පෞද්ගලික සමාගම් හතරකින් මෙරටට ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයෙන් සමාගම් තුනක පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තෙවැනි වරට කරන ලද පරීක්‍ෂණයෙන් ද තහවුරු වූයේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්‍ෂණවලින් එම පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු බවට අනාවරණ වූ අතර පසුව කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් ද එය සනාථ වී තිබේ. මේ වන විට එම පොල්තෙල් අඩංගු බහාලුම් 13 ඒවා ගෙන්වූ රටවලටම ප්‍රතිඅපනයනය කරන ලෙසට රේගුව එම සමාගම්වලට දැනුම් දී ඇති අතර. ඒ අනුව කටාන රිෆයිනරීස් සමාගමට අයත් කටාන බටපත්තල අංගනයේ තිබූ පොල්තෙල් බහාලුම් හයක අඩංගු රුපියල් කෝටි තුනට වැඩි වටිනාකමකින් යුත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක් යළි මැලේසියාවට ප්‍රතිඅපනය කෙරිණි. අනෙකුත් සමාගම්වලටද ඔවුන් විසින් ආනයනය කර ඇති පිළිකාකාරක සහිත පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙසට රේගුව දැනුම් දී තිබේ. මෙම සමාගම් විසින් සිදුකර ඇති වරද වෙනුවෙන් ඔවුනට දඩයක් පනවන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000 පමණ වේ. ඉන් දේශීයව නිපදවනු ලබන්නේ මෙට්‍රික් ටොන් 25,000ක් පමණි. ඉතිරි මෙට්‍රික්ටොන් 155,000 ප්‍රමාණය විදේශවලින් ආනයනය කෙරේ. පිරිපහදු කළ හා නොකළ පොල්තෙල් මෙන්ම ආදේශක තෙල් වර්ගද මෙරටට ආනයනය කෙරේ.. එලෙස මෙරටට තෙල් ආනයනය කරන සමාගම් 4ක් මගින් මෙරටට ගෙන්වන ලද තෙල් කන්ටේනර් 13ක ප්‍රබල පිළිකාකාරකයක් වන ඇෆ්ලටොක්සින් නමැති විෂකාරකය අන්තර්ගත බවට මුලින්ම අනාවරණ කළේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයයි. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කළ පරිදි ජනවාරි සහ පෙබරවාරි යන දෙමස තුළ රුපියල් බිලියන 10.5ක අගයකින් යුතු ආදේශක තෙල් මෙට්‍රික් ටොන් 37,000ක් මෙරටට ආනයනය කර තිබේ. මෙම විෂකාරක පොල්තෙල් ගෙන්වූ සමාගම් තුන මේ වන විට මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 1.8ක් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කරයි.
ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය සහිත මෙම පොල්තෙල් තොගය මෙරටට ගෙනවිත් දැනට මසකට අධික කාලයක් ගතවී තිබේ. මෙම පොල්තෙල් ආනයනය කළ සමාගම් වූයේ අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරීස් යන ආයතන තුනය..එම පොල්තෙල් තොගය වරායේ ගුදම්ගත නොකොට එම ආනයනකරුවන්ගේ ගුදම්වලට නිදහස් කිරීමට රේගුව පියවර ගත්තේ ඒවා පරීක්ෂා කිරීම සඳහා යම් කාලයක් ගතවන බැවින් හා එවිට විශාල ගුදම්ගාස්තුවක් ආනයන කරුවන්ට ගෙවීමට සිදුවන බැවින් යැයි රේගු අධ්‍යක්ෂවරයා කියා තිබිණි. එම පොල්තෙල්වල විෂකාරක අඩංගුවබට අනාවරණය වීමත් සමඟ රේගු දෙපාර්තමේන්තුව එම සමාගම්වල ගුදම්වලට නිකුත් කළ පොල්තෙල් වෙළෙඳපලට නිකුත් වී තිබේදැයි සොයා බැලීම සඳහා පියවර ගත්තේය. ඒ අනුව රේගුව මගින් නිදහස් කළ තෙල් ප්‍රමාණය තවමත් එම සමාගම්වල ගුදම්වල තිබේ දැයි යන්න ඔවුන්ගේ පරීක්ෂාවට ලක්විය. එහෙත් මේවන විටත් එම විෂ සහිත පොල්තෙල් වෙළෙඳපොළට නිකුත්ව ඇතැයි විවිධ පාර්ශ්වවලින් අසන්නට ලැබිණි. වෙළෙඳපොළෙන් ලබාගත් සාම්පල 55න් 6ක ඇලෙටොක්සීන් අංශු 10 වැඩි අගයකින් යුතු පොල්තෙල් හමුවී තිබේ.
