2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

කාන්තාවන්ගේ ආයුෂ ඉහළට

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

ජනගහණයේ වයස්ගතවීමේ ක්‍රියාවලිය සමඟ නිරීක්ෂණය කළ හැකි එක් වැදගත් කරුණක් වන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ආයු අපේක්ෂාවයි. ගෝලීය මට්ටමෙන් බැලූවිට 2015–20 කාල පරිච්ඡේදයේදී, උපතේදී කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව පිරිමින්ගේ ආයු අපේක්ෂාවට වඩා අවුරුදු 4.8කින් වැඩිය. ගෝලීය වශයෙන් වයස අවුරුදු 35 දී කාන්තාවකට තවත් අවුරුදු 18ක් ජීවත්වීමේ අපේක්ෂාවක් ඇති අතර එම වයසේම පිරිමින් 2015–20 දී තවත් අවුරුදු 16ක් ජීවත් වේ යැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය බලන විට පෙනී යන්නේ 2012 දී අවුරුදු 60 පිරුණු කාන්තාවකට තවත් අවුරුදු 22ක් ජීවත්වීමට හැකියාවක් තිබුණු අතර එම වයසේම පිරිමියකුට තිබුණේ තවත් අවුරුදු 18.3 ජීවිත අපේක්ෂාවකි. ඒ අනුව වසර ගණනාවක සිටම ආයු කාලයේ නිරන්තර වර්ධනය අපට දැකගත හැකිය. උදාහරණ හැටියට 2001 වසරේදී වයස අවුරුදු 60 සිටි වැඩිහිටි කාන්තාවකගේ ආයු අපේක්ෂාව වූයේ අවුරුදු 21.6කි. ඊට සාපේක්ෂව එම වයසේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව වූයේ අවුරුදු 17.7කි. මෙම ප්‍රවණතාවයට සෞඛ්‍ය ඇඟවුම් කිහිපයක්ම ඇතුළත් වේ. එනම්, වැඩිහිටි වයසේ සිටින කාන්තාවන් වැඩි සංඛ්‍යාවට සරිලන ආකාරයට ගැලපෙන සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය මින් ප්‍රධාන තැනක් ගනී. මේ සඳහා නිරෝගී වයස්ගත වීමක් අත්විඳීම සඳහා ළදරු වියේ සිට වැඩිහිටි විය දක්වා දැරිය හැකි සහ ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා ලබාගැනීම කාන්තාවන්ට අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලන විට 1920–22 කාල පරිච්ඡේදය සඳහා පිරිමි හා ගැහැනු උපතේදී ආයු අපේක්ෂාව පිළිවෙලින් අවුරුදු 32.7 හා 30.7ක් විය. 2011 – 13 කාල පරිච්ඡේදය වන විට එම අගයන් පිරිමින් සඳහා අවුරුදු 72ක් හා කාන්තාවන් සඳහා 78.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය අවුරුදු සියය තුළ මරණ අනුපාතික පහත වැටීම සෑම වයස් කාණ්ඩයකටම හා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ජීවන අපේක්ෂාව ඉහළ යාමට බලපා ඇත. මින්, ළදරුවන් සහ ළමුන් සඳහා මරණ අනුපාතිකයේ ප්‍රතිශතය අඩුවීම ඉහළ මට්ටමක පවතී. මේ ප්‍රතිශතයේ වැඩිවීම් සීඝ්‍රතාවය කාන්තාවන් සඳහා විශේෂයෙන්ම 1960 දශක යෙන් පසුව වැඩි වී ඇත. 2011–13 කාල පරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකාවේ ඇති නවතම ජීවන වගුවලට අනුව කාන්තාවන්ගේ උපතේදී ආයු අපේක්ෂාව පිරිමින්ට වඩා අවුරුදු 6.6කින් වැඩි වී ඇත. එබැවින් කාන්තාවන්ගේ දීර්ඝායුෂ වැඩිවීම ශ්‍රී ලංකාවේද වයස්ගතවීම ස්ත්‍රීකරණයට හේතු වී තිබේ. අනාගතයේදී පිරිමින්ගේ පැවැත්මේ ප්‍රමාණය වැඩිදියුණු වනු ඇතැයි යමකු අපේක්ෂා කළද, වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන්ගේ වැඩි ප්‍රතිශතයක් අපේක්ෂා කළ හැකිය. නිදසුනක් වශයෙන් වයස අවුරුදු 70–74, 75–79 හා 80+ වයස් කාණ්ඩවල 2037 දී පිරිමින් 100කට කාන්තාවන් 121, 132 හා 165ක් විය හැකි බව මගේ පර් යේෂණවලින් පෙන්වා දී ඇත.

