. ඒවා පොළවට ඒම තහනම්. උඩ පනින්නම ඕනෙ. උඩ පනින්න ගහන්නම ඕනෙ. පොළොවට ආවත් උඩ පනින්නම ඕනෙ. ඒ සඳහා විශාල ශක්තියක් තියෙන්නම ඕනෙ. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දී ඔහුව ඒ සඳහා හැඩගස්වනවා.* යැයි කෝසල ශ්‍රී හේවගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

සේයාරෑ - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03