ඇෆ්ලටොක්සින් විෂකාරකය බිලියනයකට කොටස් 10 ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් අන්තර්ගත නම් එහි ගැටලුවක් නොමැති බව පොල් සංවර්ධන මණ්ඩලය පිළිගත් ප්‍රමිතියයි. එම ප්‍රමාණය ඉක්මවා එම විෂ ද්‍රව්‍ය ඇත්නම් එය මනුෂ්‍ය ශරීරයට නුසුදුසුය. පිරිපහදු කළ හෝ නොකළ තෙල්වර්ගයක කොටස් 10 වඩා ඇෆ්ලටොක්සින් අඩංගු වන්නේ නම් ඒවා වෙළෙඳපොලට නිකුත් කිරීම තහනම් කිරීමට ඒ සම්බන්ධව කටයුතු කරන ආයතනවලට හැකිය. දැනට ලංකාවට ගෙනවිත් ඇති තෙල් පිරිපහදු කිරීමෙන් පසුවද එහි අන්තර්ගත විෂකාරක ඉවත් නොවන බව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමිත නිරෝෂන මහතා ප්‍රකාශ කර තිබේ. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව පොල්තෙල් කොටස් බිලියනයක විසකාරක අංශු කොටස් 30කට වඩා වැඩිනම් පමණක් අලෙවි කිරීම තහනම් කළ හැකිය. ඒ අනුව මෙම පොල්තෙල් පරිභෝජනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබේ.
මෙහි පරස්පරයක් පවතී. එක් රාජ්‍ය ආයතනයක් ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය බිලියනයකට අංශු 10ක් විය යුතු බව පෙන්වා දෙන විට තවත් රාජ්‍ය ආයතනයක් ප්‍රකාශ කරන්නේ එය බිලියනයකට අංශු 30ක් තිබිය යුතු බවටය. මින් සිදුවන්නේ පාරිභෝගිකයා මුලා කිරීම හා ඔවුනට වස විස කැවීම නොවේද? දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ගේ පොල්තෙල්වල වසර 5ක් පුරා කරන ලද විශ්ලේෂණවලට අනුව එකදු අවස්ථාවක හෝ ඇෆ්ලටොක්සින් විෂකාරක එක් අංශුවක් හෝ හමුවී නොමැත.
ශ්‍රී ලංකාවට ආනයනය කරන තෙල්වර්ග වැඩිප්‍රමාණයක් පොල්තෙල් නොව ආදේශක තෙල්ය. ලෝක වෙළෙඳපොළේ පිරිසුදු පොල්තෙල් මෙට්‍රික්ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 1900කටත් වඩා අධිකය. ලංකාවට ගෙන්වනු ලබන්නේ පිරිසුදු පොල්තෙල්වලට ආදේශක ලෙස නිපදවන තෙල්ය. ඒවායේ මිල මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 1300ත් 1400ත් අතර වේ. ඒවාට විවිධ වර්ණ, රස සහ සුවඳ කලවම් කර තිබේ. ඇෆ්ලටොක්සීන් වැනි විෂකාරක නිපදවන්නේ මෙම තෙල්වලට මිශ්‍ර කරන විවිධ අමුද්‍රව්‍ය නිසාය. ඒවායේ විවිධ දිලීරවර්ග හටගනී. ඇෆ්ලටොක්සින්ද එවැනි දිලීරයකි. එය පිළිකාකාරකයකි. පොල්තෙල්වල පමණක් නොව වියළි මිරිස්, විවිධ ඇටවර්ග, කිරි නිෂ්පාදන වැනි බොහෝ ද්‍රව්‍යවල ඒවා පැවතිය හැකිය. පුස් සහිත ආහාර මගින් මෙම පිළිකාකාරකය ශරීරයට ඇතුළු විය හැකිය. ඒවා ශරීරගතවී දිනකින් දෙකකින් කෙනකු රෝගියකු බවට පත් කරන්නේ නැත. දීර්ඝ කාලයක් පුරා මෙම විෂ ශරීරය තුළ එක්රුස්වීමෙන් භයානක රෝග වැළඳිය හැකිය.
