2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

ලංකාවේ ඇති ශිව දෙවියන්ට වෙන් වූ කෝවිල් පහ

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3097

ශ්‍රී ලංකාවේ හින්දු දහම ප්‍රචලිත වූයේ මින් වසර 2000කට අධික කාලයකට ඉහත යැයි පැවසේ. බොහෝ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයෝ ශිව දෙවියන් නමදිති. අතීතයේ සිට පැවත එන පංච ඊශ්වරම් ලෙසින් හැඳින්වෙන ශිව දෙවිඳුන් වෙනුවෙන් කැපවූ ප්‍රධාන කෝවිල් පහකි. මෙම පංච ඊශ්වරම් කෝවිල් රාවණා රජු විසින් ඉදිකරන ලද සිද්ධස්ථාන බවට විශ්වාසයක් ජනප්‍රවාදයේ පවතී.  පංච ඊශ්වරම් කෝවිල් අතරට අයත්වන්නේ යාපනයේ කීරමලෙයි නගුලේස්වරම් කෝවිල, මන්නාරමේ කේතීස්වරම් කෝවිල, ත්‍රිකුණාමලයේ කෝනේස්වරම් කෝවිල, හලාවත මුන්නේස්වරම් කෝවිල සහ දෙවුන්දර තුඩුවේ තෙනවරම් යන කෝවිල්ය. මෙයින් තෙනවරම් කෝවිල පෘතුගීසින් විසින් විනාශ කරන ලදී. මෙම කෝවිල් සියල්ල වෙරළාසන්න කලාපවල පිහිටා තිබේ.

• කීරමලෙයිහි නගුලේස්වරම් කෝවිල

කීරමලෙයි නගුලේස්වරම් කෝවිල ඈත අතීතයේ කීරිමලෙයි තිරුතම්බලේශ්වරම් කෝවිල ලෙස ද හඳුන්වා තිබේ. උතුරු පළාතේ පැරණිතම සිද්ධස්ථානවලින් එකක් වන එය දිවයිනේ ශිව දෙවියන්ගේ පංච ඊශ්වරම් කෝවිල්වලින්  උතුරු පළාතේ පිහිටා ඇති කෝවිලය.. 

කීරිමලෙයි මුහුදු මට්ටමේ සිට අඩි 50 ක් ඉහළින් පිහිටා ඇති අතර එය පලාලි නගරයට බටහිර දෙසින් පිහිටා තිබේ. දෙමළ බසින් කීරි හා සංස්කෘත බසින් නගුල යනු මුගටියාය. අතීතයේ එක්තරා වකවානුවක මෙම ස්ථානයේ නගුල නමැති මුනිවරයකු භාවනා කළ බවත් ඔහු ඉතා වයස්ගතව සිටි අතර ඔහුගේ මුහුණ මුගටියකුගේ බඳු පෙනුමකින් යුතු වූ බැවින් ඔහු එය වෙනස් කර ගැනීම සඳහා අසල පිහිටි පොකුණෙන් දිය නෑ අතර ඉන් ඔහුගේ මුහුණ යළි යථා තත්ත්වයට පත් වූ බවත් පැවසේ. පසුව එම මුනිවරයා එම ස්ථානයේ ශිව ලිංගයක් තබා වන්දනාමාන කළ අතර එය නගුලේස්වරම් කෝවිල ලෙස ප්‍රසිද්ධියට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන්ය. නගුලේස්වරම් කෝවිල ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ක්‍රි. පූ. 543-505. සමයේ රජකළ වංගාවේ විජය කුමරුගේ පාලන සමයේදීය. 1621 දී පෘතුගීසීන් විසින් මෙම කෝවිල විනාශ කළ අතර, නගුලේස්වරම් කෝවිල බාර  බ්‍රාහ්මණ පූජකයෝ එහි තිබූ ශුද්ධ වස්තු පැරණි ළිඳක සඟවා තැබූ බැව් සඳහන් වේ. ක්‍රි.ව. 1894 දී වසර 400 කට ආසන්න කාල පරාසයකින් පසු, හින්දු ප්‍රතිසංස්කරණවාදියෙකු වන අරුමුක නාවලර්ගේ ඉල්ලීම මත දෙමළ හින්දු ජනතාව යළි කෝවිල  ඉදි කළහ. 1918 දී එය යළිත්  ගින්නකින් විනාශ වූ අතර යළි ගොඩනැඟීමට සිදු විය. 1993 සිවිල් යුද්ධය පැවැති සමයේද මෙම කෝවිල විනාශ විය. 2012දී එය යළි ප්‍රතිසංස්කරණය කොට යළි විවෘත කෙරිණි.

