සිය අයිතීන් දිනාගැනීමට හෝ තමන්ට සිදුවූ අසාධාරණයන්ට එරෙහිව ලෝකයේ කලින්-කලට, පළින්-පළට විවිධ විරෝධතා ඇවිළ යයි. මේ සමහර විරෝධතා ප්‍රචණ්ඩකාරීය. නමුත් සමහර විරෝධයන් සාමකාමී මෙන්ම ඒවාටම අනන්‍ය වූ අපූර්වත්වයක් කැටි කොටගත් ඒවාය. සිවිල් ජනතා නැගිටීම් ලෙස ලොව නන්දෙසින් වාර්තාවී ඇති මේ අමුතු විරෝධතාවන් ඔස්සේ ඔවුන් සිය අරමුණු සපුරාගත් අවස්ථාවන්ද විරළ නොවේ. ඉතාමත් මෑත කාලයේ අපට දක්නට අසන්නට ලැබුණු අපූරුම ජනතා විරෝධය නැතිනම් සිවිල් විප්ලවය වාර්තා වූයේ මියැන්මාරයෙනි. එය මියැන්මාර කතුන්ගේ මෙහෙයුමකි. ඔවුන් එය හඳුන්වා ඇත්තේ “සරම්” විප්ලවය ලෙසිනි.
මාර්තු අටවැනිදා, ජාත්‍යන්තර කාන්තා දිනයේ සිට මියන්මාර කාන්තාවන් ඔවුන්ගේ සරොම් ලී කණුවල ගැටගසා ප්‍රදර්ශනය කරමින් යුදහමුදා පාලනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටි අතර එය නම්කරන ලද්දේ “සරම් විප්ලවය” යනුවෙනි. “අපේ සරම; අපේ ධජය; අපේ ජයග්‍රහණය” යන්න ඔවුන්ගේ සටන් පාඨයයි.
මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හදිසියේ පෙරළා දමා එරට බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාවට එරෙහිව කාන්තා පරපුර මාවතට බැස්සේ අමුතු සටන් සංකේතයක් රැගෙනය. ඒ ඔවුන් අඳින සරමයි. නැත්නම් ලුන්ගියයි. වයස් භේදයක් කුලමල භේදයක් නැතිව සමාජයේ සෑම තරාතිරමකම කතුන් අඳින සාම්ප්‍රදායික මේ ඇඳුම එම කාන්තාවන් විසින් හමුදා පාලනයට එරෙහිව භාවිත කරනු ලබන නිහඬ-සාමකාමී අවියක් වී තිබෙන්නේ අපූරැතම හේතුවක් නිසාය.
බුරුම භාෂාවෙන් (Htamein) යනුවෙන් හඳුන්වනු ලබන එම කාන්තා ඇඳුම සටන් ආයුධයක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාද? ඊට හේතුව කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් එම සමාජයේ පවතින සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයකි. එනම් කාන්තාවකගේ සරමක් හෙවත් (ලුන්ගියක්) (Htamein) යටින් පුරුෂයකු ගමන් කළොත් ඔහුගේ බලය සහ තේජස් මහිමය අවසන් වන්නේය යන මියන්මාර් සමාජයේ මුල් බැසගත් සාම්ප්‍රදායික විශ්වාසයයි. (තේජස) බුරුම භාෂාවෙන් හැඳින්වෙන්නේ (hpone) යන වචනයෙනි. පුරුෂයෙක් කාන්තා ඇඳුමක් යටින් ගියොත් (තේජස), නැතිනම් (hpone) අහිමිවේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි.
ඉතින් මියන්මාර් කාන්තාවන් ඔවුන්ගේ (Htamein) සරම් රෙදි වේලන ලණුවල එල්ලා හෝ ලී කෝටු ආදියේ අමුණා ප්‍රදර්ශනය කරමින් ගෙන යමින් දැන් මෙය අලුත්ම -අමුතුම සටන් උපක්‍රමයක් බවට පත් කරගෙන ඇත. ආරක්ෂක හමුදාව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනයා පදිංචි කලාපවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා කාන්තාවන් භාවිතාකර ඇත්තේ එරට පිරිමින්ට හූනියමක් බඳුවූ තම (සරොම්) මාවත ඉහළින් එල්ලා තැබීමය.
