2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ලෝක ආර්ථිකයේ දෙවැනි විශාලතම බලවතා වශයෙන් සැලකෙන්නේ

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

ලෝක ආර්ථිකයේ දෙවැනි විශාලතම බලවතා වශයෙන් සැලකෙන්නේ චීනයයි. නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් දැවැන්ත තරගයක යෙදෙමින් පිරිවැය අඩු කරන අතර ලෝකයේ ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථාන යා කරන එක මාවතක් හා එක තීරයක් මෙහි එක කොටසකි. චීනයේ පැරණි සේද මාවත ගොඩබිමින් විහිදී ගිය අතර අලුත් සේද මාර්ගය නාවික සම්බන්ධතා සහිත මහා සාගරය ඔස්සේ ගොඩනංවන්නට චීන බලධාරීහු පියවර ගනිමින් සිටිති. සේද මාවත ව්‍යාපෘතිය අවසානයේ දී රටවල් හැත්තෑවක් සමඟ සම්බන්ධතා ඇතිකරන බව සඳහන්ය. 

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර මිත‍්‍රත්වයට දිග ඉතිහාසයක් තිබේ. වෙළෙඳ සම්බන්ධතා 1950 දශකයේ රබර් සහල් ගිවිසුම දක්වා අතීතයට විහිදෙයි. සාමාන්‍ය රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා අරඹන්නටත් කලින් එනම් 1952 දී මෙම ගිවිසුම ක‍්‍රියාත්මක වී තිබේ. මෑත කාලය තුළ කොළඹ හා බෙයිජිං අතර වෙළෙඳාම ඉතාම වේගයෙන් ඉහළ නැග ඇති බව පෙනේ. ශ‍්‍රී ලංකාව චීනයෙන් කරන ආනයන ප‍්‍රමාණය විශාලය. චීනයට කරන අපනයන සුළු ප‍්‍රමාණයකි. වෙළෙඳ පරතරය පුළුල් වී තිබේ. මෙම පසුබිම තුළ දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම ප‍්‍රායෝගික බව පර් යේෂණ අංශ පෙන්වා දෙයි. ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන හෝ සේවාවලට චීන වෙළෙඳපොළට පිවිසිය හැකි පරිදි වාසිදායක ගිවිසුමකට අවධානය යොමු කළහොත් මෙරට අපනයන අංශවලට ද වැඩදායකය.

නිදහස් වෙළෙඳ ගිවිසුමක් 

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකරගත යුතුය යන අදහස 2013 වසරේ අගභාගයේ දී හටගෙන තිබේ. තාක්ෂණික කමිටුවක් මෙහි පසුබිම විමසා බලා ඇත. වට ගණනාවක් නිලධාරීන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලද අතර අවසාන තීරණයක් ගැනීමට 2018 තෙක් කල් තබන ලද බව විදේශ වාර්තා සඳහන් කරයි. දෙරට අතර පවතින සුහද සම්බන්ධතා නිල වශයෙන් වෙළෙඳ ගිවිසුමක් සඳහා අවස්ථාව සකස් කර ඇත. වත්මන් ආණ්ඩුව පමණක් නොව පැවැති මෛත‍්‍රී රනිල් ආණ්ඩුව ද චීනය සමග හොඳ හිත පවත්වා ගැනීමට සමත් විය. යහපාලන ආණ්ඩුව බලයට පත් වහා එරට ප‍්‍රධානතම ආයෝජන වැඩසටහනක් වූ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමට එකල තීරණය කෙරිණ. 2015 වසරේ නතර කරන ලද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ සාකච්ඡා සිදුවූ බව අමතක කළ යුතු නැත. අවසානයේ දී වසරක ප‍්‍රමාදයකට පසු වරාය නගර ව්‍යාපෘතිය අරඹන විට කලින් තිබුණු එකඟතා වෙනුවට අලුත් ගිවිසුමක් අත්සන් කරන ලදී. එහි වාසි අවාසි කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන චයිනා කොමියුනිකේෂන් හා කන්ස්ට‍්‍රක්ෂන් සමාගම වැඩ නතර කරන ලද කාලය වෙනුවෙන් වන්දි ලබාගැනීමට සමත් වූ බව නොරහසකි. 