• මන්නාරමේ කේතීස්වරම් කෝවිල

කේතීස්වරම් කෝවිල නොහොත්  තම්මාත් තිමාක්කස්වරම් කෝවිල  පුරාණ වරාය නගර වන මාන්තෝට්ටම් සහ කුදිරමලෙයි නගර ආසන්නයේ පිහිටා ඇති පංච ඊශ්වරම් කොවිල්වලින් මන්නාරම් ප්‍ර‌ෙද්ශයේ පිහිටා ඇති කෝවිලය. 16 වන සියවසේ අග භාගය දක්වා එහි සංවර්ධනයට දායක වූ පල්ලව, පාණ්ඩ්‍ය සහ චෝළ රජවරුන් විසින් මෙම කෝවිල නඩත්තු කළ බවට පශ්චාත් සම්භාව්‍ය යුගයේ සාහිත්‍ය හා සෙල්ලිපිවලින් සනාථ වේ. ක්‍රි. ව. 1575 දී කේතීස්වරම් කෝවිල පෘතුගීසින් විසින්  විනාශ කරන ලද අතර 1589 දී එහි පූජා පැවැත්වීම නවතා දැමිණි... 1872 දී අරුමුක නාවලර්ගේ ඉල්ලීම පරිදි 1903 දී එම කෝවිල යළි මුල් ස්ථානයේ ගොඩනඟන ලදී.

කේතීස්වරම් කෝවිලේ ආරම්භය පිළිබඳ නිෂ්චිත වාර්තා නොමැති වුවද ප්‍රවීණ විද්වතෙකු හා ඉතිහාසඥයකු වන ආචාර්ය පෝල් ඊ. පීරිස් මහතාට අනුව මෙය ක්‍රි.පූ 600 වැනි කාලයේ ආරම්භ කළ බවට සිතිය හැකිය.  මාන්තායි වරාය ආසන්නයේ ජීවත් වූ කරෙයාර් නාග ගෝත්‍රයේ ආදිවාසීන් විසින් ඉදිකරන ලදැයි විශ්වාසයක් පවතී. 10 වන සියවසේ චෝළ සෙල්ලිපි කිහිපයක කේතීස්වරම් කෝවිල පිළිබඳව සඳහන් වී තිබේ. රාමායණයට අනුව රාවණා රජුගේ බිරිඳ වන මන්දෝදරි මන්තායිහි කුමරියක බවත් ඇගේ පියා වූ මායන් රජු ශිව දෙවියන් වන්දනාමාන කිරීම සඳහා කේතීශ්වරම් කෝවිල ඉදි කළ බවත් සඳහන්ය. 

• ත්‍රිකුණාමලයේ කෝනස්වරම් කෝවිල

ත්‍රිකුණාමලයේ කෝනස්වරම් කෝවිල  හෙවත්  තිරුකෝණමලෙහි කෝන්සාර් කෝවිල නැගෙනහිර පළාතේ පිහිටි සම්භාව්‍ය-මධ්‍යකාලීන හින්දු කෝවිලකි.. ශ්‍රී ලංකාවේ පංච ඊශ්වරම් කෝවිල් අතුරින් වඩාත් පූජනීය කෝවිල ලෙස සැලකෙන මෙය චෝලයන් හා පුරාණ පාණ්ඩ්‍ය රාජධානියේ පංච ද්‍රවිඩයන්ගේ පාලන සමයේදී ඉදිකරන ලද්දකැයි පැවසේ. පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය සහ යාපනයේ ද්‍රවිඩ සම්භාව්‍ය ලක්ෂණ මෙම කෝවිලේ දැකිය හැකිය. 