ආදේශක තෙල්වර්ග ලංකාවට ආනයනය කෙරෙනුයේ ඉන්දුනීසියාව, මැලේසියාව, පැපුවා නිව්ගිනි වැනි රටවලිනි. ආනයනකරුවෝ විවිධ වෙළෙඳ උපක්‍රම භාවිත කරමින් විවිධ නම්වලින් මෙම ආදේශක තෙල් වෙළෙඳපලට නිකුත් කරති. මේවායේ වැඩි හරියක් ඇත්තේ පාම් තෙල්ය. පාම්තෙල් ලොව බොහෝ රටවල තහනම් කර ඇති තෙල් වර්ගයකි. මෙම විෂකාරක පොල්තෙල් වැඩිම ප්‍රමාණයක් මෙරටට ආනයනයය කරන්නේ එක් ආයතනයක් මගින් බව පැවසෙන අතර එම තෙල් අනෙකුත් තෙල්වර්ගවලට වඩා අඩු මිලකට වෙළෙඳපොළෙන් ලබාගත හැකි බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් වලින් වැඩි ප්‍රමාණයක් මෙරට වෙළෙඳපොලට ලැබෙන්නේ නැත ඒවා විදේශයනට අපනයනය කෙරෙන අතර අපට කන්නට ලැබෙන්නේ වස විෂ සහිත බාල තෙල්ය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසන්නේ පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන ඒම ආරම්භ වූයේ 2020 සැප්තැම්බර් මාසයේ සිට බවයි. බදු ප්‍රතිශය වෙනස් කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවූ බවත් කලින් පාම් ඔයිල් සඳහා පනවා තිබූ බද්ද පොල්තෙල් බද්දට වඩා අඩු වූ අතර පසුව පාම් ඔයිල් බද්ද වැඩිකොට පොල්තෙල් බද්ද අඩු කළ බවත් ඉන්පසුව පළමු වරට පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන ඒමට ආනයනකරුවන් පියවර ගෙන ඇති බවත් ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය. පළමු මාස තුන ඇතුළත මෙරටට ගෙන්වූ පොල්තෙල්වල මෙවැනි විෂකාරක අන්තර්ගත නොවූ අතර ඉන්පසුව මෙවැනි විෂකාරක සහිත පොල්තෙල් ආනයනය කර ඇති බවත් ඇය පවසයි.
ආනයනික පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ 2016 වසරේ ඔක්තෝබර් 7 වැනි සිකුරාදාය. පොල්තෙල්වලට පාම් තෙල් වැනි විවිධ තෙල්වර්ග මිශ්‍ර කිරීම ප්‍රචලිත වූයේ එම ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසුවය. ඒ අනුව මෙරට පාරිභෝගිකයා පරිභෝජනය කරන්නේ පොල්තෙල් ස්වල්පයකට කලවම් කරන ලද පාම්තෙල්ය. තෙල්වර්ග මිශ්‍ර කිරීමට අනුමැතිය දුන් ගැසට් පත්‍රය අවලංගු කොට පොල්තෙල්වලට වෙනත් තෙල්වර්ග මිශ්‍ර කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා තිබේ. එහෙත් ඒ සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයිද ඔහු පවසයි.
අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම ප්‍රමාද කරනුයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉහළ නිලධාරීන් බවට චෝදනාවක් පවතී. ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති නමුත් අදිසි හස්තයක් විසින් එය නිකුත් කිරීම දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතී.
මෙලෙස එම ගැසට්ටුව ප්‍රමාද කිරීමට කටයුතු කරන්නේ මෙරටට තෙල් ආනයනය කළ එක්තරා ව්‍යාපාරිකයකුගේ තෙල් තොග අලෙවි කර අවසන් වන තුරු යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා චෝදනා කරයි. “මෙම තීරණය ගත්තේ මීට මාස 4කට පමණ ඉහතදී. අද වෙනකං එම තීරණය ක්‍රියාවට නැංවන්නේ නැහැ. ඇයි එම තීරණය ක්‍රියාත්මක නොකරන්නේ. පසුගිය මාසය ඇතුළත එක් තෙල් ආනයනකරුවෙක් තෙල් නැවක් ලංකාවට ගෙන ආවා. එම තෙල් තොගය විකුණලා ඉවර වෙනතුරු ඔය ගැසට් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන “ මම උපදෙස් දුන්නා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිතුමාට පිරිපහදු කරන ලද පොල්තෙල් පමණක් ආනයනය කළ හැකි පරිදි ගැසට් නිවේදනය සකස් කරන ලෙසට. ඒ අනුව එහි කෙටුම්පතක් ඉදිරිපත් කළා. පාරිභෝගික අධිකාරියට ගැසට්පත්‍රයක් නිකුත් කිරීමට පෙර අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවා. පැරණි ගැසට් පත්‍රය නියත වශයෙන්ම අවලංගු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙම විෂ සහිත පොල්තෙල් ඒවා ගෙන ආ රටවලටම ප්‍රති අපනයනය කෙරෙන අතර එම පොල්තෙල් එම රටවල ජනාතාවට අලෙවි කරන්නට ඔවුන් කටයුතු නොකර සිටීද යන සැකයක් මතු වෙයි. එසේනම් සිදුවන්නේ තවත් රටක ජනතාවට වස කැවීමකි. මෙම පොල්තෙල් තොගය මෙරටදීම විනාශ කළ නොහැකිද? මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා “ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හැරෙන්නට ඕනෑම අපද්‍රව්‍යයක් විනාශ කිරීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. මෙම පොල්තෙල් විනාශ කිරීම සඳහා භූගත පරිසරයට එකතු කිරීම තහනම්. එහෙත්. රජයෙන් හෝ අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන්නේ නම් මෙම පොල්තෙල් තොගය දහනය කොට විනාශ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දිය හැකියි.” යනුවෙන් ප්‍රකාශ කරයි.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය අප්‍රේල් 5 දින නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දුන්නේය.. දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිදහස් නොකරන ලෙසටද රේගු අධ්‍යක්ෂවරයාට එමගින් උපදෙස් දී ඇත. එමෙන්ම පොල්තෙල් නිෂ්පාදනය සඳහා පමණක් මාස තුනක කාලයක් සඳහා වියලන ලද කැබලි පොල් මෙරටට ආනයනය කිරීමටද රජය තීරණය කර තිබේ. එක් මාසයකට මෙට්‍රික් ටොන් 13,500 බැගින් මාස තුනක් ඒවා ආනයනය කෙරේ. මේ වන විට පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍යතරම් පොල් අස්වැන්නක් නොමැතිවීම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගම් වැසීයාමේ අවදානම සැලකිල්ලට ගෙන එම පියවර ගත් බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
පිළිකාකාරක පොල්තෙල් ගෙන්වූ අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරීස් යන සමාගම් තුනෙහි හිමිකරුවන්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
විෂ පොල්තෙල් සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවේද අවධානය යොමුවී තිබේ. පොල්තෙල් මෙන්ම මෙරටට ආනයනය කරන වෙනත් ආහාර ද්‍රව්‍යවලද හානිකර ද්‍රව්‍ය තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසට ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා