මරදන්කඩවලට නුදුරු රිටිගලට ඔබ අතරින් සමහරු ගිහින් ඇති. තවත් අය කුරුණෑගල අරන්කැලේට ගිහින් ඇති. ඒත් රිටිගලට කි.මී.7ක් පමණ සමීපව පිහිටි මානාකන්දට ගිහින් ඇත්තේ කලාතුරකින් කෙනෙක් පමණයි නේද? මානාකන්ද රිටිගලට සමාන පධානඝර සංඝාරාම ගණයට අයත්වන ආරණ්‍ය සේනාසනයකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මානාකන්ද පුරාණ බෙදීම්වලට අනුව අයත් වන්නේ කලාගම් පළාතේ මාමිනියා කෝරළේටයි. මානෑවකන්ද කියලත් මේ කන්දට කියනවා. පුරාවිද්‍යා ලේඛනවල තිබෙන්නේ මානාකන්ද කියලයි. මරදන්කඩවල නගරයේ සිට පහසුවෙන් මානාකන්දට ළඟාවිය හැකි වේ. මේ ආරණ්‍යවල ප්‍රධාන ගොඩනැගිල්ල තමයි පධානඝර කියන්නේ. රිටිගලත් පධානඝර සංඝාරාමයක්. රිටිගල ගිහින් තිබෙන අය මේ ගොඩනැගිල්ල දැකලා ඇති.
ආරණ්‍යවාසී භික්‍ෂූන් උදෙසා නිර්මාණය වී ඇති වාස්‌තු විද්‍යාත්මක අංගයක් වශයෙන් පධානඝර ගොඩනැගිලි හඳුනාගෙන තිබේ. වංශකතාවල පධානඝර යනුවෙන්ද, ශිලා ලිපිවල පතනගල* පියන්ගල* යනුවෙන් නම්කර ඇති මේ ආරාම ක්‍රි.ව. 7-9 අතර කාලසීමාවේ නිර්මාණය වී පවතින බව පුරාවිද්‍යාඥ පිළිගැනීමයි. ක්‍රි.ව. 10 වැනි සියවසෙන් පසු මෙම නිර්මාණ දැකිය නොහැකියි.
මානාකන්දේ මෙවැනි පධානඝර ගොඩනැගිලි රාශියක් වනය තුළ ආරක්ෂා වී තිබෙන බව එහි යන ඔබට දැකගත හැකිවේවි. විශාල කළුගල් පුවරු උපයෝගී කරගෙන චතුරස්‍රාකාර වේදිකා දෙකක් වශයෙන් සකස්කර ඒ වේදිකා පාලමක් මගින් එකට සම්බන්ධ කිරීම තමයි මේ ගොඩනැගිලිවල දකින්න ලැබෙන්නේ. මේ අතරින් පිටුපස වේදිකාව බොහෝවිට කුඩා පර්වතයක් මත තනා දිය අගලකින් වටකර ඇත. මෙම වාස්‌තු විද්‍යාත්මක ගොඩනැගිල්ල නාමකරණයේදී භාවනා යන නාමයට සමාන නාමයක් වන පදාන යන නාමය යොදාගත් බව විද්වතුන්ගේ මතය වේ. ඒ අනුව භාවනායෝගී භික්‍ෂූන් වැඩසිටින ගෘහය පධානඝර ලෙස හඳුන්වා ඇත. එදා මේවාට පියස්සක් ඉදිකර තිබුණත් අද ඒවා දැකිය නොහැකිය. සියුම්ව කපන ලද විශාල කළුගල් එදා අපේ තාක්ෂණය අපට පැහැදිලි කරයි. මේ ගොඩනැගිලි චතුරස්‍රාකාර වේදිකා දෙකක් එකට බද්ධවන සේ තනා ඇත. පධානඝර නිර්මාණයේදී කිසිම කැටයමක් යොදාගෙන නැතිවීමත් විශේෂත්වයකි. ඒ භාවනානුයෝගී භික්ෂූන්ගේ චිත්ත දමනයට මෙවන් දේ බාධාවක් විය හැකි බැවිනි. මෙම ආරාමවල කැටයම් දැකගත හැකි එකම ස්ථානය වැසිකිලි ගල් පමණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන ආචාර්ය සරත් විජේසූරිය මෙම ආරාම විශේෂය ගැන පර් යේෂණයක් කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ පධානඝර සංඝාරාම 30ක් පමණ දැකිය හැකි බව එහි සඳහන්ය. අනුරාධපුර යුගයේ ඉදිවූ මෙම වාස්‌තු විද්‍යාත්මක නිර්මාණය අනුරාධපුරයේ මෙන්ම ඉන් බැහැර ප්‍රදේශවලද ඉදිකර තිබූ බවට පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වේ.