දෙරට අතර ගිවිසුමක වැදගත්කම විශාල සාධකයකි. එහි වැඩි වාසි ශ‍්‍රී ලංකාවට හිමිවෙයි. දැනට පවතින ස්වභාවය අනුව විශාල වශයෙන් චීනයෙන් ආනයනය කරන නමුත් මෙරටින් යැවෙන දේ සීමිතය. 2018 වසරේ ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන ලද පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය හා චීන බලධාරීන් අතර කෙසෙල් අපනයන ගිවිසුමක් අත්සන් කර තිබේ. වසරකට මෙට්‍රික් ටොන් දස දහසක් මිල දී ගැනීමටත් ඇම්බුන්, කොලිකුට්ටු සහ ඇඹුල් යන කෙසෙල්වලට ඉල්ලුමක් තිබුණු බවත් සඳහන්ය. ගිවිසුම අනුව මෙරට මහා පරිමාණයෙන් කෙසෙල් වගා කරන ගොවියන් 150 දෙනකු තෝරා වෙළෙඳපොළ අත්දැකීම් වෙනුවෙන් චීන සංචාරයකට ද අවස්ථාව තිබුණි. එහෙත් මෙම ගොවියන් තෝරාගැනීමට පමණක් නොව එකම කෙසෙල් කන්ටේනරයක් හෝ යැවීමට අපොහොසත් වී තිබේ. මෙවැනි පසුබිමක් තුළ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නට කලින් චීනය මිල දී ගැනීමට අභිලාශයක් දක්වන දේ මෙරටින් සැපයිය හැකි දැයි සොයා බැලීම ඉතා වැදගත්ය. 

වෙළෙඳ පරතරය දිනෙන් දින ඉහළට

2010 වසර වන විට ශ‍්‍රී ලංකාව භාණ්ඩ ආනයනය කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි තැන චීනය අත්පත් කරගෙන තිබුණි. එයින් වසර පහක් යන විට චීන නිෂ්පාදන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 3,727 තෙක් වැඩි වී තිබුණු අතර එය මෙරට ආනයන ප‍්‍රතිශතයෙන් සියයට විස්ස ඉක්මවා ගියේය. රටට අවශ්‍යම ඛනිජ තෙල් හා ආහාර ද්‍රව්‍ය හැරුණුකොට අනෙක් සියලුම දෑ චීනයෙන් ගෙන්වන තරමට හැරීම බලවත් අවධානයට ලක්විය යුතුය. විශේෂයෙන් යකඩ, පොහොර, රෙදි පිළි, විදුලිය උපකරණ, ලිපිද්‍රව්‍ය පමණක් නොව පෑන් පැන්සල් ගෙන්වන තරමට එය විහිදී ගියේය. පසුගිය කාලයේ දී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනයෙන් සරුංගල් පවා ආනයනය කරන විලාසය නිරීක්ෂණය කරන ලද අතර වහාම නතර කරන සේ දැනුම් දී තිබුණි. 2010-2014 කාලය තුළ චීන භාණ්ඩ මෙරටට ගෙන්වීම සියයට 174.5කින් පමණ වර්ධනය විශේෂයෙන් සලකා බැලිය යුතු තත්ත්වයකි.

මෙරටින් යැවෙන දේ සීමිත වීම විශේෂ පැත්තකි. කෙසෙල්, මයියොක්කා, පාවහන්, මැණික් යනා දී වශයෙන් සුළු ලැයිස්තුවකි. මෙහි ප‍්‍රතිඵලය වශයෙන් වෙළෙඳ පරතරය ඉහළ නැග ගියේය. 2014 වසරේදී ශ‍්‍රී ලංකාව චීනයට අපනයනය කර ඇති භාණ්ඩ ප‍්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 173.5 කි. එය මෙරට සමස්ත අපනයනයෙන් සියයට 1.5 ක් බව දැක්වෙයි. වෙළෙඳ පරතරය වර්ධනය වූ අතර මෙරට සමස්ත වෙළෙඳ පරතරයට කරන ලද දායකත්වය සියයට 26.4 ක් තරම් ඉහළ බව පර් යේෂණ වාර්තා අනාවරණය කළේය. එය ඉතා නරක පැත්තකි. ශ‍්‍රී ලංකාවට පියැවීම් කරන්නට සිදුවූ අතර එක පැත්තකින් ණය හා පොලී වාරික ගෙවන අතර අනෙක් පැත්තෙන් ආනයනික දේ වෙනුවෙන් විනිමය වැය කිරීමට සිදුවීම ගැටලු සහගත බව පෙන්වා දිය යුතුය. රටට අවශ්‍යම දේ ආනයනය කරන ස්වභාවයක් වර්තමානයේ පවතී. එය යම් ප‍්‍රමාණයක අස්වැසිල්ලක් බව දැක්වීම සුදුසුය. කෙසේ වෙතත් අපනයන වෙනුවෙන් අවස්ථාවක් සකස් කර ගැනීම ඉතාම වැදගත්ය. පරිගණක කොටස්, විද්‍යුත් පරිපථ සහ වාහනවලට අවශ්‍ය රබර් කොටස් වැනි දෑ නිපදවා චීනයට යවන්නට අවස්ථාව තිබුණි. එසේ නමුත් භාණ්ඩවල තත්ත්වය හා මිල, තරගකාරීත්වය පවත්වා ගැනීම බලවත් ආයාසයකි. එවැනි පසුබිමක් තුළ තුනී ආනයන බදු සහිත වෙළෙඳ ගිවිසුමක් රටට වැඩදායකය. 

චීනය සහ නෝර්වේ අතර වෙළෙඳ සාකච්ඡා

චීනය හා නෝර්වේ යන රටවල් වෙළෙඳ ගිවිසුමකට සූදානම් බව පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. කලක් අතේ දුරින් තිබුණු දෙරට අතර රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා දැන් නවමු මුහුණුවරක් ගෙන ඇති අතර වෙළෙඳාම කරගෙන යන ආකාරය ගැන සාකච්ඡා කරන්නට සූදානම්ය. අලුත් වාර්තා අනුව ඉතාම ඉක්මනින් චීනය හා නොර්වේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරනු ඇත. මත්ස්‍ය නිෂ්පාදන ආනයන අවස්ථා එයට බලපා ඇති ප‍්‍රධාන සාධකයකි. චීනයේ ජනගහණය විශාල වර්ධනයක පවතින අතර ආහාර අවශ්‍යතා ඉහළ යාමේ ස්වභාවයක පවතී. එරට ආර්ථිකය ප‍්‍රසාරණය සමඟ මැද පන්තියේ ජන කොටසගේ පරිභෝජන අවශ්‍යතා වෙනස් වී ඇත. පිටරටවලින් ගෙන්වන මුහුදු ආහාරවලට ඉල්ලුම වැඩි වී තිබේ. නෝර්වේ ධීවර නිෂ්පාදන සම්බන්ධයෙන් වාර්තා පිහිටුවා ඇති රටකි. 2017 වසරේ වාර්තා අනුව මත්ස්‍ය හා ධීවර නිෂ්පාදනයෙහි වැඩිම ලෝකයේ රටවල් ලැයිස්තුවේ ඉහළ තැනක සිටී. වෙනත් රටවලින් ධීවර නිෂ්පාදන ආනයනය කිරීමට වඩා නෝර්වේ සමඟ ගිවිසුමක් සුදුසු බව චීනය කල්පනා කරන බව නිසැකය.

දූපතක් වන ශ‍්‍රී ලංකාව මෙවැනි පැති ගැන අවධානය යොමු කළ යුතුය. මෙරට ධීවර අස්වැන්න අසල්වැසි රටවල්වලට සම්පතක් වී තිබේ. ඉන්දියානු ධීවරයෝ බහුල වශයෙන් එහි නිරතය. මෙරට ධජය සහිතව මසුන් ඇල්ලීමට දී ඇති අවස්ථා ගණන ද සුළු පටු නොවේ. මෙරට මුහුදු සීමාවෙන් සියයට හැටක් පමණ උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් බව දැක්වේ. අන්තර්ජාතික මුහුදු සීමා නීති අනුව රටට හිමිවන අලුත් මුහුදු ප‍්‍රදේශය ගොඩබිම මෙන් තුන් හතර ගුණයක් බව දැක්වෙයි. ධීවර කර්මාන්තයේ ව්‍යාප්තිය උදෙසා එම අවකාශය අවස්ථාවක් කරගත යුතුය. එමගින් අපනයනයට මග පාදා ගත හැකිය. චීනයට මාළු අපනයනය කිරීම වෙළෙඳ පරතරය අඩු කර ගැනීමට හොඳ පසුබිමක් සකසන බව නිසැකය.

ගිවිසුම් නැති සාකච්ඡා

චීනය සිය ආර්ථිකය විවෘත කිරීම සමඟ ප‍්‍රතිසංස්කරණ ගණනාවකට මුහුණ දුන් අතර 2003 වසරේ දී හොංකොං සහ මකාවෝ සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම් කැපී පෙනෙයි. එයින් පසු මේ දක්වා රටවල් හයක් සමඟ චීනය ආර්ථික සහ සේවා ගිවිසුම්වලට ඇතුළත්ව සිටින බව වාර්තා වෙයි. චිලීය. පකිස්තානය, නවසීලන්තය, සිංගප්පූරුව, පේරු සහ කොස්ටාරිකාව එම රටවල්ය. චීනය තමන් වටා සිටින සෑම කුඩා රාජ්‍යයක් සමඟම නොහොඳ නොක්කාඩු පවත්වාගන්නා නමුත් එයින් බැහැර කලාපයට සිය මිත‍්‍රශීලී දෑත් දිගු කරමින් සිටී. 

1998 වසරේ දී ඉන්දියාව සමඟ ආර්ථික සහ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති ශ‍්‍රී ලංකාව එහි දෙවැනි පියවර වශයෙන් සේවා ගිවිසුමකට ගමන් කළ නොහැකිව සිටී. රට තුළ විරෝධතා ඇත. ඉන්දීය සේවා අංශ ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කරන බවට සමාජය තුළ මතයක් තිබේ. සිංගප්පූරු ශ‍්‍රී ලංකා ආර්ථික ගිවිසුම ද අතරමැද නැවතී ඇත. එයට ද බලවත් විරෝධතා පැන නැගිණ. ඉන්දියාව පළමුවරට වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන ලද්දේ ශ‍්‍රී ලංකාව සමඟය. එයින් පසු කාලයක පකිස්තානය ඇතුළු දකුණු ආසියාවේ සියලුම රටවල් සමඟ ආර්ථික ගිවිසුම් අත්සන් කරන්නට ඉන්දියාව පියවර ගත්තේය. 

පකිස්තානය දැනටමත් චීනය සමඟ ආර්ථික ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඉන්දියාවට සමීප රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව චීනය සමඟ අත්සන් කරන්නට සූදානම් වන වෙළෙඳ ගිවිසුම ඉතා උපායශීලී එකක් කරගත යුතුය. ඉන්දියාව හා චීනය විශාල ජනගහණයක් ඇති බලවත් රටවල් දෙකකි. මේවායේ ඇති අවස්ථා ඉතා පරීක්ෂාකාරීව ප‍්‍රයෝජනයට ගත හැකිය. ගිවිසුම් මගින් වෙළෙඳාම ගැන පමණක් නොව තාක්ෂණික දැනුම හා අත්දැකීම් හුවමාරුවට ද මාවත විවර ගැනීම වැදගත්ය. චීනය සමඟ අත්සන් කරන වෙළෙඳ ගිවිසුම මගින් රටවල් තුනක් අතර සහයෝගීතාවය සහ අවබෝධය වැඩි කරන එකක් බවට පත් කර ගැනීමට උත්සුක වීම රාජ්‍යතාන්ත‍්‍රිකයන්ගේ වගකීමකි.

ගාමිණී සරත් ගොඩකන්ද