ක්‍රි.පූ. 205 දී සංවර්ධනය කරන ලද මුල් කෝවිල් සැලැස්මට පසුව ප්‍රධාන කුලුනු දහසක් සහිත  &අයිරාම් කාල් මන්ඩපම්* ශාලාව සහ  සහ එලාර  මනුනීදි චෝලන් රජු විසින් එක් කරන ලද ජගති වැනි ප්‍රධාන අංගයන් එක්විය. ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉතාම පැරණි ශ්‍රේෂ්ඨ ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන කෝනේස්වරම් කෝවිල කළුගලින් ඉදිකර ඇති අතර මධ්‍යකාලින යුගයේදී  රන් ආලේපිත ගෝපුරම් කුලුනු (කෝවිලට ප්‍රවිශ්ට වීමේ දොරටුව සහිත කුලුණු ) ඉදිකර තිබේ.. දැවැන්ත ගෝපුරම් කුලුනක් සහිත ප්‍රධාන හින්දු සිද්ධස්ථාන තුනෙන් එකක් වන මෙය ලොව පුරා හින්දු බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍රවූ පුදබිමකි. ක්‍රි. ව. 1622 සිට 1624 අතර කාලයේ  පෘතුගීසින් විසින් මෙය විනාශ කරන ලද අතර ඔවුන්ගේ බලකොටුව ඉදිකිරීම සඳහා යොදා ගත්තේ කෝවිල ඉදිකර තිබූ කළුගල්ය.

මහා භාරතය, රාමායණය සහ යල්පාන වෛපවමාලෙයි වැනි පුරාණ ග්‍රන්ථවල මෙම කෝවිල පිළිබඳ තොරතුරු සඳහන්වේ.  රාමායණය අනුව රාවණා රජු හා ඔහුගේ මව මෙම කොවිලේ ඇති ශිව ලිංගය වන්දනාමාන කර ඇතැයි සඳහන්ය. ස්වාමි කන්දේ ඇති විශාල පැල්ම රාවණාගේ ශක්තිය පෙන්නුම්කරන්නක් බවද එහි සඳහන්ය. කෝනේස්වරම් කෝවිලේ ඇති ශිව ලිංගය රාවණා විසින් කයිලාස කන්දේ සිට ගෙන එන ලද ස්වයම්බු ලිංගම් 69න් එකක් ලෙස  විශ්වාසයක් පවතී.

• හලාවත මුන්නේශ්වරම් කෝවිල

හලාවත පිහිටි මුන්නේශ්වරම් කෝවිල ශිව දෙවියන් වෙනුවෙන් කැප කර ඇති පංච ඊෂ්වරම් කෝවිල් පහෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති කෝවිලය. ක්‍රි. ව. 1000 වැනි කාලයේ ඉදිකර ඇතැයි සලකෙන මෙහි ප්‍රධාන ශිව කෝවිලට අමතරව ගණ දෙවි, අයියනායක සහ කාලි දෙවඟන වෙනුවෙන් කෝවිල්  හා දේවාල තුනකින් හා බෞද්ධ විහාරයකින් සමන්විතය. 19 වැනි සියවසින් පසු මෙම කෝවිල බෞද්ධ ජනතාව අතරද ප්‍රචලිත වූ අතර එහි ඇති කාලි කෝවිල බොහෝ බෞද්ධයන්ගේ ආකර්ශණය දිනාගත් ස්ථානයක් බවට පත්ව තිබේ. අයියනායක දේවාලය හා බෞධද් බෞද්ධ විහාරස්ථානය හැර අනෙකුත් කෝවිල්වල පාලනය දෙමළ පවුල් කිහිපයක් අත පවතී.

ශිව දේවාලය ගෞරවණීය හා විශාලතම කෝවිල වන අතර එය හින්දු භක්තිකයන් අතර ජනප්‍රියය.