මුල් කාලයේ සරල වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයක් වශයෙන් හඳුනාගත හැකි මෙම ආරාමය පසුව පධානඝර සංකීර්ණයක් ලෙස වර්ධනය වී ඇති ආකාරයක් දැකිය හැකිය. මානාකන්දේ ප්‍රතිමාගෘහ, ජන්තාඝර, සංඝාරාම, මුළුතැන් ගෙවල් ආදී අංග දැකිය හැකිය. පධානඝරවල දැකිය හැකි තවත් සුවිශේෂී වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස සක්‌මන් මළුව පෙන්වා දිය හැක. සක්‌මන් මළුව ගල් අතුරා සකස් කර ඇත. රිටිගල, අරන්කැලේ, සිතුල්පව්ව වැනි ස්‌ථානවල ස්‌වභාවික පරිසරයට අනුකූල නිර්මාණය කළ සක්‌මන් මළු දැකිය හැකිය. පධානඝර ආශ්‍රිතව දැකිය හැකි වැදගත් අංගයක් වශයෙන් පොකුණු හැඳින්විය හැක. පොකුණු පධානඝර පරිශ්‍රයක ප්‍රධාන අංගයක් විය. පධානඝර පරිශ්‍රයක දැකිය හැකි විශාලතම පොකුණ දක්‌නට ලැබෙන්නේ රිටිගලය. එක්ට බන්දා පොකුණ කියන නම ව්‍යවහාර කෙරේ. මානාකන්දෙත් අපට විශාල පොකුණක් දකින්න පුළුවන.
මානාකන්දේ වනය තුළින් ශෛලමය ගොඩනැගිලි 70ක පමණ නටබුන් හමුවී තිබෙන අතර. පධානඝර, ඡන්තාඝරයක්, පෙත්මං, පියගැටපෙළ, සංඝාරාම, සක්මන් මලු, පොකුණු ඒ අතර වේ. කටාරම් කෙටූ ලෙන් ආදී නෂ්ටාවශේෂ අඩි 1500ක් ඉහළට විහිදී යන කන්ද පුරා පැතිරී තිබේ. කන්ද පාමුලට පැමිණි හමුවන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කළ කළුගල් පියගැටපෙළ ඔස්සේ කන්දේ නටබුන් වෙතට ගමන් කිරීමට පුළුවන. එහිදී මුලින්ම දකින්න ලැබෙන්නේ ජන්තාඝරයයි.
අනුරාධපුර යුගයේ ඉදිකිරීම් අතර වැදගත් වාස්තු විද්‍යාත්මක අංගයක් වන ජන්තාඝරය භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ උණුපැන් ස්නානය කළ හා ශරීරය උණුසුම් කළ ගොඩනැගිල්ලකි. පියස්සක් සහිතව සමසතරුස් ස්වරෑපයෙන් යුත් එහි අද පාදම පමණයි දක්නට ලැබෙන්නේ. භික්ෂුන් වහන්සේ සිරුර උණුපැන් සහ ඔසු වර්ගවලින් නෑවීමටත් වාෂ්ප ඇල්ලීමටත් මෙම ගොඩනැගිලි යොදාගත් බව හෙළිවී ඇත.
සමචතුරස්‍රකාර හෝ ආයත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් ලෙස ඉදිකර තිබෙන ජන්තාඝරයක මධ්‍යයේ උදක ද්‍රෝණි හෙවත් ජල කොටුවක් තිබේ. මෙම පැන්කොටුව නිර්මාණය කිරීමේදී පැරුණි ශ්‍රී ලාංකිකයන් සතු සූක්ෂ්ම වාස්තු විද්‍යාත්මක තාක්ෂණික ශිල්පක්‍රම යොදාගෙන තිබේ. පැන්කොටුව ජන්තාඝර ශාලාවට වඩා ගැඹුරට ගිල්වා නිර්මාණය කර තිබේ. පැන් කොටුව වටා ගල් පුවරු අතුරා තිබෙන අතර මේ නිසා ගිලා බැසීමත් වතුර වැටීම නිසා මඩවීමත් වැළැක්වේ. පැන්කොටුවේ රුස්වන ජලය බැසයෑම සඳහා සකස්කළ කාණු පද්ධතිය පිහිටි දිසාවට මඳක් බෑවුම් වන ආකාරයට පැන්කොටුවේ ගල් අතුරා තිබේ. එසේම ජන්තාඝර ආශ්‍රිතව ඖෂධ වර්ග ඇඹරීමට යොදාගත් ඇඹරුම් ගල් සහ වතුර උණු කිරීමට සාදන ලද ලිප් හමු වී තිබේ.
මානාකන්ද වගේම රිටිගල, අරන්කැලේ, රජගල, නාගොල්ල වගේ පධානඝර ආරාම පිහිටි ස්ථානවලින් ජන්තාඝර හමුවී තිබේ. අනුරාධපුර යුගයේදී භික්ෂුන් වහන්සේගේ ශරීර සෞඛ්‍යය ගැන කෙතරම් උනන්දු වී තිබේදැයි ජන්තාඝරවලින් පැහැදිලි වේ.
උත්තුංග වනරුක් අතරින් ගමන් කරන ඔබ තරමක තැනිතලා බිමක පිහිටි ගල්පර්වතයක් වෙතට පැමිණෙනු ඇත. අවට දර්ශනය රමණීය අයුරින් මෙහි සිට දැකගත හැකියි. මහා වනාන්තර, කෙත් හා වැව් අතරින් ක්ෂිතිජය පලාගෙන ඉහළ නගින මුදුන් හතකින් යුත් අඩි 2514ක් උසැති රිටිගල මෙතැනට කදිමට දර්ශනය වෙයි. පසෙකින් පැරණි දාගැබ් ගොඩැල්ලක්ද පර්වතය මතදී දැකගත හැකියි. දැන් ඒ නටබුන් යට කරගෙන මහ ගස් වැවී තිබෙන අතර නිදන් හොරු හෑරෑ වළක්ද ඒ අසලම තිබේ.
පුරාවිද්‍යාත්මක සාධක අනුව මේ බිම මුලින්ම භික්ෂූන්ගේ වාසයට නතුවී තිබෙන්නේ ක්‍රි.පූ. 3-2 සියවස් අතර කාලයේදීයි. ඒ මෙරටට බුදුදහම ලැබී අනුරාධපුර අගනුවර බොදු ප්‍රබෝධයෙන් ඇලලුණු සමයයි. අනුරාධපුරයට නුදුරින් පිහිටි මානාකන්ද ද ඒ සමයේම කසාය වස්ත්‍රයෙන් බැබලුණු පුදබිමක් බවට පත්ව ඇති බව මේ නටබුන් පැහැදිලි කරනවා.
අසල වූ රිටිගල මෙන් මෙහිද සැදැහැවත් උපාසක උපාසිකාවන් පිදූ ලෙන් රාශියක් තිබෙනවා. ඒ බව හෙළිදරව් කරනා ලෙන් ලිපි කිහිපයක්ද හමු වී තිබෙනවා. ලෙන් පිදූවන් අතර ගෘහපති වෙසකුල, ගම් ප්‍රධානී නාග, ගෘහපති වංශ යන අය සිටී. මුලින්ම ලෙන්වල භාවනා කළ භික්ෂූන්ගේ ආරාමයක් වූ මානාකන්ද ක්‍රි.ව. 9-10 සියවස් වනවිට රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනැගිලි තැනූ පධානඝර ආරණ්‍යයක් බවට පත් වී ඊටපසු එය රිටිගල මෙන්ම වනගත වී තිබේ.
මේ වනපෙත හරහා ගමන් කරන විට කුරුල්ලන්ගේ කිචිබිචිය පරදවමින් ඇසෙන පක්ෂි නාදය අප සවන් පිනවයි. සිලු රාජාලියා, වැව් රාජාලියා වැනි මාංශ භක්ෂක පක්ෂීන් වගේම අපේ රටට ආවේණික වලිකුකුළා සහ හබන් කුකුළාත් මෙහි වාසය කරති. මුදුන්බොර දෙමළිච්චා සහ ලංකා සැළලිහිණියාත් මානාකන්දේ සරන අපට ආවේණිකයන්ය. වන අලියා මේ අවට නිතර සරන බව උන්ගේ වසුරුවලින් පෙනී යයි. ඊට අමතරව මුවා, ගෝනා සහ වල් ඌරා, කබල්ලෑවා, මුගටියා හාවා වැනි සතුන්ද මෙහි වාසය කරන ඌරන්ට බැඳ ඇති තුවක්කු නිසා ඔබ මෙහි ගමන් කිරීමේදී ඉතා පරීක්ෂාකාරී විය යුතු වෙයි.
කන්දේ මැදින් පහළට බැසීමෙන් එදා භික්ෂූන්ට ස්නානය කිරීමට තැනූ විශාල පොකුණ දැකගත හැක. වටේට කළුගල් පුවරු අල්ලා බැසීමට පියගැට සකසා තැනූ එය අදටත් ජලයෙන් පිරි පවතී. අරලු, බක්මී, ඇහැළ, ඇත්දෙමට, දමනිය, පලු, වීර, හැළඹ, කොහොඹ, කළුවර, ගම්මාලු වැනි ශාක ප්‍රජාවක් මේ අවටදී දැකගන්න ලැබෙයි.
කුසුම්සිරි විජයවර්ධන