ඇතැම් ස්ථානවල එම උපක්‍රමය මගින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරුවෙමින් ඇති, සිය මෙහෙයුම් සඳහා ඉදිරියට යාමට පෙර පොලිස් නිලධාරීන් කාන්තාවන් විසින් එල්ලා තබන ලද (සරොම්) වැල් කපා ඉවත්කරන දර්ශන සහිත පින්තූර සහතික කරයි.
විරෝධතාවාදීන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මියන්මාරයේ යුදහමුදා පාලනය අවසන් කරන ලෙසය. එසේම අවුං සාන් සූකී ඇතුළු මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින සියලු නායකයන් මුදාහරින ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. පසුගිය පෙබරවාරි මස පළමුවැනි දිනයේ බලය අල්ලාගත් දින පටන් යුද හමුදා ජුන්ටාව විසින් අවුං සාන් සූකී රඳවා තබනු ලැබ ඇත.
මෙදා මියන්මාර කාන්තාවන්ගේ (සරොම් විප්ලවය) අතීතයේ මේ සරම සුභ නිමිත්තක් සේ භාවිත කළ අවස්ථාවක්ද මතකයට නංවයි. එක්සත් රාජධානියේ වෙසෙන බුරැම ගත් කතුවරියක සහ ‘පොඩ්කාස්ට්’ සන්නිවේදනකාරියක වන (podcaster) මිමී ආයේ ඒ අතීත කතාව මතකයට නංවා ඇති තැනැත්තියයි. කාන්තා සරම වාසනාවේ සංකේතයක් හැටියට සලකන ලද පැරැණි සම්ප්‍රදායක්ද පැවති බව ඇය කියන්නේ තවත් විරෝධතා ව්‍යාපාරයක් මතකයට නංවමිනි. ඒ 1988 දී දියත්වූ (8888) විරෝධතා ව්‍යාපාරයයි.
(ඉස්සර කාලේ මිනිස්සු යුද්දෙට යද්දී ඔවුන්ගේ අම්මලාගේ සරමක කුඩා කැබැල්ලක් අරගෙන ගිහින් ඔවුන් එම රෙදි කැබැල්ල කන්පෙති වැසීමට යොදාගෙන තියෙනවා. ඒ අන්දමට 1988 දී උද්ඝෝෂකයන් වාසනාවේ සංකේත හැටියට සිය මව්වරැන්ගේ සරම් කැබලි ලේන්සු හැටියට පාවිච්චි කළා. ඒවා හිස වටා ගැට ගසාගෙන හිටියා) මිමී ආයේ ඒ සිද්ධිය බී.බී.සී.යට විස්තර කර තිබුණේ එසේය.
මේ විරෝධයටම තවත් විප්ලවීය ක්‍රියාකාරකමක් ඔවුන් එක්කර තිබේ. ඒ මියන්මාරයේ බලය පැහැරගත් ජ්‍යෙෂ්ඨ ජනරාල් මින් අවුං හ්ලේන්ග්ගේ පින්තූර කාන්තා සනීපාරක්ෂක තුවාවල අලවා ඒවා මහමග ඔස්සේ විසිකර දමනු ලැබීමය. එමගින් බලාපොරොත්තු වන්නේ යුදහමුදා භටයන් පෙරට ඒම වැළැක්වීමය. හමුදා සොල්දාදුවන් තම නායකයාගේ මුහුණ මත ඔවුන්ගේ පා තබමින් පාගා නොදමනු ඇත.
මර්දනය දරුණු නමුත් මියන්මාරයේ කාන්තාවෝ සිය සටන අත් නොහරිති. ඔවුහු හමුදා පාලනයට එරෙහිව දිගටම තම සරම උපයෝගීකර ගනිමින් සිටිති. එසේම ඇඟිලි තුනේ ආචාරයද මියන්මාර විරෝධතා ව්‍යාපාරයේ සංකේතය බවට පත්ව ඇත. මියැන්මාරයේ විරෝධතාව අපේ කාලයේ තවත් සුවිශේෂී විප්ලවයක් අපට සිහිපත් කරදෙයි. ඒ හොංකොංහි පැවැති චීන අතපෙවීමට එරෙහි මහා විරෝධතාවයි. ලෝකයේම අවධානය දිනාගත් මේ ජනතා විරෝධය තවමත් අළු යට ගිනිපුපුරු මෙන් දළුලන්නකි.
