කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධව ඇති වී ඇති ආන්දෝලනය සුළුපටු නොවේ. මෙම අර්බුදය ලාංකික දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් කරා ගෙන යමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මීට අදාළ පාර්ශව රැසක් අධිකරණය හමුවට ගොස් ඇති අතර ඊට අදාළ තීන්දු තවම ලැබී නොමැත. එසේ නමුත් තර්ක විතර්ක මත ගැටුම් නම් රට තුළ අපමණය. එම නිසාම මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් කිහිප දෙනකු සම්බන්ධ කරගෙන මෙම අර්බුදය සම්බන්ධව කාලීන මත විමසුමක් අප සිදුකළෙමු.
වෙනම නීති - වෙනම වීසා මේ කතා පට්ටපල් බොරු
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
වරාය නගරයට ඉතිහාසයක් තිබෙනවා. මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ සිරිසේන කුරේ මැතිතුමා මේක තමා අපේ රටේ ඉදිරි හැරවුම් ලක්ෂ්‍යය කියලා මේක කරන්න උත්සහකළා. නමුත් එදා ඒක කරගන්න බැරිව ගියා, ප්‍රතිපාදන සහ අවශ්‍ය කරන කණ්ඩායම් හොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්. ඊටපසුව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට මට මතකයි අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා එතුමාගේ මිතුරු ඉංජිනේරුවෙක් කිව්වා කියලා මේ ව්‍යාපෘතිය කරන්න ගල් කියුබ් මිලියන ගණනක් යනවා කියලා. සීගිරිය ගලත් කඩන්න වෙයි කියලා කිව්වා. ඊටපස්සේ යහපාලන රජය ආවහම මේක කරන්න නොදී අවුරුදු එකහමාරක් නතර කරගෙන හිටියා. ඊටපස්සේ විශාල වන්දියක් ගෙවලා මේක ගොඩනගන්නට අපට සිද්ධවුණා.
දැන් තිබෙන තත්ත්වය බැලුවොත් විවිධ තර්ක ඉදිරිපත් වෙනවා. මේක ඇතුළේ වෙනම නීතියක් තියෙනවා කියනවා. වෙනම පොලීසියක් තියෙනවා කියනවා. ඇතුළට යන්න වීසා ගන්න ඕනෑ කියනවා. මේ සියල්ල පට්ටපල් බොරු. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදියට මේ සම්බන්ධව කරුණු රැසක් මම ඉදිරිපත් කළා. සාධාරණ විවාදයක් ඇතුළේ කරුණු කාරණා එකින් එක ඉදිරිපත් කරන්න මම සූදානම්. එක්දහස් නවසීය හැත්තෑ හතේ ගැසට් පත්‍රිකාවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හදාපු මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාවට අදාළව මීට එහා ගිය නීති රැසක් තිබ්බා. කටුනායක බියගම නිදහස් වෙළඳ කලාපය නිර්මාණය කරන වෙලාවේ ඒවායේ අභ්‍යන්තරයේ තිබුණු නීති සහ වැඩපිළිවෙළත් මීටත් එහා ගියපුවා.
කොරෝනා වසංගතය එක්ක සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය අවපාතයකට මුහුණ දීලා තිබෙන මොහොතේ ලංකාවට ඒක වෙනස් විදිහට බලපාන්නේ නෑ. නමුත් අපිට මේ මොහොතේ ගොඩඑන්නට තිබෙන හොඳ ක්‍රමයක් තමා විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම සහ එම ආයෝජකයන්ගේ මුදල් ලංකාවේ ආයෝජන කිරීමට වැඩපිළිවෙළක් සැකසීම. එදා මහින්ද රාජපක්ෂ මහතා මේ වැඩපිළිවෙළ අරම්භ කළ නිසා අපිට තිබෙනවා ලෝකයේ තරගකාරීත්වයත් එක්ක තරග කළ හැකි තැනක් අපිට තිබෙනවා.