වයස්ගත වීමත් සමඟ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා වැඩිහිටි පුරුෂයන් හා ස්ත්‍රීන් ආබාධිත තත්ත්වයෙන් සැලකිය යුතු කාලයක් ගත කරන බව නිරීක්ෂණය කෙරේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මා කර ඇති පර් යේෂණ අනුව පෙනී ගොස් ඇත්තේ පිරිමින් හා ස්ත්‍රීන් අවුරුදු 5.24 හා අවුරුදු 7.32ක බැගින් 2012 වසරේදී රෝගී තත්ත්වයේ පසු වූ බවයි. මින් පෙනී යන්නේ ස්ත්‍රීන් පුරුෂයන්ට වඩා රෝගී තත්ත්වයන්ට පත්වී ඇති බවයි. 2001 හා 2012 දක්වා කාලය තුළ වැඩිහිටි පුරුෂයන් හා ස්ත්‍රීන් සැලකිය යුතු ජීවිත කාලයක් ආබාධිත තත්ත්වයේ ගත කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ සිදුවන රෝගාබාධ ව්‍යාප්තියේ ප්‍රවණතාවය පිළිබඳ පැහැදිලි ඇඟවුමකි. ඇත්තවශයෙන්ම, ආයු අපේක්ෂාව වැඩිවීම සෞඛ්‍යයේ වැඩිදියුණුවක් සමඟ සිදුවේ. කෙසේවෙතත්, අද වන විට මෙම සංසිද්ධිය ජනගහණයේ රෝගී තත්ත්වයට සමස්ත බලපෑමක් ලෙස සිදු නොවේ. එයට හේතුව නිදන්ගත රෝග මගින් ක්‍රමයෙන් උග්‍ර රෝග ප්‍රතිස්ථාපනය වීමයි.

ඒ අනුව රෝගාබාධ වීමේ අවදානම මියයාමේ අවදානමට මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමටද බලපෑම් ඇති කරයි. මගේ අධ්‍යයනයන් අනුව පෙනී ගොස් ඇත්තේ 2001–2012 කාලය අතර ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය අතර රෝග ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් බවයි. එසේ වුවද, අවුරුදු 60 හෝ ඊට අඩු තරුණ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම මගින් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය හා ආයු කාලය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කළ හැකි බව කිව යුතුය. මෙම සන්දර්භය තුළ, සෞඛ්‍ය තත්ත්වය මූලිකවම රඳා පවතින්නේ දුම්පානය වැළැක්වීම, වැඩි වශයෙන් ව්‍යායාමවලට පුරුදු වීම, අධික මත්පැන් පානය තුරන් කිරීම සහ වෙනත් විවිධ ආතතින්ගෙන් මහජනතාව ගලවා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් බව සනාථ කළ හැකිය.

වැඩිහිටි වයසේ කාන්තාවන් පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ ඔවුන් වයස අනුව විවිධ සෞඛ්‍ය තත්ත්වයන්හි පසුවන බවයි. අවුරුදු 80ට වඩා වැඩි කාන්තාවන් අනෙක් අවුරුදු 60ට වැඩි කාන්තාවන්ට වඩා බෙහෙවින්ම වෙනස්ය. එනිසා මහලු යැයි අවුරුදු 60ට වැඩි සියලු කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය එකම විදියට ඇගයීමක් නොකළ යුතුය. ඉතාමත් වැඩිහිටි කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර, එයට හේතු වන්නේ ඔවුන්ට බොහෝවිට නිදන්ගත රෝග ප්‍රතිකාර මෙන්ම එදිනෙදා කටයුතුවලට සහාය වීමත්ද, අවශ්‍ය වන හෙයිනි. බොහෝවිට ජනගහණයේ සෞඛ්‍ය තත්ත්වය මැනීම සඳහා ජීවන වගු උපයෝගී කරගෙන ආයු අපේක්ෂා අගයන් පමණක් භාවිතයට ගැනේ. නමුත් මෙම අගයන්ට ජනගහණයේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය ප්‍රමාණවත් ලෙස පැහැදිලි කිරීමේ හැකියාවක් නැත. මෙයට හේතුව වන්නේ ජීවන වගුව ගණනය කිරීමට එම ජනගහණයේ කිසිදු රෝගී තත්ත්වයක් නොසලකා වයස් අනුව වූ විශේෂිත මරණ අනුපාතිකයන් පමණක් යොදාගැනීමයි.