1842 වසරේ සිට බ්‍රිතාන්‍ය යටතේ පැවති හොංකොං, චීනය විසින් පවරා ගන්නේ 1997 වසරේදීයි. එතැන් පටන් චීනය විසින් හොංකොං රාජ්‍ය පාලනය වන අතර එම ක්‍රමය හඳුන්වන්නේ “එකම රටක් - පාලන ක්‍රම දෙකක්” ලෙසටය. චීනය විසින් හොංකොං වෙත සිදුකරන අනවශ්‍ය දේශපාලන අතපෙවීම්වලට එරෙහිව එරට ජනතාව අවස්ථා ගණනකදී විරෝධතා ව්‍යාපාර මෙහෙයවා ඇති අතර මේ මෑතකදීද එවැනි විරෝධතා ව්‍යාපාරයක් දරුණු ලෙස ක්‍රියාත්මක විය. ඒ හොංකොං ව්‍යවස්ථාදායකය විසින් එරටට හඳුන්වා දුන් උදර්පණ නීතියකට එරෙහිවය. මෙහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ මෙම නව නීතිය හරහා චීනයට අවශ්‍ය කෙරෙන හොංකොං වැසියන්ව චීනයට ගෙන්වාගෙන අවශ්‍ය දඬුවම් ලබාදීමට හැකියාව පවතින බවය.
චීන කොමියුනිස්ට් රජයට විරුද්ධව මහා ජනගඟක් මාවත් පුරා අතුරුසිදුරු නැතිව රැස්කළ මහා විරෝධයක් හොංකොංහි පැතිර ගියේ 2014 වසරේදී ය. එය ලෝකයේම අවධානය දිනාගත්තේ “කුඩ අරගලය” ලෙස මහා ප්‍රසිද්ධියක් ලබා ගනිමිනි. මෙලෙස “කුඩ අරගලය” ලෙස එයට නම් තැබීමට හේතුව වන්නේ බොහෝ විරෝධතාකරුවන් කහ පැහැ හා වෙනත් පැහැ කුඩ ඉසලාගෙන හා විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඔස්සේ විරෝධතාවයට එක් වී සිටීම නිසාය. පසුව එය ලෝකය පුරා ප්‍රසිද්ධ වන්නේ කහ කුඩ විරෝධතාවය ලෙසටය. බහුතරය කහකුඩ රැගෙන පැමිණීම නිසාය.
2014 වසරේ සැප්තැම්බර් 22 වැනි දින මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ විය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ හොංකොංහි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකි. ඔවුන්ගේ සංවිධානය වන්නේ හොංකොං ශිෂ්‍ය ෆෙඩරේෂණය යි. පසුව එරට විපක්ෂයේ පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු පාර්ශව දහයකට වඩා වැඩි පිරිසක්ද එක්වීමත් සමග කුඩ විරෝධයට සහභාගී වූ මුළු විරෝධතාකරුවන් ප්‍රමාණය මිලියන 1.2ක් දක්වා ඉහළ නැංගේය.
“කුඩ විප්ලවය”, හෙවත් Umbrella Revolution, ලෙස මේ විරෝධතාවයට මුලින්ම නම දැම්මේ බටහිර මාධ්‍යවේදියෙකු වෙන ඇඩම් කොටම් විසිනි. ඔහු විසින් නිකුත් කෙරුණු ට්විටර් පණිවුඩයක එය මුල්න්ම එලෙස සටහන් ව තිබුණි.
මෙම විරෝධතාවලට හොංකොං පොලීසියෙන් නිරන්තර බාධා එල්ල වූ අතර විශේෂයෙන් ඔවුන් එල්ල කරන ගම්මිරිස් දියර ස්ප්‍රේවලින් ගැලවීමට තම මුහුණ වසා ගැනීම සඳහා විරෝධතාකරුවන් විසින් මුලින්ම කුඩ භාවිතා කැරිණි. ඉන්පසු අධික හිරු රැසෙන් ආරක්ෂා වීමත්, ඇඩම් කොටම්ගේ අපූරු භෞතිස්මයෙන් පසු සිය විරෝධතාවය නිර්මාණාත්මක අන්දමින් පවත්වාගෙන යාම හා විරෝධතාවය සඳහා ජාත්‍යන්තර මාධ්‍ය අවධානය ලබාගැනීම, මෙම කුඩ භාවිතා කිරීමේ අරමුණු ලෙස ඉදිරියට ආවේය.
හොංකොං වැසියන්ගේ මෙම අමුතු පන්නයේ විරෝධතා අරුමෝසම 2014 වසරේ ඔක්තොම්බර් මාසය වනවිට ලෝකය පුරා නගර 64ක වැසියන් කොපිකර තිබුණි. ඔවුන්ට සිය සහාය පල කරමින් මේ නගරවැසියන්ද කුඩ අමෝරාගෙන වීදි ආක්‍රමණය කළහ. නමුත් සැප්තැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා දින 79 ක් පුරා පැවති උද්ඝෝෂණය අවසන් වන්නේ කිසිදු ජයග්‍රහණයකින් තොරවයි. ඒ හොංකොං රජයේ ආරක්ෂක අංශයන් දිගින් දිගටම කළ දැඩි මර්දන හමුවේය. ඒ සඳහා චීනය කළ බලපෑමද අති විශාලය. ඒ වුවද හොංකොං පාලනයට එරෙහි උද්ඝෝෂණ තාම නිමාවක් නොවී ඇත.
මෑතකාලීන තවත් එබඳු අපූරු විප්ලවයක් වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. චිත්‍රපට ලෝකයත් නාට්‍ය වේදිකාවත් ආක්‍රමණය කළ මේ විප්ලවය ඇවිල යන්නේ කාන්තාවන්ට සිදුවන අසාධාරණයට එරෙහිවය. එයට මුල්වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි බන්දල්ඛාන්ද් පළාතේ දිළිඳු, නූගත් පවුලක සාමාජිකාවක වන සම්පත් පාල් නමැති කාන්තාවකි. 12 හැවිරිදි වියේදී ළමා විවාහයකට පත් කෙරෙන ඇය, 15 වැනි වියේදී සිය පළමු දරැවා බිහි කරන්නීය. ඒ හේතුවෙන්, ඇය උගත් පාසලෙන්ද නෙරපනු ලබයි. ඉන්පසුව, සම්පත් පාල් තවත් දරුවන් සිවුදෙනකු බිහිකරයි.
ඇගේ අසල්වැසි නිවසේ සිටි මිතුරියක නිතරම වාගේ සිය සැමියාගේ වධහිංසනයට ලක්වෙනු දුටු සම්පත් පාල් තම මිතුරිය සමඟ පොලීසියට යයි. පොලීසියෙන්ද කිසිදු සැලකීමක් නොලැබෙයි. අවසානයේදී මෙම අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට තීරණය කරන සම්පත් පාල්, අසල්වැසි ස්ත්‍රීන්ද කැඳවාගෙන තම මිතුරියගේ සැමියාට පහර දෙයි. “රෝස සාරි කල්ලිය” යන අරුත් දෙන “ගුලාබ් ගෑන්ග්” (Gulaab Gang) නමැති කාන්තා සංවිධානය ඇරැඹෙන්නේ එම සිද්ධිය පදනම් කර ගනිමිනි. “ගුලාබ් කල්ලියට” එම නම වැටෙන්නේ ඔවුන් තම “නිල ඇඳුම” වශයෙන් තද රෝස පැහැති සාරිය තෝරා ගැනීම නිසාය. පෙළපාලි යනවිට රෝස පැහැති යෂ්ටියක්ද රැගෙන යති. යුක්තිය, අසාධාරණය, වංචා දූෂණ හා කුල පීඩනය මුල්කොට සිදුවීම්වලදී නීති මාර්ගයෙන් ක්‍රියා කරන ලෙස පොලිසියට බලපෑම් කරන “ගුලාබ් ස්ත්‍රීහු” එය ඉටු නොවන තැන “කැලෑ නීතිය” ක්‍රියාත්මක කළහ. කිසිවකුගෙන් පිහිටක් නැතිව අසරණව සිටි ස්ත්‍රීන්, සම්පත් පාල්ගේ නායකත්වය වටා එක්රොක් වන්නට වූ අතර, එහි සාමාජිකත්වය දෙලක්ෂය ඉක්මවා ගියේය.