තරගකාරී ජාත්‍යන්තර දෙස බැලුවහම යම් යම් පහසුකම් අපි ලබාදිය යුතුයි. ඒත් මේ එල්ලවන සියලු චෝදනා පදම් විරහිතයි. කොමිෂන් සභාව පිහිටුවන්නේ අවශ්‍ය පහසුකම් පවත්වාගෙන යන්න. ඒකට පත්වෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ නිපුණතාවක් ඇති පුද්ගලයන්. බොහොම පැහැදිලිව මේක ඇතුළේ රුපියල්වලින් ගනුදෙනු කරන්න පුළුවන්. සාමාන්‍ය පුරවැසියකු වරාය නගරය ඇතුළට යන්න වීසා ඕනෑ කියන කතාව බොරු බිල්ලෙක් මැවීමක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට මේක තුළ රැකියා කරන්න බෑ කියන එක බොරුවක්. මැදපෙරදිග වගේ ඩොලර්වලින් වැටුප් ගන්න රැකියා කරන්න ශ්‍රී ලාංකියන්ට පුළුවන්. ආයෝජයන් චීනයෙන් පමණයි කියන කතාව පට්ටපල් බොරුවක්. ලෝකයේ ඉන්න ඕනෑම ආයෝජකයෙක්ට මෙහි ආයෝජන කරන්න පුළුවන්.
වරාය නගරයට අපි විරුද්ධ නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක (සමගි ජන බලවේගය)
වරාය නගරය ඉදිකිරීම සහ වරාය නගරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපේ විරෝධතාවයක් නෑ. මෙය ආයෝජන මධ්‍යස්ථානයක් මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සාර්ථක කර ගැනීම වෙනුවෙනුයි අපි අදහස් දක්වන්නේ. මෙතැන අපි දකින මූලික ප්‍රශ්නය කිහිපයක් තියෙනවා. කුමන ඉදිකිරීමක්, කුමන ආයෝජන කලාපයක්, මූල්‍ය වෙළෙඳපොළක්, ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකළත් එය ශ්‍රී ලංකා රජයේ නීතිරීතිවලට සහ පාර්ලිමේන්තුවට වගකියන ස්ථානයක් විය යුතුයි. ලෝකයට සාපේක්ෂව අපි දන්නවා එම ආයෝජන ඇදගැනීමට ලංකාවේ නීතිවල යම් යම් බාධාවීම් තිබෙන බව. නමුත් වරාය නගර කොමිෂන් සහාවේ ඇති අඩුපාඩුකම් නිවැරදි කර ගැනීම අත්‍යවශ්‍යයි.
මෙය ශ්‍රී ලංකා නීතියට අවනත වෙන ආර්ථික කලාපයක් මූල්‍ය වෙළෙඳපොළක් විය යුතුයි කියන කරුණ තමයි අපි පළමුව කියන්නේ. දෙවැනි කාරණාව තමයි මේ කොමිෂන් සභාව ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. මෙයින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය වගකීම බැහැර වෙන්න බෑ. ගිණුම් කාරක සභාව පොදු ව්‍යාපාර කමිටුව වගේ පාර්ලිමේන්තු ආයතනවලට වගකියන ආයතනයක් බවට මේ කොමිෂන් සභාව පත්වෙන්න ඕනෑ. තුන්වැනි කාරණය කොමිෂන් සභාවේ කොමසාරිස්වරු පත් කිරීමේ දී නිශ්චිතව පත් කරන අය කවුරුන්ද කියා නිශ්චය කරන්න ඕනෑ. මුල්වරට කෙටුම්පත් කිරීමේ දී ආයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් පාලනය, මුදල් අමාත්‍යාංශය ආදිය නියෝජනය කරන නිලධාරීන් මීට යෝජනා වෙලා තිබුණා. එම නිසා කොමසාරිස්වරු ශ්‍රී ලංකාවේ ආයතන නියෝජනය කරන අය වීම ඉතා වැදගත්. ඒ වගේම ඍජුව ජනාධිපතිවරයා හරහා නෙවෙයි පාර්ලිමේන්තු කමිටුව හරහා මේ පත්වීම් සිදුවිය යුතුයි. දැනටමත් කොමිෂන් සභා පත්කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය මෙහිදීත් අනුගමන කළ යුතුයි.
හතර වෙනුවට අපි කතා කරන්නේ මෙහි විගණනය පිළිබඳ. මෙම කොමිෂන් සභාව ශ්‍රී ලංකා විගණකාධිපතිවරයාගේ කාර්ය පථය ඉක්මවා නොයා යුතුයි. මෙහි කටයුතු විගණනයට යටත් කිරීම අවශ්‍යයි. ඒ වගේම නඩු පැවරීම් බේරුම්කරණ ආදී සියල්ල ශ්‍රී ලංකා නීතියට යටත් විය යුතුමයි. එහෙම නැති වුණොත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානියක් වෙන්න පුළුවන්. වෙනම රාජ්‍යයක් වගේ කතා කියවෙන්නේ මේ තත්ත්වය මත. එම නිසා වරාය නගරය සම්බන්ධව අපි හැමවිටම කියා සිටිනවා එය ශ්‍රී ලංකාවේ භූමියක් විය යුතුයි. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි නොවිය යුතුයි. ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ පැවතිය යුතුයි.
අපි කියා සිටින්නේ මේ කරුණු සාකච්ඡා කරලා සකස් කර ගන්නවා නම් මෙය වඩාත් ඵලදායී කර ගන්න පුළුවන්. එසේ නොවන විට වැරදි මත ඇතිවීම එක් පසෙකින් සිදුවෙනවා. අනෙක් පසින් මේ කරුණු නොසලකා ක්‍රියා කිරීම හරහා මතු අනාගතයේ ප්‍රශ්නය සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා වරාය නගරය ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගත හැකි මධ්‍යස්ථානයක්. මෙය ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් කරගැනීම වෙනුවෙනුයි අපි මේ අදහස් ඉදිරිපත් කරන්නේ.
ඔක්කොම වාසි චීනෙට: මේක වෙනම රාජ්‍යයක් වෙනවා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර (එක්සත් ජාතික පක්ෂය)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට වැඩකරපු කාලයේ මේ වරාය නගරයේ භූමිය සින්නක්කරව චීනයට ලබාදීලා තිබුණේ. දෙදහස් පහළොවේ ජනවාරි මාසේ අටවැනිදා පත්වුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගැන පාර්ශ්ව ගණනාවක් එක්ක සාකච්ඡා කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වගේම එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්කත් සාකච්ඡා කළා. චීනෙට ගිහිල්ලා චීන රජය එක්කත් සාකච්ඡා කෙරුවා. ඒ අනුව අපිට පුළුවන් වුණා සින්නක්කරව ලබාදීලා තිබුණු මේ භූමිය රජයේ දේපළක් බවට පරිවර්තනය කරගන්න. ඊටපසුව මේ භූමිය චීනයට අනූනව අවුරුදු බද්දට ලීසිං ක්‍රමයට බදුදෙන්න කටයුතු කළා.
ඒ අනුව මෙහි පරම අයිතිය ශ්‍රී ලංකාවට ලැබුණා. පරිපාලන නීතිය ක්‍රියාත්මක කිරීම සියල්ල ශ්‍රී ලංකාව යටතේ පැවතුණේ. නමුත් අද පත්කරලා තිබෙන තත්ත්වය එක්ක මෙය සමස්ත වශයෙන්ම චීනයේ අධිකාරියක් විදිහට තමා පවතින්නේ. ඇත්තටම ගනුදෙනු සිදුවෙන්නේ යුවාන්වලින්. කොමිසමට තමා සියලුම බලතල තියෙන්නේ. ජනාධිපතිවරයාට තිබෙන්නේ එහි සාමාජිකයන් පත්කිරීම හෝ ඉවත් කිරීම පමණයි. ඇතුළත සිදුවෙන කිසිම කටයුත්තකට ජනාධිපතිවරයාටවත් හවුල්වෙන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම මේ භූමිය කොළඹ නගර සහාවට හෝ වෙනත් පරිපාලන ව්‍යූහයකට අයත් වෙන්නේත් නෑ. ඒ නිසා මේ නගරයේ පරිපාලන සම්බන්ධව බරපතළ තත්ත්වයක් ඇති වෙනවා.
මේ වරාය නගරය ඇතුළත සිදුකෙරෙන ගනුදෙනුවලින් ලංකාවට කිසිදු වාසියක් නෑ. මේකේ සියලු මුදල් චීනයට තමයි අත්පත් වෙන්නේ. ආර්ථික වාසිය චීනයට යාම පමණක් නෙවෙයි ජාතික ආරක්ෂාව සම්බන්ධ බරපතළ තත්ත්වයක් මතුවෙනවා. ලංකාවේ පරිපාලනයෙන් බැහර වීම තුළ මේක ශ්‍රී ලංකා භූමිය තුළ පිහිටුවන ලද වෙනම රාජ්‍යයක් බවට පරිවර්තනය වෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය අවුරුදු තිහක් තිස්සේ යුද්ධ කළේ ඔය වැඩේට හැබැයි චීනා සල්ලි වියදම් කරලා මේ ආණ්ඩුව මුලාකරලා මේ වැඩේ කරගන්නවා.
වරාය නගරය ණය උගුලේ ප්‍රතිඵලයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති (ජනතා විමුක්ති පෙරමුණ)
හැත්තෑ තුන් අවුරුදු පාලනයේ රට ණය උගුලක හිරවීමේ තර්කානුකූල ප්‍රතිඵලය තමයි මේ චීන වරාය නගර ව්‍යාපෘතිය. අද ආණ්ඩුවට චීනයේ සරණ යන්න සිද්ධවෙලා තියෙන්නේ, මාසෙකට ඩොලර් මිලියන පන්සීයක් ඉල්ලගන්න සිද්ධවෙලා තියෙන්නේ ණය ගෙවාගන්න මුදල් සම්පාදන කරගන්න අරමුදලක් නැති නිසා. විදේශ වත්කම් සංචිත පහළට වැටිලා තියෙන නිසා.
අද රටේ සම්පත් විශේෂයෙන්ම භූමිය පවා විකුණන්න සිද්ධවෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කොමිසමේ බලතල සියල්ල පිළිබඳ සිතා බැලුවට පස්සේ මේ හදන ආර්ථික කලාපය කියන්නේ ඉහත සියල්ලේ ප්‍රතිඵලයක්. මේක රටේ මූල්‍ය පාලනය සම්බන්ධ පාර්ලිමේන්තුවට තියෙන බලතල අහිමිවෙන, අණ පනත් ගණනාවකින් යුතු ලෙස නිදහසක් ලබාදෙන, රටේ විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඈත් කරන ආර්ථික කලාපයක්. මේකට ආයෝජන ගෙන්නනවා කියලා ලියුම්වලින් පෙන්නන්න පුළුවන් වුණාට අවසාන ප්‍රතිඵලයේ දී අපිට මුකුත් ඉතුරු වෙන්නේ නෑ. අවසානයේ පොළක බදු අය කරගන්න කෙනාගේ ආදායම වගේ දෙයක් තමා අපිට ඉතුරු වෙන්නේ.
විශේෂයෙන්ම රටේ තියෙන ආර්ථික අර්බුදයට, ණයගැතිභාවයට, ග්‍රාමීය දුප්පත් භාවයට, නිෂ්පාදන කඩාවැටීමේ අර්බුදයට උත්තරයක් ලැබෙන්නේ නෑ. මොකද මේක වෙනම ආර්ථික කලාපයක් වෙනම විදේශ මුදල්වලින් ගනුදෙනු කරන. මේකෙන් රටට සුගතියක් වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශපාලනය ඇතුළේ ලංකාව හුදෙකලා කිරීමකට ලක්වෙන මට්ටමක් තමයි තියෙන්නේ. ලංකාවට අලුත් ආයෝජන කැඳවනවා වෙනුවට එක රටක දේශපාලන න්‍යාය පත්‍රයකට යටත් කිරීමෙන් රට අසරණ තත්ත්වයකට පත්වෙනවා කියලා අපිට පැහැදිලිව පේනවා.
වැරදි මත පතුරුවා වරාය නගරය කඩාකප්පල් කරන්න හදනවා
ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම (ලේකම් - ජලසම්පාදන අමාත්‍යාංශය)
(වරාය අධිකාරියේ හිටපු සභාපති)
කොළඹ වරාය නගරය කියන්නේ ලෝකයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථාන එක්ක තරග කරලා ලංකාවට ආයෝජකයන් ගෙනල්ලා ආර්ථික මධ්‍යස්ථානයක් හදන්න සැලසුම් කරලා තියෙන ව්‍යාපෘතියක්. මෙහිදී වරාය සහ නාවික කියන කොටස් දෙක එකතු කරගෙන ඊට ගැලපෙන ආයෝජකයන් ලංකාවට ගෙනල්ලා ව්‍යාපාරිකයන්ගේ සේවා සපයන ස්ථාන ප්‍රධාන කාර්යාල ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සංචාරක කර්මාන්තය පදනම් කරගත් විනෝදාත්මක දෑ වගේම විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ශාලා ඇතුළු ඉතා වටිනා අංග රැසක් මේ ව්‍යාපෘතිය තුළ ඉදි කෙරෙනවා.
අද වෙද්දි මේ සම්බන්ධව ජනතාව නොමඟ යවන සුළු බොහෝ වැරදි මත ප්‍රචාරය වෙලා තියෙනවා. පැහැදිලිව කිව යුතුයි මෙහි භූමිය රටට අයිතියි. පාලනය සිදුවෙන්නේ රටේ සාමාන්‍ය නීතියට අනුව. ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ පරමාර්ථයෙන් තමයි බදු සහන ලබාදෙන්නේ. පවතින තරගකාරීත්වය මත ඔවුන්ව ගෙන්නගන්න පුළුවන් වෙන්නේ යම් සහනයක් ලබා දුන්නොත් විතරයි. එම සහන ලබාදීම සහ ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් ටික එකම තැනකින් ලබාදීමේ අරමුණෙන් තමයි මේ කොමිසම ස්ථාපිත වෙන්නේ. ඒ හැරුණුකොට අනෙකුත් සියලු පහසුකම් ජලය, විදුලිය, විදුලි සංදේශ සියලු කටයුතු සිදුවෙන්නේ රජය හරහා.
මේ භූමිය වෙන රටකට අයිති නෑ. මෙහි සියලුම බදු ගිවිසුම් අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජය. නීතිය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා පොලීසිය. සාමාන්‍ය ආරවුලකදී විනිශ්චය කටයුතු සිදුවන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උසාවිය හරහා. එකම වෙනස බවට පත්වෙන්නේ දීර්ඝ කාලයක් නඩුවලට කාලය ගත නොකර ඒවා ඉක්මනින් අවසන් කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම. එම නිසා බොහොම පැහැදිලියි මේක රටේ සාමාන්‍ය නීතියට යටත්වෙන රජයට පාර්ලිමේන්තුවට වගකියන තැනක්. එම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සියලු දෙනා සහයෝගය ලබාදීම තමා අතිශය වැදගත් වෙන්නේ.
විගණනය සහ මූල්‍ය කටයුතු සම්බන්ධව මේ දිනවල ප්‍රචාරය වන දේවලුත් සම්පූර්ණ වැරදියි. විදේශීය විගණන ආයතනයක් පාවිච්චි කරන්න පුළුවන් මේකේ විගණනය සඳහා. එම ආයතනය තෝරාගන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරයාගේ සහ විගණකාධිපතිවරයාගේ එකඟතාවය මත පමණයි. මෙසේ තෝරාගන්න විගණන සමාගම හදන වාර්තාව ජනාධිපතිවරයා හෝ අදාළ විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එතනින් එහාට මෙහි සියලු කටයුතු විගණකාධිපතිවරයාගේ සහ අනෙකුත් ආයතනවල අධීක්ෂණයට යටත් වෙනවා. දැනටත් ඕනෑම රාජ්‍ය ආයතනයකට පෞද්ගලික විගණන ආයතනයක් පාවිච්චි කරලා විගණන වාර්තාවක් හදන්න පුළුවන්. එහෙම හැදුවට එම වාර්තාවන් විගණනය කිරීම අධීක්ෂණය සියල්ල විගණකාධිපතිවරයා යටතේ තියෙන්නේ.
චමිඳු නිසල්