2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

විසඳුමක් නොපෙනෙන මහමඟ සුසානය

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

අලුත් අවුරුදු සමයත් සමඟ මෙරට මාරක රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. පරණ අවුරුදු දිනය පැවැති 13 වැනිදා පෙරවරුව සිට ගෙවුණු දින 5ක් අවසානයේදී 18 වැනිදා පෙරවරුව දක්වා සිදුවූ රිය අනතුරු 399ක් හේතුවෙන් වාර්තා වූ මරණ ගණන 52කි. මෙම මාරක අනතුරු නිසා තුවාල ලැබූ පිරිස 669ක් වශයෙන් රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය වසරේ අප්‍රේල් 13-14 දෙදිනට සාපේක්ෂව මේ වසරේ අවුරුදු දින දෙක තුළ වාර්තා වූ රිය අනතුරු ප්‍රමාණය පෙර වසරට වඩා 39%කින් වර්ධනය වී තිබේ. කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේම මිනිස් ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබියදී ලංකාවේ රිය අනතුරු නිසා ජීවිත හානි සිදුවීම බරපතළ ගැටලුවකි. එය මෙරට පුරවැසියන් අතර රියැදුරන්, පදිකයන් මෙන්ම මගී ජනතාව අතර පවතින දුර්වලතාවක ප්‍රතිඵලයකි.

රථවාහන පොලිස් වාර්තා අනුව මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවලින් වාර්තා වී ඇති මරණ ගණන 10කි. එසේම ඊට පෙර 13 වැනිදා පමණක් වූ රිය අනතුරු නිසා වාර්තා වී ඇති මරණ ගණන 21කි. මේ ආකාරයට සිංහල අවුරුදු දිනයේ වාර්තා වී තිබෙන රිය අනතුරු ගණන 121කි. මේ අතුරින් අනතුරු 12ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බවට පොලිස් රථවාහන කොට්ඨාස වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අලුත් අවුරුදු දිනයේ වාර්තා වූ රිය අනතුරු 121 අතුරින් 53ක් යතුරපැදි අනතුරු බවට හඳුනාගෙන ඇත. මෙම රිය අනතුරුවලට අදාළව හා බීමත්ව රිය පැදවීමට එරෙහිව එම දින පහ තුළදී පොලිස් බාරයට ගැනුණ යතුරුපැදි ගණන 1429ක් බව පොලිසිය සඳහන් කරයි. මේ ආකාරයට ත්‍රිරෝද රථ, බස් රථ, ලොරි, කාර්, වෑන් වැනි රථවාහන 2242ක් පොලිස් බාරයට ගෙන තිබුණේ බීමත්ව රියපැදවීම හේතුවෙනි.

13 වැනිදා අලුයම කොළඹ මහනුවර මාර්ගයේ රංවල ප්‍රදේශයේදී ලොරි රථයක් හා මගී බස් රථයක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදුව තිබිණි. අනතුරින් ලොරි රථයේ රියැදුරු සහයක හා බස්රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා තුවාල ලබා රෝහල් ගතකර තිබුණු අතර එහිදී ලොරි රථයේ සහායක 27 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව සිටියේය.

මේ අතර එදිනම පෙරවරුවේ මැදවච්චිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වූ ලොරි රථයක් මාර්ගයේ පසෙක නවතා පරීක්ෂා කරමින් සිටියදී විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් එහි රියැදුරුට පාලනය කරගත නොහැකි වීම නිසා ලොරි රථ රියැදුරුගේ හා සහායකයාගේ ගැටී මාර්ගයේ පෙරළී ඇත. එහිදී තුවාල ලැබූ ලොරි රියැදුරු හා සහායක රෝහල් ගතකරන අතරතුර ලොරි සහායකයා මියගොස් තිබිණ.

මෙදින රාත්‍රියේ ආරච්චිකට්ටුව හරහා ගමන්ගත් පෞද්ගලික බස්රථයක් පුත්තලම කොළඹ මාර්ගය හරහා පැදවූ පාපැදියක ගැටී අනතුරට ලක්වී ඇත. එහිදී බරපතළ තුවාල ලැබූ පාපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබිණි. මේ අතර ගම්පහ නයිවල - උඩුගම්පල මාර්ගයේ පොතුවිටකන්ද ප්‍රදේශයේදී ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකි වීමෙන් පෙරළීම නිසා ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. එහිදී බරපතළ තුවාල ලැබූ තරුණයකු ජීවිතක්ෂයට පත් විය.

සිංහල අවුරුදු දිනයේ දහවල් 1.15ට පමණ ගම්පොළ නාවලපිටිය මාර්ගයේ ජයමාලපුර ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක්  එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ තරුණයන් තිදෙනකු රෝහල් ගතකර ඇත. ඔවුන් අතරින් 17 හා 21 හැවිරිදි තරුණයන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වූහ. මේ ආකාරයට යාපනය, කටුනායක, මීරිගම, වව්නතිවු, අම්බලන්තොට, පුදුකුඩුඉරිප්පු, පිළියන්දල, බඩල්කුඹුර, චාවකච්චේරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු සිදුව තිබුණි.

පසුගිය 17 වැනිදා අණ නොතකා ධාවනය කළ කැබ් රථයක් යුද හමුදා සෙබළු දෙදෙනකු අනතුරට ලක්කොට පලාගොස් තිබුණි. එම සිදුවීම A-9 මාර්ගයේ ඕමන්ත යුද හමුදා මාර්ග බාධකය අසලදී සිදුව ඇත. සැකකටයුතු කැබ්රිය නැවැත්වීමට සංඥා කළ හමුදා නිලධාරීන් අනතුරට ලක්කර පලාගිය රථය හඹාගියද අතරමග මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වූ රථය අත්හැර රියැදුරු ඇතුළු පිරිස පලාගොස් ඇත. පසුව අනාවරණය වී ඇත්තේ බුරුත දැව තොගයක් බලපත්‍ර රහිතව රුගෙන යමින් සිටියදී අනතුර සිදුකර ඇති බවය.

රිය අනතුරු හදිසියේ ඇතිවන ඒවාය. ඊට ප්‍රධාන හේතුව අපරික්ෂාකාරී බව හා බීමත්කමය. එබැවින් රිය අනතුරු බොහොමයක් වළක්වා ගත හැකි ඒවාය. වගකීමෙන් රිය පැදවීම, පදිකයින් ආරක්ෂිතව මාර්ගයේ ගමන් කිරීම මෙන්ම රථවාහනවල ගමන් ගන්නා මගින් ආරක්ෂිතව රුඳී සිටීමත් අනතුරුවලින් මිදීමට ඇති හොඳම ක්‍රමයයි.

රිය අනතුරු 399ක්: මරණ 52ක්

අලුත් අවුරුදු දින දෙකක් පැය 24ක් තුළ රිය අනතුරු මරණ 14ක් වාර්තා වුණා. එයින් මරණ දහයක්ම වාර්තා වූයේ අවුරුදු දිනය තුළයි. සෙසු මරණ හතර ඊට පෙර සිදුවූ අනතුරු නිසා තුවාල ලැබූ අයයි. එමෙන්ම අධිවේගී  මාර්ගයේ අනතුරු 12ක් වාර්තා වුණා. එහිදී එක් අයකු තුවාල ලැබුවා. සෙසු මාර්ගවල රිය අනතුරු 109ක් වාර්තා වුණා. මේ අනුව රිය අනතුරු 121ක් වාර්තා වී තිබුණා. මේ හේතුවෙන් තුවාල ලැබූ පිරිස 74ක් පමණ වෙනවා. මේ සිදුවීම්වලට අමතරව පොලිසියට වාර්තා නොවූ අනතුරු තිබෙන්නට හැකියි. මෙහිදී යතුරුපැදි 53ක් හා ත්‍රිරෝද රථ 30ක් මගින් අනතුරු සිදුව තිබෙනවා. මෙම කාලසීමාවේදී බිමත් රියැදුරන් 750කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වුණා.

ඒ වගේම අවුරුදු දින දෙක ඇතුළු 18 වැනිදා වනතෙක් රිය අනතුරු 399ක් වාර්තා වී තිබෙනවා. එහිදී පනස් දෙදෙනකු මරණයට පත්ව 669 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වුණා. මේ කාලසීමාවේදී අනතුරු හේතුවෙන් හා බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 2242ක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතරට යතුරුපැදි 1429ක්, ත්‍රීවීල් 552ක්, බස් රථ 12ක්, ලොරි 38ක්, කාර් 128ක්, කැබ් රථ 22ක්, ද්විත්ව කාර්ය වාහන 28ක්, වෑන් 30ක්, කන්ටේනර් රථ 1ක් සහ පාපැදි 2ක් වශයෙන් අයත් වෙනවා.
මේ අතර දුම්රියේ ගැටිම නිසා සිදුවූ මරණ සම්බන්ධයෙන්ද වර්ධනයක් දකින්නට ලැබුණා. ඒ අනුව 18 වැනිදා රත්ගම, පාලවිය, මිහිරිපැන්න ප්‍රදේශවලින් දුම්රිය අනතුරු මරණ තුනක් වාර්තා වී තිබෙනවා.

 සමන්ත විල්තෙර