සම්පත් පාල්ගේ මෙම කාන්තා සංවිධානයට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලැබෙද්දී, එය හැඳින්වෙන්නට වූයේ “රෝස සාරි විප්ලවය” (Pink Sari Revolution) නමිනි. “රෝස සාරි විප්ලවය” පොතකටත් නාටකයකටත් චිත්‍රපටයකටත් වස්තු බීජය බවට පත්වන්නේ ඒවා සම්මානනීය කෘති බවටද පත්කරමිනි.
නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් කඳවුර බිඳවැටීම ලෝක ඉතිහාසයේ ප්‍රකට සන්ධිස්ථානයක් බවට පත්වූයේ 1989 වසරේදීය. ඒ කාලයේ සිදුවූ ඉතිහාසගත බර්ලින් තාප්පය බිඳවැටීම මෙහි ප්‍රධානම අවස්ථාව විය. නමුත් මේ හා සමගම අනෙකුත් කොමියුනිස්ට් රටවලද ආණ්ඩු බිඳ වැටෙන්නට වූ අතර ඒ හේතුවෙන් රටරාජ්ජ තුළ විවිද අරගල පැතිර යන්නට විය. චෙකොස්ලොවැකියාවේ “වෙල්වට් විප්ලවය” එයින් එක් කැපී පෙනෙන ලෝක අවධානය දිනාගත් අවස්ථාවකි. නැගෙනහිර යුරෝපයේ සමහර රටවල දේශපාලනික අර්බුද ඇති වෙමින් පැවතුණද, 1989 වසරේ බොහෝ කලක් යනතුරු චෙකොස්ලොවැකියාව නිහඬව පැවතියේය. බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුවත් මෙම තත්ත්වය ඒ ආකාරයෙන්ම පැවතුණි.
මෙම තත්ත්වය වෙනස් වුණේ 1989 නොවැම්බර් 17 වැනිදා පවත්වන ලද මහා සිසු විරෝධතාවයක් හේතුවෙනි. නොවැම්බර් 17 යනු අන්තර්ජාතික ශිෂ්‍ය දිනයයි. එය සමරන ලද්දේ 1939 නොවැම්බර් 17 වැනිදා නට්සීන් විසින් චෙකොස්ලොවැකියාවේ සිසු විරෝධතාවක් මැඩ පැවැත්වීම සැමරීමටය. එම සිද්ධියේ 50 වැනි සංවත්සරය දිනයේම එම සිද්ධිය සිදු වූ රටේම යළිත් සිසු උද්ඝෝෂණයක් මතුවීම මෙහි ඇති විශේෂත්වයයි. නමුත් 1939 උද්ඝෝෂණය මෙන් නොව 1989 උද්ඝෝෂණය සාර්ථක වූයේ පාලනය වෙනසක් කර රටද දෙකඩ කරමිනි.
මුලින් සිසු උද්ඝෝෂණය සංවිධානය කළේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සමාජවාදී තරුණ එකමුතුව වූ නමුත් පසුව මීට සහභාගී වූවන් විසින් එය කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂණයක් බවට පෙරළා ගන්නට යෙදුණි. මීළඟ දිනවලදී පවත්වන ලද කොමියුනිස්ට් විරෝධී විරෝධතා සහ වැඩවර්ජන සඳහා මෙය ආරම්භක සංඥාවක් බවට පත් වුණේය. සිසුන් පන්ති වර්ජනය කිරීමට පටන්ගත් අතර, වෙනත් ක්ෂේත්‍ර කරාද වැඩ වර්ජන රැල්ලක් පැතිර ගියේය. ප්‍රාග් නගරයේ මෙන්ම වෙනත් ප්‍රධාන නගරයන්හි ද වැඩවර්ජන සහ උද්ඝෝෂණ ඇති වූ අතර ප්‍රාග් හි වෙන්සෙස්ලාස් චතුරශ්‍රයේ දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වුණි.
නොවැම්බර් 19 වැනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි වැදගත් සන්ධිස්ථානයක් බවට සඳහන් වනුයේ 77 ප්‍රඥප්තිය ව්‍යාපාරය සහ වෙනත් සංවිධාන කිහිපයක් එක්ව ප්‍රජා සභාව නම් වූ විරෝධතා ව්‍යාපාරයක් ඇරඹීම සමගිනි.
ඔවුන්ට අවශ්‍ය වුණේ කොමියුනිස්ට් පාලනයම පෙරළා දැමීමයි. එය සාර්ථක වූ අතර 29 වැනිදා චෙකොස්ලොවැකියානු ෆෙඩරල් ව්‍යවස්ථාදායක සභාව විසින් එරට ව්‍යවස්ථාව වෙනස් කොට, කොමියුනිස්ට් පක්ෂය සතුව පැවති ප්‍රමුඛ ස්ථානය අහෝසි කරන්නට යෙදිණි. දෙසැම්බර් 10 වැනිදා කොමියුනිස්ට්වාදීන් නොමැති නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන් අතර, “වෙල්වට්” විප්ලවය, මගින් අන්තිමේදී 1989 දෙසැම්බර් 29 වැනිදා ජනප්‍රිය චෙකොස්ලොවැකියානු නාට්‍යකරු වැක්ලෙව් හැවෙල් බලයට ගෙන එන්නට ජනතාව සමත්වූහ. මින්පසුව, 1993 ජනවාරි 1 වැනිදා සිට චෙකොස්ලොවැකියාව නිල වශයෙන් චෙක් ජනරජය සහ ස්ලොවැකියාව යන රටවල් දෙක බවට පත්වුණි.
මේ අන්දමට ප්‍රචණ්ඩත්වයට නොවැටී අරමුණු ජයග්‍රහණය කළ වෙල්වට් විප්ලවය මෙන්ම එබඳු විවිධ නම්වලින් හැඳින්වුණු විප්ලව රාශියක් පසුගිය සමයේ ලෝකය පුරා දැකගත හැකිවිය. ඒවා අතර අමෙරිකාවේ කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග ලොවපුරා පැතිර ගිය BLACK LIVES MATTER උද්ඝෝෂණය මෙන්ම 1967දී ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් වන ඇබොරිජින්වරුන් පුරවැසියන් වශයෙන් පිළිගැනීමට සහ ඔවුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ගෙන ගිය නිර්ප්‍රචණ්ඩ ව්‍යාපාරයද, 19 වැනි සියවසේ ඔස්ට්‍රීයානු ග්‍රහණයෙන් හංගේරියාව මුදවාගත් නිර්ප්‍රචණ්ඩ විප්ලවය, 1988දී චිලීහි ඒකාධිපති පාලක ජෙනරල් පිනෝෂේ බලයෙන් පහකළ “NO” ව්‍යාපාරය, එසේම 1989දී පෝලන්ත ඒකාධිපති කොමියුනිස්ට් පාලනය බිඳදැමූ “සොලිඩැරිටි” ව්‍යාපාරය, 1986දී පිලිපීනයේ ජනපීඩක ඒකාධිපති පාලක මාර්කෝස් පලවා හැරි “People’s Power” ව්‍යාපාරය, 2001දී නැවත පිලිපීන දූෂිත පාලක එස්ට්‍රාඩා පලවා හැරි “People’s Power 2” ව්‍යාපාරය, 1989දී නැගෙනහිර ජර්මනියේ හටගත් අහිංසාවාදී ක්‍රියාවලියත් සමඟ බර්ලින් තාප්පය බිම දමා ජර්මනිය ඒකාබද්ධ කළ Friedliche විප්ලවය, 2003දී ජෝර්ජියානු ජනාධිපති එඩුවාඩ් ෂර්වර්නාඩ්සේ බලයෙන් පහකළ ‘රෝස’ විප්ලවය, 2004දී යුක්රේනයට නිදහස ගෙනා ‘ඔරේන්ජ්’ විප්ලවය, 2000දී සර්බියානු ජනාධිපති ස්ලොබොඩාන් මිලෙසොච්චි බලයෙන් ඇද දැමූ විප්ලවය, 1989දී නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරගැනීමේ අරගලයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ එම්කුසේලි ජැක් නම්වූ 27 හැවිරිදි තරුණයා විසින් නායකත්වය දෙනු ලැබූ Buying Power නම්වූ පාරිභෝගික වර්ජන ව්‍යාපාරය ආදිය ලෝකයේ සිවිල් ජනතා නැගීටීම් අතර අමුතුම ආරක් ගත් විරෝධතා අතර ප්‍රධාන තැනක් ගන්නා අපට කිසිදා අමතක කළනොහැකි සමාජ ව්‍යාපාරයන් ලෙස ඉතිහාස ගතව ඇත.
සුගත් කුලතුංගආරච්චි