ජනගහණයේ වයස්ගත වීමත් සමඟ බෝ නොවන රෝග, මරණයට පත්වීමට ප්‍රධානතම හේතුව බවට පත්වන අතර ඉහළ වැඩිහිටි වයස් කාණ්ඩවලදී නිදන්ගත තත්ත්වයන් කරා මෙම රෝග පීඩනය වෙනස් වේ. මෙම රෝග සමඟ ජීවත් වන වැඩිහිටියන්ට නොයෙක් දුර්වලතා ඇතිවිය හැකි අතර එමගින් විවිධ ආබාධිත තත්ත්වයන් නිර්මාණය වේ. සත්‍ය වශයෙන් ගත්විට දැන් දශක කිහිපයකදීම කාන්තාවන් අතර මරණයට ප්‍රධාන හේතුව වන්නේ මෙම බෝ නොවන රෝග වන අතර දැන් සෑම වසරකම සිදුවන මරණ ප්‍රමාණයන් තුනෙන් දෙකක්ම සිදුවන්නේ මේ නිසයි. මෙම බෝ නොවන රෝග පීඩනය ඉදිරි දශක කිහිපය තුළ විශේෂයෙන්ම අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් කෙරෙහි දැඩි බලපෑම් ඇතිකරනු ඇත.

මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහණයේ වර්ධනය මෙන්ම ආහාර පුරුදුවල වෙනස්වීම් හා සම්පත් සඳහා ප්‍රවේශවීමේ අසමානතාවයද ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය සාධනය සඳහා විශාල බරක් පැටවිය හැකිය. 2017 වසරේදී, උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාවේ සිදුවූ සමස්ත රෝහල් මරණවලින් සියයට 40ක් සිදුවී ඇත්තේ ප්‍රධාන බෝ නොවන රෝග නිසා බව වාර්තා වී ඇත. එබැවින් කාන්තාවන්ගේ සෞඛ්‍ය හා සමාජ ආර්ථික යහපැවැත්මේ ප්‍රගතිය ශක්තිමත් කිරීම සඳහා පවත්නා සෞඛ්‍ය සේවාවන් තුළ බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීමේ උත්සාහයන් ඒකාබද්ධ කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ.

සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව කාලීනව වැඩිවීම සුබ ආරංචියක් ලෙස පෙන්වා දිය හැකිය. නමුත් නරක ආරංචිය වන්නේ, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව වැඩි නොවීමයි. ඒ අනුව පෙනී යන්නේ ආයු කාලය වැඩිවීම නිසා ලැබෙන ප්‍රතිලාභ, ජනගහණයේ සෞඛ්‍ය සම්පන්නව ගත කරන කාල පරිච්ඡේදයන් සමඟ නොගැලපීමයි. මෙය බොහෝදුරට බලපා ඇත්තේ වයෝවෘද්ධ කාන්තාවන් සඳහාය. මේ තත්ත්වය මත දිගුකාලීන සෞඛ්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතී.

මීට අමතරව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගම්‍ය වන්නේ අවුරුදු 80ට වඩා වැඩි වයසේ කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් ආබාධිත තත්ත්වයේ ස්ත්‍රී පුරුෂ වෙනස්කම් පෙන්වන බවයි. එමෙන්ම, වැන්දඹු ආයු අපේක්ෂාවේ ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනස්කම් නිසා අවුරුදු 80ට වඩා වැඩි වයසේ කාන්තාවන් විශාල ප්‍රතිශතයක් වැන්දඹුභාවයට පත්ව ඇත. එම නිසා වැන්දඹු වීම ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන්ගේ වාසය කරන ස්ථානය සම්බන්ධයෙන් හා මානසික යහපැවැත්ම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03