දෙමළ පුරාවෘත්තයකට අනුව, මුන්නේස්වරම් කෝවිල පිහිටා ඇත්තේ අයෝධ්‍යාවේ රාමා, ලංකාවේ රාවණා සමඟ කරන ලද යුද්ධයෙන් පසු දෙවියන්ට යාච්ඥා කළ ස්ථානයේ යැයි පැවසේ. තවත් පුරාවෘත්තයකට අනුව කාලි දෙවඟන ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස්ස ස්ථානය මුන්නෙස්වරම් බව පැවසෙයි. සිංහල  පුරාවෘත්තයන්හි තවදුරටත් සඳහන් වන්නේ කාලි යක්ෂණිය මිනිසුන් අනුභව කළ බැවින් එය වැළැක්වීම සඳහා සිංහල දෙවඟනක වන පත්තිනි විසින් ඇයව මුන්නෙස්වරමේ පදිංචි කිරීමට කටයුතු කළ බවයි. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඓතිහාසික දෙමළ පත්තුව නමින් හැඳින්වූ ප්‍රදේශයේ පිහිටා ඇති මිශ්‍ර සිංහල හා දෙමළ ජනගහනය සහිත ගම්මානයක් වන මුන්නෙස්වරම්හි පිහිටි  මුන්නේස්වරම් කෝවිලේ ශිව දේවාලයට අවට ගම්මානවල ඉඩම් විශාල ප්‍රමාණයක් අයිති අතර එය  කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ සමයේ සිට හිමි වූවකි. පෘතුගීසින් විසින් මෙම කෝවිල දෙවරක් විනාශ කරන ලදී. දේවාල අත්තිවාරම මත ජේසු නිකායිකයන් කතෝලික දේවස්ථානයක් ඉදි කළද, පසුකාලීන එය ඉවත් කර ප්‍රදේශවාසීන් විසින් කෝවිල ප්‍රතිසංස්කරණය කරන ලදී. දෙමළ ජනයා අතර ඇති තවත් විශ්වාසයක් නම් මෙම කෝවිල ප්‍රතිසංස්කරණය කරන ලද්දේ සුප්‍රසිද්ධ චෝළ රජෙකු වන කුල්ලකෝටන් විසින් බවයි.. සුව කළ නොහැකි සමේ රෝගයකින් පෙළුණු රජු නටබුන් වූ කෝවිලේ පොකුණෙන් ස්නානය කිරීමෙන් පසු සුවය ලැබීම නිසා. එය අලුත්වැඩියා කොට එය පවත්වාගෙන යෑම සඳහා කෝවිල්  භාරකරුවන් පිරිසක් පත්  කළ බවයි.

• දෙවුන්දර තෙනවරාම් කෝවිල 

තෙනවරම් කෝවිල අතීතයේ හැඳින්වූයේ තෙවන්තුරෙයි කෝවිල නැතිනම් නාගරිස නීල කෝවිල ලෙසිනි. දකුණු පළාත ප්‍රධාන කරගත් දෙවුන්දර ප්‍රෙද්ශයේ පිහිටා තිබූ මෙම කෝවිලේ ප්‍රධාන දෙවියා වූයේ  තෙනවරායි නයනාර් (උපුල්වන්)ය.  එහි ප්‍රධාන කෝවිල් මන්දිර අටක් තිබිණි.. විෂ්ණු සහ ශිව දෙවියන් සඳහා වෙන්වූ ප්‍රධාන කෝවිල් දෙකක් තිබූ අතර  එම කෝවිල් දෙකෙහි  පරිපාලනය හා නඩත්තුව සිදු කරනු ලැබුවේ හින්දු දෙමළ වෙළෙන්දන් සහ පන්සියයකට අධික දේවදාසියන් විසිනි. 

