අලුත් අවුරුද්දේ කාගේත් පැතුම මේ උදා වූ අවුරුද්ද සුබවන්නට කියාය. අපේ පැතුමද ඒ හැටි වෙනසක් නැත. උදා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරැද්දක් වන්නට කියා අපි ඔබට පතමු. ඒ කෙසේ වෙතත් මේ කතාව ගෙවුණු අවුරුදු දෙක තුනේ ඉහිරුණු අලුත් අවුරුදු සිරිය ගැනය.
අවසානයේ අවුරුදු නැකත් අපේ අය හරියට ගත්තේ 2019 වසරේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙනි. එහෙත් එම වසරේ අවුරුදු සුබපැතුම පළ නොදැරුවේය. අවුරුද්ද සමරා සතියක් යන්නටත් මත්තෙන් ඓතිහාසික ඛේදවාචකයක් අපේ දෑස් ඉදිරිපිටම සිදුවිය. අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයත් සමග 2019 වසරේ අවුරුදු සිරිය මැකී ගියේය. ඒ වනවිටත් පවත්වන්නට නියමිතව පැවතුණු අවුරුදු උත්සව රැසක් අවලංගු විය. එතැන් පටන් අවුරුද්ද අඳුරු විය. රටම මළගමක් වූ අතර තෙත් නොවූ දෑසක් නොවුණි.
අවුරුදු අසිරිය සේම වෙසක් මහේ අසිරියත් සිරිලකට අහිමි විය. තොරන් දන්සල් පමණක් නොව පන්සල් යාමට පවා මිනිසුන්ට නොහැකි විය. සෝ බිය දෙක සකල ලක්වාසීන්ගේ හදවත් අරා පැතිරුණු අඳුරු වළා පටලයක්ම වූයේය. බක් මාසය වෙසක් මාසය පමණක් නොව පොසොන් මහේ අසිරි සිරියත් මැකී ගියේය. සැනකෙළි සිරියයි සතුටයි අහිමිව ගියත් දරාගත හැකිය. එහෙත් ආර්ථික, දේශපාලන අරාජිකත්වයක් මත ගොඩනැගෙන ජීවන බර නම් දරා ගැනීමට පහසු නැත. 2019 වසර පුරා මෙය මනාව පැහැදිලි විය.
සංචාරක හෝටල්ද පාස්කු ප්‍රහාර ඉලක්ක වූයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටුණි. සංචාරක ව්‍යාපාරය ජීවන උපාය කරගෙන සිටි මිනිසුන් මැදි වූයේ මහත් අර්බුදයකටය. බොහෝ සංචාරකයෝ සිය ගුවන්ගමන් වාර අවලංගු කළහ. ගොවිතැන් බතක් කරගෙන ජීවත් වූ මිනිසුන්ටද වෙළෙන්ඳන්ටද උදාවූයේ යහපත් කාලයක් නොවේ. පාස්කුවේ කම්පනය ඔවුන් සියල්ලන්ටම දැනුණේය. දරුවෙකුගේ පාසල් බෑග්එකට පවා මිනිස්සු බියවූහ. ඒ අතර අභ්‍යන්තර බල දේශපාලන අර්බුද එකිනෙකාට චෝදනා කර ගැනීම් හා වගකීම් පැහැර හැරීම් ආදිය ජනතාව තුළ ඇති කළේ අතිමහත් වූ කලකිරීමකි.
මිනිසුන් සැමවිටම පතන්නේ සුඛිත මුදිත රාජ්‍යයක සුවපහසු ජීවිතයකි. අලුත් අවුරැද්දක් එළඹෙනවිට මිනිසුන් එකිනෙකාට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි සුබපතා ගන්නේද එබැවිනි. සුඛිත මුදිත යහපත් ජීවිතයක් උදාකර ගැනීමේ අරමුණෙන් ඔවුහු නොයෙක් දෑ කරති. 2019 නොවැම්බර් මස ඡන්ද පත්‍රිකාව මත කතිරයක් ලකුණුකොට දැරූ උත්සාහයද එවැන්නකි. නැවුම් බලාපොරොත්තුවකි. සියලු දුක්ඛ දෝමනස්සයන් කතිරයක් මගින් වෙනස් කළ හැකිය යන්න මිථ්‍යාවකි. කෙසේ නමුත් ඒ මිත්‍යාවම සතුටක් කොට මෙරට ජනයා සෑමදා උදම් වෙති.
2019 වසරේ අග නව බලාපොරොත්තු රැසක් පූදින ලකුණු පහළ විය. එහෙත් නත්තලේදී පවා ප්‍රවේශම පළමුතැනට පත්වූයේය. උදාවුණ 2020 නව වසර පිළිබඳ නොයෙක් සුභ අනාවැකි රූප පෙට්ටියෙන් අපේ ආලින්දයට ආ ජ්‍යොතිෂ තරු ප්‍රකාශ කළහ. එහෙත් ගතවූයේ මාස දෙකක් පමණි. මුළු ලෝකයම එකිනෙකා පිටුපස අඳුරු වූ මගකට පිය මැන්නේය. කෙළවරක ආලෝකයේ සේයාවකුදු නැති මේ ගමන අත්‍යන්තම භයානක විය. චීනයේ වූහාන් නගරයෙන් ඇරැඹි ඒ වසංගතය ලොවපුරා පැතිර ගියේ අරුමපුදුම වේගයකිනි. චීන කතක් වසංගතය රැගෙන මෙරටට පැමිණි මුත් පුදුමයකට මෙන් ඇය සුවපත් විය. වසංගතයෙන් අප රැකුණ බව සිතූ අපේ ඇත්තෝ ඇගේ මුවමඬලට හාදු දී ඇයව චීනයටම පිටත්කර යැවූහ.
