වර්තමාන දේශපාලන පිටියේ අලුත්ම කතාබහ වී ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. ආණ්ඩුවෙන් කොළඑළියක් ඒ සඳහා දැල්වී ඇතත් පළාත් සභා පනත තවම නිවැරදිව සකස් වී නැති නිසා සමානුපාතික ක්‍රමය හෙවත් පැරණි ක්‍රමයට පවත්වනවාද? නැත්නම් කොට්ඨාස ක්‍රමයට පවත්වනවාද? යන්න පිළිබඳ නිශ්චිත තීන්දුවක් නැත. නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත වී ඇතත් සීමා නීර්ණයේ ගැටලු ඇතුළු කාරණා කීපයක් නිසා එය තවමත් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව ඇත. කෙසේ වෙතත් මේ අවුල මෙසේ තිබියදී ආණ්ඩුව පළාත් සභා තරගයට යාම එක් පැත්තකින් ප්‍රශ්නයක් වුවත් තවත් පැත්තකින් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත ගැන සිදුකළ හැකි හොඳ ලිට්මස් පරීක්ෂණයක් වනු ඇත. එහෙත් ආණ්ඩුව මැතිවරණය තියයිද නැද්ද? පක්ෂ ඒ සඳහා සූදානම්ද? ඒ ගැන සොයා බැලීමකි මේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සාමාජිකයින් විසින් මධ්‍යමකාරක සභා රැස්වීම සඳහා යෝජන කළ යෝජනාවලියේ කරුණු කිහිපයක් අතර මේ පළාත් සභා මැතිවරණය පිළිබඳ කරුණුද ඇතුළත් විය. එහිදී ඔවුන් යෝජනා කළේ මින් ඉදිරියට කිසිම මැතිවරණයක් සඳහා පොහොට්ටුව සමඟ සන්ධානගත නොවිය යුතු බවය. එම යෝජනාවෙන් පැහැදිලිව පෙනෙන කාරණාය නම් මීළඟට එන මැතිවරණය පළාත් සභාවුවත් ඒ සඳහා එක්ව තරග නොකිරීමය.
මේ අතර පොහොට්ටුවෙන් පසුගිය මහමැතිවරණයේදී නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව එහෙත් ඡන්දය ඉල්ලීමට අවස්ථාව අහිමි වූ පිරිස ශ්‍රීලනිප නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පළාත් සභ මැතිවරණයේදී වෙනම තරග කරමු යැයි කියාය. මෙවරද තමන්ට නාමයෝජනා අහිමි වුවහොත් එය විශාල අසාධාරණයක් බව ඔවුන්ගේ පැමිණිල්ල විය. මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකත්වය පවසා ඇත්තේ තම පාක්ෂිකයන්ට කිසිදු අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන බව කියාය.
කෙසේ වෙතත් මේ සියල්ල අතරතුරේ පසුගිය මාසයේ විමල් වීරවංශ මහතා කේන්ද්‍ර කරගනිමින් පොහොට්ටු පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් දැඩි විවේචන ඉදිරිපත් කළහ. විමල් අමාත්‍යවරයා හුදෙකලා කොට ප්‍රහාර එල්ල කිරීමට ඒ පිරිස සූදානම් වුවත් එයට ඉඩ ලැබුණේ නැත. විමල් සමඟ ආණ්ඩු පක්ෂයේ සහෝදර පක්ෂ ගණනාවක් හිටගත් බැවිනි. ඒ අතර ශ්‍රීලනිපයද සිටියේය. ඊට අමතරව උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්, අසංක නවරත්න ආදී පිරිසක්ද සිටියහ. අවසානයේ එම ප්‍රහාර හමුවේ මේ සියලුදෙනා එක කඳවුරක් ගොඩනගාගත් අතර පසුව මේ පිරිස විවිධ පක්ෂ කාර්යාලවලට ගොස් සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළහ.
ඒ අනුව එම සාකච්ඡාවලදී ශ්‍රීලනිපය අවස්ථාව බලා සිය යෝජනාව ඉදිරිපත් කළේය. එනම් පළාත් සභාවට වෙනම තරග කිරීමට වෙනම සන්ධානයක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙනි. ඒ වනවිටත් මහමැතිවරණයේදී පොහොට්ටු නාමයෝජනා ලැයිස්තුවෙන් තම පක්ෂයට අසාධාරණයක් වූ බවට විමල් වීරවංශගෙන් දුක් ගැනැවිල්ලක් තිබිණි. එම යෝජනාව කාගෙත් රිදුම් දුන් සිත්වලට සැනසීමක් විය. ඒ නිසා අලුත් සන්ධානයක් ගොඩනැගීමටත් ඒ ගොඩනගන සන්ධානය පළාත් සභා මැතිවරණයේදී වෙනම තරග කිරීමටත් යෝජනා ඉදිරිපත් විය.
මෙය එක පැත්තකින් පොහොට්ටුවට අභියෝග කිරීමකි. තවත් පැත්තකින් ඔවුන්ගේ බලය සම්බන්ධයෙන් බලය උරගා බැලීමකි. එම පක්ෂවල බහුතරයකගේ යෝජනාව වී ඇත්තේ කෙසේ හෝ සන්ධානයක් ගොඩනැගිය යුතු බවය.