මෙම කෝවිල් සංකීර්ණය කේරළ හා පල්ලව ශෛලියේ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයෙන් නිර්මාණය කර තිබිණි.. සිංහලයන් විසින් උපුල්වන් ලෙස හැඳින්වෙන විෂ්ණු (තෙනවරායි නයනාර්) වෙනුවෙන් කැප කරන ලද ප්‍රධාන කෝවිල දෙමළ ජනතාව අතර මෙන්ම බෞද්ධයන් අතරද ජනප්‍රිය විය. කෝවිල් භූමියේ ඇති අනෙකුත් කෝවිල් ශිව ගනේෂ, මුරුගන්, සහ කන්නගි වෙනුවෙන් වෙන් කර තිබූ අතර ද්‍රවිඩ ශෛලියේ පාෂාණ ඉදිකිරීම් මෙහි දැකිය හැකිය.  අතීතයේ තෙනවරාම් කෝවිලට නගරයේ සහ අවට ගම්මානවල දේපළ හා ඉඩම් අයත් වූ අතර ඒවා  මධ්‍යතන යුගයේ මුල් භාගයේ රාජකීය ප්‍රදාන මගින් ලද ඒවා යැයි පැවසේ. 

ඉන්දියන් සාගරයට මුහුණ ලා ඉදිකර තිබූ තෙනවරම් කෝවිලේ ගෝපුර කුලුනු හා ඒවායේ වහල පිත්තල, රන් හා තඹ තහඩු වලින් ආවරණය වී තිබිණි.. එහි පිටත සංකීර්ණ කැටයම් සහිත අංගෝපාංගයන්ගෙන් සමන්විත වූ අතර, විවිධාකාර ආරුක්කු හා දොරටුවලින් සමන්විත විය. වෙළඳාම සඳහා වරායට පැමිණි නාවිකයන්ට තෙනවරම් කෝවිල පෙනුණේ රන් නගරයක් ලෙසිනි.

පෘතුගීසී ආගමනයෙන් පසු මුළු දකුණු වෙරළ තීරයම විනාශ කළ පෘතුගීසි කර්නල්වරයකු වූ තෝම් ඩි සූසා ඩි ඇරොන්චස් විසින් මෙම කෝවිල් භූමියද විනාශ කරන ලදී. පෘතුගීසින් තෙනවරම් කෝවිල හැඳින්වූයේ &තනුවරේ පැගෝඩා* ලෙසිනි. එවක කොළඹ නගරය වටලනු ලැබූ සීතාවක රාජසිංහ රජුගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ඔවුන් මෙම කෝවිල ගිනිබත් කරන ලදි. එහි තිබූ  ඇත්දළ, මැණික් හා සඳුන් දැව සහ ධනය කොල්ල කෑ ඔවුහු පිළිම දහස් ගණනක් විනාශ කර කෝවිල තුළ ගවයන් මරාගෙන කෑහ. කෝවිල සතු දේපළ කතෝලිකයන්ට පවරන ලදී. පසුකාලීනව සොයා ගන්නා ලද 5 සියවසේ සිට 7 වන සියවස දක්වා කාලයට අයත් ගණදෙවි ප්‍රතිමා, ශිව ලිංග, නන්දි මූර්ති සහ විෂ්ණු කෝවිලේ 10 වන සියවසට අයත් මකර තොරණ ආදිය මගින් තෙනවරාම් කෝවිලේ පැවැති පල්ලව කලා ආභාෂය සහ දිවයිනේ දකුණට කළ දායකත්වය පිළිබිඹු කරයි. ජේම්ස් එමර්සන් ටෙනන්ට් තෙනවරම් කෝවිල පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ විනාශයට පෙර දිවයිනේ තිබූ වඩාත්ම අලංකාර හින්දු දේවාල සංකීර්ණය එය බවය.

බ්‍රිතාන්‍ය යුගයේ අගභාගයේදී සිංහල බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව දෙවුන්දර නගරයේ “විෂ්ණු දේවාලය” යළි ඉදිකරන ලදී. එය අද දින සිංහල බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි. වර්තමානයේ එම දේවලය උපුල්වන් දෙවිඳුන් වෙනුවෙන් කැපවී තිබේ. 

විකීපීඩියා ඇසුරිනි  

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා