2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

කැඩී බිඳී වැටුණු කොවිඩ් වැට කඩොලු

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 20

මෙවර සියලු දෙනාම අලුත් අවුරුදු එකා මෙන් සැමරුවේ ගිය වසරේ අහිමි වූ අවුරුද්දේ ඇරියස් ද අල්ලමිනි. වසරක් ගෙදරට හිරවූ බොහෝ පවුල් අවුරුදු සැමරුවා පමණක් නොව නෑගම්, විනෝද චාරිකාද ගියහ. සතුටු වූහ. විනෝද වූහ. ඇති තරම් නිදහස භුක්ති වින්දාහ. ඒ නිදහසට ඇති තරම් ඉඩකඩ ආණ්ඩුව විසින්ද ජනතාවට සපයා දී තිබුණි.

ලෝක වසංගතයකට ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම අපේ රටද මුහුණදෙමින් සිටින බව කිසිවකුට දැනුණේ නැත. නිරෝධායන නීති තඹයකට මායිම් කළේ නැත. ඒ ගැන හොයන්නට කිසිවකු සිටියේද නැත. එකට වැටී සාප්පු සවාරි යමින්, කමින් බොමින් ප්‍රීති වූයේ කොවිඩ් කියා වසංගතයක් ගැන නොදන්නා පිරිසක් මෙනි. ඒ නොදන්නාකමේ බරපතළ බව අවාසනාවන්ත ලෙස අද වන විට රට භුක්ති විඳිමින් සිටින්නේ මෙතුවක් මේ වසංගතය වෙනුවෙන් වැඩ කටයුතු කළ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සියලු දෙනාගේම මහන්සිය වතුරේ යවමිනි.

මේ වන විට ලංකාව සිටින්නේ ඉතාම දරුණු තැනකය. කොවිඩ් වසංගතය ඉතාම දරුණු ලෙස නැවතත් පැතිරෙන්නට පටන්ගෙන ඇත්තේ සීමාව ඉක්මවා යමිනි. මේ සියල්ලටම හේතු වී ඇත්තේ පසුගිය උත්සව සමයයි.

මුල සිටම වෛද්‍යවරුන්, මහජන පරීක්ෂකවරුන්, සෞඛ්‍ය අංශ දිගින් දිගටම මේ අවදානම ගැන බල කරමින් කියා සිටියේ වහාම උත්සව සමයේදී නිරෝධායන නීති දැඩිව පනවා සංචාරක සීමා පනවන ලෙසයි. එහෙත් ආණ්ඩුව ඒ කිසිවක් සිදු කළේ නැත. ජනතාවට නිදහසේ අවුරුදු සැමරීමට ඉඩ හසර ලබාදෙනු ලැබීය. එහි අවසානය වුණේ නිදහස වල්බූරු නිදහසක් බවට පත්වීමය. මිනිසුන් නිරෝධායන නීති කඩකරමින් හිතුමතේ හැසිරෙන්නට වූ අතර අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, මීටරය පරතරය ගැන කීසිදු තැකීමක් කළේ නැත. මේ සියල්ල මේ රටේ පාලකයන්, බලධාරීන් බලා සිටියදී සිදුවූ ඒවා විය.

එහි අවසන් ප්‍රතිඵලය පසුගිය බදාදා එළියට ආවේය. එනම් මාස කිහිපයකට පසුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වීමත් සමඟය. එසේ වාර්තා වූ රෝගීන් ගණන 520කි. කෙසේ වෙතත් ඒ වන විට වාර්තා වුණු තොරතුරු අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව සිටියේ කුරුණෑගල ප්‍රදේශයේය. ඊට පසුව කුලියාපිටිය ප්‍රදේශයේය. ක්‍රමයෙන් කොළඹ ගම්පහද එක්විය. ඒ අතර විශේෂයෙන් මහරගම පමුණුව ප්‍රදේශය විය. එහි රෙදි කඩවලින් රෝගීන් රුසක් හමුවිය. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ වෙත ලැබුණු තොරතුරු අනුව කුලියාපිටිය, කුරෑණෑගල, පුත්තලම, හලාවත ආදී ප්‍රදේශවල රෝගය පැතිර යාමේ වේගය ඉහළ මට්ටමක පැවතිණි.

ඒ අනුව කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය පසුගිය බ්‍රහස්පතින්දා සවස වසා දැමිණි. ඊට අමතරව රට පුරා ගම් කිහිපයක් වසා දමනු ලැබුවේ එන්න එන්නම රෝගීන් වාර්තාවීමත් එම රෝගීන් සමාජගතවී ඇති ප්‍රමාණය ඉහළ යාමත් හේතුවෙනි.
මේ වන විට කොළඹ අයිඩීඑච් රෝහලද පිරී ඉතිරි තිබේ. එහි අයිසීයූ ඇඳවල් සියල්ල පිරී ගොසිනි. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය වහාම රුස්වී තීන්දු කිහිපයකට එළැඹිණි. එනම් එම දැඩි සත්කාර එ්කකයේ ඇඳවල් සංඛ්‍යාව ඉහළ දැමීමටය. එය 15000ක් දක්වා ඉහළ දැමීමටත්, රෝගීන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ඉඩ සකසා ගැනීමටත් මෙහිදී තීන්දු විය.

විශේෂයෙන් අවුරුද්දට පෙර කොළඹ නගරයේ අහඹු පරීක්ෂණ හරහා රෝගීන් හමුවීම 4%ක පැවතුණද, ඉන් පසුව හමුවන රෝගීන් සංඛ්‍යාව 18% දක්වා ඉහළ ගියේය. ඒ අනුව සෞඛ්‍ය අංශ තීන්දු කළේ තත්ත්වය ඉතාම බරපතළ තත්ත්වයකට පෙරළෙමින් තිබෙන බවය. මේ අතර ආණ්ඩුව තවත් තීරණයක්ද ගනු ලැබීය. එනම් විදෙස්ගතව මෙරටට පැමිණෙන්නන් සීමා කරන්නටය. ඔවුන්ගේ නිරෝධායන කාලය දීර්ඝ කරන්නට තීන්දු කෙරිණි.

තත්ත්වය එන්න එන්නටම දරුණු වන තැනට යමින් සිටි නිසාත් ඉදිරි සති තුන තීරණාත්මක සති කිහිපයක් නිසාත් සෞඛ්‍ය අංශ රජයට රට සති දෙකකට වසා දමන්නැයි යෝජනා කළේය. එසේම දැඩි නිරෝධායනය නීති අනුගමනය කරන ලෙසත් යෝජනා කර තිබුණි. එසේ නොකළහොත් අද වන විට ඉන්දියාවට සිදුවී ඇති ඛේදවාචකය හා සමාන ඛේදවාචකයකට අපටත් මුහුණ දෙන්නට සිදුවන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු දැනුම් දුන්හ.

විශේෂයෙන් මෙවර වෛරසය බ්‍රිතාන්‍ය වෛරසය හා සමාන බවත් එනිසා ව්‍යාප්තවීමේ ඉඩ ඉහළ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ සෞඛ්‍ය අංශ මගින් සොයාගනු ලැබිණි. ඒ නිසා තත්ත්වය ඉතාම අවදානම් මොහොතක ඇති බැවින් ඔවුන්ගේ යෝජනාව වුණේ කෙසේ හෝ බරපතළ ලෙස තීන්දු ගෙන දැඩි නීති අනුගමනය කරන ලෙසය. එසේ නොමැතිව තත්ත්වයෙන් බේරිය නොහැකි බව ඔවුන්ගේ අදහස විය.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වර්තමානයේ හමුවන රෝගීන් අප්‍රේල් 10ට පෙර රෝගය වැළඳුණු රෝගීන් බවටය. එහෙත් අප්‍රේල් 10-14 අතර කාලයේ සංචරණය කළ ජනතාවට කොවිඩ් වැළඳී ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් වූ වාර්තා මේ මස අගදී සහ මැයි මස මුලදී ලැබෙන්නට ඉඩ ඇති බවත් ඔවුන්ගේ අදහස විය. විශාල ජනතාවක් එම කාලයේ නගර තුළ එක්රුස් වී සිටි නිසා වෛරසය දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවත් එනිසා රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බවත් ඔවුන්ගේ මතය විය.

සැබවින්ම දැන් රට ඇත්තේ තීරණාත්මක තැනකය. කොළඹ, ගම්පහ පමණක් නොව අද වනවිට කුරුණෑගල, කුලියාපිටිය පවා ඇත්තේ විශාල අවදානමකය. එහෙත් පුදුමය නම් මෙවැනි තත්ත්වයක් උදාවන බව දැන දැනත් බලධාරීන් එය වැළැක්වීමට ක්‍රියා නොකිරීමය. සෞඛ්‍ය අංශ සේවකයන්, වෛද්‍යවරුන් පවා මේ අවදානම ගැන පවසා සිටියදී පවා ඒ ගැන අවධානය යොමු නොකිරීම ගැන ඇත්තේ පුදුමයකි.

එසේ මායිම් නොකිරීමේ ප්‍රතිඵල අද හැමදෙනාටම භුක්ති විඳින්නට සිදුවී ඇත. උත්සව සමයේදී දැඩි නීතිරීති අනුගමනය කළා නම් මෙවැනි තත්ත්වයක් උද්ගත වෙන්නේ නැත. දැන් මිනිසුන්ට වරද පටවා තේරුමක් නැත. හොඳ වැඩේ යැයි කියා තේරුමක් නැත. නොහික්මුණු ජනතාව පාලනය කරගැනීම සඳහා පාලකයන් පත්කර ගන්නේ එබැවිනි. ඔවුන් පත්ව ගොස් ජනතාවට හිතකර නීතිරීති තැනිය යුත්තේ එබැවිනි. එහෙත් ඒ සියල්ල අතේ තබාගෙන ජනතාවට කැමැති දේ කරන්නට ඉඩ දී වරද සිදුවූ පසු ජනතාව වගකිව යුතු බව පැවසීමේ පදනමක් නැත. අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වැසීම තේරුමක් නැති දෙයක් බැවිනි.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03