පසුගියදා එකී සියලු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්විය. එහිදී සාකච්ඡා කරන ලද්දේ පළාත් සභා මැතිවරණය සහ පනත ගැනය. සියලු පක්ෂවල යෝජනාව වුණේ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බවය. එනම් නව ක්‍රමය යටතේය. එය එක් පැත්තකින් බහුතර පිරිසක් තම පක්ෂ හරහා ඇතුළට ගැනීම අරමුණු කර ගනිමිනි.
එම පිරිස එලෙස සූදානම් වනවිට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවය. ඔවුන් පවසන්නේ අඩුපාඩු සහිත පළාත් සභා පනත තුනෙන් දෙකේ බහුතරයෙන් අහෝසිකර පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවය. කෙසේ වෙතත් පොහොට්ටුව තුළ බෙදුණු මේ මතයෙහි අවසානය ගැන බොහෝ දෙනා පවසන්නේ එයින් පළාත් සභා මැතිවරණය තවත් කල්දැමීමේ අවදානමක් ඇති බවය. ඒ නිසා ලහිලහියේ තියන්නට ගිය පළාත් සභා මැතිවරණය අවසානයේ මේ ආණ්ඩුවේත් කාලය අවසන් තෙක් නොපවත්වනු ඇතැයි බහුතර දෙනාගේ මතය වී තිබේ.
මේ අතර සමගි ජනබලවේගයේ මතය වී ඇත්තේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් තිබිය යුතු බවය. ඒ සඳහා ඔවුන් බිම් මට්ටමේ ක්‍රියාකාරකම් රැසක්ද ආරම්භ කර ඇත. එහෙත් ඔවුන්ගේ මතය මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවය. එනම් අඩුපාඩුකම් සහිත මෙකී මැතිවරණ ක්‍රමය හරහා තව තවත් අවුලකට නොයා ඉක්මනින් එම පනත අහෝසිකර මැතිවරණයක් සඳහා යොමුවිය යුතු බවය. ඔවුන් දරන්නේද පොහොට්ටුවේ මතයමය. කෙසේ වෙතත් ජාතික ජනබලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇත්තේ නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු යැයි කියාය.
මේ අතර දැනට සති කිහිපයකට පෙර හිටපු පළාත් සභා මැති ඇමතිවරු පිරිසක්ද ජනාධිපතිවරයා හමුවූහ. ඔවුන් ජනාධිපතිවරයා හමුවෙමින් හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබේ. පළාත් සභාව යටතේ රාජ්‍ය ආයතන වැඩකරන නිසා ඉක්මනින් මැතිවරණය තබා එම ආයතන කාර්යක්ෂම කිරීම සිදුකරන ලෙසය. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය යහපත් වූ බව ඔවුහු සඳහන් කළහ.
පුදුමය නම් මෙවර පළාත් සභා මැතිවරණය සඳහා පසුගිය කාලයේ මැතිසබය නියෝජනය කළ බහුතරයක් එක්ව තරග කිරීමට සූදානම් වීමය. විශේෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී පරාජය වුණු සහ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණු බහුතරයක් ඒ සඳහා ඉදිරිපත් වීමට නියමිත බව කියති.
කෙසේ වෙතත් මැතිවරණය පිළිබඳ නොයෙකුත් කතා, නොයෙකුත් සැලසුම් තිබුණත් පළාත් සභා මැතිවරණය සහතිකවම තිබෙනවා නම් ඒ සඳහා ගතවන අවම කාලය මේ වසරද ඉක්ම යනු ඇත. එනම් නව සංශෝධන සියල්ල සිදුකර මැතිවරණය පවත්වනවා නම්ය. එසේ නොමැතිව තබනවා නම් මේ වසරේදී පැරණි ක්‍රමය යටතේ තිබිය හැක. එහෙත් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යොමුකළ යෝජනාවක් නිසා නැවත ගැටලුව උග්‍ර වී තිබේ. එනම් එක ඡන්ද කොට්ඨාසයක් සඳහා එක් පක්ෂයකින් තිදෙනෙකු දැමීමට ගෙන ආ යෝජනාවයි. එය සුපුරුදු මනාප ක්‍රමය වන අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊට විරුද්ධත්වය පළකර ඇත. ඔවුන්ගේ මතය වී ඇත්තේ එම යෝජනාව පරාජය කළයුතු බවය.
මේ ආකාරයෙන් පක්ෂ විපක්ෂ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දැනට පවතින තීරණ එකකට එකක් වෙනස්ය. ඒවා සියල්ල යෝජනා සහ සංවාදය. ඇත්තටම මැතිවරණය පවත්වනවාද නැද්ද තීරණය කළයුත්තේ ආණ්ඩුවය. අවසානයේ කිවයුත්තේ පළාත් සභා මැතිවරණ තීන්දුව තවම වැට උඩ බවය.
ගයාන් ගාල්ලගේ