අවසානයේ මිල්ල සොයා ඉතාලි ගිය අපේම ඉසුරුමත් දූ පුතුන් දායාද රැගෙන මෙරටට පැමිණියෝය. එය වූ කලී ඔවුන් විසින් රැගෙන ආ මුත් කෙලෙසක හෝ අප කරා පැමිණීමට තිබූ විපතකි. පුංචි රෝමය සහ තදාසන්න ප්‍රදේශ පළමුව කොරෝනා වසංගතයට ගොදුරු වූ අතර ක්‍රමයෙන් වසංගතය රටපුරා පැතිර යන්නට විය. වසංගතය මඩින්නට පාලකයෝද බොහෝ දේ කළහ. එහිදී පමණක් සබුද්ධික වන ලක්වාසීහු මෙවරද පෙරට ආවෝය. අප්‍රමාණ කැපකිරීම්වලින් කොරෝනා වසංගතයේ පළමු වටය අපි ජයගතිමු.
ඒ අනුව 2020 සිංහල අලුත් අවුරුද්දද රුදුරු කොරෝනා වසංගතයට බිලිවිය. සංචරණ සීමා නිසාවෙන් සියල්ලෝම පාහේ තම නිවෙස්වල කොටුවී සිටියෝය. නව වස්ත්‍රාභරණද කැවුම් කොකිස්ද සැනකෙළි සිරියද නොමැතිව අලුත් අවුරුද්ද ගෙවී ගියේය. අවුරුදු සුභපැතුම් පළ නොදැරුවේය. කෙසේ නමුත් සැරයටියක් පවා පැල වෙතැයි කියැවෙන ලක් පොළොව මත වවා දිනන්නට බොහෝ දෙනා සිතූ බව නම් මතකය. වසංගතයේ පළමු ඉනිම නිමා වුවද දෙවෙනි ඉනිම අඛණ්ඩව විකාශය විය.
අවුරුදු සමයේ වසංගත මැතිවරණ කතාව නොකියාම බැරිය. මැතිවරණය කල් දමන්නට පාර්ලිමේන්තුව නැවත කැඳවන්නට කියා පිරිසක් කීහ. රට බේරාගැනීමට නම් මැතිවරණය අවැසිම බව අනෙක් පිරිස කීහ. අවසානයේ කල්දැමුණු මැතිවරණය කෙසේ හෝ පැවැත්විණි. තිරයේ දිස්වූයේ නම් ජීවිත සුඛිත මුදිත කරගත හැකි අරුමැසිම දෙය මැතිවරණයයි. හුදී ජනයා යළිත් එය විශ්වාස කළහ. ඒ ලංකා ඉතිහාසයේ විශ්මිත මැතිවරණ ප්‍රතිඵලයකි. එහෙත් එම ප්‍රතිඵලයේ පල තවමත් දරා නැත.
2020 වසරේද වෙසක් පොසොන් ඇතුළු දන්නා සියලු උත්සව රට්ටුන්ට අහිමි විය. වසංගතයේ පළමු රැල්ලේදී ජය ලබා බඩ පිනුම් ගසා ලෝකය හමුවේ අප උදාන කී බව සැබෑය. එහෙත් පෑලියගොඩින් මිනුවන්ගොඩින් කොළඹින් උදා වූ කොරෝනා පහරදීම දරා ගැනීමට පහසු වූයේ නැත. දිනපතා ආසාදිතයන් සිය ගණනක්ද මරණ කිහිපයක්ද වාර්තා වන තත්ත්වයක් උදා වූයේය. රටේ ණයබර සහ කොවිඩ් ආර්ථික අර්බුදය සියල්ල කැටි වූ තැන අපේ ජීවන බර එන්න එන්නම වැඩිවිය. කෙසේ නමුත් 2020 වසර අහවර වනවිට මාස්ක් දැමූ මිනිසුන්ගේ අලුත් ලෝකය මෙරට ජනතාවට තවදුරටත් නුහුරු නොවුණි.
උදාවූ දශකයේ එකම සුබපලය වූයේ වසංගතය මඩින්නට සොයාගත් ප්‍රතිශක්තිකරණ එන්නතයි. බලාපොරොත්තු දලුලා වැඩෙද්දී වසංගතය ජීවිතයේම කොටසක් බවට පත් වී තිබුණි. අප්‍රමාණ කරදර බාධක දුක්ඛ දෝමනස්සයන් තිබුණද උදා වූ නව වසරේ අපට බලාපොරොත්තු නැත්තේ නොවේ. එමනිසාම උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි කීමට අපි නොපැකිල වෙමු. හිරු පායා නොමැතිමුත් අරුණාලෝකයේ සේයාව පවා අප තුළ ජනිත කරන්නේ අප්‍රමාණ ප්‍රීති ප්‍රමෝදයකි.
චමිඳු නිසල් ද සිල්වා